Labels

Monday, December 26, 2016

බුදුරදුන් පරිහරණය කළ උතුම් සුව පහසු වටිනා යහන් තුන

බුදුරජාණන් වහන්සේ වසර දහනමයක්‌ම වැඩ වාසය කළේ සැවැත්නුවර ඡේතවනාරාමයේ. කහවණු පස්‌ හතර කෝටියක්‌ වැය කරමින් අනේපිඬු සිටුතුමා විසින් එම ආරාමය ඉදිකර බුදුරජාණන් වහන්සේට එය පූජාකර තිබෙනවා. ඉඩම මිලදී ගැනීමට දහඅට කෝටියකුත්, ආරාමය ඉදිකිරීමට දහඅට කෝටියකුත්, ගෘශභාණ්‌ඩ, ඇඳන් ආදී උපකරණ සඳහා දහඅට කෝටියකුත් වශයෙන් වැයකර ඇතිබව සඳහන් වේ.
බුදුන්වහන්සේ ඇතුළු භික්‌ෂුන් වහන්සේ සුවසේ වාසය කිරීම සඳහා කිසිදු අඩුවකින් තොරව සකස්‌ කර තිබූ බවද සඳහන්ය. නමුත් ඒවා පරිහරණය කරමින් බුදුන්වහන්සේ ඇතුළු භික්‌ෂුන් වහන්සෙලා සුඛෝපභෝගී ජීවිත ගත කළේ නැත. ලැබුණු පහසුකම් පිළිබඳව උපේක්‌ෂාසහගතව වාසය කළහ. ඇලුණේ නැත.

එහෙත් එකල සිටි බමුණු පිරිස උන්වහන්සේ බුද්ධත්වය ලැබූවත්, සුඛෝපභෝගී ජීවිත ගතකරන බවත්, එහෙත් අන් අයට දුක ගැනම දේශනා පවත්වමින් අල්පේච්ඡ ජීවිත ගතකරන ලෙස උපදෙස්‌ දෙන බවත් විවේචනය කළහ. සැවැත්නුවර ඡේතවනාරාමයේ තිබෙන පහසුකම් පිළිබඳව කලක්‌ තිස්‌සේ නිරීක්‌ෂණය කළ එක්‌තරා බමුණෙක්‌ දිනක්‌ ඡේතවනාරාමයට ගොස්‌ එහි සියලු තොරතුරු දැක ඊර්ෂ්‍යාසහගතව බුදුන්වහන්සේ සමග වාදයකට පැටලුණි.

'පින්වත් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්ස, ඔබවහන්සේ මේ ආරාමයේ සුවපහසු ජීවිතයක්‌ ගතකරනවා. මෙහි උස්‌වූ, පුලුල්වූ සුවපහසු ආසන තිබෙනවා. ඇඳන් තිබෙනවා. එළු හම්වලින් හා නොයෙකුත් සතුන්ගේ හම්වලින් කරන ලද විවිධ වර්ණවලින් යුත් ඇතිරිලි තිබෙනවා. සුදුපාට ඇතිරිලි, මල් මසා ඇති ඇතිරිලි තියෙනවා. වූල්වලින් කරන ලද, පුලුන්වලින් කරන ලද ඇතිරිලිත් තිබෙනවා. ඒ වගේම මුතු මැණික්‌ ඔබ්බවන ලද ආසනත් තිබෙනවා. එවැනි දේවල් තව තවත් ලැබෙනවා ඇති. ඒ නිසා ඔබ වහන්සේ ඒ සුවපහසු ආසනපරිහරණය කරමින් යහන්වල සැතපී ඉතා සුඛෝaපභෝගී ජීවිතයක්‌ ගතකරනවා ඇත කියා සිතෙනවා. එහෙත් ඔබ ඔබේ ශ්‍රාවකයන්ට ඒවා අත්හරින ලෙස දේශනා කරනවා නේද?' යි ප්‍රශ්න කළේය. බමුණා කළ ප්‍රකාශයට අප භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.

'පින්වත් බ්‍රාහ්මණය, ඔබ ඔය කියන දේවල් සුඛෝaaපභෝගී භාණ්‌ඩ අපි අපේක්‌ෂා කළ දේවල් හෝ අපේෂා කරන දේවල් නොවෙයි. ඒවා ලැබුණත් ඒවායේ ඇලී ගැලී පරිහරණය කරන්නේ නැහැ. උපේක්‌ෂාවෙන් යුක්‌තව යහපත් සිහියෙන් යුක්‌තවයි පරිහරණය කරන්නේ. නමුත් මම උස්‌වූ පුqලුල්වූ යහන් තුනක්‌ නම් පරිහරණය කරනවා. ඒවා මට ඕනෑම වේලාවක ඉතා පහසුවෙන් ලබාගන්න පුලුවන්. ඒ උතුම් යහන් තුන හරිම පහසුයි.

'භාග්‍යවතුන් වහන් ස, කිමෙක්‌ද ඔබට නිතරම පහසුවෙන් ලබාගත හැකි ඒ උතුම් යහන් තුන. මා කැමැතියි දැනගන්න.'

'පින්වත් බ්‍රාහ්මණය, ඉන් පළමුවැනි යහන තමයි උස්‌වූ පුළුල්වූ සනීපවත් යහන. දෙවැන්න තමයි, උස්‌වූ පුළුල්වූ ශ්‍රේෂ්ඨ යහන. තුන්වැන්න තමයි උස්‌වූ පුළුල්වූ උතුම් යහනයි. ඉතින් මේ සනීපවත් යහන, ශ්‍රේෂ්ඨ යහන හා උතුම් යහන මට ඕනෑම වේලාවක ලබාගත හැකි, යහන් තුනක්‌. පින්වත් බ්‍රාහ්මණය, මම තවදුරටත් ඔබට ඒ යහන් තුන විස්‌තර කර දෙන්නම්.

උස්‌වූ පුළුල්වූ සනීපවත් යහන

මම කිසියම් නගරයට ගොස්‌ ගමකට උදේ පිණ්‌aඩපාතය සඳහා ගෙපිළිවෙලිsන් වැඩම කරනවා. එහිදී ලැබෙන කවර හෝ පිණ්‌ඩපාතය වුවත් එය රැගෙන විහාරයට පැමිණ වළඳනවා. ඉන්පසු මම නැවත වනයට වඩිනවා. එහිදී මම වියළී ගිය තණකොළ හා බිම වැටී ඇති කොළ වර්ග ආදිය ප්‍රයෝජනයට ගෙන ගසක්‌ මුල ආසනයක්‌ පිළියෙළ කරගන්නවා. එහි එරමිණිය ගොතාගෙන සිරුර කෙලින් තබාගෙන සිහියෙන් යුක්‌තව භාවනා කිරීමට ඉඳගන්නවා. කාම සිතුවිලිවලින් හා අකුසල් සිතුවිලිවලින් තොරව නිරාමිස ප්‍රීතියක්‌ ගතකරනවා. එහිදී මම ප්‍රථම ධ්‍යානය උපදවා ගන්නවා. ඉන්පසු පිළිවෙලින් දුතිය ධ්‍යානය, තෘතිය ධ්‍යානය හා චතුත්ථ ධ්‍යානය උපදවාගෙන සුවසේ වාසය කරනවා. ඒ තුළින් හරිම සනීපයක්‌ දැනෙනවා. ඉතින් බ්‍රාහ්මණය ඔන්න ඔය යහන තමයි මම ඕනෑම වේලාවක කිසි කරදරයක්‌ නැතිව ලබාගත හැකි උස්‌වූ පුළුල්වූ සනීපවත් යහන.''

''හරි පුදුමයි, භාග්‍යවතුන් වහන්ස, හරිම පුදුමයි. ඉතින් දෙවැනි යහන ගැන දැනගන්න කැමැතියි.''

උස්‌වූ පුළුල් වූ ශ්‍රේෂ්ඨ යහන

''පින්වත් බ්‍රාහ්මණය, මම උදැසන මුහුණ කට දොවාගෙන පා සිවුරු ගෙන යම් ගමකට හෝ නගරයකට ගෙපිළිවෙලින් පිඬුසිඟා වඩිනවා. එහිදී ලැබුණු පිණ්‌ඩපාතය විහාරයට රැගෙනවිත් වළඳනවා. වළ¹ අවසාන කෙටි විවේකයක්‌ ගෙන භාවනා කිරීම සඳහා වනයට වඩිනවා. වනයට පිවිසි මම වියළි තණකොළ හා බිමට වැඩී ඇති වියළි කොළ වර්ග ආදිය එකතු කර ගසක්‌ මුල තබා ආසනයක්‌ පිළියෙල කරගෙන සිරුර කෙලින් තබාගෙන එරමිණිය ගොතාගෙන භාවනා කිරීමට සූදානම් වෙනවා. මුලින්ම මුළු ලොවටම මෛත්‍රිය පතුරුවනවා. ඉන්පසු සතර දිසාවට, අට දිසාවට පමණක්‌ නොව දස දිසාවටම මෛත්‍රිය පතුරවනවා. ප්‍රමාණ රහිතව මෛත්‍රිය පතුරවනවා. ඉන්පසු පෙර පරිදිම ක්‍රම ක්‍රමයෙන් දසදිසාවේ සිටින සියලු සත්වයන්ට කරුණාව පතුරවනවා. ප්‍රමාණ රහිතව කරුණාව පතුරනවා. කිසිම තරහක්‌, වෛරයක්‌ නැතිවයි එය සිදුකරන්නේ. බ්‍රාහ්මණය ඉන්පසු සියලු ලෝක සත්වයින්ටම මුදිතාව පතුරවනවා. මුදිතාව කියන්නේ අනුන්ගේ සැපේදී සතුටුවීම. කිසිදු භේදයකින් තොරව සියලු සතුන් කෙරෙහි වෛරයකින් තොරවයි මුදිතාව පතුරුවන්නේ. එමෙන්ම ඉන්පසු මම සියලු ලෝක සත්වයන් කෙරෙහි කිසිදු භේදයක්‌ නැතිව, වෛරී සිතුවිලිවලින් තොරව උපේක්‌ෂාව පතුරවනවා. ඔය ආකාරයෙන් මෙත්තා, මුදිතා, උපේක්‌ෂා යන සතර බ්‍රහ්ම විහරණ සහිතව කාලය ගත කිරීම තමයි ශ්‍රේෂ්ඨ. ඒ නිසා එය මගේ 'ශ්‍රේෂ්ඨ යහන' වෙනවා. මට ඒ ආකාරයෙන් ඕනෑම වේලාවක්‌ ගත කිරීමට පුළුවන්. හරිම පහසුයි. සැපයි. ඒ ශ්‍රේෂ්ඨ යහන'.'

'ගෞතමයන් වහන්ස, හරිම පුදුමයි. හරිම ආශ්චර්යයි. අහන්නත් ආසයි. මම දැනගන්න කැමැතියි ඔබගේ 'උතුම් යහන' ගැන එයත් වදාරන සේක්‌වා''.

උස්‌වූ පුළුල්වූ උතුම් යහන

''බ්‍රාහ්මණය, පෙර පරිදිම උදේ පිණ්‌ඩපාතය ගෙන අවසන් කර වනයට ගොස්‌ වියළි තණකොළ, කොල වර්ග ගෙන ආසනයක්‌ පිළියෙළ කරගෙන භාවනාවට සිත යොමුකරන ප්‍රත්‍යක්‍ෂ වශයෙන් කාරණා තුනක්‌ මෙනෙහි කරනවා. මා විසින් රාග, ද්වේෂ, මෝහ යන කෙලෙස්‌ මුලින්ම සිඳ බිඳ දමා ඇති බව මෙනෙහි කරනවා. මම ඒවා මුලිනපුටා දැම්මේ තල්ගසක කරටියක්‌ කඩා දැම්මා වගේ. කරටිය කඩා දැමූ තල්ගස නැවත ලියලන්නේ නැහැ. ඒ වගේ නැවත කිසිම ආකාරයකින් මගේ සිතෙහි රාග, ද්වේෂ, මෝය යන අකුසල් සිතුවිලි හටගන්නේ නැහැ. මේ බව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ කරගෙන සිටින මා එයම සිහිපත් කරමින් වාසය කිරීම තමයි මගේ උතුම් යහන. එය 'ආර්ය උච්චාසයනයයි'. ඒ උතුම් යහන තුළ මම ඉතා සුවසේ කාලය ගත කරනවා. එහි සතර ඉරියව්වෙන් ගත කළත් හරිම සුවයක්‌ දැනෙනවා. ඉතින් බ්‍රාහ්මණය මේ විහාරස්‌ථානයේ තිබෙන සුවයහන් මොනවාද? ඒ සියල්ලටම වඩා මේ යහන් ගැන මා ප්‍රිය කරනවා. මට සැපය ගෙනදෙනවා' යි පැවැසූහ.

''භවත් ගෞතමයන් වහන්ස, ඔබේ පැහැදිලි කිරීම හරිම පුදුමයි. ඕනෑම වේලාවක කිසිම කරදරයකින් තොරව ලබාගත හැකි උස්‌වූ පුළුල්වූ යහන් තුනක්‌ ඔබ වහන්සේට තියෙනවා. සුව පහසු යහන් පරිහරණය කරන අපි නිතරම ඉන්නේ දුකින්. ඒමේ අත පෙරලෙනවා සැපයක්‌ ලැබෙන්නේ නැහැ. දුකමයි. ඔබවහන්සේ මට ඉතා වටිනා, අර්ථවත් දහමක්‌ කියාදුන්නා. මම මෙතෙක්‌ කලක්‌ මුලාවෙලයි හිටියේ. අද මට අවබෝධ වුණා වහල තිබූ දෙයක්‌ ඇරලා පෙන්නුවා වගෙයි. සඟවා තිබූ දෙයක්‌ හෙලි කළා වගෙයි. මංමුලාවී සිටි මට හරිමග පෙන්වා දුන්නා. අන්ධකාරයේ සිටි මට ආලෝකය ලබාදුන්නා. මංමුලාවී සිටි මට නිවැරැදි මග කියාදුන්නා. මම ඔබවහන්සේගේ සරණ යන්න කැමැතියි. එයට අවසර දෙන සේක්‌වා. ඒ විතරක්‌ නොවෙයි, මම ඔබ වහන්සේගේ දහමත් සරණ යන්න කැමැතියි. ඒ වගේම මම මහා සංඝරත්නයත් සරණ යනවා. ස්‌වාමීනි, මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයකු ලෙස පිළිගන්වා සේක්‌වා' යි වැඳ නමස්‌කාර කළහ.

අංගුත්තර නිකායේ කාරණා තුන බැගින් සඳහන්වෙන නික නිපාතයේ මහා වර්ගයට අයත් වේනාගපුර සූත්‍රය බලා මේ ගැන තවදුරටත් අවබෝධ කරගත හැකියි.

ගුණපාල කාරියවසම්

2016 දෙසැම්බර් මස 13 වන අඟහරුවාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment