Labels

Tuesday, October 25, 2016

බෞද්ධ සමජීවිකථාව

"' ගිහි ජීවිතය අර්ථවත්කරගැනීමට සකසුරුවම හා අරපිරිමැස්ම අවශ්‍ය වේ. ලැබෙන සියල්ල එක් සැනකින් වියපැහැදම් කරමින් කටයුතු කරන පුද්ගලයාට ආර්ථික සමෘද්ධියක් අපේක්ෂා කළ නොහැකිය. ධනය වැය කොට රැස්කරන ඇතැම් භාණ්ඩ මුළු ජීවිත කාලයේම එක් දිනක් හෝ ප්‍රයෝජනයට නොගන්නා අවස්ථා තිබිය හැකිය. මුදල් තිබූ පමණින් භාණ්ඩ ගොඩගසා ගත්තද එහි උපයෝගීතාව වටහා නොගන්නේ නම් අවසානයේදී හිමිවන්නේ බහුභාණ්ඩික කරදරකාරි ජීවිතයකි."
ප්‍රමාණවත් තරම් ආදායමක් නොමැතිව බාහිර වශයෙන් සාටෝප ජීවිතයක් ගතකිරීම අතු නසා දිඹුල් අනුභව කිරීමක් (උදුම්බරඛාදික) ලෙස නම්කරන අතර වියදම් කිරීමට ප්‍රමාණවත් ධනයක් තිබියදීත් තම අවශ්‍යතා වෙනුවෙන් ධනය වැය නොකර සිටීම වනාහි නොකා මරණයට පත්වීමක් (අජද්ධුමාරික) ලෙසත් පිළිගෙන තිබේ. මෙම උපමා දෙකින්ම පෙන්වා දෙන්නේ අන්තවාදි ලෙස ධනය වැය කිරීමේ වැරදි පිළිවෙතයි. ආදායමට සරිලන ආකාරයෙන් වියදම සකස්කරගැනීමෙහිලා බොහෝ දෙනෙකු අසමත්ව තිබේ. මෙනිසා අන්‍යයන්ට ණයවන අවස්ථා සුළභය. අනික් අතට ණය වී හෝ අවශ්‍යතාව ඉටුකරගැනීමෙහිලා පුද්ගලයා පොළඹවන වෙළෙඳ හා සමාජ බලවේග බහුලව දක්නට ලැබේ. උපයන ධනයට සාපේක්ෂව පරිභෝජන අවශ්‍යතා ද ඉහළ යයි.
එහෙත් එම පරිභෝජන අවශ්‍යතා මැනවින් හඳුනා නොගත්විට ආදායම ප්‍රමාණවත් නොවීමෙන් ගැටලු ඇතිවේ. ආර්ථික වශයෙන් ශක්තිමත් නොවී ධනවතුන් සේ වියදම් කිරීමට උනන්දුවීම අනුවණ ක්‍රියාවකි.
ධනය වියදම් කිරීමේදී සකසුරුවම්කම අවශ්‍ය වේ. එය ගිහි පැවිදි දෙපක්ෂයටම නිර්දේශ කර තිබේ. ගිහියන් විසින් ශ්‍රද්ධාවෙන් දෙන දෑ නොනසා පරිභෝජනය කිරීම භික්ෂුවගේද යුතුකම හා වගකීම වේ. එබැවින් සිව්පස පරිහරණයේදී අනුගමනය කෙරෙන ප්‍රත්‍යවේක්ෂාවෙන් ඉදිරිපත් වන්නේ භික්ෂුවගේ පරිභෝජන දර්ශනයයි. අරපිරිමැස්ම මෙන්ම සකසුරුවම්කම පැවිදි ජීවිතයටද අදාළ බව සිවුරු පරිහරණය පිළිබඳ උදේන රජු හා ආනන්ද හිමියන් අතර ඇති වූ සංවාදයෙන් පැහැදිලි වේ. පෙරවීමට ගන්නා සිවුර ක්‍රමයෙන් දිරාපත් වූ විට ඇතිරිල්ලක් ලෙසත් එය පසුවට පාසිස්නාවක් ලෙසත් අවසාන වශයෙන් කුඩා කැබලිවලට කඩා මැටි සමඟ අනා බිත්ති බැඳීමට යොදාගන්නා බවත් ආනන්ද හිමියන් විසින් උදේන රජුට පැහැදිලි කරන ලදී. භික්ෂුවගේ සම්පත් පරිහරණය පිළිබඳ ප්‍රායෝගික ප්‍රතිපදාව පිළිබඳ පැහැදුණු උදේන රජු නැවත චීවර සඳහා සළු පන්සියක් පූජා කර තිබේ. මෙමගින් පෙන්වාදෙන පරමාදර්ශය වන්නේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමේ බෞද්ධ පිළිවෙතයි. මෙම ආදර්ශය වර්තමාන භික්ෂු ජීවිතයටද එකසේ අදාළ වේ. භික්ෂුව පහසුවෙන් පෝෂණය කළ හැක (සුභර) තැනැත්තෙකු බවට පත්වන්නේ මෙම පිළිවෙතෙහි පිහිටා කටයුතු කරන්නේ නම් පමණි.

ගිහි ජීවිතය අර්ථවත්කරගැනීමට සකසුරුවම හා අරපිරිමැස්ම අවශ්‍ය වේ. ලැබෙන සියල්ල එක් සැනකින් වියපැහැදම් කරමින් කටයුතු කරන පුද්ගලයාට ආර්ථික සමෘද්ධියක් අපේක්ෂා කළ නොහැකිය. ධනය වැය කොට රැස්කරන ඇතැම් භාණ්ඩ මුළු ජීවිත කාලයේම එක් දිනක් හෝ ප්‍රයෝජනයට නොගන්නා අවස්ථා තිබිය හැකිය. මුදල් තිබූ පමණින් භාණ්ඩ ගොඩගසා ගත්තද එහි උපයෝගීතාව වටහා නොගන්නේ නම් අවසානයේදී හිමිවන්නේ බහුභාණ්ඩික කරදරකාරි ජීවිතයකි. අරමුණක් නොමැතිව ගොඩගසා ගත් භාණ්ඩ නඩත්තු කිරීමට හා ආරක්ෂා කිරීමට අමතර කාලයක් වෙන්කිරීමට සිදුවීම වෙහෙසකර වූවකි. සරල ජීවිතය අර්බුද අවම කරන අතර සතුට හා සොම්නස ජීවිතයට එක් කරයි. මෙම සත්‍ය වටහාගත් පුද්ගලයාට සකසුරුවම හා අරපිරිමැස්ම පිළිබඳ කරුණු විස්තර කිරීම අවශ්‍ය නොවේ. සකසුරුවම හා අරපිරිමැස්ම යනු ලෝභකම නොවන බව අවධාරණය කළ යුතුයි. එයින් අදහස් වන්නේ සම්පත් නාස්ති නොකොට හැකිතාක් ප්‍රයෝජනවත් පරිදි භාවිතයට ගැනීමයි. අවශ්‍යතාව ඉක්මවා අනවශ්‍ය ලෙස සම්පත් පරිහරණයයෙන් වැළකීමයි.

මිනිසාගේ තෘෂ්ණාවට සීමාවක් නොමැත. එහෙත් ලොව සම්පත් කෙරෙහි පවතින්නේ සීමා සහිත බවකි. ඇතැම් සම්පත් ක්ෂය වෙමින් පවතී. මෙම පසුබිම තුළ මිනිසාගේ අතෘප්තිකර ස්වභාවය තෘප්තිමත් කිරීමට සීමාසහිත සම්පත්වලට හැකියාවක් නොමැත. මිනිසා තුළ පවතින අතෘප්තිකර ස්වභාවය කොතරම් පුළුල් ද යන්න කහවනු වැස්සක් ලැබීමෙන් වුව කාමයෙහි තෘප්තිමත් වීමක් නොමැතිය. (න කහාපන වස්සෙන තිත්ති කාමෙසු විජ්ජති) යන බුද්ධ වචනයෙන් පැහැදිලි වේ. මෙම අතෘප්තිකර ස්වභාවය නිසාම මිනිසා ධනයෙන් මත්ව අනුවණ ලෙස ක්‍රියාකාරීමෙන් මරණයට පත් වෙයි. මෙම සත්‍ය වටහා නොගත් තැනැත්තා මුදුන් පමුණුවා නොගත් අභිලාසයන් ඇතිව ජීවිතය අවසන් කරණ බව රට්ඨපාල සූත්‍රයෙහි (ඌණාව හුත්වාන ජයන්ති දෙහං කාමෙහි ලොකම්හි නහත්ථි තිත්ථි) පැහැදිලිකර තිබේ.

අය වැය සමව පවත්වා ගැනීමේ නොහැකියාව හේතුවෙන් මහාධනවතුන් දිළින්දන් බවට පත්වන අතර දිළින්දන් සදාකාලිකව දිළිදු බවට හිමිකම් කියනු ඇත. ධනය වැය කිරීමේදී ආදායම හා වියදම අතර පවතින පරතරය මැනවින් වටහා ගැනීම අවශ්‍ය වන්නේ ධනය ඉපැයීම අතිශය දුෂ්කර කටයුත්තක් වන හෙයිනි. ඒ සඳහා පුද්ගලයා අනවරත උත්සාහයක නිරතවිය යුතුවේ. එහි පවතින පීඩාකාරි ස්වභාවය ගැන අමුතුවෙන් කරුණු දැක්වීම අවශ්‍ය නොවේ. බුදුසමය පෙන්වා දෙන්නේ ආදායම කොටස් හතරකට බෙදාගෙන ප්‍රයෝජනයට ගත යුතු බවයි. ඒ අනුව එක් කොටසක් පරිභෝජනය සඳහාත් කොටස් දෙකක් ආයෝජනය සඳහාත් එක් කොටසක් තැන්පත් ධනයක් ලෙසත් පවත්වා ගැනීම මෙම උපදේශයට අයත් වේ. මෙය මහාපරිමාණයෙන් මුදල් උපයන ධනවතාට මෙන්ම දෛනික කම්කරුවෙකුට ද එකසේ අදාළ වේ. ආදායම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.ඇතැමෙකුගේ දෛනික ආදායම විශාල මුදලක් විය හැකිය. එහෙත් තවත් කෙනෙකුගේ ආදායම ඉතා සුළු මුදලක් විය හැකිය. ආදායම කෙසේ වුවද එයට සාපේක්ෂව මෙම ක්‍රම හතර අනුව ධනය වැය කිරිම සමජීවිකතාව වේ. ආදායම ඉහළ යන විට වියදම පහළ දැමිය හැකි අතර ආදායම පහළට වන විට වියදමද අවම කළ යුතුවේ. ඉහතින් සඳහන් කළ ව්‍යප්ඝපජ්ජ සූත්‍රයෙන් පෙන්වාදෙන ආදර්ශය එයයි.

නූතන වෙළෙඳ ආර්ථිකය විසින් අධිපරිභෝජනය සඳහා පුද්ගලයා නිරන්තරයෙන්ම මෙහෙය වනු ලැබේ. විවිධ වෙළෙඳ ප්‍රචාරණයන් හා ණය පහසුකම් සැපයීම වැනි අවස්ථා මගින් මෙම උත්තේජනය තවදුරටත් ඇතිකර තිබේ. අවබෝධයෙන් තොරව මෙම උත්තේජනයන් කෙරෙහි ආසක්ත වන තැනැත්තා තම ආදායම හා වියදම අතර පවතින යථා ස්වභාවය නොදැක එහි ගොදුර බවට පත්ව සදාකාලික ණයකාරයන් බවට පත්ව තිබෙන අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. පංචකාම වස්තූන් කෙරෙහි දැඩිලෙස ආසක්ත වන පුද්ගලයා වැද්දෙකුගේ උගුලට අසුවන මුවන් මෙන් ජීවිතය විනාශකරගන්නා බව නිවාප සූත්‍රයෙන් පෙන්වා දෙන ආදර්ශයයි. මෙවැනි බුද්ධ දේශනා නූතන පරිභෝජනවාදී ලෝකයට පැහැදිලි කිරීමේ අවශ්‍යතාව ඉස්මතුවෙමින් පවතී.
බුදුරදුන්ගේ දේශනා තුළින් පෝෂණය වූ බෞද්ධ සංස්කෘතියක් සහිත රටක හා සමාජයක සමජීවිකතාව ක්‍රියාවට නැංවූ අයුරු පැරණ්නන්ගේ ජීවිත සංසිද්ධීන්ගෙන් අනාවරණය වේ. අහසින් වැටෙන එක් දියබිඳුවක් වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතුය යන පරමාදර්ශී සිතුවිලි පැරණි බෞද්ධයා තුළ ඇති වූයේ මේ හේතුව නිසයි. එසේම සකසුරුවම හා අපරපිරිමැස්ම බෞද්ධ ජන ජීවිතයේ පරමාදර්ශය බවට පත් වූ බෞද්ධ පුරුෂාර්ථයන්ය.



කොළඹ විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වප් අව අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර් 22 වන සෙනසුරාදාදින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment