පන්සිල් රකින්නන්ට අනුසස් ලැබෙන බව නියතයි. එහි කුඩා, අනුකුඩා අනුසස් සීමාවක් නැහැ. පන්සිල් නොරකින්නෝ පෝයට අටසිල් නොගන්නා දුෂ්ශීලයෝය. ඔවුන් දුකට පත්වනවා නියතයි.
මෙසේ අපායගාමී වූවෝ අඬනවා, දොඩනවා, කෑගහනවා, වැළපෙනවා. අනේ! මින් මතු පන්සිල් රකිනවා. පෝයට අටසිල් ගන්නවා’යි පවසනවා. නමුත් අපායේදී අඬලා දොඩලා ඵලක් නැහැ. අප අඬන්න, කෑගහන්න අවශ්‍යය මනුලොවෙහිදියි. ජීවිතය සාපරාධී ලෙස ගෙවා නොදැමීමට ශීල සංවරය වටිනවා, එය ලොවේ සැමටම නැහැ. ශීලය රකින්මෝ සිහි නුවණ ඇත්තන් පමණයි. ඔවුන් පෝයට අටසිල් සමාදන් වෙනවා. ඇතැම් අය පැවිදි වෙනවා, සමහරු පැවිදි උපසම්පදාව ලබනවා.
එය සිඳුවන්නේ තම තමන්ගේ පිනේ ස්වභාවය අනුවයි. ශීලය ගැන හොඳින් දැනුවත්ව ශීල සංවරය ගැන කථා කළ යුතුයි.
ඊළඟට සමාධියයි. එයත් විශාල දියුණුවක්. ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය, පංචම ධ්‍යානය නමින් ධ්‍යාන පහකි. ධ්‍යාන ලැබෙන්නේ භාවනා කරන්නන්ටයි. චිත්ත සමාධිය ලබාගෙන නීවරණයන් සන්සිඳුවා ධ්‍යාන ලබා ගන්න පුළුවන්. ධ්‍යාන පහේ ඵලය රූපාවචර බඹතලවල උපත ලැබීමයි. එහි ධ්‍යානවන්තයන් වාසය කිරීම විශාල දියුණුවක්. කාමච්ඡන්දය (තණ්හාව), ව්‍යාපාදය(තරහව), ථීනමිද්ධ (කම්මැළිකම) ,උද්දච්ච කුක්කුච්ච(සිතේ විසිරීම), විචිකිච්ඡාව (සැකය) ආදී පංචකයන් තමන් සිතෙන් බැහැර කළ යුතුයි. එය සිතේ සමාධි අවස්ථාවට, ධ්‍යාන අවස්ථාවට, එළඹ වාසය කිරීමට පුළුවන්.
එය සමාධි කථායි. එසේනම් සමාධිය (සිතේ දියුණුව) අවශ්‍යයයි. සිතේ සංවරය සකසා ගැනීමට එක අරමුණක් නිබඳව මෙනෙහි කළ යුතුයි. බුදු ගුණ භාවනාවෙන්, මෛත්‍රී භාවනාවෙන්, මරණ සති භාවනාවෙන්, ආනාපාන සති භාවනාවෙන් සිතේ සංවරය ඇති කරන්න පුළුවන්. ඒ තැන්පත් සිතට මේ ධ්‍යාන උපදවා ගත හැකියි. අභිඤ්ඤා උපදවා ගන්න පුළුවන්. සමාධිය තහවුරු කිරීම ඉදිරි දියුණුවට මහඟු රුකුලක්.
කෙනෙකුගේ සිතේ වැටීමට ගත වෙන්නේ මද වේලාවයි. රාග, ද්වේශ, මෝහයන්ගෙන් සිත කඩා වැටෙනවා. මේවා ගැන හොඳ දැනුමක් ඇතිකරගෙන සිත නිරෝගීව තබාගන්න. සිතේ දියුණුවට උත්සාහවත් වීම අවශ්‍යයයි.
ලොවුතුරු තථාගත දහමේ ස්වභාවය දියුණුව පිණිස කටයුතු කිරීමයි. එම නිසා කවුරුත් සමාධිය දියුණු කරන්න උත්සාහ කළ යුතුයි.
ඊළඟට ප්‍රඥා කථායි. නුවණ ගැන කථා කිරීම වැදගත්. බුදු, පසේ බුදු, මහරහත් උතුමන්ට හොඳ නුවණක් තිබුණා. එය පිනෙන් ලද දියුණුවක්. ධර්ම දේශනාවෙන්, ශ්‍රවණයෙන්, සාකච්ඡාවෙන්, බණ භාවනාවෙන්, පත පොත බෙදා දීමෙන් දාන ශීලාදී පින්කම් කිරීමේ විපාකයන් ලෙස ඥානවන්ත බව ලැබුණා. අද වුණත් කෙනෙකුට පැහැදිලි නුවණක් ලැබුණා නම් ඒ ඥාන ශක්තිවල විපාකයි. එය කුසල කර්ම විපාකයන්ගෙන් ලැබුණු නුවණක් නම් අපට මෙලොව පරලොව යහපත සලසාගෙන සුගතියක වාසය කරන්න පුළුවන්. ඒ අනුව සුගතියට ඇත්තේ කුමන ස්ථානයක්දැ’යි අපට පැහැදිලියි. ලොවුතුරු තථාගත දහමට අනුව නුවණ ගැනම කථා කරන්න. එය දියුණු කිරීමට වෙහෙස වන්නන්ට උදාවෙන්නේ යහපතයි.
අපි දැන් නිවන ගැන කථා කරමු. එය විමුක්ති කථායි. නිවන් සම්පත් යන වදන අහන්න ලැබෙන්නෙත් කෙනෙක් නිවනින් සැනසෙන්නෙත්, බුදු සසුනේදී පමණයි. වෙනත් කාලවල නිවන ගැන අසන්න, දකින්න බැහැ. නිවන් සැප ලැබේවා’යි පතන්න බැහැ. එසේනම් නව ලොවුතුරා ධර්මය ලැබෙන්නේ බුද්ධ ශාසනයේ පමණයි. මේ ගැන නිබඳව සිතමින් කථා බහ කළ යුතුයි. කෙලෙස් නැතිවීමෙන් ලැබෙන උතුම් අවස්ථාව නිර්වාණාවබෝධයයි. එය දියුණුවේ උත්තරීතර අවස්ථාවයි. ධ්‍යාන අභිඥාවලින් පමණක් සිත දියුණු වුණොත් ඒවා නැවත පිරිහෙනවා. ලෝභ, ද්වේශ, අරමුණු නිසා පෘතජ්ජන අප පිරිහෙනවා. නමුත් මාර්ගඵල අවස්ථාව පිරිහෙන්නේ නැහැ. එය ස්ථීරයි. මෙය කෙතරම් වටිනා අවස්ථාවක්ද? සෝවාන් , මාර්ග ඥානය ලැබුවොත් සසරේ උපත ලබන ආත්ම ගණන හතයි. ඊට පෙරත් නිවන් දකින්න පුළුවන්. සකෘදාගාමී වූවෝ මනුලොව උපත ලබන්නේ එකවරයි. මේ උතුමෝ නැවත මනුලොව උපත ලබන්නේ නැහැ. දෙව්ලොව , බඹලොවදීම රහත් ඵල ලබනවා. අනාගාමී වුණොත් මනුලොව උපත ලබන්නේ නැහැ. ශුද්ධාවාසීව උපත ලැබුවොත් එහිදී රහත් ඵල ලබනවා. රහතන් වහන්සේට නැවත උපතක් නැහැ. මෙයයි බුදු දහමේ සැලැස්ම. පින් දහමින් සිත දියුණු වෙනවා. සිතේ දියුණුවට මාර්ගඵල අවස්ථා සමීප වෙනවා. ඒ නිසා මාර්ගඵල උපරිමව දියුණු කර තම සිතේ ශක්තිය, බලය දියුණුවෙන් යහපත සකසාගෙන නව ලොවුතුරු ධර්මය අවබෝධ කරගෙන තමන්ට විශාල දියුණුවක් ලබාගන්න පුළුවන්.
බුදු දහමට අනුව කටයුතු කළ කිසිවකුට වැරදුණේ නැහැ. පස් පවින් වැළකුණා, පින්දහම් කළා. ඒ නිසා ඉහළටම තම දියුණුව සකසා ගත්තෝ බහුලයි. ජෝතිය, ජඨිල, මෙණ්ඩක, ධනංජය මහා අමිතභෝගී සම්පත් ඇත්තන් ලොවේ වාසය කළා. අදටත් ලෝකයේ කෝටි ප්‍රකෝට්පතියන් සිටිනවා. මෙසේ සැවොම ලොකු දියුණුවක් ලැබුවේ සසර ගමනේදී අන්‍යයන්ට පිහිට වූ නිසයි. පන්සිල් ආරක්ෂා කර , පස්පවින් වැළකී අසරණයකුට අත දුන්නොත් එහි විපාකයෙන් ඉහත අනුසස් ලැබෙනවා. මේ ගැන සිතා, කල්පනා කර පින වැඩි කරගැනීම වටිනවා. ඒ සියලු කටයුතු මහෝපකාරී වන්නේ තමන්ගේ දියුණුව තමන්ම සකසා ගැනීමටයි. තම පිරිහීම අවබෝධයෙන් නවතාගෙන දියුණුවකරා පිවිසෙන්න වෙහෙස ගන්න. ඡන්ද, චිත්ත, විරිය, විමංසා සතර ඍද්ධිපාදයෝය. මේවා දියුණුවෙන් ආපස්සට යන්නේ නැහැ. ඉදිරියටම යනවා. එබැවින් සතර ඍද්ධිපාදයෝ යම් සිතකට ලැබුණානම් කවරදාකවත් අඩුම ආයුෂයෙන් මරණයට පත් වෙන්නේ නැහැ’යි ධර්මයේ සඳහන් වෙනවා.
බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක ආනන්ද හාමුදුරුවන්ට මෙසේ වදාළා. ආනන්දය, තථාගතයන් වහන්සේ සතර ඍද්ධිපාදයෝ බොහෝ කලක් දියුණු කළා. ඒ නිසා කල්පයක් වුවද වැඩ සිටීමට පුළුවන් බව සිහිපත් කළා. එසේනම්, කල්පයක් යනු දිගු ආයු කාලයක්. තථාගත දහමට අනුව කටයුතු කර තම තමන්ගේ ජීවිතයට ශාන්තියක් යහපතක් සකසා ගැනීමට මහන්සි වුණොත් බොහොම අගෙයි. එය බුදු දහමට අනුව අපට ලැබෙන සුවිශේෂී දියුණුවක්.
මෙය සාමාන්‍ය නොවන උත්තරීතර දියුණුවක්. අප ශීල, සමාධි, ප්‍රඥාවෝ දියුණු තියුණු කරගෙන මෙලොව පරලොව යහපත සලසාගැනීමට දියුණුව උදෙසා සැවොම උත්සාහ ගත යුතුයි.
ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන දියුණුවට පත් කර ගත යුතුයි. එබැවින් කොයි කවුරුත් බුදු සසුන පිහිට කරගෙන බලවත් උත්සාහයෙන් වැඩකටයුතු කිරීම වැදගත්. තමන්ගේ දියුණුව තමන්ම සකස් කර ගත යුතුයි. එය අනුන්ට නෙවෙයි, තමන්ටමයි. මේ මඟින් තමන්ගේ ශක්තිය, බලය, යහපත, දියුණුව සකස් කරන්නට පුළුවන්. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේ සීලයෙන්, සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් දියුණුවී ලෝකවාසී සත්ත්වයාට අවවාද අනුශාසනා අනු දැන වදාළා. මේවා පිළිගෙන සැවොම තම යහපත සලසා ගන්න. ඉදිරියේදී තමන් සැනසෙන නිර්වාණාවබෝධය උදෙසා කටයුතු කරන්න. නිවන් සැප ලැබේවා’යි පතනා පින්වතුන් සැමට නිවනින් සැනසුම ලබන්න පුළුවන්.
එසේනම් , සැමගේම දියුණුව, ශක්තිය, බලයෙන් දාන, ශීල, භාවනා පින්දහම් දියුණු කරගන්න. බෝධි පාක්ෂික ධර්ම දියුණු තියුණු කරගෙන තම සිතේ ශක්තියේ දියුණුවෙන් මෙලොව යහපත සලසා ගන්න.
එසේම අපට නිවන් සම්පත් ලබා ගැනීමට උපයෝගී වන බොජ්ඣංග ධර්ම හත බෝධි අංගයි. සති බොජ්ඣංග, ධම්ම විජය බොජ්ඣංග ,විරිය බොජ්ඣංග, ප්‍රීති බොජ්ඣංග , පස්සධි බොජ්ඣංග, සමාධි බොජ්ඣංග උපේක්ඛා බොජ්ඣංග ආදියෙන් බොජ්ඣංග ධර්මයෝ සතකි. මේ මඟින් සිත දියුණු කර තමන්ගේ යහපත හොඳින් සලසාගෙන තමන්ගේ දියුණුව, ආරක්ෂාව, සකසාගන්න. එමෙන්ම කරදර බාධක. කම්කටොලු දුරුකර යහපත උදාකරගැනීමේදී පිරිහීමෙන් වැළකී දියුණුව පිණිස කටයුතු කළොත් කාටවත් වරදින්නේ නැහැ. ෙමි නිසා බොජ්ඣංග ධර්ම දියුණුකර ගැනීමට මේ බුද්ධ ශාසනය සැමටම මහඟු අවස්ථාවක්. බුද්ධ ශාසනයේ තිබෙන කරුණු හොඳින් වටහාගෙන සත්තිස් බෝධි පාක්ෂික ධර්ම දියුණුවෙන් දස පාරමිතාවන් දියුණුවෙන් මෙලොව මනුෂ්‍යය ජීවිතයත්, පරලොව සුගතියත් හොඳින් සකසාගන්න. නිවන් දකින තුරා කරදරයක්, පීඩාවක්, දුක් ,දොම්නසින් තොරව කටයුතු කිරීමෙන් සුවසේ පාරමී ධර්ම දියුණු කර ඉතා ඉක්මන් භවයකදීම නිවන් පසක් කරගන්නට ලැබේවා’යි උතුම් පැතුමකින් කටයුතු කළොත් කිසිම කෙනෙකුට වරදින්නේ නැහැ. එසේනම් තම දියුණුව, යහපත, ආරක්ෂාව තම තමාම සකස්කර ගැනීමට ඔබ සැමටම අධිෂ්ඨාන ශක්තිය ලැබේවා!
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් 21 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment