Labels

Monday, December 12, 2016

වර්තමානයේ මාර්ගඵලලාභීහු නැතැයි කිව නොහැකිය

01 ප්‍රශ්නය – මිනිසත් බව ලැබීම “කණ කැස්බෑවකු” විය සිදුරින් අහස බැලීම වැනි දුර්ලභ වූ දෙයකි. නමුත් වර්තමානයේ ජනගහණය වේගයෙන් වර්ධනය වීමක් පෙනේ. මෙයට හේතුව කුමක් ද? මෙයින් පෙනෙන්නේ පින්වන්තයන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීම ද?

පිළිතුර - සත්වයන්ගේ පුනර්භවය අනුව මිනිසත් බව ලැබීම ඉතා දුර්ලභය. සැදැහැසිතින් ඉතා කුඩා ප්‍රසාදයක් තුනුරුවන් කෙරෙහි වඩන අයෙක් දිව්‍ය සම්පත් ලබති. සමාජ හිතකාමී හා සත්ව හිතවාදී සුළු ක්‍රියාදාමයකින් වුව දිව්‍ය ලෝකය ලැබිය හැකි බව “විමාන වත්ථු” විමසීමෙන් පෙනේ.
මනුෂ්‍ය භවය සුගති භව අතර විශේෂයි. ලොව්තුරු බුදුවරු පහළ වන්නේ මිනිස් ලෝකයේ මිනිසකු ලෙසයි. වර්තමාන මිනිස් ලෝකයේ සිටින සියලු මනුෂ්‍යයෝ ම පව්කාරයෝ නොවෙති. මිනිසා පව්කාරයෙකු ලෙස පවසනුයේ නිර්මාණවාදී ආගම්වලයි. මිනිස් භවය ලැබීමම මහා පිනකි. මේ මහා පින වැරදි කාය-වාග්-කර්ම නිසා නසා ගන්නෝ ලොව බහුලයි. එබැවින් මිය යන්නවුන් අතරින් කොටසක් අපා ගත වෙති. පුණ්‍ය චේතනා ගොඩනගා ගන්නා බෞද්ධයෝ අපමණ සිටිති.
ලෝක ජනගහණයෙන් මිලියන 550 පමණ වන බෞද්ධයන් අතර දරුණු පව් කරන්නෝ අල්ප වෙති. මියන්මාරය, තායිලන්තය, ලංකාව වැනි රටවල ඇති පරිත්‍යාගී ගුණය සලකන විට සුගති භව පුරවන්නන් සිටින බව පෙනේ. ලෝක ජනගහණය වැඩිවීම ස්වභාවික සන්සිද්ධියකි. දෙව්ලොවින්, බඹලොවින්, චුත වන හා මිනිස් ලොව දී මරණයට පත්ව නැවත මිනිස් භවය ලබන සත්වයෝ අප්‍රමාණව සිටිති.


02 ප්‍රශ්නය – බුදුන් දවස මාර්ග ඵල ලාභීන් කෝටි ගණනක් සිටි බව අපි දනිමු. නමුත් වර්තමාන කාලයේ රහතන් වහන්සේලාගේ හෝ එවැනි මාර්ගඵල ලාභීන් ගැන අසන්නට නොලැබේ. මෙයට හේතුව කුමක් ද?

පිළිතුර - සාහිත්‍යයේ අරහන්ත උතුමන්ගේ සංඛ්‍යා ලේඛන ගැන දක්වන සංඛ්‍යා ලේඛන කෙසේ වුවත්, අරහත් භාවය ඉතා දුර්ලභ වෙයි. ලොව්තුරු බුද්ධත්වයට සාර අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුව මනාය. අරහන්ත භාවයට කල්ප ලක්ෂයක් පෙරුම් පිරුව මනාය. ඒ පෙරුම් පිරූ උතුමෝ ගෞතම බුද්ධෝත්පාදයේ උපදී නම් බුදුරදුන් ජීවමානව දැකීම නිර්වානාවබෝධය කර ගැනීමට සසර කුසලතා වැඩූ උතුමෝ වෙති. හිරු එළිය වැටීම සමඟ පද්මයන් පිපෙන්නා සේ බුදුරුව දැකීම සමගම නිර්වානාවබෝධයට පත්වන එම උතුමන්ගෙන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය පිරී පවතී. බුදුරජාණන් වහන්සේ පිරිනිවී පසුව වුව ශ්‍රී මුඛ දේශනය අමිශ්‍රව, පිරිසුදුව පවතින කාලවල ද රහතන් වහන්සේ බහුල වෙති. කල්ගතවීම සහ අර්හත් මාර්ගය පිළිබඳ මතුවන මත ස්වභාව නිසා විටෙක නිවැරදි මාවත ගැන විවිධ විචිත්‍ර අදහස් පැන නැගෙති. මේ කරුණ ද සමඟ වර්තමානයේ අරහන්ත ස්වභාවය ඉතා දුර්ලභ විය හැකියි. එහෙත් මාර්ගඵල ලාභීහු නොමැති යැයි කිව නොහැකියි. අර්හත්වය හෝ මාර්ගඵල ස්වභාවය ප්‍රකට කිරීම ඵල ලාභීන්ගේ ස්වභාවය නොවේ. වර්තමානයේ සමහර විට දක්නට ලැබෙන අරහන්ත භික්ෂූන්ගේ දේශනා, අරහන්ත භික්ෂූන්ගේ කඨින පූජා ආදී ප්‍රචාරයක් අරහත් භික්ෂූහූ නොකරති. නොඇලීම, නොගැනීම නැති මමත්වය නැසූ උතුමන් වැඩ සිටිය හැකියි.



03 ප්‍රශ්නය – එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කලත් ලැබෙන ආනිසංස එකමද?

පිළිතුර – එක මලක් පූජා කළත් මල් දහසක් පූජා කළත් ලැබෙන ආනිසංස එක නම් එක මලක් පූජා කළාම ඇති. එහෙත් එක මලට වඩා මල් දහසක් පූජාවේ ආනිසංස වැඩිවිය යුතුමයි. එහෙත් ආනිසංස ලැබෙන්නේ සැදැහැවතාගේ සිතේ පවතින ශ්‍රද්ධාවේ ප්‍රමාණයටයි.
පරසතු මලින් පුද
ලද මුනි සඳුට දිය නද
වන පස මලින් පුද
කලැයි පවසනු කවර වරදද
ගුත්තිල කවියා කියන මේ අදහස විමසන්න. එක මලක් පුදා හෝ මල් දහසක් පුදන තැන මලක්වත් නොපුදා හෝ බලවත් චිත්ත ප්‍රසාදයක් ලබා ගන්නා හෝ අනුමෝදන් වන ශ්‍රද්ධාවන්තයා මල් දස දහසක් පිදීමට ගොස් සිත් නරක් කර ගන්නා සැදැහැවතාට වඩා පින් අත්කර ගනියි. එබැවින් පුදන දෙයෙහි සංඛ්‍යාව හෝ පුදන තැනට වඩා පුදන්නාගේ ශ්‍රද්ධාව පින් වැඩීමට හේතුවන බව සලකන්න.



04 ප්‍රශ්නය – විශාල පිරිසකගේ යහපත පිණිස ප්‍රාණඝාතයක් කළහොත් යහපතක් කිරීමේ චේතනාව පෙරටු කර ගෙන කරන ක්‍රියාවක් නිසා අකුසල කර්මයක් සිදුවේ ද?


පිළිතුර – ඉතාමත් විමසීමෙන් සලකා බැලිය යුතු ගැටලුවකි. සියලු කරුණුවලට ප්‍රමුඛව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිසුදු දේශනය සැලකිය යුතුවේ. මොන කරුණක් නිසා හෝ වේවා කරන ප්‍රාණඝාතය පිනක් වන්නේ නැත. එය පවක්මයි. විශාල පිරිසක් නොව එකම පුද්ගලයකු හෝ ඝාතනය නොකරන රාජ්‍යයක් තැනීමට බුදුරජාණන් වහන්සේ දේශපාලන දර්ශනයක් ඉදිරිපත් කළහ.


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් 13 වන  අගහරුවාදා   දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment