Labels

Sunday, October 9, 2016

සියල්ල සිදුවන්නේ කර්මය අනුවද?

කර්මය නම් යමක් කිරීමයි. කළ දෙයින් ලැබෙන ඵලය කර්ම විපාකය යි. ලෝකයා කර්මය වශයෙන් සලකන ගොවිකම, වෙළෙඳාම, වෙදකම ආදිය මෙහි කර්ම වශයෙන් නො සැළකේ. බුදුදහම කර්මය යනුවෙන් දක්වන්නේ සත්ත්වයා විසින් රැස් කරනු ලබන පින් හෝ පවය. හොඳ හෝ නරක සිතින් කරනු ලබන ක්‍රියාකාරකම් ය. ඒවාට මුල් වන්නේ චේතනාවන් ය. හැඟීමක් සිතිවිල්ලක් නැතිව කරන හෝ කෙරෙන ක්‍රියාවන්ගේ විපාකයක් නැත. ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූල තුන මුල් වී සිතින්,කයින් හෝ වචනයෙන් සිදුකරනු ලබන හොඳ හෝ නරක ක්‍රියාකාරකම් කර්ම වශයෙන් දැක්වේ. ඒ අනුව කර්මයක් සැකැසීමේදී ලෝභ, ද්වේශ, මෝහය යන සිතිවිලි තුන ප්‍රධාන වන බවත් ඒ චේතනාව ම කර්ම වශයෙන් ද දක්වා ඇත.


පුද්ගලයෙක් නොමැති නම්

කර්ම විපාක විඳින්නේ කවරෙක්ද?


පුද්ගලයෙක් නැතිනම් කර්ම විපාක විඳින්නේ කවරෙක්දැයි සාමාන්‍ය කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවිය හැකිය. පුද්ගලවාදයක් නැති තැන කර්මවාදයක් ද නැත. පරමාර්ථ වශයෙන් ගන්නා ධාතු ආයතන, ස්කන්ධ පව් කරනවා, පින් කරනවා යැයි පැවසීමෙන් තේරුමක් නැත. පුද්ගලවාදයෙන් තොරව කර්ම විපාක පිළිබඳව කරුණු පැහැදිලි කිරීම පහසු නැත. ඒනිසා කර්මවාදය තේරුම් ගැනීමේ දී සම්මුතියේ පිහිටා පුද්ගලයෙකු සිටිනවාය යන හැඟීම් පදනම් කරගෙන කටයුතු කළ යුතුය. බුදුරජාණන් වහන්සේගේ විවිධ දේශනාවලදී පුද්ගලයෙකු පින් පව් කරන බව හැඟෙන ප්‍රකාශ තිබෙන බව දක්නට ඇත.

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා - කයිරාථෙතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ - සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

අයෙක් යම් පිනක් කරන්නේ නම් ඔහු විසින් ඒ පින නැවත නැවත කළ යුතුය. එසේ කිරීමට අවකාශ නැතිනම් අවම වශයෙන් ඒ කෙරෙහි වන ඇල්ම හෝ තබාගත යුතුය. එයට හේතුව පින් රැස් කිරීම සැපයට හේතුව වන නිසාවෙනි.
මේ ආදී විවිධ ප්‍රකාශයන් තුළින් බුදුරජාණන් වහන්සේ තරම් විපාක විග්‍රහ කර ඇත්තේ සම්මුතියෙහි පිහිටා පුද්ගලයෙකු සිටිනවාය යන හැඟීමෙන් බව අපට වටහා ගත හැකිය. සත්ත්වයා කර්මය ස්වකීය කොට ඇත්තේය. කර්මය දායාද කොට ඇත්තේය යන ප්‍රකාශ තුළ ද ඒ අදහස විද්‍යාමාන වේ.


සියල්ල සිදුවන්නේ පෙර කළ කර්මය අනුවද?


සබ්බං පුබ්බේකතහේතුවාදය හෙවත් සියල්ල පෙර කරන ලද කර්මවලට අනුව සිදුවෙනවාය යන අදහස බුදුදහම පිළි නොගනී. සෙම්ප්‍රතිශ්‍යාව, උණක් වැළඳුණත් එය ද පුර්ව කර්මයක විපාකයක් ලෙස සිතන සියල්ල කර්මයටම භාර කරන අයද සිටිති. කෙනෙක් මනුෂ්‍ය ලෝකයෙහි උපදින්නේ පෙර කරන ලද කර්මයක්, විපාකයක් නිසා බව සත්‍යයකි. එහෙත් ඒ තැනැත්තා ඉපදී ජීවත්වීමට නම් සිව්පසය සම්පාදනය කරගත යුතුය. මේ ලොව උපදින කිසිවෙකුට ආහාරපානාදිය නැතිව අතීත කර්මයෙන් ම ජීවිත් විය නොහැකිය. ආහාර පානාදිය සොයා ගැනීමේදී තමන්ගේ වෙහෙසීම, කැපවීම බෙහෙවින් අවශ්‍ය වේ. තමන්ගේ පැවැත්මට අවශ්‍ය සියල්ල අතීත කර්ම විපාක ලෙසින් ලැබෙනතුරු බලා සිටින්නෝ කුසීතයෝ ය. තම ශරීරයට ලෙඩක් රෝගයක් වැළඳුන විටත් එයද කර්මයට භාර කරන අය සිටිති. ගිරිමානන්ද සූත්‍රයට අනුව ලෙඩරෝග විවිධ හේතුන් නිසා වැළැඳේ. පිත්තසමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාත සමුඨානා ආබාධා, උතුපරිණාමජා ආබාධා ආදී වශයෙන් දක්වා ඇත්තේ එයයි. එහි කම්මවිපාකජා ආබාධා යනුවෙන් ද ලෙඩ වර්ගයක් දක්වා ඇත්තේ කලින් සඳහන් කළ කිසිඳු රෝගයකට හසු නොවන රෝග දක්වනු පිණිසයි. එසේ ම බුදුදහම නියාම ධර්ම පහක් දක්වා ඇත. බීජ නියාම, උතු නියාම, චිත්ත නියාම, කම්ම නියාම, ධම්ම නියාම වශයෙන් දක්වා ඇත්තේ එයයි. ඒවායි එහි ද කර්මය එකක් පමණි. සියල්ල නොවේ. නමුත් මෙහි දී අප අවබෝධ කරගත යුත්තක් වන්නේ මේ නියාම ධර්මයන්ගෙන් කර්ම නියාමය අන් නියාම ධර්ම හමුවේ ප්‍රබලව නැඟෙන අවස්ථාව ඇති බවයි.


කර්මය විපාක දෙන හැටි


කර්මයක් කළ විගසම එය විපාක ලැබෙන්නේ නැත. එය පැසී මෝරා විපාකදීමට කාලයක් ගත වේ. කළා වූ පාප කර්මය ගව දෙනගේ තනය ඇල්ලූ විගස කිරි නික්මෙන්නාක් මෙන් එකණෙහි විපාක නොදේ. එම කර්මය ඔහු දවමින් අලුවලින් වැසුණු ගිනි අඟුරක් සේ ඔහු පසුපස්සේ ගමන් කෙරේ. කුඹුරක් වපුරන ලද මිනිසාට එහි අස්වැන්න ක්ෂණිකව ලබාගත නොහැකිය. ඒ සඳහා මාස ගණන් ගත වෙයි. එලෙසින් ම සෑම කර්මයක ම විපාක එසැණෙකින් නොලැබේ. එහෙත් ඇතැම් කර්ම විපාක කළ විගසින් ලැබී ඇති බවද අප අමතක කළ යුතු නොවේ. විංචාමානවිකාව පොළොව පළාගෙන ගියේද එවන් කර්ම විපාකයක් ලෙසින් බව වටහා ගත යුතුය. බොහෝ දෙනා හොඳ කර්මයක් කළ සැනෙකින් එහි විපාක එකෙණෙහි ම බලාපොරොත්තු වෙති. නරක කර්මයක් කළ විට විපාක නො පතති. නොසිතූ වෙලාවක නරක කර්මයක් විපාක දුන් විට තමන් කළ හොඳ කර්ම මතක් කොට අප කොපමණ හොඳ කලත් වැඩක් නැත. අපටමයි කරදර වන්නේ ආදී වශයෙන් සිතා දුකට පත්වන්නේ මේ කර්ම විපාකයෙහි වැටහීමක් නැති නිසාය.
කර්මය පින් සහ පව් වශයෙන් කොටස් දෙකකි. කාය කර්ම, වාග් කර්ම සහ මනෝ කර්ම වශයෙන් කොටස් තුනකි. නැවත කයින් කරන හොඳ කර්ම, වචනයෙන් කරන හොඳ කර්ම, සිතින් කරන හොඳ කර්ම වශයෙන් ද, කයින් කරන නරක කර්ම, වචනයෙන් කරන නරක කර්ම, සිතින් කරන නරක කර්ම වශයෙන් සය ආකාරයකට ද බෙදේ.


දශවිධ අකුසල කර්ම


කයින්, වචනයෙන් සහ සිතින් සිදුකරන නරක කර්ම හෙවත් පව් දශවිධ අකුසල කර්ම වශයෙන් ධර්මයෙහි දක්වා ඇත. එනම් ප්‍රාණඝාතය, හොරකම, කාමමිථ්‍යාචාරය, බොරුකීම, කේලාම්කීම, ඵරුෂවචන කීම, හිස් වචනකීම, විෂම ලෝභය, ව්‍යාපාදය, මිථ්‍යාදෘෂ්ඨිය යි. මෙහිදී ප්‍රාණඝාතය පිළිබඳව මෙසේ ඔබ දැනුවත් කරමු.

ප්‍රාණඝාතය

සත්ත්වයෙකුගේ දිවි තොර කිරීම ප්‍රාණඝාතය නම් වේ. උපන් ලෝකයේ හැටියට සත්ත්වයෙකුට තම ජීවිතින්ද්‍රිය පවත්වන්නට නියමිත කාලය තිබියදී ජීවිතින්ද්‍රිය හෙවත් ජීවිතය පවත්වන්නට ඉඩ නොදී කිසියම් උපක්‍රමයකින් අතරතුර දී ජීවිතින්ද්‍රිය වනසා දැමීම ප්‍රාණඝාතය යි. ප්‍රාණඝාතයක් වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතුය.

1). පණ ඇති සතෙකු වීම,

2). සතාට පණ ඇති බව මරණ කෙනා දැන සිටීම,

3). මරණ චේතනාව,

4). මරනු පිණිස උපක්‍රම භාවිතා කිරීම,

5). එම උපක්‍රමය කරණ කොට ගෙන සතා මරණයට

පත්වීම.

කිසියම් පාප කර්මයක් සිදුවීමේ දී ඒ ක්‍රියාව හා යෙදෙන චේතනාවේ ප්‍රබලභාවය අනුව සැකැසෙන කර්ම විපාකය ද ප්‍රබලත්වයට පැමිණේ. උදාහරණයක් ලෙසින් මරණ චේතනාව ප්‍රබල වෙන තරමට එයින් ලැබෙන කර්ම විපාකය ද දරුණු විපාක සහිත එකක් වන්නේය. මරණ චේතනාව දුර්වල වෙත තරමට එයින් ලැබෙන කර්ම විපාකය ද දුර්වල විපාකය ද දුර්වල විපාක සහිත වූ එකක වන්නේ ය. මෙම චේතනාව ම අභිප්‍රාය වශයෙන් දැක්විය හැකිය.
ඇතැම් කෙනෙක් නිවැරැදි මඟට ගැනීමේ අදහසින් යම් පුද්ගලයෙක් වරදක් කරන විට තදින් දොස් කිව හැකිය. එසේ දොස් කියන විට ඒ තැනැත්තාගේ සිත තුළ ද්වේශය නම් වූ අකුසල මූලය ඇති වේ. ඒ ද්වේශය මුල් කර ගෙන කරනු ලබන වචීකර්ම නිසා ඵරුෂ වචන නම් වූ පාපකර්මය සිදු වූවත් එය ප්‍රබල පවක් නොවන්නේ ඒ බැණීම සිදුකරන තැනැත්තාගේ අභිප්‍රාය වූයේ සැබැවින් ම වරද කළ තැනැත්තාට බැණ ඔහු අපහසුතාවට පත්කිරීම නොව ඔහු වරදින් මුදවා ගැනීමයි. එහිදී ඒ තැනැත්තාට පවක් සිදු වුවත් එය ප්‍රබල පවක් නොවන්නේ දොස් කීමේ චේතනාව අභිප්‍රාය හොඳ වූ බැවිනි.







ශාස්ත්‍රපති - රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි











ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ බිනර අව අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 23 වන සිකුරාදා දින   බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment