Labels

Sunday, October 16, 2016

වරද පෙන්වා ඔවා දෙන නැණවතුන්ගේ ඇසුර වටී

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

නිධීනංව පවත්තාරං
යංපස්සෙ වජ්ජදස්සිනං
නිග්ගය්හ වාදිං මේධාවි
තාදිසං පණ්ඩිතං භජෙ
තාදිසං භජමානස්ස
සෙය්‍යො හොති න පාපියෝති
තුන් ලොවක් මහා කරුණාවෙන් සනසන ලද ශාන්ති නායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාළ බෞද්ධයාගේ අත්පොත ධම්මපදය නම් ග්‍රන්ථයේ පණ්ඩිත වර්ගයට අයත් වන ගාථාවක් ඉහත දැක්වූයේ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේ රාධ කියලා දුප්පත් බමුණෙක් සිටියා. මේ මහලු බමුණාට ජීවත්වෙන්න ක්‍රමයක් නැතිව ගියා. කන්න,බොන්න. දෙන්න තරම්වත් සළකන්න කෙනෙක් නැතිව ගියා.

සුපින්වතුනි අන්තිමේදී බමුණා කල්පනා කළා පන්සලට ගිහිල්ලා ඇප උපස්ථාන කරලා ලැබෙන දෙයක් කාලා ජීවත්වන්න ඕනැයි කියලා මෙහෙම හිතපු රාධ බමුණා විහාරයට ගිහිල්ලා මලු පෙත්මං අමදිනවා මිදුල් උදලු ගානවා. ස්වාමින් වහන්සේලාට දැහැටි පැන් සපයාදීලා වත්පිළිවෙත් කරනවා. එතකොට ඒ විහාරයේ ස්වාමින් වහන්සේලාත් මේ රාධ බමුණාට ආහාර ඇඳුම් අරන් දෙනවා. මේ අයුරෙන් කලක් ගත වුණා. ඔය අතරේ බමුණාටත් කල්පනාවක් ඇති වුණා.
මහණ වුණොත් හොඳයි කියලා . එහෙම හිතපු මේ රාධ බමුණා විහාරයේ ස්වාමින් වහන්සේලාට මේ අදහස දැන්වූවා. ඒ වුනාට හාමුදුරුවන් වහන්සේලා මේ බමුණා මහණ කරන්න සතුටු වුනේ නැහැ. මේ බමුණා ගේ සිතේ තද ආශාවක් තිබුණා. පැවිදිවීම ගැන. මේ ගැනම සිතලා සිතේ කනස්සල්ල වැඩිවෙලා බමුණා පෙරටත් වඩා වැහැරුණා. සිතේ අමාරුවටම, ඔය අතරෙ එක දවසක් බුදුරජාණන් වහන්සේ අලුයම ලොව බලා වදාරන අවස්ථාවේ මේ බමුණා ගැන විමසා බලා වදාළා. එතකොට බුදු නුවණට දුටුවා. මේ රහත්වන්ට තරම් පෙර පින් ඇත්තෙක් බව. බුදුරජාණන් වහන්සේ එදා සවස විහාර චාරිකාවේ වැඩිය ඒ ගමන් අර බමුණා හමුවන්න වැඩියා. බමුණ මුනගැසුන වේලාවේ බුදුරජාණන් වහන්සේ බමුණාගෙන් තොරතුරු විමසා වදාළා. එතකොට බමුණා කියනවා ස්වාමිණි බුදුරජාණන් වහන්ස, මම පන්සලේ තිබෙන වත් පිළිවෙත් කරලා ලැබෙන ආහාරයක් කාලා ජීවත් වෙනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ වදාරනවා. එහෙම නම් නුඹට බත බුලතින් උපකාර ලැබෙනවා. බමුණා කියනවා බුදුරජාණන් වහන්ස, මේ ස්වාමින් වහන්සේලා මට බත් ටික වතුර ටික බුලත් පුවක්, මේ සියලු දේම දෙනවා. අනේ ඒ වුනාට මේ හාමුදුරුවරු මාව මහණ කරගන්න කැමැති නෑ කියලා කීවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා රැස් කෙරෙව්වා.

අර ස්වාමින් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ අසා වදාළා, මහණෙනි, මේ බමුණාගෙන් උපකාරයක් ලැබු එක නමක්වත් මේ පිරිස අතර ඉන්නවාද? මේ බමුණාගෙන් ලැබුණ උපකාරයක් ගැන කාහටවත් මතක තිබෙනවාද, කියලා විමසා වදාළා. ඒ වෙලාවේ සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනී බුදුරජාණන් වහන්ස, මම රජගහනුවර පිණ්ඩපාතයේ යද්දි මේ බමුණාට ගෙන ආපු බත් වලින් කොටසක් මට දුන් බව මතක තිබෙනවා කියලා පැවසුවා. එතනදී බුදු හාමුදුරුවෝ වදාරනවා. ඇයි ශාරිපුත්‍රය, ඔබට එහෙමනම් මේ බමුණා උපකාරයක් කරලා තිබෙනවා. ඒ නිසා මේ දිළිඳු බමුණා දුකින් මුදවන එක හොඳයි නේද කියා විමසා වදාළා. එවෙලේ සැරියුත් හාමුදුරුවෝ පවසනවා හොඳයි ස්වාමීනි, මම ඔහු පැවිදි කරන්නම් කියලා ප්‍රකාශ කරලා පස්සේ බමුණා පැවිදි කළා. දැන් මේ රාධ හාමුදුරුවෝ දාන ශාලාවට දානය වළඳන්න වැඩියම ලැබෙන්නෙ අන්තිම ආසනය. ඉතින් දානය බෙදාගෙන යන කොට බොහොම දවස්වලදී දානය බෙදනකොට අන්තිම අසුනට එන කොට අවසන් වෙනවා. සැරියුත් හාමුදුුරුවී මේ අලුත මහණ වු ශිෂ්‍ය හිමියන් කැඳ බත්වලින් වෙහෙසීමට පත්වෙන බව දැනගෙන ඒ හිමියන් කැඳවා ගෙන චාරිකාවේ වැඩියා. එහිදී සැරියුත් මහ තෙරුන් වහන්සේ මේ ශිෂ්‍ය හිමියන්ට අවවාද දුන්නා. මේ විදියට පිළිපදින්න එහෙම උපදෙස්දීලා සිරිත් විරිත් පුහුණු කළා. ඒ අවවාද පිළිගත් මේ රාධ හිමියන් කර්මස්ථාන වඩලා උතුම් රහත්භාවයට පත් වුණා. දවසක් සැරියුත් මහ තෙරුන් වහන්සේ ශිෂ්‍ය භික්ෂු නමක් කැඳවාගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩියා. බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසක හිඳ ගත්තා. බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ගෙන් සැපදුක් විචාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අසා වදාරනවා. සාරිපුත්‍රය කොහොමද ඔබේ ශිෂ්‍යයා කීකරුද, සුවචද? කියලා විමසන්න වූවා. එතනදී සැරියුත් හාමුදුරුවෝ පවසනවා. ස්වාමිනි මගේ ගෝලයා බොහොම කීකරුයි. වැරැද්දක් පෙන්වා දෙනවාට මේ නම බොහෝම කැමතියි. වැරැද්දක් පෙන්නුවාට කිපෙන්නේ නැහැ. අවවාද දෙනවාට බොහොම කැමතියි. එහෙම කිපුණ බවක් මට වැටහුනේම නැහැ කියලා ශිෂ්‍ය හිමියන් ගැන කරුණු දක්වන්න යෙදුණා.මේ රාධ හාමුදුරුවන් අරමුණු කරගෙන එදා දම්සභා මණ්ඩපයේදී භික්ෂූන් වහන්සේලාට ඉහත සඳහන් ගාථාවෙන් ධර්ම දේශනා කර වදාළා. ඒ ගථාවේ සරල තේරුම නම් වරද වරද විදියට දකින තමාට නිග්‍රහ කරලා හරි කියා දෙන නුවණැති යම් කෙනෙක් නිධානයක් පෙන්වා දෙන කෙනෙක් විදියට සලකනවද එවැනි නැණවතෙකු, පණ්ඩිතයෙකු සේවනය කළ යුතුයි. එබන්ඳෙක් සේවනය කරන කෙනෙකුට යහපතක්ම වෙනවා. නපුරක් නරකක් නම් කවදාවත් වෙන්නේ නැහැ. නිධීනංව පවත්තාරං කියන පාඨයෙන් පැහැදිලි වන්නේ නිධානයක් පෙන්වන කෙනෙක් වගේ කියන එකයි. මෙතන නිධානය කියන්නේ කුමක්ද? මිනිස්සු අනාගතයේ ප්‍රයෝජන ගන්න තැන්පත්කරන දෙයට නිධානය කියලා කියනවා. නිධාන හතරක් ගැන දහමෙහි සඳහන් වෙනවා. ‘යම් පස්සේ වප්ජ දස්සිනං’ කියලා එතනින් පෙන්නුවේ. වරද දකින සුළු යමෙක් දකින්නේද, කියන අදහසයි. මේ ලෝකයේ මිනිසුන් අතර වරද දකින අය කොටස් දෙකක් සිටිනවා.

එක කොටසක් තමයි. නිතරම අනුන් ගේ අඩුපාඩු සොයන අය. එහෙම අය අන් අයගේ යම් යම් දුබලතා සමාජයේ අනික් අයට කියමින් උපහාස කරනවා. එබඳු අය එහෙම සතුටු වෙනවා. තව පිරිසක් අනිත් අයගේ යහපත පතා උපදෙස් දෙන අදහසින් අඩුපාඩු සොයා බලා අනිත් අයට නොදන්නා දේ කියා දෙනවා. වැරදිවලින් බේරාගන්නවා. ඒ වගේම යහපත් ගුණ ධර්ම දියුණු කරගන්නට මඟ පෙන්වනවා. ‘වජ්ජදස්සිනං’ ඉතා සුළු වරදක් වුනත් නුවණ තිබෙන තැනැත්තා ඒ වරදින් මිදෙන්න උත්සාහ කරනවා. තමන්ගේ ගුරුවරයෙක් ,මව්පියන්, වැඩිහිටියන්, තමාගේ වරදක් දැකලා අවවාද කරනවානම් ඒ මුදුනින් පිළිගැනීම හොඳ ශිෂ්‍යයෙකු ගේ හොඳ දරුවෙකුගේ ලක්ෂණයක් ‘නිග්ගය්හවාදී’ කියන ගුරුවරයා ශිෂ්‍යයාගේ වෙන බාහිර හැකියා මොනවා තිබුණත් වැරදි දුටු තැන කියා දෙන්න ඕනෑ. දෙමව්පියන් වුනත් දරුවන්ගේ වැරදි දැක දැක ඒ අයට අවවාද නොදී දඬුවම් නොකර සීමාව ඉක්මවා ආදරය පෙන්නලා හිතුවක්කාර විධියට හැදෙන්න දුන්නොත් ඒ වගේ දෙමව්පියන් නිග්ගය්හවාදිං කියන තත්ත්වයට පත්වෙන්නේ නැහැ. නිග්ගය්හවාදී වැඩිහිටියෙක්, ගුරුවරයෙක් දෙමව්පිය කෙනෙක් වන්න උත්සාහ කරමු.


ඔබ සැමට තෙරුවන් සරණයි


වෙළවහන්දිය රඹුකන 
ශ්‍රී පුෂ්පාරාමයේ 
හිඳව සෝභිත හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වප් පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර් 09 වන ඉරිදා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment