එක් යුගයක තුන් දහසක් තරම් වූ සංඝ රත්නයට වාසස්ථානය වූ අනුරපුර උඩමළුවේ මහා විහාරය, සම්බුද්ධ ශාසනයේ ථෙරවාදී ධර්මය පැළපදියන් කිරීමට හා රැකගැනීමට පුරෝගාමී වූ පුණ්‍යභූමිය හැටියට සැලකීම නිවැරදිය. මිහිඳු මහ රහතන් වහන්සේගේ පාදස්පර්ශය ලත් රහතුන් වැඩසිටි පුණ්‍ය භූමියක් වූ මහා විහාරය මහමෙවුනාවේ පිහිටි පූජනීය පින් බිමකි.
මිහිඳු මා හිමියන් බැහැදැක, බණ අසා බුදුදහම සරණගිය තිස්ස රජතුමා විසින් අනුරපුර අගනුවරට වැඩම කරන ලෙස උන්වහන්සේට ආරාධනා කරනු ලැබීය. ඒ ආරාධනය පිළිගත් මිහිඳු මාහිමියෝ පළමුවෙන් අනුරපුර නන්දන උයනට වැඩම කළහ. නන්දන උයනේ වටපිටාව හා පරිසරය තමන්ට අගෝචර වූයෙන් ආගම දහමට, බණ භාවනාවට වඩාත් යෝග්‍ය ස්ථානයක් සලසන ලෙස මිහිඳු මාහිමියෝ තිස්ස රජුට අනුශාසනා කළහ. ඒ අනුව මහා මේඝ වනය මිහිඳු මාහිමියන්ට ගෝචර වනසේ සකස් කොට එතැනට මහා මේඝවනාරාමය ලෙස නම් තබා මිහිඳු මාහිමියන්ගේ දෝතට රන් කෙන්ඩියෙන් පැන් වඩා සඟ සතු කොට පූජා කරනු ලැබීය. මේ උතුම් පුණ්‍ය කර්මය කළ මොහොතේ මහ පොළොව කම්පා වූ බව වංශ කථාවල විවරණය වී ඇත.
මහපොළොව එබඳු සසල වීමකට හේතු වූයේ මේ අවස්ථාව ශී‍්‍ර ලංකා පොළොවේ සම්බුද්ධ ශාසනය ස්ථීරව ස්ථාපනය වීමේ සංසිද්ධිය වීම බව ඒ මොහොතේ මිහිඳු මාහිමියන් පල කරන ලද බව වංශකථාවල දැක්වේ. කාලයේ ඇවෑමෙන් “මහා මේඝවනාරාමය” මහා විහාරය බවට පරිවර්තනය විය. මිහිඳු මාහිමිපාණන්ගෙන් ලංකාවේ ඇරඹුණ සම්බුද්ධ ශාසනයේ ප්‍රථම සංඝාවාසය වූයේද මහා විහාරයයි.
මහා විහාරයෙන් ගලා ගිය ධර්ම ශාස්ත්‍රීය සේවාවන් දේශ දේශාන්තරවල පවා ව්‍යාප්ත වෙමින් මහත් ඇගයීමකට ලක් විය. මහානාම රජ සමයේ ලංකාවට වැඩම කළ බුද්ධ ඝෝෂ මාහිමියන් දූර සංකර පිරිවෙණෙහි වැඩ වෙසෙමින් පාලි ත්‍රිපිටකයට අටුවා සකස් කර තිබේ බුද්ධ ඝෝෂ හිමියන්ට අමතරව පිවිතුරු බුදුදහම හැදෑරීම සඳහා විශාඛ පීතිමල්ල හිමිවරුද ලංකාවට වැඩම කර ඇත.
මේ අතර වරින් වර වෛතුල්‍යවාදීන්ගෙන් මහා විහාරයට අභියෝග එල්ල වී ඇතත් මහා විහාරීය සංඝරත්නය දැඩි කැපවීමකින් යුතුව උතුම් ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ඇත. ආහාර හිඟයක් ඇතිවූ බැමිණිටියා සාය ඇතිවූයේ මේ යුගයේදීය. මෙහිදී මහා විහාරිය තුන් දහසක් තරම් වූ සංඝ රත්නයට දානමය පහසුකම් හීනවීම නිසා, වළගම්බා රජුගේ අනුග්‍රහයෙන් මාතලේ අළුවිහාරයට වැඩම කොට රජුගේ අනුග්‍රහය ඇතිව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කර තිබේ. දීපවංශය, මහාවංශය, බෝධිවංශය, ථූපවංශය ආදි වංශ කථා මහා විහාරිය භික්ෂු පරපුර විසින් සම්පාදනය කර ඇත. එම වංශකථා වල දැක්වෙන අන්දමට මහා විහාරිය සඟ පරපුර රචිත ධර්ම ග්‍රන්ථ සමූහය ඇතුන් හත්දෙනෙකුගේ උසට පැවති බව කියවේ. මේ කථාව සැබෑවක්ම බව අටුවාචාරීන් වහන්සේලා මෙහි පැමිණීමෙන්ද, විශාල පිරිවෙන් සංඛ්‍යාවක් පැවතීමෙන්ද සනාථ වේ.අරිට්ඨ මහ රහතන් වහන්සේගේ පුරෝගාමිත්වයෙන් ප්‍රථම වතාවට විනය සංගායනාවක් පැවැත්වූයේ මහා විහාරය මූලස්ථානය කර ගෙනය. ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ, රත්නමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේ ලෝවාමහාපාය වැනි අති පූජනීය ස්ථාන කීපයක් මහා විහාර භූමිය තුළ අදටත් පිහිටා ඇත. මෙම ස්ථාන මුල් කරගනිමින් උඩමළුවේ අටමස්ථානය සකස් වී ඇත.
මිහිඳු හිමියන්ගේ අනුශාසනා පරිදි දෙවන පෑතිස් රජුගේ අනුග්‍රහයෙන් ක්‍රි.පූර්ව 249 දී පමණ ආරම්භ වූ මහා විහාරය තුළ වැඩ විසූ සංඝරත්නයේ සමගිය භේද භින්න වී යාමට බලපෑ හේතු ගණනාවක් වංශ කථාවල විස්තර වේ.
මහා විහාරය හා අභයගිරි විහාරය අතර සංඝ භේදය ඇතිවූයේ ක්‍රි.ව. 275-301 කාල පරිච්ඡේදයේ රජ පැමිණි මහසෙන් රජුගේ අත්තනෝමතික පක්ෂග්‍රාහි ක්‍රියාවන් නිසාය. මහා විහාරයෙහි වැඩ විසූ “මහා තිස්ස” හිමියන් මහසෙන් රජතුමාගේ බලපෑම මත “අභයගිරි” සංකල්පය පිළිගත් බැවින් මහා විහාරිය සංඝරත්නය මහා තිස්ස හිමියන්ට කුල සංසර්ග විනය නීතිය පනවා මහා විහාරයෙන් නෙරපන ලද අතර උන්වහන්සේගේ ශිෂ්‍ය බහල මස්සු තිස්ස හිමිද ගුරු හිමියන් අනුකරණය කරමින් අභයගිරියට වැඩම කළහ. එවකට රට කරවු මහසෙන් රජුගේ අත්තනෝමතික භේදකාරි ක්‍රියාවන් නිසා ලංකාවේ ප්‍රථම සංඝ භේදය මෙසේ සිදුවිය. මෙම සංඝ භේදය කෙතරම් විනාශකාරී වූයේද යත් අභයගිරිවාදී මහසෙන් රජු සිය බල පරාක්‍රමය යොදවා මහා විහාරය සතු සියලු දේපොල අභයගිරියට පවරා දී මහා විහාරය කඩා බිඳ දමා බිමට සමතලා කොට උඳු වැපුරූ බව කියවේ.
පසු කලෙක තමා විසින් කරන ලද නපුරු පාපයේ බරපතලකම තේරුම්ගත් මහසෙන් රජු නැවත මහා විහාරය ගොඩනඟා ප්‍රකෘතිමත් කර ඇත.
ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී දිවයිනට වැඩම කළ පාහියන් භික්ෂුවගේ වාර්තා අනුව එකල අභයගිරියේ පන්දහසක් පමණ වු සංඝරත්නයද මහා විහාරයේ තුන්දහසක් පමණ වූ සංඝරත්නයද මිහින්තලාවෙන් හෙවත් චේතියගිරියේ දෙදහසක් පමණ වූ සංඝරත්නයද වැඩ වාසය කළ බව කියවේ. ථෙරවාදී බුදු දහම රැක ගැනීමෙහිලා මහත් කැපවීමකින් කටයුතු කර ඇත්තේ මහා විහාරීය සංඝරත්නයයි. මේ කාලය තුළ ථෙරවාදී බුදුසසුනට බොහෝ අභියෝග එල්ල වී ඇත. බැමිණිටියා සාය, චෝල, සොලී ආක්‍රමණ, සමයාන්තර සහ නිකායාන්තර මතවාද, මහාවිහාර, අභයගිරි ගැටුම ආදි ගැටලුකාරි තත්ත්වයන් තුළ වුවද ථෙරවාදි සම්බුදු සසුන රැක ගැනීමට මහා විහාරීය සඟ පරපුර දිවි හිමියෙන් කටයුතු කර ඇත.
දම්වැලක පුරුක් මෙන් සඟ පරපුරක බැඳීම් අනුව වර්තමානයේ මහා විහාරයේද, උඩමළුවේද, අටමස්ථානයේද නායකත්වය දරන්නේ පල්ලේගම ආචාර්ය සිරිනිවාස නාහිමිපාණෝය. යුගයෙන් යුගයට මහා විහාරයේද මහ මෙව්නාවේද ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේද රැකවරණයට හා චිර පැවැත්මටද සංවර්ධනයටද බොහෝ කටයුතු සිදුවෙයි. ඒ අනුව යමින් ආචාර්ය සිරිනිවාස නාහිමි යුගයේදීද ජය ශී‍්‍ර මහා බෝධිරාජයාණන්ට දෙවෙනි රන් වැට තැනීම, සන්නිපාත ශාලාව, පෙරහර ඇරඹීම, මහා විහාරය ප්‍රතිසංස්කරණය වැනි ශාසනික සේවා රැසක් ඉෂ්ට සිද්ධ වී ඇත.
අනුරපුර ලංකාරාම විහාරාධිකාරි
උතුරු මධ්‍යම දිශාවේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක
රැළපනාවේ ධම්මජෝති නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් 13 වන අගහරුවාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment