Labels

Monday, December 12, 2016

පොහොයට අටසිල් සමාදානය අර්ථවත් කරමු

අපේ රටේ බොදු ජනතාව අතර ජනපි‍්‍රය බොදු සිරිතක් බවට පත්ව ඇති දෙයක් තමයි පොහොය දවස්හි අටසිල් සමාදන් වීම. නැතිනම් පෙහෙවස් සමාදන් වීම. ඉතින් මේ සිරිත අද ඊයේ ඇති වූවක් පමණක් නොවෙයි. පෙර රජදරුවන් පවා පොහොය දවස්හි අටසිල් සමාදන්වී උතුම් ප්‍රතිපත්ති පූජාවක් පවත්වා තිබෙනවා. අප මහබෝසතුන් මවුකුස පිළිසිඳ ගත්තේත් එදා මහාමායාදේවිය පෙහෙවෙස් සමාදන්ව සිටි දවසකයි.
වර්තමානයේ විශේෂයෙන් පුරපසළොස්වක පොහොය දිනයෙහි මෙම සීලසමාදානය විශේෂ වශයෙන් සිදු වෙනවා. මෙයට වසර තිහ හතළිහකට පෙර නම් සතරපෝයට මත්තෙන් අපේ රටේ උවසු උවැසියන් යම් පමණක් පිරිස් මේ අටසිල් සමාදන් වුණා. අනුරාධපුර, කතරගම කිරිවෙහෙර, මහියංගණ, මුතියංගණ ආදී මහා විහාරස්ථානයන්හි දහස් ගණනින් පුරපසළොස්වක පොහොය දිනයන්හි මේ චාරිත්‍රය අනුගමනය කරන උවසු උවැසියන් දක්නට ලැබෙනවා. ලංකාවේ සෑම
විහාරස්ථානයකම පාහේ මේ විදියට සිල් සමාදන් ව දවස ගත කිරීම හොඳ බොදු සිරිතක් බවට පත්ව තිබෙනවා. සුදුවතින් හැඳගෙන අතිශය චාම් සරල පෙනුමක් ඇති කරගෙන මේ ආකාරයෙන් වෙහෙර විහාරස්ථානවල සිල් සමාදන්වී සිටින පිරිස් දකින කොටත් ඒ දකින අයට පවා මහත් ප්‍රසාදයක් සිතේ ලොකු නිවීමක් ඇති වෙනවා. මේ නිසා මේ විදියට සිල් සමාදන් වන දහස් ගණන් පිරිස්වලට ආහාර, ගිලන්පස ආදියෙන් සත්කාර කරන පිරිස් ද අපට නිතරම බහුලව දකින්නටත් ලැබෙනවා. ඉතින් උදේ පාන්දරම එනම් 6.00 ට විතර පන්සලේ හාමුදුරුවෝ විහාරමන්දිරයට හෝ විහාර මළුවට වැඩම කරවලා මේ පිරිස අටසිල් ගැන්වීමයි පළමුවෙන්ම දවසේ සිදුකරන කාර්යය බවට පත් වන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව මේ අටසිල් සමාදානයෙන් සිල් සමාදන් වන අය ඒ දවසේ සිල් පද අට මුවින් කියවා කුමක්ද සිතට ගන්නට ඕන කාරණය වෙලා තියෙන්නේ? ඇත්තෙන්ම මේ සිල් සමාදන් වන පිරිස නිවැරැදි තේරුමක් ඇතිව ද? මේ අටසිල් සමාදන් වී පන්සලේ දවස ගත කරන්නේ. මෙහි දී වැදගත් වන්නේ සතිය හෙවත් සිහිය පිහිටුවා ගැනීමයි. තවත් විදියකින් කියනවා නම් අප්‍රමාදයෙන් කටයුතු කිරීමයි. නිවන්මග අරමුණු කරගන්නා අය සතිය ඇතිව යි ක්‍රියා කරන්නේ. නිවන් මගට යොමු වෙනවා. කියන්නේත් සතිය පිහිටුවා ගෙන ක්‍රියා කරත්වා කියන එකයි. ඉතින් එතකොට අප සිල් සමාදන් වෙලා දවස ගත කරනවා කියන්නේ දවස සතියෙන් හෙවත් සිහියෙන් ගත කිරීමට උත්සාහ කිරීම යි. මේ කියන සතිය කුමක්ද? කියන එකයි. මෙහිදී වැදගත් වන කාරණය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තිබෙන ‘සංඛිත්තඅට්ඨංගුපොථ සූත්‍රයෙන්’ අපට ඉතා වැදගත් වෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම පෙන්වා දෙනවා අංග අටකින් යුක්ත මේ සීලයෙන් යුක්තව කල් යැවීම මහත්ඵල මහානිසංස වන බව.
එහිදී ආර්ය මාර්ගය අනුව ක්‍රියා කරන අය සිතට ගත යුතු කාරණා අටක් ඒ එක් එක් සිල් පදයක් සමාදන් වන විට සිහියට නගා ගතයුතු වෙනවා. ආර්යමාර්ගය අනුගමනය කරලා රහත් බවට පත් උතුමා දිවි ඇති තෙක් ම කවර ම ආකාරයකින්වත් සත්ව හිංසනයක, සත්ත්ව ඝාතනයක යෙදෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් දඬු මුගුරු අතට ගන්නෙත් නැහැ. අවි ආයුධ භාවිතා කරන්නේත් නැහැ. මෙත් සිතින් කල් යවනවා. පවට ඇත්තේ පුදුමාකාර ලජ්ජාවක්. හෙවත් හිරියක්. හැම විටම සියලු සතුන් කෙරෙහි දයාවෙන් කරුණාවෙනුයි පසු වන්නේ. ‘මමත් දවාලෙත් රැයෙන් රහතුන් ගත් මග ඔස්සේ යමින් ඒ ආකාරයෙන්ම කල් යවන්නටද මහ සිල් පද අටෙන් පළමු සිල්පදය මා විසින් මේ දවසේ ආරක්ෂා කළා වන්නේ සිතා සිහියෙන් දවස ගත කරනවා. එතකොට දැන් අප කාටත් වැටහෙනවා තම සිහියේ කුමන සිතිවිල්ලක් පළමුවෙන්ම තහවුරු කර ගතයුතු වෙනවා ද කියල. දැන් එහෙම වෙනකොට මම පළමු සිල්පදය රැක්කා වෙනවා.
දැන් දෙවන සිල් පදයට හැරෙමු. යමක් සොරසිතින් ගැනීමෙන් වැළකීම, ඒත් සිහිය පිහිටුවා ගන්නේ අරවිදියටමයි. රහත් බවට පත් උතුමා දිවි හිමියෙන් ම නොදුන් දේ පැහැර ගැනීමෙන් වැළකී සිටින උතුමෙක්. ඒ උතුමා දුන් දෙයක් පමණක් ගන්නේ ය. මමත් මේ දිවා රෑ ඒ ආකාරයෙන්ම සිහියෙහි පිහිටුවා ගන්නේ මට දුන් දෙයක් ගැනීමට කැමැත්තක් දක්වනවා හැර එවැනි සොර සිතක් කුමන ආකාරයකින් වත් ඇති කරගන්නේ නැහැ. මේ කරුණ සියලු ඉරියව් පටන් දෙවැනි සිල්පදය සමාදන් වන අය නිරතුරුවම රහත් උතුමන් අනුකරණය කරමින් සිහියෙහි පිහිටුවා කල් යවනවා.
තෙවන ශික්ෂාපදය කාම මිථ්‍යාචාරයෙන් වැළකීමයි. ආර්ය මාර්ගය අනුගමනය කරන ශ්‍රාවකයා කුමක්ද? සිහියට නගා ගන්නේ මෙම පෙර රහත් උතුමන් දිවි හිමියෙන් ක්‍රියා කළ ආකාරයෙන් කාමභෝගී අඹුසැමියන් ලෙස සංවාසයෙන් තොරව ඒවායින් දුරින් ම දුරු වී උතුම් බ්‍රහ්මචරියාවෙන් යුතුව, ඉන්ද්‍රිය අනුගමනයෙන් යුතුව කල් යවා සිහියෙහි මනා කොට පිහිටුවාගෙන කාලය ගත කිරීමයි. මෙය තවදුරටත් කියනවා නම් රහතන් වහන්සේ ගත් මග අනුකරණය කිරීමට ගනු ලබන උත්සාහයක් ලෙසයි සලකන්නේ.
මීළඟට සමාදන්වන අටසිල්පදය වන්නේ මුසාවාදයෙන් වැළකීමේ චර්යාව අනුගමනය කිරීම අදහස් කෙරෙන ශික්ෂාපදයයි. දිවි ඇතිතාක් රහතන් වහන්සේ විසින් ආරක්ෂා කළ මේ චරියාව පිළිබඳ අටසිල් පෙහෙවස් සමාදන් වන අය කුමක්ද? සිහියට නඟා ගතයුතු වන්නේ මෙම කාලය තුළ මම ස්ථිර වශයෙන්ම බොරු කීමෙන් වැළකෙමි. සත්‍ය පමණක් ගළපා කතා කරනවා. පාවිච්චි කරන වචන පිළිබඳ වගකීමක් ඇතිවන ස්ථිරවම නිවැරැදි වචනයෙහි පිහිටා ඕනෑම අයෙකු විසින් විශ්වාස කටයුතු කතාබහ ඇතිව ලෝකය වංචනික ලෙස කිසිවිටෙකත් රැවටීමකට ලක් නොකර ඒ උතුම් රහතන් වහන්සේ අනුකරණය කරමින් මනා ලෙස ඒ කරුණෙහි ද සිහිය පිහිටුවා පෙහෙවස් සමාදන් වෙනවා යි දිවා රාත්‍රී කාලය සිහි බුද්ධියෙන් කල්යවනවා කියන මේ අධිෂ්ඨානය ඇති කර ගැනීමයි.
පස්වන ශික්ෂාපදය ලෙස පෙහෙවස් සමාදන් වන උවසු උවැසියන් සිතට ගත යුතු වන්නේ ද, දිවිහිමියෙන් ආර්ය උත්තමයන් වහන්සේ මේ ආකාරයෙන් මදයට හා සිහිවිකල් බවටත්, සිත විසිරෙන ප්‍රමාදය කියන මේ නිවන් මඟ සම්පූර්ණයෙන් අවුරාලන මත්වතුරට, මත්ද්‍රව්‍යයට ගොදුරු නොවී එයින් දුරින් ම දුරු වී මෙම දවස් හි රාත්‍රී ‘මම සිහියෙන් යුක්තව කාලය ගත කරමි’යි යන අධිෂ්ඨානයෙන් යුතුව දවස ගත කිරීමයි. මෙයින් සිදු වන්නේ රහතන් වහන්සේ අනුගමනය කිරීමක්, මෙය මනාව දියුණුවන කුසල සිතිවිල්ලක් බවට පත් වෙනවා.
සයවෙනුව සමාදන්වන සීලය වන්නේ පෙරවරු කාලයෙහි පමණක් ආහාර ගැනීමත් පස්වරුවෙහි හෙවත් විකාලයෙහි ආහාර ගැනීමෙන් වැළකීමත්ය. මේ පිළිවෙත ද රහතන් වහන්සේ දිවිහිමියෙන් සුරැකි පිළිවෙතක් වෙනවා. උවසු උවැසියන් විසින් මෙහිදී අධිෂ්ඨානයෙන් සිහියට නඟා ගන්නේ ඒ රහතන් වහන්සේ ගත් මඟ තමන් විසින් ද අනුකරණය කරමින් මේ දිවා රාත්‍රී කාලය ගත කරනවා කියන ප්‍රතිපදාව අනුගමනය කිරීමයි.
හත්වන ප්‍රතිපදාව ලෙස සැලකෙන්නේ නැටුම් ගැයුම් වැයුම් උසුළු විසුලු දසුන් මෙන්ම මල් සුවඳවිළවුන් සිරුරෙහි ගැළවීම තවදුරටත් ඒ මඟින් තම සමේ අඩු තැන් පුරවාලමින් කාමභෝගී සාටෝප පෙනුමක් ඇති කර ගැනීමට උත්සාහ දැරීම කියන මේ සියලුම ව්‍යාජ තත්ත්වයගෙන් අත්මිදී බොහොම සරලව දිවිපවත්වා ගැනීමයි. මේ මග ද දිවිහිමියෙන් රහතන් වහන්සේ අනුගමනය කළ ගමන්මගයි. ‘මසිත ද ඒ ආකාරයෙන් උන්වහන්සේ මුළුසිතින්ම අනුකරණය කරමින් දිවා රාත්‍රී කාලය හෙවත් දවස ගතකරනවා කියන මේ අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කිරීම අදහස් කෙරෙනවා.
අටවෙනුවට පෙහෙවෙස් සමාදන් වන අය විසින් අධිෂ්ඨාන කර ගන්නා ප්‍රතිපදාව ලෙස සඳහන් වන්නේ පෙර රහතන් වහන්සේලා දිවිහිමියෙන් අනුගමනය කළ ආකාරයෙන්ම ක්‍රියා කරමින් මමත් පමණ ඉක්ම වූ උස් ආසන හා මහා ආසන භාවිත නො කර අතිශයින් සරල කිසිදු වටිනාකමක් නැති, තණ, පන්කොළ ආදියෙන් සකස් කළ පැති ඇතිරියක, සයනයක හිඳ මේ දිවා හා රාත්‍රී කාලය ගත කරන්නෙමි’. යන සිහියෙන් කල් යැවීමයි. මෙය ද ඒ ආර්ය උත්තමයන් වහන්සේ අනුකරණය කරමින් ක්‍රියා කිරීමක් වෙනවා.

මෙසේ මුල දී කියැවුණු මේ චර්යාත්මක වෙනස්කම් ඇති කර ගැනීමේ දී හැම විටම ප්‍රතිපත්තිමය වශයෙන් පුරුදු පුහුණු කර ගන්නා වෙන පැවැත්මකු යි අදහස් කර තිබෙන්නේ. මේ ප්‍රතිපත්තිමය චර්යාවන්ට යොමු වන සැදැහැති උපාසකයා හෝ උපාසිකාව මෙම සිහිය වගේම තම පැවැත්ම එක් පොහොය දිනකට පමණක් සීමා කර මාසයේ අනික් දවස් 29 හෝ 30 වෙනත් විෂම චර්යාවන්ට ගොදුරු වූවාට වරදක් නොවේ කියන අදහසක් මෙහි දී අදහස් වන්නේ නැහැ. එම උදවිය තම ජීවිතයට මේ කියන උතුම් චර්යාවන් හුරු කරගෙන අනෙකුත් දිනවල ද සරලව චාමෙට මනා සිහියෙන් යුක්තව දවස් යැවීමයි වැදගත් වන්නේ. මේ තත්ත්වය තමන්ගේ සාංසාරික පැවැත්ම නිවැරැදි කර ගැනීමටත් මහත් පිටුබලයක් වෙනවා. එවැනි අය දුසිරිතෙන් දුරු සමාජයේ නිවැරැදි ව හැම විටම ක්‍රියා කරනවා. කිසිවිටෙක මතට යොමු වන්නේත් නැහැ. කාටත් ආදර්ශයට ගත හැකි සරල ජීවිතයකට හුරු වෙනවා. මේ තත්ත්වය නිවන්මග හෙළි කර ගැනුමට කරන උත්සාහයක් බවට පත් වෙනවා. මෙය තවත් විදියකින් කියනවා නම් ගිහිගෙයින් දවසක් හෝ අභිනිෂ්ක්‍රමණය වීම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව සපුරාගන්නට යොමු වීමක් ද වෙනවා. එය ද නිවන් මඟට යොමු වීමකි.




වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් 13 වන  අගහරුවාදා   දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment