Labels

Sunday, December 11, 2016

ඇවිලෙන ගිනි මැද සුවයක්‌

'රත්තෝ ඛො බ්‍රාහ්මණ, රාගෙන, අභිභූතො පරියාදින්න චිත්තෝ කායේන දුච්චරිතං චරිති. වාචාය දුච්චරිතං චරති. මනසා දුච්චරිතං චරති. සෝ කායේන දුච්චරිතං චරිFවා වාචාය දුච්චරිතං චරිFවා මනසා දුච්චරිතං චරිFවා කායස්‌ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්ප-ජති. තස්‌මායං රාගාග්ගි පහාතබ්බෝ, පරිව-ෙ- තබ්බෝ න සේවිතබ්බො ති''

'බ්‍රාහ්මණය රාගයෙන් රත් වූයේ මැඩුණේ රාගයෙන් හාත්පසින් ගත් සිත් ඇතියේ කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි.
මනසින් දුෂ්චරිත කරයි. හෙතෙම කයින් දුෂ්චරිත කොට වචනයෙන් දුෂ්චරිත කොට මනසින් දුෂ්චරිත කොට කය විසිරීමෙන් මරණින් මතු අපාය, දුග්ගති නම්වූ බොහෝ දුක්‌ ඇති නිරයට පැමිණෙයි. එහෙයින් රාග ගින්න හළ යුතුය. දුරලිය යුතුය. නොසෙවිය යුතුය.

ඉහත සඳහන් කරනු ලැබුවේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ ප්‍රථම පණ්‌ණසකයේ මහායඤ්ඤ සූත්‍ර දේශනාවේ ධර්ම කොට්‌ඨසයකුයි. මෙම උතුම් සූත්‍ර දේශනාව විමසා බලා අපද කෙලෙසුන්ගේ සංසිඳවීම පිණිස අප්‍රමාදය පුරුදු පුහුණු කරමු.

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ෙ-තවනාරාමයේ වැඩ වසන සමයේ එම නුවර උග්ගත සරීර නම් බ්‍රහමණයන්ගේ යාගයක්‌ සූදානම් විණි. එම යාගය සඳහා පන්සීයක්‌ වෘෂභයෝද, පන්සීයක්‌ වස්‌සෝද, පන්සීයක්‌ වැස්‌සියෝද, පන්සීයක්‌ එළුවෝද, පන්සීයක්‌ බැටළුවෝද පමුණුවන ලදහ. භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිනු උග්ගත සරීර බ්‍රාහ්මණයා සිහි කටයුතු සතුටු කතාවේ යෙදී අනතුරුව මෙසේ පැවැසීය.

''භවද් ගෞතමයන් වහන්ස, යාග සඳහා මඟුල් ගිනි දැල්වීමද, යාග කණුව නැංවීමද මහත් ඵල වෙයි. මහ අනුසස්‌ ඇතිවෙය යනුවෙන් මාවිසින් අසන ලදිමි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. බ්‍රාහ්මණයා මා විසින්ද යාගය සඳහා මඟුල් ගිනි දැල්වීමද යාග කණුව නැංවීමද මහත් ඵල ඇතියේය. මහ අනුසස්‌ ඇතියේය යන කරුණ අසන ලදැයි වදාළහ. දෙවනුද, තෙවනුවද, උග්ගත සරීර බ්‍රාහ්මණයා විසින් පෙර පරිදිම සඳහන් කළ විට භාග්‍යවතුන් වහන්සේද එසේම වදාළහ. බ්‍රාහ්මණයා ඉන් අනතුරුව සඳහන් කළේ, අප දෙදෙනාම අසන ලද්ද හැම අයුරින්ම සම වන බවය.

මෙය අසා වැඩ සිටි ආනන්ද තෙරුණුවන් වහන්සේ උග්ගතසරීර බ්‍රාහ්මණයාට මෙසේ පැවැසීය. භාග්‍යවතුන් වහන්සේගෙන් ඔබ මෙසේ ඇසිය යුතුවෙයි. ''භාග්‍යවතුන් වහන්ස, මම යාග ගින්න දල්වනු කැමැත්තෙමි. යාග කණුව ඔසවනු කැමැත්තෙමි. මට යමක්‌ දීර්ඝ රාත්‍රියෙහි හිත සුව පිණිස වන්නේ නම් එපරිදි මට අවවාද කරන සේක්‌වා, භවත් ගෞතමයාණන් වහන්සේ මට අනුශාසනා කරන සේක්‌වා යනුවෙනි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ උග්ගතසරීර බ්‍රාහ්මණයාට දහම් කතාවෙහි අනුශාසනා වදාළහ. බ්‍රාහ්මණයා යාග සඳහා ගිනි දල්වනුයේ කණුව ඔසවනුයේ යාගයට පළමුවම අකුසල්වූ දුක්‌ උපදවන්නා වූ දුක්‌ විපාක ඇති අවි තුනක්‌ ඔසවන්නේය. ඒ අවි තුන මොනවාද? කාය අවිය, වචී අවිය හා මනෝ අවිය යනුවෙනි. බ්‍රාහ්මණය පළමුව යාගය පිණිස මෙතෙක්‌ වෂභයෝ නසන ලබත්වා, මෙතෙක්‌ වස්‌සෝ නසනු ලබත්වා, මෙතෙක්‌ වැස්‌සියෝ නසනු ලබත්වා, මෙතෙක්‌ එළුවෝ නසනු ලබත්වා, මෙතෙක්‌ බැටළුවෝ නසනු ලබත්වා යනුවෙන් සිත් උපදවන්නේය. හෙතෙම පින් කරමියි නොපින් කරයි. කුසල්කරමියි අකුසල් කරයි. සුගති මාර්ගය සොයමියි දුගති මාර්ගය සොයයි. බ්‍රාහ්මණය, යාගයට ගින් දල්වන්නට පෙරම යාග කණුව ඔසවන්නට පෙරම අකුසල වූ දුක්‌ උපදවන දුක්‌ඛ විපාක ඇති ප්‍රථම මනෝ අවිය ඔසවන්නේය.

තවද බ්‍රාහ්මණය යාගයට ගිනි දල්වන්නට පෙරම යාගයට කණුව ඔසවන්නට පෙරම මෙබඳු බස්‌ කියන්නේය. යාගයට මෙතෙක්‌ වෘෂභයෝ නසනු ලබත්වා, මෙතෙක්‌ වස්‌සෝ නසනු ලබත්වා, මෙතෙක්‌ වැස්‌සියෝ නසනු ලබත්වා, මෙතෙක්‌ එළුවෝ නසනු ලබත්වා, මෙතෙක්‌ බැටළුවෝ නසනු ලබත්වා යනුවෙනි. හෙතෙම පින්කරමියි නොපින් කරයි. කුසල් කරමියි අකුසල් කරයි. සුගති මග සොයමියි දුගති මගම සොයයි. බ්‍රාහ්මණය යාගය සඳහා ගිනි දල්වන්නට පෙරම යාග කණුව ඔසවන්නට පෙරම අකුසල් වූ දුක්‌ උපදවන දුක්‌ විපාක ඇති මේ දෙවන වාග් අවිය ඔසවන්නේය.

තවද බ්‍රාහ්මණයා යාග පිණිස ගිනි දල්වනුයේ යාග කණුව නගනුයේ යාගයට පෙරම හෙතෙම පළමුකොට යාග පිණිස වෘෂභයන් නසන්නට ආරම්භ කරයි. හෙතෙම පළමු කොට යාග පිණිස වස්‌සන් නසන්නට ආරම්භ කරයි. හෙතෙම පළමුකොට වැස්‌සියන් නසන්නට ආරම්භ කරයි. හෙතෙම පළමුකොට එළුවන් නසන්නට ආරම්භ කරයි. හෙතෙම පළමුකොට බැටළුවන් නසන්නට ආරම්භ කරයි. හෙතෙම පින් කරමියි නොපින් කරයි. කුසල් කරමියි අකුසල් කරයි. සුගති මාර්ගය සොයමියි දුගති මාර්ගයම සොයයි. බමුණ යාගයට ගිනි දල්වන්නට, කණු ඔසවන්නට පෙරම අකුසල වූ දුක උපදවන දුක්‌ඛ විපාක ඇති මේ තෙවැනි කාය අවිය ඔසවයි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. බමුණ, මේ තුන ගිනි හළ යුතුය. ඒ කවරක්‌ද? රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්නයි. බ්‍රාහ්මණය රාගයත්, රත්වූයේ මැඩුණේ හාත්පසින් වෙලාගන්නා ලද සිත් ඇත්තේ කයින් දුෂ්චරිත කරයි. වචනයෙන් දුෂ්චරිත කරයි. මනසින් දුෂ්චරිත කරයි. හෙතෙම කයින් , වචනයෙන් මනසින් දුෂ්චරිත කොට කය විසිර මරණින් මතු අපාය, දුගතිගාමී නම් බොහෝ දුක්‌ ඇති නිරයට පැමිණෙයි. එහෙයින් මේ රාග ගින්න, හළ යුතුය. දුරලිය යුතුය. නොසෙවිය යුතුය. මේ ලෙසින් ද්වේෂ ගින්නද මෝහ ගින්නද හළ යුතුය. දුරලිය යුතුය. නෙසෙවිය යුතුය.

එසේ එම ගිනි බැහැර කරන අතර, මෙම ගිනි තුන සත්කාර කොට ගුරුකොට, බහුමන්කොට පුස්‌කොට මැනවින් සුවසේ පරිහරණය කටයුතුය. ඒ කවරෙක්‌ද?

ආහුෙණ්‍යයග්ගි, ගහපතග්ගි, දක්‌ෙණ්‍යයග්ගි යනුවෙනි. බ්‍රාහ්මණය ආහුෙණ්‍යයග්ගි නම් කුමක්‌ද? මේ ලෝකයේ යමෙක්‌ මව හෝ පියා හෝ එවැනි කෙනෙක්‌ වෙත් නම් ඒ ආහුෙණ්‍යය අග්ගි යයි කියනු ලැබේ. ඒ කුමක්‌ නිසාද? 'මේ පුද්ගල තෙම දෙමාපියන්ගෙන් ආයේය. උපන්නේය. ඒ නිසා මේ ආහුෙණ්‍යයග්ගි සත්කාර කොට බුහුමන් කොට පූජාකොට මැනවින් සුවසේ පරිහරණය කළ යුතුය.

ගහපති අග්නිය කවරේද? මේ ලෝකයේ යම් පුද්ගලයකුගේ පුත්‍ර යයි හෝ අඹුව යයි හෝ දාසි යයි හෝ මෙහෙකරු යයි හෝ කම්කරු යි හෝ එබඳු යම් කෙනෙක්‌ වෙත් නම් මේ ගහපති අග්නි යෑයි කියනු ලැබේ. එහෙයින් මේ ගහපති අග්නිය සත්කාරකොට ගුරුකොට බුහුමන්කොට, පුදා මැනවින් සුවයෙන් පරිහරණය කටයුත්තේය.

දක්‌ෙන්‍යයග්ගි (දක්‌ෂිණාර්හ අග්ගි) කවරේද? මේ ලෝකයෙහි මදයෙන් හා ප්‍රමාදයෙන් වෙන්වී වෙසීමෙහි කුසලයෙහි කීකරු බවෙහි යුක්‌තව යම් කෙනෙක්‌ තම එකම සිත දමනය කරන්නේද, එකම සිත කෙලෙසුන්ගෙන් සමනය කරන්නේද එකම සිත පිරිනිවීමට පත් කරන්නේද, එයම දක්‌ෂිණාර්හ අග්නි යෑයි කියනු ලැබේ. එහෙයින් මේ දක්‍ෂිණරාර්හි අග්නිය සත්කාර කොට ගරුකොට බුහුමන් කොට, පුදා මනු සුඛයෙන් පරිහරණය කොටයුත්තේය. මේ සඳහන් කළ දක්‍ෂිණාර්හ අග්ගිය ආධ්‍යාත්මික වූ උත්තරීතර සුවය වන අතර දුකින් පිරුණු ඝෝර වූ සසරින් අත්මිදී විමුක්‌තිය පිණිස උපකාර වන මාර්ගයයි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරති. බ්‍රාහ්මණය මේ කට්‌ඨග්ගි හෙවත් දඬු ගින්න කලින් කල දැල්විය යුතුය. මධ්‍යස්‌ථ කටයුතුය. නිවිය යුතුය. හැර දැමිය යුතුය. දඬු ගිනි (දැව ගිනි) අවශ්‍ය විටෙක දැල්විය හැකිය. නිවිය හැකිය. එහෙත් ඉහත සඳහන් කළ ගිනි අතර රාගය, ද්වේෂ, මෝහ ගිනි මුළුමනින්ම නිවිය යුතුය. ආහුෙණ්‍යය, දක්‌ෙණ්‍යය ගහපති නම් වූ අග්නි සත්කාරකොට ගරු කොට බුහුමන් කොට පුදා මැනවින් සුවසේ පරිහරණය කටයුතුය. උග්තගසරීර බ්‍රාහ්මණය, පැහැද අද පටන් දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයකු ලෙස පිළිගනු ලබන සේක්‌වායි අයදියි. එපමණක්‌ නොවේ ඔහු මෙසේ කියයි. මම ඒ පන්සීයක්‌ වෘෂභයන්ද මුදමි. ජීවිතය දෙමි. පන්සීයක්‌ වස්‌සන් මුදමි ජීවිතය දෙමි. පන්සීයක්‌ වැස්‌සියන් මුදමි. ජීවිතය දෙමි. පන්සීයක්‌ එළුවන් මුදමි. ජීවිතය දෙමි. පන්සීයක්‌ බැටළුවන් මුදමි. ජීවිතය දෙමි. ඔවුහු නිල් තණ ද කත්වා. සිසිල් පැන් ද බොත්වා. ඔවුන්ට සිසිල් වාතයද හමත්වා යනුවෙනි. මහාකාරුණික වූ බුදුරදුන්ගේ බුදුගුණ අනන්තයි. ඒ උතුම් දහම ආශ්චර්යයි.


ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි


2016 නොවැම්බර් මස 14 වැනිදා සඳුදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment