''බෞද්ධ ආර්ථික දර්ශනය යටතේ දැහැමිව සොයාගත් ධනය නිසි පරිදි කළමනාකරණ කරගැනීමේ පිළිවෙතද පියවරෙන් පියවර පැහැදිලි කර තිබේ. මෙතැන් සිට ඉදිරියට බලාපොරොත්තු වන්නේ එම පිළිවෙත පියවරෙන් පියවර පැහැදිලි කිරීමය. ඇතැම් විට විශාල ලෙස ධනය හා දේපළ එක් රැස් කළත් ඒ සියල්ල නිසි ලෙස වැය කිරීමේ පිළිවෙත නොදන්නාකම හේතුවෙන් අහේතුකව ධනය විනාශ වන අවස්ථා කෙතෙකුත් දක්නට ලැබේ. දනය ඉපැයීම අතිශය දුෂ්කර කටයුත්තකි.
එහෙත් එම ධනය වැය කිරීම අතිශය පහසු කටයුත්තකි. එබැවින් ධනය වැය කිරීමේ පිළිවෙත මැනවින් අවබෝධකරගැනීම ගිහි ජීවිතයක් ගත කරන්නෙකුට බෙහෙවින් වැදගත් වේ. ධනය කළමනාකරණය කිරීමේ බෞද්ධ පිළිවෙත අන්තර්ගත වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාත පත්ත කම්ම සූත්‍රයේ ය.පවුලේ අවශ්‍යතා
තෙවන උප පියවර ලෙස දැක්වෙන්නේ අඹුදරුවන් හා තමා යටතේ සිටින සේවකාදීගේ අවශ්‍යතා සැපිරීමයි. මෙය දීර්ඝ වශයෙන් විස්තර කළ යුත්තක් නොවේ. උපයන ධනය පවුලේ අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් වේ. පවුල නඩත්තු කිරීම මව්පිය දෙදෙනාගේම යුතුකමකි. ඔවුන් දෙදෙනා උපයන ධනය පවුලේ අවශ්‍යතා වෙනුවෙන් වැය නොකර මත්පැනට සූදුවට හා දුරාචාරයට වැය කිරීම වැරදි පිළිවෙතකට යොමුකිරීමකි. ඇතැම් පියවරු තමා උපයන මුදල් එවැනි දෑ කෙරෙහි වැය කරන අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. වර්තමාන සමාජ ආර්ථික පරිවර්තන හමුවේ විවිධ අවශ්‍යතා පවතින හෙයින් පවුලක් නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වේ. පවුලක අවශ්‍යතා නිසිලෙස අවබෝධකර නොගෙන වගකීමෙන් තොරව වෙනත් දෑ කෙරහි ධනය වැය කිරීමෙන් පවුල් ජීවිතය අසාර්ථක වේ. අඹු දරුවන් මෙන්ම තමා යටතේ සේවය කරන සේවක සේවිකාවන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ද මුදල් වැය කිරීමට සිදු වේ. විශේෂයෙන්ම තමා විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ව්‍යාපාර ආදියෙහි පමණක් නොව නිවසේ සේවය කරන සේවක සේවිකාවන්ද මෙයට අයත් වේ.
ඔවුන්ට ලබාදෙන වැටුපට අමතරව වෙනත් අවශ්‍යතා වෙනුවෙන්ද මුදල් වැය කිරීමට ස්වාමියෙකුට සිදු වේ. ඔවුන්ගේ කුදුමහත් අවශ්‍යතා හැකි අයුරින් ඉටුකරදිමෙන් ඔවුන්ගේ සේවය නොඅඩුව ලබාගත හැකි වේ. ස්වාමියාගෙන් පමණට වඩා දේ බලාපොරොත්තුවන අවස්ථාවාදී සේවකයන්ද සිටින හෙයින් මෙම වගකීම් දුරදක්නා නුවණින් විමසා බලා ඉටුකළ යුතු වේ.
එවැනි අවස්ථාවාදී සේවක සේවිකාවන් වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාව ව්‍යාපාර පවත්වාගෙන යන පාලකයන් තුළ පිහිටා තිබීම අවශ්‍ය වේ.
සිව්වන උප පියවර ලෙස දැක්වෙන්නේ තම යහළු යෙහෙළියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ධනය වැය කිරීමයි. සමාජ සම්බන්ධතාවලින් තොරව කිසිවෙකුටත් පැවැතිය නොහැක්කේ මිනිසා උපතින්ම සමාජ සත්වයෙකු වන හෙයිනි. අප ඇසුරු කරන පුද්ගලයන්ගේ දුකට සැපට පිහිට වීම අනිවාර්ය වගකීමක් වේ.
එය නොසළකා කටයුතු කිරීම සමාජ අප්‍රසාදයට හේතුවක් විය හැකිය. ආර්ථික සුරක්ෂිතතාව මෙන්ම සමාජ සුරක්ෂිතතාවද අපට අවශ්‍ය වේ. අප බොහෝ දෙනෙක් ආර්ථික හා දේපල සුරක්ෂිතතාව ලබා ගැනීමට විවිධ රක්ෂණ සමාගම්වල සේවය ලබාගන්නා අතර සමාජ සුරක්ෂිතතාව පිළිබඳ සැළකිලිමත් නොවේ. ජීවිතය යනු නිශ්චිතව එකම අයුරකින් ගලා යන්නක් නොවේ. අටලෝ දහම යටතේ විවිධ වෙනස්කම්වලට මුහුණ දීමට සිදුවේ. අප උපායගත් ධනය ඇසිල්ලකින් විනාශයට පත් විය හැකිය. නොසිතූ විරූ නොපැතූවිරූ අර්බුදවලට මුහුණදීමට සිදුවිය හැකිය. මෙවන් අවස්ථාවලදී අපට අන් අයගේ සහයෝගය අවශ්‍ය වේ. එය නොමඳව අපට ලැබෙන්නේ අප ද ඔවුන් වෙනුවෙන් යමක් සිදුකර තිබේ නම් පමණි. එසේ නොකර ඔවුන්ගේ සේවය අපේක්ෂා කළ නොහැකිය.
මිතුරන් ලෙස හැමවිටම කල්‍යාණමිත්‍ර සේවනය කෙරෙහි උනන්දුවීම අවශ්‍ය වේ. පාප මිත්‍රයන්ගේ ඇසුර හේතුවෙන් ධනය පමණක් නොව සෞඛ්‍ය හා තම කීර්ති නාමයට ද හානි සිදුවේ. බොහෝවිට එවැනි මිතුරන් අප පොළඹවනු ලබන්නේ සූදුවට සුරාවට හා දුරාචාරයටය. එවැනි පාප මිතුරන්ගේ ඇසුර හේතුවෙන් අපරාධකරුවන් බවට, මත්කුඩු භාවිතකරන්නන් බවට පත් වූ තරුණ පිරිස කොතෙකුත් දක්නට ලැබේ. ඇතැම් තරුණ පිරිස් එවැනි මිතුරන්ගේ ඇසුර හේතුවෙන් තමා උපයන ධනය පමණක් නොව තම දෙමාපියන්ගේ ධනය ද විනාශ කරන අවස්ථා වාර්තා වේ.
දැහැමිව උපයන ධනයට නිසි වටිනාකමක් ලැබෙන්නේ එය නිසි ලෙස කළමනාකරණය කිරීමෙන්ය. ඉහතින් දැක් වූ පළමු පියවර යටතේ නිසිලෙස ධනය වැය කළ විට එය නිසිතැනට හා නිසි පිළිවෙතට වැය කළ එකක් බවට පත්වන අතර වියදම් කිරීමෙන් අනතුරුව පසුතැවිල්ලක් ඇති නොවේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ බිනර අව අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 23 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment