Labels

Monday, December 26, 2016

පරිසරය වැනසූ ඔවුහු විනාශයට පත් වූහ

මිතුරනි, අප භාරගත් ඇණවුම් සියල්ල නිසි කලට ඉටු කර දීමට නොහැකි විය. ගනුදෙනුකරුවන් අප වටලා ඇත. අපි ඔවුන් රැවටුවෙමු. මෙලෙස සිටියහොත් නුදුරෙහිදීම ඔවුන්ගෙන් මැරුම් කෑමට සිදුවනු ඇත. එබැවින් අපි මෙම රටින් පිටව වෙනත් රටක ගොස්‌ වාසය කරමු. 

එසේය නායකතුමනි, වහ වහාම අපි මෙම රටෙන් පලා යමු. කණ්‌ඩායම් දෙකට අයත් වඩු කාර්මික ශිල්පියෝ එක හඬින් එම අදහස අනුමත කළහ. ඒ අනුව ඔවුන් තමන් දන්නා වඩු කාර්මික ශිල්පය උපයෝගි කරගෙන නාවික යාත්‍රා සකස්‌ කර ගත්හ. දිනක්‌ රාත්‍රී භාගයේ තම තමන් සතු සියලු වස්‌තුව පොදි බැඳගෙන මහ රැයේම දියඹට වන්හ. ඔවුන් තමන්ට පදිංචියට සුදුසු ගොඩ බිමක්‌ සොයමින් යාත්‍රා පදවන්නට වූහ.
ඈත දූපතක්‌ නෙත ගැටුණි. කවුරුත් සැනසුම් සුසුම් හෙලූහ. එතෙක්‌ පැවති මළානික මුහුණු ප්‍රබෝධමත් විය. කාගේත් මුහුණුවල සිනාව මතු වුණි.

ලස්‌සන දූපතක්‌. මලින් පලින් බර වූ ගස්‌ වැල්. කුරුලු කොබෙයියන්ගේ ගීත නාද. දිය ඇලි වලින් නැගෙන සිලි සිලිය. ඉදුනු පලතුරු වලින් නැගෙන ඉමිහිරි සුවඳ. නිදැල්ලේ හැසිරෙන ගෝනුන් මුවන් වැනි සිව්පා සතුන්. ක්‍රමයෙන් දූපතට ළඟා වූ ඔවුහු බඩු පොදි කර තබාගෙන සුන්දර දිවයිනට ගොඩ බැස්‌සෝ ය.

හා... හා... ඉක්‌මන් නොවනු... දැන්ම ඈතට යන්න එපා. අපට මේ දූපත හුරු පුරුදු නැහැ... බියකරු අනතුරු සිදුවිය හැකියි. අපේ අණ ලැබෙන තෙක්‌ සියල්ලන්ම මෙතැන ගිමන් හරිමින් ඉන්න. කණ්‌ඩායම් දෙකෙහි නායකයෝ එක හඬින් පැවසූහ. නායකයන් දෙපල තම කණ්‌ඩායම්වල සිටින හැඩි දැඩි , ශක්‌තිමත් තරුණ පිරිසක්‌ තෝරා ගත්හ. ඔවුන් අතට සුදුසු ආයුධ දී,

''ඔබ සියලු දෙනා මේ දූපත ඇතුළට යන්න. හොඳින් ගවේෂණය කරන්න. වෙනත් මනුෂ්‍ය කොටසක්‌ මෙහි වාසය කරනවාද. අමනුෂ්‍යයන් සිටිනවාද? බියකරු සතුන් සිටීද? කොටින්ම අපට මෙහි ජීවත් වීමට සුදුසු පරිසරයක්‌ තිබේද? යන කරුණු සොයා බලා ගෙන වහාම පැමිණෙන්න ' 

''එසේය නායකවරුනි.......අපි ඉක්‌මනිsන්ම ඔබේ නියෝගය ඉටු කරන්නෙමු.''

මෙසේ පැවසූ ඔවුන් දූපත ගවේෂණය කිරීමට පිටත් වූහ. දූපත තුළට පිවිසි ඔවුන් දුටු දසුනෙන් විමතියට පත් වූහ. වනාන්තරය විවිධ පළතුරු ගස්‌වලින් පිරී ඇත. ස්‌වයංජාත ඇල්වී කරලින් බරව ඇත. රිදී පැහැයෙන් ගලා හැලෙන දියඇලි. රිසිසේ පළතුරු බුදිමින් ගීත රාවය නංවන අනේකවිධ පක්‌ෂීන් පිල් විහිදා ගත් මොනරුන්. කොතරම් මනස්‌කාන්ත දර්ශනයක්‌ද? මෙසේ පරිසරයේ චමත්කාරය අත් විඳිමින් ගමන් කරන ඔවුනට වෙරළ තීරයේදී එක්‌තරා නිරුවත් මානවයෙක්‌ දක්‌නට ලැබුණි. නිරුවත් මිනිසා දුටු ඔවුහු බෙහෙවින් තැති ගත්හ. ඇඟ පුරා වැඩුණු රෝම, මුහුණ වසාගත් ඝන රැවුල. හැඩපලු ගෙතුණු කෙස්‌වැටිය, මොහු මිනිසෙක්‌ද? එසේ නොමැතිනම් අවතාරයක්‌ද ? මෙසේ විපිලිසර වූ ඔවුන් දෙස බැලූ නිරුවත් මිනිසා, 

''මිත්‍රවරුනි. බිය නොවනෘ මම අවතාරයක්‌ හෝ අමනුෂ්‍යයෙක්‌ නොවන්නෙමි. මම ද ඔබලා මෙන්ම මිනිසෙකි. ඈත දිනක මුහුදෙහි අතරමංවූ මම මෙම දූපතට පාවී ආවෙමි. එදා සිට හුදෙකලාව මෙහි වාසය කරන්නෙමි. මම ඔබලාට මෙසේ පවසමි. මෙය හුදෙකලා දූපතක්‌ වුව ද දෙව් ලොවකට වඩා සුන්දර දිවයිනකි. ඔබලාට වාසය කිරීමට සුදුසු ගොඩ බිමකි. මෙහි සිටිනතාක්‌ කල් ඔබලාට සාපිපාසාවෙන් පීඩා විඳින්නට සිදු නොවෙයි. අර ඈතින් පෙනෙන වන පියස දෙස බලන්න. පළතුරු ගස්‌වලින් පිරිලා. ධන ධාන්‍යවලින් අඩුවක්‌ නැහැ. පිරිසිදු සිසිල් ජලය හැම තැනම. දේශගුණය සෞම්‍යයි. සියලු ස්‌වාභාවික සම්පත්වලින් මේ මුළු දිවයිනම පිරිලා. ඔබලාගේ මතු පරම්පරාවට ද ජීවත් විය හැකි පරිසරයක්‌ මේ දිවයින තුළ තියෙනවා. එහෙත් මිත්‍රවරුනි, මම ඔබලාට තව එක්‌ වැදගත් කරුණක්‌ කියන්නම්.

''කිsයනු මැන මිතුරාණනි, අපි සාවධානව අසා සිටින්නෙමු.''

''ඔබලා මෙය හොඳින් හිත් තුළ ධාරණය කර ගත යුතුයි. මෙම දිවයිනෙහි වාසය කරන්නේ නම් කිසි විටෙකත් මෙය අපිරිසිදු නොකළ යුතුයි. තැන තැන මළ මුත්‍ර නොහෙලිය යුතුයි. එම කටයුතුවලට සුදුසු ස්‌ථාන සකස්‌ කර ගත යුතුයි. වනය තුළ තිබෙන ගස්‌ කොළං නිකරුණේ කපා නොදැමිය යුතුය. දිරා වැටෙන අතු රිකිලි පමණක්‌ දර සඳහා ගත යුතුයි. කැලෑ එළිපෙහෙළි කළොත් ජල උල්පත් සිඳී යනු ඇත. ජල පෝෂක ප්‍රදේශ සුරැකිය යුතුයි. ජල උල්පත් ආරක්‌ෂා කළ යුතුයි. මෙම කරුණු පිළි නොපැද කටයුතු කළහොත් ඔබලාට දේව දඬුවම් ලැබෙනු ඇත. නරක විපාක අත් විඳීමට සිදු වනු ඇත.'' මෙලෙස පැවසූ අත්භූත මිනිසා වනාන්තරය තුළට වැද නොපෙනී ගියේය. 

එතැන් සිට මෙම වඩු කාර්මිකයන් කිසිදු බියක්‌ නොමැතිව දූපතෙහි පදිංචි වූහ. දිවයිනෙහි එක්‌ පසෙක පවුල් පන්සියයක්‌ ද අනෙක්‌ පස පවුල් පන්සියයක්‌ ද වශයෙන් කණ්‌ඩායම් දෙක දිවයින බෙදාගෙන ජනාවාස පිහිටුවා ගත්හ. නායකයන් දෙදෙනා පෙර පරිදිම කණ්‌ඩායම් දෙකෙහි නායකයන් බවට පත් වූහ. ව්‍යවහාර පහසුව සඳහා එක්‌ කණ්‌ඩායමක්‌ නිල් කණ්‌ඩායම වශයෙනුත්, අනෙක්‌ කණ්‌ඩායම කොළ කණ්‌ඩායම වශයෙනුත් හඳුන්වා ගත්හ. ඔවුන්ට ජීවත්වීම පිළිබඳ කිසිදු ගැටලුවක්‌ පැනනැඟුණේ නැත. සියලු අංශයන්ගෙන් සමස්‌ත දිවයිනම ස්‌වයංපෝෂිත විය. සියල්ල නොමිලයේම ලැබිණි. ජීවන තත්ත්වය උසස්‌ විය.

මෙලෙස ටික කලක්‌ ගත විය. බෙදී සිටි කණ්‌ඩායම් දෙකෙන් එක්‌ කණ්‌ඩායමක්‌ නීති රීති කඩන්නට පටන් ගත්හ. ඔවුන් විසූ ප්‍රදේශය ක්‍රමයෙන් අපවිත්‍ර විය. ඔවුන් ගංගා ඇළ දොළ ආශ්‍රිතව මළ මුත්‍ර පහ කරති. මුහුදු වෙරළ ද වනාන්තරය ද එම කාර්යය සඳහා උපයෝගි කර ගත්හ. ඒ නිසාම නොයෙක්‌ ලෙඩ රෝග පැතිරුණි. ජලය දූෂණය විය. පරිසරය පුරා දුර්ගන්ධය පැතිරුණි. එපමණක්‌ නොව ගස්‌ කොලං රිසිසේ කපා දැමූහ. ගස්‌ කපා දැව අලෙවි කිරීමට පටන් ගත්හ. ගස්‌ කැපීමට එරෙහිව කොතෙක්‌ නීති රීති පනවා තිබුණ ද එම නීති රීති වෙනස්‌ කරමින් අවශ්‍ය වටිනා ගස්‌ රිසිසේ කපා ගත්හ. මහා පරිමාණයේ දැව ජාවාරම් කරුවෝ වනයට වැද වටිනා රුක්‌ෂ දේවතාවන් කිසිදු ළතෙත් බවක්‌ නොමැතිව කපා හෙලූහ. ජල උල්පත් සහිත වටිනා ඉඩම් ගොඩ කර මහා මන්දිර ඉදි කළහ. ගංගා ඇළ දොළ වනසමින් වැලි ජාවාරම ද පටන් ගත්හ. වටිනා මැණික්‌, ඛනිජ සම්පත් සොයමින් ගං ඉවුරු වැනසූහ. 

වනාන්තරයෙහි නිදැල්ලේ සැරිසරමින් කෙළිදෙලෙන් සිටි සිව්පා සතුන් දඩයම් කළහ. දඩ මසට ලොල්ව අහිංසක සතා සිවිපාවුන් අනුකම්පා විරහිතව මරා දැමූහ. සතුන් මරා මස්‌ අලෙවි කරන මස්‌ වැද්දන් පිරිසක්‌ ද බිහි වුණි. නොයෙක්‌ කුණු රොඩු පරිසරයට මුදාහළ ඔවුහු එමගින් වැසි ජලය ගලා යන ජල මාවත් අහුරා දැමූහ. අපවිත්‍ර දෑ ගංගා ඇළ දොළවලට හෙළීමෙන් ජල සම්පත ද විනාශ කළහ. පරිසරය පුරා දුගඳ පැතිරුණි. 

නීතිය සුරැකි අනෙක්‌ කණ්‌ඩායමෙහි නායකයා ඔවුන් වෙත පැමිණ මෙසේ පැවසුවේ ය. 

''මිත්‍රවරුනි , ඔබලාට මතක නැද්ද එදා නිරුවත් මිනිසා අපට දුන් අවවාදය? ඔහු පැවසූ දෙය කිසිදු අයුරින් මායිම් නොකර මෙම පරිසරය විනාශ කරන්නේ කුමටද ? මේ ලස්‌සන දිවයින වනසන්නේ ඇයි? මෙය අවලස්‌සන කරන්නේ කුමටද? ඔබලා දෙවියන්ගෙන් දඬුවම් විඳීමට කැමැත්තෙහිද? සොබා දහමෙන් දඬුවම් අත්විඳීමට කැමැත්තෙහිද? එබැවින් මිත්‍රවරුනි, මෙම ක්‍රියාව වහාම නතර කළ යුතුයි. නිකරුණේ ගස්‌ වැල් විනාශ නොකරන්න. ජල පෝෂක ප්‍රදේශ විනාශ නොකරන්න. කුණු කසළ දමා ජලමං අවුරා නොදමන්න. වැලි ගොඩ දමමින් ගංගා ඇළ දොළ විනාශ නොකරන්න. ගං ඉවුරු විනාශ නොකරන්න. අහිංසක සතුන් ඝාතනය නොකරන්න. ස්‌ථිර වැසිකිළි සාදා ගන්න. මේ සුන්දර භූමිය තුළ තැන තැන මළ මුත්‍ර නොදමන්න. නාස්‌ පුඬු හකුළුවමින් පැතිරෙන දුගඳ වළක්‌වා ගැනීමට පියවර ගන්න. සීග්‍රයෙන් පැතිරෙන ලෙඩ රෝග වළක්‌වා ගැනීමට පියවර ගන්න. බලන්න වනාන්තරය දෙසින් හමා එන සුළඟෙන් කොතරම් සිසිලක්‌ ලබා දෙන්නේද? වන මල් රොන් සුණු තවරාගෙන හමන මඳ නල ගතට සිසිලක්‌ මෙන්ම සිතට සැනසිල්ලක්‌ ලබා නොදෙන්නේද කොවුලන්ගේ මිහිරි නාදයෙන් අප සිත් සතන් පිනවන අයුරු. ස්‌වාභාවික වනාන්තර විනාශ කළහොත් මෙවන් චමත්කාරයක්‌ විඳ ගත හැකිද? මිල මුදලට, සැප සම්පත් වලට ගිජුව මතු පරපුර ගැන නොසිතා කරන මෙම මහා පරිසර විනාශය වළකාලන්නට පියවර නොගත හොත් අතීතයේ ඇතැම් දිවයින්වලට සිදු වූ විනාශයන්ට වඩා විනාශයකට මුහුණ දීමට සිදුවනු ඇත. ඇතැම් දිවයින් මුහුද ගොඩ ගැලීමෙන්, නාය යාමෙන්, ගංවතුරෙන්, සුළි සුළඟින්, නියඟයෙන් විනාශ වූ බව මම අසා ඇත්තෙමි. එසේ විනාශ වූ දිවයින් වල පාලකයන්, බලධාරීන්, ධනපතියන් මුදලට ගිජුව පරිසර විනාශ කළහ. ඔවුහු පස්‌ කඳු කපා දමමින් වගුරු බිම් ගොඩ කළහ. වෙරළ සුරැකීමට තිබූ මහා ගල් පර්වත සුණු විසුණු කරමින් මුදල් ඉපයූහ. ගංගා වනසමින් වැලි ගොඩ දැමූහ. මේ මහා පෘතිවිය පහළ වූ දින සිට පැවති වැසි වනාන්තර එළි පෙහෙලි කරමින් දැව ජාවාරම් කළහ. දඩ මසට ලොල්ව සතා සිව්පාවන් වැනසූහ. එහි විපාක ඔවුහු අත් වින්දාහ. පරිසර විනාශයක්‌ සිදු කළහොත් අපට ද සිදුවන්නේ එවැනි ෙ€දාන්තයකට මුහුණ දීමටයි. 

මෙම අවවාද අසා සිටි අනෙක්‌ කණ්‌ඩායමේ පිරිස, ''අනේ පණ්‌ඩිතයා, ඔබ ඔබේ වැඩක්‌ බලා ගන්න. අපි වැඩ කරන්නේ අපිට වුවමනා විදිහටයි. අපට අවවාද කරන්ට තොප කවුද? අප දියුණු වෙනවාට ඉරිසියාවෙන් පෙලෙන්නේ කුමටද? එබැවින් තොපට අයත් ප්‍රදේශයෙහි ගස්‌ ටික කපා ගනු. එයින් තොපට විශාල මුදලක්‌ උපයා ගත හැකියි. ලෝකයේ මිල අධික අධි සුඛෝපභෝගී වාහනයක්‌ වුව ද තොපට ගත හැකි නොවේද? වෙරළ තීරයෙහි තිබෙන හිරි ගල් කඩා හුණු පෝරණු සකස්‌ කර හුණු ව්‍යාපාරයක්‌ කළොත් නරකද? විශාල පිරිසකගේ රැකියා ප්‍රශ්නය විසඳය හැකි නොවේද? රිසිසේ කාබී විනෝදයෙන් සිටිය හැකි නොවේද? එබැවින් අපට ඉරිසියා නොකර ගස්‌ ව්‍යාපාරය , වැලි ව්‍යාපාරය, කළු ගල් ව්‍යාපාරය, මැණික්‌ ව්‍යාපාරය, නිවාස ව්‍යාපාරය වැනි ව්‍යාපාර පහසුවෙන් ආරම්භ කරනු. මහ පොළවෙහි පස්‌ වුව ද අළෙවි කළ හැකියි . එවිට තොපට ද ඉක්‌මනින් පොහොසත් විය හැකියිs. දියුණු විය හැකියි. අඹු දරුවන් සමඟ හොඳින් කාබී විනෝදයෙන් සිටිය හැකි නොවේද ? ඔබට වුවමනා ලෙස අපට ඉන්නට නොහැකියි. අපි අපේ වැඩ බලාගන්නම්. ඔබ ඔබේ වැඩක්‌ බලා ගන්න.''

මෙතැන් සිට එම කණ්‌ඩායම් දෙක අතර බෙදීමක්‌ හට ගත්තේය. එතෙක්‌ පැවති සමගිය නැති විය. යහපත් අදහස්‌ ඇති කණ්‌ඩායම ඔවුන්ගෙන් වෙන් විය. අයහපත් කණ්‌ඩායම වැඩි වැඩියෙන් පරිසරය විනාශ කිරීමට පටන් ගත්හ. වනාන්තරයේ තිබු පළ=තුරු කඩාගෙන විත් එයින් මත්වන බීම සකස්‌ කර ගත්හ. මත් දියර පානය කර අසිහියෙන් ඔවුනොවුන් කලකෝලාහල කර ගත්හ. පවුල්වලද අඬදබර වැඩි විය. සදාචාරය නැත්තටම නැති විය. ස්‌ත්‍රී දූෂණ , ළමා අපචාර බහුල විය. මුදල් ඉපැයීමට විවිධ අපචාර කරන්නට පටන් ගත්හ. සුදු වත ඇඳ, සමාජය ඉදිරියේ බෝසත්වරුන් මෙන් පෙනී සිටී. ඔවුන්ගේ අභ්‍යන්තරය නරා වළක්‌ බඳු විය. කුමන උප්පරවැට්‌ටියකින් හෝ මුඳල් ඉපැයීම එකම පරමාර්ථය වශයෙන් සැලකූ ජන ප්‍ර්‍රධානීන් මහජනයා සතු රාජ්‍ය දේපල රිසිසේ තම භූක්‌තියට යොදා ගත්හ. සමාජය නොමඟ යවන රිසියෙන් අහිංසකයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත්හ.මහා පරිමාණයේ සොරකම් කරන වුන්ට කිසිදු නීතියක්‌ ක්‍රීයාත්මක නොවුණි. නායකයන් ප්‍රධානීන් මහා පරිමාණයේ වංචාවන් සිදු කළහ. 

මෙම කරුණු මෙසේ සිදුවන අතර, යට සඳහන් නිරුවත් මානවයා ඔවුන් ඉදිරියේ දෙවැනි වතාවටත් පෙනී සිටියේය. හෙතෙම දිවයින් වැසියන් අමතා මෙසේ පවසයි. 

මිනිසුනි, දැන් මෙම දිවයින විනාශ මුඛයට පත්වෙලා. මුළු පරිසරයම විනාශ වෙලා. එදා තිබූ ලස්‌සන, සුන්දර දිවයින අද දකින්නට නැහැ. තවදුරටත් මෙම රමණීය දිවයින විනාශයට පත් නොකර වහා මෙයින් පිටවෙයල්ලා. නැතහොත් මහා විනාශයකට මුහුණපාන්නට සිදු වේවි. නුඹලා කෙරෙහි දෙවියන් කෝප වෙලා.'' මෙසේ පැවසූ එම අත්භූත පුද්ගලයා ක්‌ෂණයකින් අතුරුදන් විය.

නුදුරෙහිදී ඇතිවන බිහිසුණු අනතුරක්‌ ගැන ඉව වැටුන යහපත් කණ්‌ඩායම් නායකයා තම පිරිස දැනුවත් කළේය. ඔහු තම පිරිස ලවා හැකි තරම් ඔරු පාරු සකසා වෙරළ තීරයෙහි තැබුවේය. තම පිරිසට අනතුර පිළිබඳ දැනුමක්‌ ද ලබා දුන්නේ ය. නුදුරු දිනක අහස කළු වලාවෙන් බර විය. හිරු එළිය නොවැටුණි. දිවයිනම අන්ධකාරයෙහි ගිලුණි. මඳ වශයෙන් හැමූ සුළඟ ක්‍රමයෙන් වේගවත් විය. ප්‍රචණ්‌ඩත්වයට පත් විය. ගස්‌ කොලං අඹරවමින් , අතු ඉති සිඳ බිඳ දමමින්, ගොරබිරම් හඬ නඟමින් හමන චණ්‌ඩ මාරුතයක්‌ බවට පත් විය. සමුදුරෙහි ජලය ද කැළඹුණි. වේගයෙන් පැමිණි ජල කඳ ගොඩ බිම ආක්‍රමණය කළේය. ජල පහර දෙදණ තෙක්‌ වැඩි විය. අත්භූත මානවයා පැවසූ කරුණු සැබෑ වන්නට යන බව කාටත් පසක්‌ විය. බියට පත් මිනිසුන් දෙවියන්ට කන්නලව් කරන්නට වූහ. අනේ දෙවියනි අපව මෙම විපතින් ගලවා ගත මැනව යනුවෙන් අඳෝනා නැගූහ.

යහපත් කණ්‌ඩායම් නායකයාට කරුණු අවබෝධ විය. ඔහු තම කණ්‌ඩායමට අයත් පවුල් පන්සියක සියලු දෙනා වහා රැස්‌ කළේය. හෙතෙම ඔවුනට ආමන්ත්‍රණය කළේ ය.

''මිත්‍රවරුනි, බලාපල්ලා අහස කලූ වලාකුළෙන් වැසිලා. සුළගෙහි වේගය ක්‍රමයෙන් වැඩි වෙනවා. ජල කඳ අප දෙසට රැලි නඟමින් ගලා එනවා. මුහුද ගොඩ ගලනවා. මේ සුන්දර දිවයින විනාශ කළ වුන් ගිල ගන්නට එන යක්‌ෂයින් වගේ රළ ගෙඩි පෙරළෙනවා. තවදුරටත් මෙහි සිටීම නුවණට හුරු නොවෙයි. එබැවින් වහාම අප කලින් සූදානම් කර තිබූ ඔරු පාරු වලට නැඟපල්ලා. ජීවිත ආරක්‌ෂාව පිණිස අප මේ දිවයිනෙන් වහා පිට විය යුතුයි.'' ඔවුන් සියලු දෙනාම කඳුළු වගුරුවමින් , සුන්දර දිවයින විනාශ කළ වුනට ශාප කරමින් ඔරු පාරුවලට ගොඩ වූහ. 

කරුණු මෙසේ සිදු වෙද්දී පරිසරය විනාශ කළ අනෙක්‌ කණ්‌ඩායමෙහි නායකයාට හෝ එම පිරිසට අයත් පවුල්වල අයට හෝ බියකරු තත්ත්වය පිළිබඳ කිසිදු වග විභාගයක්‌ නොතිබුණි. විනාශය පෙනි පෙනී ඔවුහු කමින් බොමින් නටමින් විනෝද වූහ. ජන ප්‍රධානියා වැසියන්ට කිසිදු බියක්‌ ඇති නොකර ගන්නා ලෙස උපදෙස්‌ දෙමින් මන්දිරයෙහි ඉහළ මාලයට වී සතුටින් සිටියේය. නායක පූජකයන් පැවසුවේ පිරිස කිසිදු බියක්‌ ඇති කර නොගත යුතු බවත්, ප්‍රධාන නායකයා සහ උප නායකයා නිසි පියවර ගනු ඇති බවත් තමනට ඔවුන් පිළිබඳ දැඩි විශ්වාසයක්‌ තිබෙන බවත්ය. එක්‌ වරම සුළඟෙහි වේගය වැඩි විය. මහ වැසි ඇද හැළුණි. සුළඟෙහි වේගය සිය දහස්‌ ගුණයෙන් වැඩි විය. ක්‌ෂණයකින් ඉහළ ගිය දළ රළ විදුලි වේගයෙන් දිවයින තුළට කඩා වැදී ඉදි කර තිබූ මන්දිර , කොටු පවුරු සුන් බුන් බවට පත් කර යළි සමුදුරට ඇදගෙන ගියේ ය. 

බිහිසුණු රැල්ලට අසූ වූ සියලු මිනිසුන් මුහුදු පතුළට ඇදී ගොස්‌ අතුරුදන් විය. දූපතට ගොඩබට දින සිට පරිසරය වනසමින් ඉදි කළ මහා මන්දිර, කොටු පවුරු, මන්දිර තුළ තැන්පත් කර තිබූ මහා අනර්ඝ භාණ්‌ඩ, රන් රිදී මුතු මැණික්‌ ආදී සියල්ල සෝදාගෙන මුහුදු පතුළට ඇදී ගියේ ය. නාඹ තල් කඳන් සේ නැගුන රළ පෙලින් කෙසේනම් දිවි බේරා ගන්නද? දිවයින් වැසි සියල්ලන්ම මොහොතකින් මුහුදු පතුළ සිප ගත්හ. ඉන් පසු දිවයිනෙහි කිසිදු මිනිසකු දැක ගත නොහැකි විය. විපත දුටු අත්භූත මානවයා කඳු ගැටයක්‌ මතට වී අවඥාවෙන් සිනාසුණු හඬ දිවයින පුරා දෝංකාරය දෙමින් පැතිර ගියේය .

(සමුද්ද වාණිජ (සුනාමි) ජාතකය ඇසුරිනි)

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති,ධර්මවේදී 
නාලන්දේ විමලවංශ නාහිමි
wimalawansa2012@gmail.com

2016 දෙසැම්බර් මස 13 වන අඟහරුවාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment