Labels

Monday, December 12, 2016

දේවතා සංයුත්තයේ සුන්දර වූ අද්භූත දේශනා

“සගාත වර්ගය” ඉතා සුන්දරයි. මෙහි සාමාන්‍ය ජීවිතයේ යහපත උදාකර ගැනීමට මංපෙත් මේ ධර්ම කොටසේ සඳහන් වෙනවා. විශේෂයෙන් සදාචාර උපදේශයන් මෙහි ඇතුළත්. දේවතාසංයුත්තයේ භික්ෂූන් වහන්සේට අදාළ කරුණු, ගිහි ජනතාවට අදාළ කරුණු, සමස්ත සමාජයට අදාළ කරුණු ඇතුළත් වෙනවා.
ඉතාමත් ගෞරවයෙන් අප සරණගිය ඒ ශාස්තෘන් වහන්සේගේ නවාංග ශාස්තෘ ශාසනය ඉගෙනීම බෞද්ධ අපට ඉතා වැදගත් වෙයි. ඒ නවාංග ශාස්තෘ ශාසනයට අයත් සූත්‍ර දේශනා කොටස ඉතාම මිහිරියි. සුන්දරයි. එහි ඇති දේවතා සංයුත්තයේ මෙතැන් සිට සාකච්ඡාවට බඳුන් කරන අතර, මෙහි දෙවියන් ඇසූ ප්‍රශ්න සහ භාග්‍යවතුන් වහන්සේ දුන් පිළිතුරු ඇතුළත් වෙයි. ඒ වගේම “සත්ථා දේව මනුස්සානං” ගුණය ඉස්මතු කරමින් දෙවියන්ට සහ මිනිසුන්ට එකම ශෘස්තෘන් වහන්සේ වූ ආකාරය වටහා ගැනීම මෙම දේවතා සංයුත්තය හොඳම උදාහරණය යි.

බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා “තෙවලා දහම” ලෙස හඳුන්වනවා. තෙවලා දහම යනු ති‍්‍රපිටක දහමයි. පළමු ධර්ම සංගායනාවේදී මේ තෙවලා දහම විශේෂ කර කොටස් දෙකකට විනය හා දහම ලෙස බෙදුවා. ඒ කොටස් දෙක ත්‍රිපිටකය ලෙස විකාශනය වුණා. ඒ අනුව එම ත්‍රිපිටකය සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය ලෙස තුන් ආකාර වූවා.
මෙම තුන් පිටකයෙන් සූත්‍ර පිටකය නිකාය ග්‍රන්ථ පහකින් සමන්විතයි. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය ලෙස එම සූත්‍ර පිටකය කොටස් වලට වර්ග වෙනවා. ඒ නිකාය පහෙන් සංයුත්ත නිකාය සුවිශේෂි ධර්ම කොටස් අන්තර්ගත වන පරිච්ඡේදයක්. දේවතා සංයුත්තයේදී විශේෂයෙන් දෙවිවරුන් විසින් අසන ලද ප්‍රශ්න සහ ඒවාට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරු විස්තර වෙනවා.සංයුත්ත නිකාය ධර්ම ග්‍රන්ථ සමූහයක් කැටිකොට දක්වා ඇති බව පේනවා.

දේවතා සංයුත්තය


මේ සංයුත්ත නිකාය පිළිබඳ කතා කරන විට බොහෝ ධර්ම කරුණු ඉගෙන ගත හැකියි. සංයුත්ත නිකාය ඇතුළත විමසා බලන විට පැහැදිලි වන්නේ එහි බොහෝ ධර්ම කරුණු ඉතාමත් සරළව ඉගෙනීමට අවස්ථාව ඇති බවයි. සංයුත්ත නිකායේ අන්තර්ගතයේ එන “සගාථ වර්ගය” ඉතා සුන්දරයි. මෙහි සාමාන්‍ය ජීවිතයේ යහපත උදාකර ගැනීමට මංපෙත් මේ ධර්ම කොටසේ සඳහන් වෙනවා. විශේෂයෙන් සදාචාර උපදේශයන් මෙහි ඇතුළත්. දේවතා සංයුත්තයේ භික්ෂූන් වහන්සේට අදාළ කරුණු, ගිහි ජනතාවට අදාළ කරුණු, සමස්ත සමාජයට අදාළ කරුණු ඇතුළත් වෙනවා.
සංයුක්ත නිකායේ සගාත වර්ගයේ එන ප්‍රථම කොටස දේවතා සංයුත්තය යි. මෙහි සංවාදශීලි මුහුණවරක් ගත් සූත්‍රද ඇතුළත්. ඒ වගේම දේවපුත්ත සංයුත්තය, කෝසල සංයුත්තය, මාර සංයුත්තය, භික්ඛුණි සංයුත්තය, බ්‍රහ්ම සංයුත්තය, බ්‍රාහ්මණ සංයුත්තය, වංගීස සංයුත්තය, වණ සංයුත්තය, යක්ක සංයුත්තය, සක්ක සංයුත්තය ලෙස විස්තර වී තිබෙනවා. ඊට අමතරව නිධාන වර්ගය ලෙසද, ඛන්ධ වර්ගය ලෙසද, ප්‍රභේද කොට සංයුත්තය බෙදා තිබෙනවා. මේ සංයුත්ත නිකායේ බුද්ධ වචනය ඉතාම සුන්දර කොටසක් ලෙස විග්‍රහ කරන්න පුළුවන්. මෙය දේවතාවන් බුදුරජාණන් වහන්සේ අභිමුඛයේදී ඇසූ ප්‍රශ්න සහ ඒවාට දුන් පිළිතුරු ඇතුළත් වී තිබෙනවා. ඇතැම් කොටස් දෙවි දේවතාවන් විසින්ම අසා තිබෙනවා. සමහර අවස්ථාවක ඒ දෙවිවරුන් විසින් ප්‍රශ්න කොට භාග්‍යවතුන් වහන්සේගෙන් අසන්නේ “ස්වාමිනි, අප කියූ කරුණු වලින් හොඳම ප්‍රකාශනය කළේ කවුරුන්ද?” කියායි. බුදුරජාණන් වහන්සේ වදාළා දෙවිය, හැම දෙනාගේම ප්‍රකාශන හොඳයි. මමත් එයට තව කරුණක් එකතු කරනවා කියා දෙවියන් විසින් කියූ කාරණා අනුමත කර බුදුරජාණන් වහන්සේ විසින් එයට තව දහම් කරුණක් එකතු කළ අවස්ථා ද තිබෙනවා.

බුදුරදුන්ගේ ඉගැන්වීම්


අද අපේ සමාජයේ ඇති ඉගැන්වීම් රටාවේදී මනෝ විද්‍යාඥයන් උගන්වනවා ප්‍රශ්නෝත්තර ඉගෙන්වීම් ක්‍රමයක් පිළිබඳව. ඒ ඉගැන්වීම් ක්‍රමයේදී හොඳම නිදසුන ලෙස හමුවෙනවා සංයුත්ත නිකායේ මෙම දේවතා සංයුත්තය තුළ. බුදුරජාණන් වහන්සේගෙන් දෙවිවරු ඇසූ ප්‍රශ්න සහ ඒ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ දුන් පිළිතුරු. දෙවියන් විසින් නැවත ප්‍රශ්නයක් අසනවා නැවත උත්තර දෙනවා.
ඒ වගේ ප්‍රශ්මෝත්තර ක්‍රමයක් මේ දේවතා සංයුත්තයේ සඳහන්. ඒක අපගේ ඉගැන්වීම් ක්‍රමයටත් අදාළයි. මේ ඉගැන්වීම් ක්‍රම අතර දේශනා ක්‍රම, දේශනා සාකච්ඡා ක්‍රම, සංවාදාත්මක ක්‍රම, ප්‍රශ්නෝත්තර ක්‍රම, විවිධ ඉගැන්වීම් ක්‍රම ඇතුළත්. ඇතැම් අය ඈත අතීතයේදී දේශනා ක්‍රම ඉගැන්වීම් ක්‍රමයක් ලෙස භාවිතා කළා. නමුත් වර්තමානයේ දේශනා ක්‍රමය නො ගැලපෙන බව විචාරකයන්ගේ මතය යි. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් රටාව තුළ උන්වහන්සේ ශ්‍රාවකයාට ධර්මය ඉගැන්වීමේදී මේ ක්‍රම හැම දෙයක්ම භාවිත කර තිබෙනවා. එහි ඇති සංවාදාත්මක ප්‍රශ්මෝත්තර ක්‍රමය දේවතා සංයුත්යේ ඇති ක්‍රමය යි. ඒ වගේම පෙහෙළිකා ක්‍රමයත් දේවතා සංයුත්තයේ දකින්නට ලැබෙනවා. මේ ඉගැන්වීම් ක්‍රමවලදී සූත්‍ර ආශ්‍රයෙන් බොහෝ කරුණු ඉගෙනගත හැකියි. මේ දේවතා සංයුත්තයේ මුලින්ම ඇති “ඕඝ තරණ සූත්‍රයත්, ජටා සූත්‍රයත්” විශේෂ වෙනවා. ඕඝතරණ සූත්‍රයත්, ජටා සූත්‍රයත් ජනතාවගේ අවධානය යොමු විය යුතු සූත්‍ර දෙකක්.

දේවතා සංයුත්තය සහ දේවපුත්ත සංයුත්තය


සංයුක්ත නිකායේ දේවතාසංයුත්තය සහ දේවපුත්ත සංයුත්තය කියා කොටස් දෙකකට බෙදෙනවා. දේවතා සංයුත්තයේ ඇත්තේ අල්පේශාක්‍ය දෙවිවරුන් විසින් අසන ලද ප්‍රශ්නයි. සමහර විට ඒවායේ නම්ගොත් නැහැ. ඒ නිසා දේවතා සංයුත්තය සාමාන්‍ය දෙවිවරු විසින් අසන ලද ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරු සහ ඒ දෙවියන්ගේ ප්‍රකාශ ඇතුළත්. දෙවියන් මෙන්ම දේවතාවියන්ද ප්‍රශ්න ඇසීමට මැදියම් රැයෙහි මුළු ජේතවනාරාමය බබුළුවාගෙන පැමිණ තිබෙනවා. මංගල සූත්‍රය, පරාභව සූත්‍රය ආදී සූත්‍රවල ප්‍රශ්න ආකාරයට විමසා තිබෙනවා. ඒ ඇසූ ප්‍රශ්න අදටත් අපට අසන්නට තිබෙනවා. මෙහිදී දෙවිවරු ඇසූ ප්‍රශ්න බොහෝමයක්ම නොඇලීමේ වැදගත්කම ගැන ඇසූ ප්‍රශ්නයි. ඒ වගේම සිත සංවර කර ගැනීම, ධ්‍යාන ලැබීම,දානය ආදිය ගැන අසා තිබෙනවා. දේවතා සංයුත්තය ඕඝ තරණ සූත්‍රයෙන් ආරම්භ වෙලා අරණ සූත්‍රයෙන් අවසන් වී තිබෙනවා. ඕඝ තරණ සූත්‍රයේ සිට අරණ සූත්‍රය දක්වා දෙවිවරුන් ඇසූ විවිධ ප්‍රශ්න එහි සඳහන්. ඒ ප්‍රශ්න බොහොමයක් ඉතාමත් බුද්ධිමත් ප්‍රශ්නයි.

ප්‍රායෝගික දහම

බුදුදහම ප්‍රායෝගික දහමක් බව මේ සූත්‍ර දේශනා පරිශීලනය කරද්දී පෙනෙනවා. දේවතා සංයුත්තයේ පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීමට සහ ව්‍යාපාර දියුණුකර ගැනීමට, ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන්ට මාර්ග උපදේශකත්වය ලබාදී තිබෙනවා. ඇතැම් විට ශිෂ්‍ය දරුවන්ට දුන් උපදෙස් තිබෙනවා. ඒ නිසා විවිධ පැතිවලින් දේවතා සංයුත්තය පිළිබඳව ඉගෙන ගැනීමට හැකියාව තිබෙනවා. දහම් අවසානයේදී මේ දෙවිවරු බොහෝම ගෞරවයෙන් ශාස්තෘන් වහන්සේට වන්දනා කොට පැදකුණු කොට ඔබවහන්සේගේ දේශනාවෙන් අප සෑහීමකට පත්වුණා කියා සතුටු වූ බව එහි සඳහන් වෙනවා.
ඒ වගේම දේවපුත්ත සංයුත්තයේ දී ප්‍රශ්න ඇසීමට පැමිණ ඇත්තේ මහේශාක්‍ය ප්‍රසිද්ධ නම්ගොත් ඇති දෙවිවරුන්. චන්ද පරිත්ත, සුරිය පරිත්ත ආදී සූත්‍ර මේ දේවපුත්ත සංයුත්තයට උපකාරී වී තිබෙන බවට උදාහරණයි. මහා පිරිත් පොතට මේ පිරිත් පැමිණ ඇත්තේ ද සංයුත්ත නිකායෙන් බව සිතන්නට පුළුවනි.
පළමු හා දෙවන ධර්ම සංගායනා තුළදී මේ කොටස් වර්ග කරනු ලැබුවා.සංයුත්ත නිකාය භාරව කටයුතු කළේ මහාකස්සප මහරහතන් වහන්සේ ඇතුළු උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට යි. පුද්ගල සංවර්ධනය, සමාජ සංවර්ධනය, සමස්ත මානව සංවර්ධනය සඳහා මෙම සංයුත්ත නිකායේ ඇතුළත් දහම් කරුණු බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා බෞද්ධයන් සෑම කෙනෙකු විසින්ම පරිශීලනය කර දැනගත යුතු බොහෝ කරුණු කාරණා සංයුත්ත නිකායේ අන්තර්ගත වී තිබෙනවා.

මෙම උතුම් සංයුත්ත නිකායේ සඳහන් දේවතා සංයුත්තියයි අප ඉදිරියේදී සාකච්ඡාවට බඳුන් කරන්නේ. මනුස්ස ලෝකයේ සිට පින් දහම් සිදුකර දෙව්ලොව උපත ලැබූ අල්පේශාක්‍ය, මහේශාක්‍ය දෙවිවරුන් කෙතරම් බුද්ධිමත්ව ශාස්තෘන් වහන්ගෙන් ප්‍රශ්න අසා ඇද්ද යනුවෙන් එවිට වැටහෙයි. ඒ වගේම මෙතැන් සිට ඉදිරියට දේවතා සංයුත්තයේ තිබෙන සුන්දර වූත් අද්භූත දේශනා ඔබට ඉගෙන ගැනීමට හැකියාව ලැබෙයි.

රත්මලානේ ශ්‍රී රත්නාරාමය
බොරලැස්ගමුවේ සිරි සෝනුත්තර විහාරය
යන උභය විහාරාධිපති
බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ 
ප්‍රධාන අධිකරණ සංඝ නායක
සූරියගොඩ සිරිධම්ම නා හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් 13 වන  අගහරුවාදා   දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment