බුදුරදුන් තුළ පැවති නායකත්ව ලක්ෂණ අතර දර්ශනයට මූලිකත්වය ලබාදීම සුවිශේෂී ලක්ෂණයකි. තම වැඩපිළිවෙල හා පිරිස මෙහෙය විය යුත්තේ දර්ශනයට අනුකූලවය.
බුදුරදුන් සැම විටම දර්ශනයම මූලික කොටගත්තේය. එයට කදිම නිදසුන ධර්මය ගුරු තනතුරේ තබා ගැනීමයි. ශ්‍රාවකයන්ටද පැවසුවේ තමාගේ ගුරුවරයා ධර්මය බවත් මාගේ පිරිනිවීමෙන් පසුවද ධර්මය නායකත්වයෙහිලා සලකන ලෙසත්ය. පුද්ගලයෙකු සරණ යාම, බුදුදහම අනුමත නොකළහ. දෙව්දත් හිමියන් භික්ෂූන් පාලනය කිරීමට විමසූවිට බුදුරදුන් එයට එකඟ නොවන්නේ මේ නිසාවෙනි. දර්ශනයට,
ප්‍රතිපත්තියට මූලිකත්වය නොදී පුද්ගලත්වය මතුකිරීමට යාම තුළ සිදුවන්නේ පරිහානියකි. දර්ශනයක් ඇත්තේ නම් පැවැත්මක් ඇත. දර්ශනය පසෙකලා සිතනු දෑ ක්‍රියාවට නැගීමට උත්සාහ කිරීම ගැරහිය යුත්තකි. මෙය වසර 2600 ගතවන මේ මොහොතෙත් සසුන මෙලෙස පවතින්නේ උන්වහන්සේ තුළ පැවැති මෙම ගුණය නිසාවෙනි. දහම පිළිබඳව හෝ විනය පිළිබඳ ගැටළු ඇත්නම් එය ධර්මයට ඔබ්බවා බැලිය යුතු බව දේශනා කළහ. එපමණක් නොව සතර මහෝපදේශ තුළදීද පුද්ගලයන් සරණයාම්, උන්වහන්සේ ප්‍රතික්ෂේප කළහ. පුද්ගල හැකියාව හෝ ආකර්ෂණය මත යමක හරි වැරැද්ද තෝරාගත නොහැකිය. එය මුලික ප්‍රතිපත්තියට දර්ශනයට එකඟද යන්න විමසා බැලීම වැදගත් ය. බුදුදහමට අනුව සෑම විටම ධර්මයම විනයම ගුරුකොට තීරණ කොට යුතු බව අවධානය කෙරේ.
වෙනයම් බාහිර සාධක සැලකිල්ලට ගෙන පමණක් කටයුතු කිරීම උචිත නොවේ. සංඝාධිකරණ ක්‍රියාවලියේදීද මේ තත්ත්වය ඉතා හොඳින් හඳුනාගත හැක. එනම් එහිදී සැලකිල්ලට ගනු ලැබුවේ වරදේ ස්වභාවය හා බුදුදහමට සහ විනයට එකඟද, පටහැනිද? යන්නයි. ඒ නිසා සසුනේ ආයුෂ වර්ධනය වූහ. තෙවන ධර්ම සංගායනාවේදී සාසන භාරධාරි භික්ෂූන් පවා මෙයම ගුරු කොට ගත්හ. එහිදී දුර්මතධාරි භික්ෂූන් නෙරපීමට යොදාගනු ලැබුයේ බුදුදහම “විභජ්ජවාදීද” නැද්ද යනුවෙනි. එසේ විභජ්ජවාදී නොවෙනවා යැයි පැවසු පිරිස 60,000 සසුනෙන් නෙරපීමට කටයුතු කළහ. මේ සෑම අවස්ථාවකදීම පැහැදිළි වන්නේ දර්ශනයම ශ්‍රේෂ්ඨ බවයි. දර්ශනය ප්‍රතිපත්තිය අනුගමනය නොකරන්නේ නම් තරාතිරම නොබලා ඉවත් කිරීමට පසුබට නොවිය යුතුය. එසේ සිදුකරනුයේ ප්‍රතිපත්තිය, දර්ශනය, ආරක්ෂා නොකිරීම සමස්තයටම හානි පිණිසම පවතින නිසාවෙනි.
සසුනෙහි විනය තුළින් සිදුකරනු යේද මේ කාර්යයි. පාරාජිකා යන්නෙන් පෙන්වා දෙන්නේ පරාජය වූ බවයි. එනම් භික්ෂූත්වයෙන් පැරදීමයි. එසේ වූවෙකුට උපසපන් භික්ෂුවක් ලෙස කටයුතු කළ නොහැක. සාසනික වරප්‍රසාද භුක්තිවිඳිය නොහැකිය. ඔහු කරටිය සුන්වූ පොල් ගසක් මෙනි. භික්ෂු සමාජයට අයත් නොවේ. සාමණේරයන් වහන්සේලා වශයෙන් සිටිය හැකිය. ආයතනයක් තුළ ප්‍රතිපත්ති දර්ශන උල්ලංඝනය කරන්නන් විෂයෙහිද මේ තත්වය පොදුය. නායකයන් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුය. බුදුරදුන් එසේ කටයුතු කළ බැවින් සසුනේ සුරක්ෂිතභාවය ඇතිවිය.
අනෙකා සමඟ සුහඳව කටයුතු කිරීම සහජීවනයයි. නායකයෙකු තුළ මෙම ගුණය තිබිය යුතුය. සෑම කණ්ඩායමක් සමඟම මෙන්ම අනෙක් ජනවර්ග පිළිබඳව එසේ ක්‍රියාකළ යුතුය. නායකත්වය පටු සීමාවන් මත සිටිය යුතු නොවේ. බුදුරදුන්ගේ ක්‍රියාකාරිත්වය මෙයට කදිම නිදසුනකි. අන්‍ය ආගමිකයන් සමඟ පවා උන්වහන්සේ ඉතා සුහදව කටයුතු කළහ. ඒ සඳහා බොහෝ උදාහරණ පෙන්වාදිය හැකිය.
ඇතැම් අන්‍යාගමික ආරාමයන්ට බුදුරදුන් වැඩි අවස්ථා ඇත. එසේම ඒ සෑම විටම ඔවුන් බුදුරදුන්ට ගරු සත්කාර සම්මාන කළේ තමන්ගේ නායකයෙකු හා සමානවය. සහජීවනය තුළ සාමය සංහිදියාව නිර්මාණය වේ. ඒ තුළ අනවශ්‍ය ගැටුම් ඇති නොවේ. ලෝකයේ බොහෝ ගැටුම්වලට ප්‍රධාන හේතුව මෙම ගුණාංග නායකයන් තුළින් අතුරුදහන්වීමයි. සාකච්ඡාවෙන් සම්මුතියෙන් ඕනෑම දෙයක් බේරාගත හැකිය. අසිරිමත් බුද්ධ චරිතය එයට කදිම නිදසුනයි.
නායකයන් නිරන්තරව පරාර්ථකාමී විය යුතුය. තමන් පිළිබඳව පමණක් සිතා තීන්දු තීරණ නොගත යුතුය. සෑමවිටම තමා යටතේ පාලනය වන්නන් උදෙසා සේවාවන් සැපයීමට වගබලා ගත යුතුය. මිනිසාට පමණක් නොව සතා සිව්පාවා ගැන සිතා තීරණගත යුතුමය. නායකයා ලෙස දක්වන්නේද පරාර්ථයම උදෙසා පිරිස මෙහෙය වන්නාය. බුදුරදුන් දේශනා කළේ “පරත්ථං පටිපජ්ජථ’ යනුවෙනි. එහිදී පරාර්ථ චර්යාවේ යෙදෙන ලෙස පැහැදිළි කරයි. ඉන් නොනැවතුණු උන්වහන්සේ තමන් වහන්සේද එහිම නිරත වූහ.
ප්‍රචාරය සඳහා භික්ෂූන් යොමුකොට තමන් වහන්සේද එහි නිරත විය. මඝ මානවකයා නායකයෙකු ලෙස ඉතිහාසගත වන්නේද ඔහු තුළ මෙම ගුණය ඉතා උසස් ලෙස පැවති නිසාවෙනි. බුදුරදුන් දවසෙහි වැඩි කොටස කැපකළේ බොහෝ පිරිසකට යහපත උදාකරදීම වෙනුවෙනි. තමන් වහන්සේට සැතපීමට පවා යොදාගත්තේ ඉතා සීමිත කාලයකි. සාංඝික දානය පෞද්ගලික දානයට වඩා උසස් යැයි පැවසුවේද මෙම ගුණය තුළම පිහිටා ගෙනය. නායකයෙකු ශ්‍රේෂ්ඨනම් සියල්ල තමන්ට ලැබෙනවාට එහා ගිය පරාර්ථකාමීත්වයකින් කටයුතු කළ යුතුය. බුදුරදුන් එය එසේම සිදුකොට පෙන්වූහ. පෞද්ගලික ආරාම පිළිගැනීම වෙනුවට සතර දිගින් වඩින භික්ෂූන් උදෙසා පූජා කරන්න යැයි පැවසීමෙන් පරාර්ථකාමීත්වය කෙතරම්ද? යන්න පැහැදිළිය. නායකයා නිරන්තරව මෙසේ සිතිය යුතුය. පොදු දේ තම පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් පාවිච්චි නොකර තමන් සතුදේ පවා ජනසතු කළ යුතුය. එසේ නොකරන්නා නායකයෙකු නොවේ. එසේ හැසිරිය හැක්කේ ශ්‍රේෂ්ඨ නායකයෙකුට පමණි. ලෝකයේ වටිනා කාරණය වන්නේ පොදු දේ තම දියුණුව වෙනුවෙන් යොදාගැනීම නොව තමා සතු දේ පවා අනෙකා වෙනුවෙන් බෙදාදීමය. භෞතික දෑ පිළිබඳව නොව ස්වාභාවික වස්තූන් පිළිබඳව මේ ආකාරයෙන් සිතිය යුතුවේ. බුදුරදුන් මෙන්ම උන්වහන්සේගේ ශ්‍රාවකයන් පවා මේ අයුරින් කටයුතු කළහ. නායකයන් වෙර වැඩිය යුත්තේ මෙසේ හැසිරීම සඳහාය.
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වප් පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර් 09 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment