Labels

Sunday, October 16, 2016

විඤ්ඤාණදහරාව සුගතියට ගමන් කරන්නේ කෙසේද?

මරණය පිළිබඳව ධර්මානුකූල විග්‍රයක් තුළින් අවබෝධයක් ලබා තිබීම අප සියලු දෙනාටම වැදගත් කාරණාවක් වෙයි. මරණය පිළිබඳව විවිධ අදහස් තිබෙනවා. නියමිත කාලය ඉක්මවමින් හොඳටම වයස් ගතවී මරණයට පත්වුවහොත් අප එය ස්වභාවික මරණයක් ලෙසත් අඩු වයසකින් මරණයට පත්වුව හොත් එය අකල් මරණක් ලෙසත් සාමාන්‍ය ක්‍රමය යටතේ විග්‍රහ කරන්නට උත්සාහ කරනවා.
අකල් මරණය යන අර්ථකතනය දෙන අදහස සහ බුදුසමය ලබාදෙන අදහස සමාන යැයි සිතිය නොහැකියි. පුද්ගලයකු පූර්ණ ආයුකාලය භුක්ති වින්දහොත් එම කාලය ඇතුළත ඔහු හෝ ඇය විසින් සිදු කළ ආවාහ විවාහ කරගැනීම, දූ දරුවන් හදාවඩා ගැනීම ඔවුන්ගේ ආවාහ විවාහ කටයුතු කරදීම ආදී ලෞකික කටයුතු සම්පූර්ණ කළාට පසුව යමෙකු මරණයට පත්වුවහොත් එය සුදුසු වේලාව තුළ නියමිත කාලයට අනුව සිදුවුණ මරණයක් ලෙස පිළිගනු ලබනවා. ධර්මයට අනුව එවැනි කිසිදු ජයග්‍රහණයක් පුද්ගලයකුගේ මරණයට පෙර සුදුසුකමක් ලෙස සැලකිය නොහැකියි.

මිනිසුන් ගෙවල් දොරවල් හදා තිබීම, විවාහ වී තිබීම, දරුමල්ලන් හදාතිබීම, දරුවන්ගේ ආවාහ විවාහ කටයුතු කර තිබීම මෙම කිසිදු කාරණාවක් ඊළඟ භව ගමනට අදාළ වන කාරණාවන් නොවෙයි.එය තමන්ගේ ජීවිතය යම් ආකාරයක පළදායිතාවයකට පත් කරගැනීමක් පමණයිි.අප හදන ගෙවල් දොරවල් සුවපහසු ජීවිතයක් ගතකිරීම සඳහා සැළසුම් කරගන්නාවු උපක්‍රම කිසිවක් මරණයේදී අපගේ ඊළඟ භවය හා සමබන්ධ වන්නේ නැහැ. අප සාර්ථකත්වය ලෙස මනිනු ලබන්නේ විවාහ වීම, දරුවන් හදා වඩා ගැනීම, දරුවන් විවාහ කරදීම, පුද්ගල අන්තර් සම්බන්ධතාවයන් හොඳටම පවත්වා තිබිම තුළ යමෙකු මරණයට පත් වූවිට ස්වභාවික ලෙස පිළිගැනෙනවා. එම සියලුම සම්බන්ධකම් සුසාන භූමියෙන් කෙළවර වෙනවා. ඥාතිමිත්‍රාදීන් සමඟ කෙතරම් විශාල බැඳීම් තිබුණත් ඔවුන් අවසාන වශයෙන් සුසාන භූමිය දක්වා පමණක් පැමිණෙයි.

මරණයට පෙර යම්කිසි පුද්ගලයෙකු ලබාගත යුතු ජයග්‍රහණය ලෙස කෙතරම් දුරට තමන්ගේ මනස දියුණු කරගෙන තිබෙනවාද? මාර පරාජය සඳහා අවශ්‍ය කාරණා තුළ කෙතරම් දුරට කටයුතු කර තිබෙනවාද? ඔහු කෙතරම් දුරට තමන්ගේ ක්ලේශ ධර්ම දුරුකරගෙන තිබෙනවාද ? යන කාරණායි. කළ යහපත සහ අයහපත පමණක් මරණයට පත්වූ පුද්ගලයා සමඟ අනුව ගමන් කරනවා.යම් පුද්ගලයෙකු ජීවිත කාලය තුළ ඉතාම යහපත් ලෙස නිවැරැදි දේ කර තිබෙනවා නම්,ඒවා ඔහු සමඟ පැමිණෙන්නේ ඔහුගේ සෙවනැල්ල වගෙයි. ඔහු යම්කිසි ආකාරයක අකුසල දේවල් කර තිබෙනවා නම්,අනිවාර්යෙන්ම එම අකුසල් ඔහු හෝ ඇය පසුපස ගමන් කරනු ලබන්නේ ගොනු බැඳි කරත්තයේ රෝදය ගමන්කරන ආකාරයටයි. ගැල සමඟම යන රෝදය සේ ඔහු සමඟම කර්ම විපාක එන බවයි.
සංයුක්ත නිකායේ මහානාම සූත්‍රයේ සඳහන් ආකාරයට අනුව මහානාම රජතුමා බුදුහිමියන්ගෙන් වැදගත් ප්‍රශ්න කිහිපයක් විචාරනු ලැබුවා.ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස,මම බොහෝ කාලයක් තුනුරුවන් සරණ ගිය ශ්‍රද්ධාවෙන් සිටින අයෙක්. මම උපරිමයෙන්ම සිල් රකිනවා. මම හැකි සැම විටම දාන මාන පූජා කරනවා. මම බණ දහම් අසනවා. මම සැම අවස්ථාවකම අනිත්‍ය බව සැලකිය යුතු මට්ටමක අවබෝධ කරගෙන සිටිනවා. පුරුදු පුහුණු කරගත යුතු යැයි ඔබ වහන්සේ විසින් දේශනා කළ ශ්‍රද්ධාව,සීලය, ශ්‍රැතය, ත්‍යාගය ප්‍රඥාව,තිබුණත් තුනුරුවන් පිළිබඳව සිත සිත සිටින්නේ නැති අවස්ථාවක ,ධර්ම සාකච්ජා සිදුනොකර සිටින අවස්ථාවක ,කිඹුල්වත් නුවර මැදින් ගමන් කරද්දී ඇතෙකු නිසා මම මරණයට පත්වුව හොත් අශ්වයකු නිසා මම මරණයට පත්වුව හොත් , මිනිසෙකු නිසා මම මරණයට පත්වුවහොත් මගේ ස්වභාවය කුමන ආකාරයෙන් සිදුවෙයිද ? මගේ චුතිය කුමන ආකාරයෙන් සිදුවෙයිද? යනුවෙන් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා.
මෙවැනි ආකාරයෙන් හදිසි අනතුරකදී මරණයට පත් වුවහොත් කුමන ආකාරයේ ආත්මයක් ලැබෙයිද?කුමන ආකාරයේ ස්ථානයක උප්පත්තිය ලබයිද?බුදුරජාණන් විඤ්ඤාණදහරාව සුගතියට ගමන් කරන්නේ වහන්සේ පිළිතුරක් ලබානොදී රජතුමාගෙන් නැවත ප්‍රශ්නයක් විමසා සිටියා රජතුමනි, ඔබතුමාගේ ගෙදර ගස් තිබෙනවාද? ඔවි ස්වාමීනී , මගේ ගෙදර ගස් තිබෙනවා. රජතුමනි එම ගස් කුමන පැත්තකට හැරී තිෙබිද?

ස්වාමීනී , එම ගස් පෙරදිගට හැරී තිබෙනවා.බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්නයක් යොමු කළා. රජතුමනි, එම ගස් එකම පැත්තට කාලයක් තුළ සිටම නැමී තිබෙනවාද?මම දන්නා කාලය තුළ සිට මගේ ගෙදර වත්තේ තිබුණ බොහොමයක් ගස් පෙරදිගට නැමී තිබෙනවා.බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් ප්‍රශ්නයක් යොමුකළා. රජතුමනි, හදිස්සියේ සුළඟක් හමලා එම ගස් වැටුණොත් , මොනයමි හේතුවක් නිසා හෝ නොහිතපු අවස්ථාවක එම ගස් වැටුණොත් , වැටෙන්න හැකි කුමන පැත්තටද?ස්වාමීනී , දිගුකාලයක් නැමිල තිබුණෙත්,දිගුකාලයක් බරවෙලා තිබෙුණත් , දිගුකාලයක් හැරිල තිබුණෙත් පෙරදිගට නිසා එම ගස් කුමන අවස්ථාවක වැටුණත් පෙරදිගට වැටිය හැකියි.යනුවෙන් රජතුමා පිළිතුරු දෙනු ලැබුවා. රජතුමනි, ඔබතුමා දිගු කාලයක් සැදැහැවත්,දිගු කාලයක් සිල්වත්. දිගු කාලයක් ත්‍යාගවන්තයි. දිගු කාලයක් දානමාන පූජාකළ කරමින් බණ දහමි අසනවා. දිගු කාලයක් ප්‍රඥාවන්තයි. දිගු කාලයක් අනිත්‍ය දුක්ඛ පිළිබඳව අවබෝධයෙන් ජීවත් වෙනවා.ඔබතුමා නැමී සිටින පැත්ත ඉතාම හොඳ පැත්තක්. එම නිසා ඔබතුමා වැටෙන්නේ එම නැමිල තිබෙන පැත්තට යි. එතුමා දිගු කාලයක් වඩපු දේ අනුව එතුමාගේ විඤ්ඤාණදහරාව ගමන් කරන්නේ සුගතිය පැත්තටයි.

ඔක්තෝබර් 09 වෙනිදා  ලිපිය

"ධර්මයට අනුව පුද්ගලයකු අල්පායුෂ්කව මරණයට පත් වෙනවා නමි,ඔහු හෝ ඇය විසින් කළාවූ සංසාරික කර්ම ශක්තිය බලපවත්වයි.ඔහුගේ හෝ ඇයගේ භව ගමන නිමා කරනු ලබන්නේ ඔවුන් විසින් කර තිබෙන්නාවූ කර්ම ශක්තියයි. මරණ ධර්මය ඉක්මවිය නොහැකි තැනකට කවදා හෝ පැමිණෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන කාරණයක්. මරණ ධමිමං අනතීතෝති අභින්හං පච්චවෙක්ඛීතබිබං මරණ ධර්මය ඉක්මවා යාමට බැරි බව නිතර නිතර සිතිය යුතුයි
මෙම කාරණා ඔබ පැහැදිළි කරගත යුතුයි. ඊළඟ භවය සැකසෙන්නේ කුමන ආකාරයකට අනුවද ? යන්න අවබෝධ කරගත හැකියි. තම තමන් හැරී සිටින පැත්ත තම තමන් බරවී සිටින පැත්ත,දන්න නිසා කවුරුත් සහතික දීම අවශ්‍ය නැහැ. මම කර තිබෙන්නාවු ක්‍රියාකාරකම් හා නොකළ සිටි ක්‍රියාකාරකම් අනුව ඔබ සිටින පැත්ත අවබෝධ කරගත හැකියි. මරණය කාලිකද? අකාලිකද? යන්න නිර්වචනය කරන ආකාරය එතරමි බුද්ධ්මත් ක්‍රමයක් නොවෙයි.
මරණයකට පසුව එම මරණය කාලික ද? අකාලික ද? යනුවෙන් නිර්වචනය කරන්න යාම එතරමි බුද්ධිමත් ක්‍රමයක් නොවෙයි. විවාහ වෙලා දරුමල්ලන් ලබා ජීවිතය සම්පූර්ණ කරගත්තාය යැයි සිතන අයගේ මරණය සාර්ථක මරණයක් යැයි ප්‍රකාශ කළ නොහැකියි. එය වඩා හොඳ මරණයක් යැයි නිර්වචනය කළ නොහැකියි. විවාහය යනු පරිපූර්ණ සිදුවීමක්ද? විවාහය මිනිසුන්ට තෘප්තියම ගෙනත් දෙන දෙයක්ද? මරණයකදී අප කල්පනා කළ යුත්තේ ආධ්‍යාත්මය වැඩී තිබුණේ කුමන ආකාරයෙන්ද කියන කාරණාවයි. අපගේ ජීවිත තුළ වගකීම් වැඩි වෙන්න පටන් ගැනීමත් සමඟ අප වෙනදා නොකියපු බොරු කියන්න පටන් ගන්නවා. විවාහ වෙලා දරුමල්ලන් ලැබුණ විට එකිනෙකා ගේ යහපත හා පැවැත්ම පිළිබඳව සිතල යමි යමි දේවල් කරන්න සිදුවෙනවා. ඇතමි විට වයස වැඩි විමත් සමඟ හතුරන් වැඩිවෙයි තමන්ගේ ජීවිත කාලය තුළ ලබාගැනීමට නොහැකි වුණ කාරණා පිළිබඳව සිතමින් පසුතැවෙනවා. අනුන්ගේ දේවලට තෘෂ්ණා වන ප්‍රමාණයත් වැඩිවෙයි. අවබෝධ කරගත්ත පුද්ගලයාට එම තත්වය ගැටළුවක් වන්නේ නැහැ. බුද්ධ ධර්මයට අනුව ඔහුගේ හෝ ඇයගේ චෛතසික ධර්මයන් හැසිරුණ ආකාරය අනුව මරණය කාලික මරණයක්ද අකාලික මරණයක්ද යනුවෙන් නිර්වචනය කරගැනීම අපහසුවෙයි.
යමි කිසි මරණයකට පසුව එය අකල් මරණයක් කියමින් අර්ථකතනය කරන කතාව තුළම මිය යන පුද්ගලයාගෙන් කරගැනීමට බලාපොරොත්තු වුණ දේවල් කරගැනීමට නොලැබීම නිසා ඇතිවුණ අර්බුදය පිළිබඳව ප්‍රකාශනය ඇතුළත් වෙලා තිබෙනවා. බොහෝ වයස් ගත වී පාවිච්චි කළ නොහැකි තත්වයට පත්වුණ පුද්ගලයකුගේ මරණයක් වෙනුවෙන් එතරමි වැළපීමක් දක්නට ලැබෙන්නේ නැහැ.නමුත් යමිකිසි අඩු වයස් මටිටමක දරුවන් සිටින අමිමා හෝ තාත්තා යන දෙදෙනාගෙන් කෙනකු මිය ගිය විට පෙරළෙමින් දරුවන් ඇඬුවත් වයස අවුරුදු අසූව අනූව ඉක්වමින් වයෝවෘද්ධ තත්වයට පත් වුණා නමි, එම දරුවන් පෙරළෙමින් අඬන්නේ නැහැ.අපෙ අමිමා අවුරුදු අසූවක්ම ජීවත් වෙලා තමයි මරණයට පත්වුණේ . අවුුරුදු අසූව ඉක්මවලා මරණයක් සිදුවුණා නමි,දැන් එයා යායුතු වෙලාව හරි බව මරණගෙදර පිරිසම මනසට දැනුම් දීලා අවසානයි එම නිසා අඩන්නේ නැහැ. එම මරණයට විරුද්ධත්වයක් ප්‍රකාශ වන්නේ නැහැ. එම මරණය සාධාරණීකරනය කරමින් අනුමත කරයි. එම මරණ කාරයා තව දුරටත් ඔවුන්ගේ කාර්යයන් සඳහා පාවිච්චි කරන්න බැරි බව ඔවුන් අවබෝධ කරගෙන සිටියි. මරණයකදී දක්නට ලැබෙන නිර්දය සත්‍ය එයයි. තරුණ වියේ හෝ මැදි වියේ තැනැත්තකු හෝ තැනැත්තියක මරණයට පත් වූ විට ඔවුන් තවදුරටත් පාවිචිචි කරගැනීමට නොහැකි වීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා.භද්දිය ස්වාමීන් වහන්සේ අපවත් වූ බව ආරංචි වුවහොත් ලබන අවුරුද්ද ඇතුළත බණ බාරගෙන තිබෙන පිරිස පෙරළෙමින් අඬයි. නිර්දය සත්‍ය එයයි.එය පාවිච්චි කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. අවුරුදු අසූවක් අනූවක් ඉක්මවල අපවත් වුණොත් කවුරුත් වැළපෙන එකක් නැහැ.
මරණයකට පසුව ජීවත් වන මිනිසුන්ගේ හැසීරීම් පිළිබඳව දක්නට ලැබෙන ස්වභාවය සහ ඇත්ත ස්වභාවය කෙතරම් වෙනස්ද ? යනුවෙන් අවබෝධ කරගත හැකියි. සාතිශය බහුතර පිරිසක් මරණ ගෙදර පැමිණෙන්නේත් මරණ කාරයා නිසා නොවෙයි.ජීවත්ව සිටින පිරිසට මුහුණ දීම සඳහායි. එය තුළ අසත්‍ය කාරණා හදා ගැනීම යහපත් නැහැ. මරණයට පත්වූණ පුද්ගලයා සමඟ තිබුණ බැඳීමි අවසන් වූණාට ජීවත්ව සිටින පිරිස සමඟ තිබෙන සබඳතාව නිසා නොවලහා ඉදිරිපත් වෙනවා. මරණයකට පසුව ඉතාම සංකිර්ණ ස්වභාවයකින් මනස හැසිරීමට පටන් ගනී.
ධර්මයට අනුව පුද්ගලයකු අල්පායුෂ්කව මරණයට පත් වෙනවා නමි,ඔහු හෝ ඇය විසින් කළාවූ සංසාරික කර්ම ශක්තිය බලපවත්වයි.ඔහුගේ හෝ ඇයගේ භව ගමන නිමා කරනු ලබන්නේ ඔවුන් විසින් කර තිබෙන්නාවූ කර්ම ශක්තියයි.
මරණ ධර්මය ඉක්මවිය නොහැකි තැනකට කවදා හෝ පැමිණෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන කාරණයක්. මරණ ධමිමං අනතීතෝහි අභින්නං පච්චවෙක්ඛීතබිබං මරණ ධර්මය ඉක්මවා යාමට බැරි බව නිතර නිතර සිතිය යුතුයි.





හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි 
ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ බිනර අමාවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ සැප්තැම්බර් 30 වන  සිකුරාදා හා  වප් පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ඔක්තෝබර් 09 වන ඉරිදා   දින   බුදු සරණ පුවත්පත් දෙකෙහි  පළ වූ ලිපියකි

No comments:

Post a Comment