Labels

Saturday, December 17, 2016

අභියෝගය අවබෝධයක්‌ කරගන්න

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ
15 වැනි කොටස

මෙම ආත්මභාවයේදීම නිවීම උදෙසා වනවාසීව මගවඩන භික්‍ෂුව කැලයට ඇතුළු වීමේදීම උපද්‍රවයන් මඟහැරේවායි අධිෂ්ඨානය කළද, සද්ධර්මයෙන් ඈත්වූ මිනිසුන්ගේ සාමාජීය, පාරිසරික විකෘතිභාවයන් නිසා ඔබ ඉදිරියට අභියෝගයන් පැමිණිය හැකිය.

සතුනට අයත් කැලෑ මායිම් බිම් මිනිසුන් වගාවන් සඳහා යොදාගැනීම, සතුනට වෙඩි තැබීම නිසා තුවාල ලත් සතුන්, දඩයම් කිරීම, අලිවෙඩි පත්තුකිරීම, මරුවැල් ඇටවීම වැනි හේතූන් නිසා බියට පත් සතුන් සමහර අවස්‌ථාවල කැලය තුළ විකෘති, කලබලකාරී ලෙස හැසිරෙති.

මේවා පාලනය කිරීමට ධර්මයට නොහැකිය. මොකද මේවා ලෝකයේ ස්‌වභාවය හෙයිනි. එහෙත් අත්හැරීමේ තිබෙන මහානුභාවය නිසාම මෙවැනි විකෘති සතුන් පවා භික්‍ෂුවගෙන් මගහැරෙනවා.

දිනක්‌ භික්‍ෂුවක්‌ කැලෑබද ගුරුපාරක පිණ්‌ඩපාතයෙ වඩිනවා. මෙම කැලයේ නිතරම හැසිරෙන තනි අලියෙක්‌ සිටිනවා. මෙම තනියා මීට මාස කිහිපයකට පෙර ගොවියන් දෙදෙනෙක්‌ මරාදැමූ සතෙක්‌. වෙන අලින් මේ පෙදෙසේ නැහැ. මේ තනියා පමණයි කැලයේ සිටින්නේ. ඒ නිසා මෙයා සැරයි.

භික්‍ෂුව උදය කාලයේ කැලය මැදින් ගුරුපාරේ පිණ්‌ඩපාතේ වඩින විට පෙනෙනවා, පාර පුරා අතු කඩා දමලා, ගස්‌ පතුරු ගහලා පාරට දමලා හරියට වුවමනාවෙන්ම පාර අපවිත්‍ර කරලා වගේ. තනියා කේන්ති ගිය ස්‌වභාවයෙන්ම හැසිරී ඇතිබව හොඳටම පැහැදිලියි. භික්‍ෂුව හොඳින්ම දන්නවා දැන් ඉදිරියේ තනියා ඉන්නවා කියලා. වේලාව පෙරවරු 6.30ට ඇති. අලි ගඳත් දැනෙනවා. ගුරුපාර මඩකරලා. පෙරේදා රාත්‍රියේ වැස්‌ස තිබුණා. ඔබ දන්නවාද මේ වෙලාවේ භික්‍ෂුව මොකද කළේ කියලා. හැබැයි තවම භික්‍ෂුවට තනියා මුණගැසුනේ නැහැ. භික්‍ෂුවත් පැමිණි විලසින්ම ඉදිරියට වඩිනවා. ගමට යන්න එපැයි පිණ්‌ඩපාතය සොයාගන්න. ගමට යැමට කිලෝ මීටර 2ක්‌a පමණ දුරක්‌ තිබෙනවා. භික්‍ෂුව ඉදිරියටම වඩිනවා. තනියා මග දිගටම අතුකඩා දමලා, පොත්ත අනුභව කරන්න ගස්‌ පතුරුගහලා. භික්‍ෂුව මොහොතක්‌ නවතිනවා. කුමක්‌ සඳහාද? තමා ඉදිරියේ ඇති අභියෝගය ජයග්‍රහණයකට පරිවර්තනය කරගන්න. භික්‍ෂුව මනසින් දකිනවා, තනියා තමන් ඉදිරියට වියරුවෙන් එනවා. ඇවිත් හොඬවැලෙන් භික්‍ෂුව අඹරවලා ගන්නවා. අරගෙන තනියා වියරුවෙන්ම භික්‍ෂුවව පොලොවේ ගසනවා. භික්‍ෂුවගේ හිසට තනියා තම ඉදිරි පාදය තබා පාගනවා. හිස කුඩුවෙනවා. මේ සියල්ල භික්‍ෂුව මනසිනුයි දකින්නේ. භික්‍ෂුව දැනෙන දැනෙන වේදනාව තමාට අයත් දෙයක්‌ නොවන බව දකිනවා. කුඩුවෙන බිඳෙන කය තමාට අයත් නැති බව දකිනවා. භික්‍ෂුව දකිනවා තම අවසාන හුස්‌ම පොද ශරීරයෙන් පිටවෙනවා. භික්‍ෂුව නුවනින් බලනවා ඇතිවූ අවසාන සිත නැවත ප්‍රතිසන්ධියක්‌ සහිත සිතක්‌ද කියලා. භික්‍ෂුව දකිනවා අවසන් සිතේ කිසිම උපාදානයක්‌, තණ්‌හාවක්‌, කැමැත්තක්‌ නැතිය කියලා. භික්‍ෂුව අවබෝධ කරගන්නවා කැමැත්තක්‌, තණ්‌හාවක්‌ නොමැතිනම් නැවත උපාදානයක්‌, බැසගැනීමක්‌ නොමැති බව. බලන්න නිවන් මඟ වඩන භික්‍ෂුවක්‌ ජීවිතයට අභියෝගයක සෙවනැල්ල වැටුණු මොහොතකදී තමා විසින්ම ජීවිතය මරාදැමීමට සලස්‌වලා අවබෝධය ලබලා නැවැත ජීවිතයට සේන්දු වුණා. බලන්න ලොව්තුරු ධර්මයේ විශිෂ්ට බව. අතහැරීමේ ආශ්චර්යය.

දස දහස්‌ගණනින් මහ රහතන් වහන්සේලා අතීතයේ බිහිවූයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙවැනි කමටහන් බුදු පුතුන්ට දුන් නිසාය. මෙම සිදුවීමේදී භික්‍ෂුව තුළ වැඩුනේ සතර සතිපට්‌ඨානයයි.

මෙවැනි සිදුවීම් භික්‍ෂුව ඉදිරියට එන ආශිර්වාදයන්ය. ඔබ දක්‍ෂ විය යුතුයි ඔබේ නිවීම උදෙසා මේවා ගලපාගැනීමට.

තනි අලියාට පමණක්‌ නොව අනිකුත් අභියෝගවලදීත්.....

භික්‍ෂුවගේ දක්‍ෂභාවය නිසාම අභියෝගය ඉදිරියේ ජීවිතය අතහැරෙනකොට, ඉදිරියේ අනිවාර්යෙන්ම ඇතැයි කියලා අනුමාන කළ තනියා දකින්න සිටියේ නැත. තනියාට භික්‍ෂුවගේ ඉව දැනෙන සීමාවේ ඉන්න බැහැ. එයාට දැනෙනවා භික්‍ෂුවගේ අතහැරීමෙන් කම්පාවන ලෝක ස්‌වභාවය. සියල්ල ඔබ අතහරින්න. ඔබට මේ සියල්ල ලැබෙනවා. එහෙත් මේ සියල්ල ඔබට ලැබෙනවිට මේ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය බව ඔබ අවබෝධයෙන් දකිනවා. ඔබද ඔබේ වාසනාවත් භික්‍ෂු ජීවිතය ඉදිරියට අභියෝග පතිත වන විට පලා නොයන්න, බිය නොවන්න. යටත් නොවන්න. පිරිත් පොත අතට නොගන්න. බුදු ගුණ නොසිතන්න. ඔබත් අභියෝගයත්, ප්‍රතිඵලයත් ඔබේ නොවේ යෑයි දකින්න. එවිට ඔබ දකින්නේ සැබෑම බුදුගුණයයි.

ඔබේ ජීවිතය ඔබම ලෙඩ කරන්න, අංශභාග රෝගියෙක්‌ කරන්න, පිළිකා, ලියුකේමියා, වකුගඩු රෝගියෙක්‌ කරන්න. මග තොටේදී ඔබව වාහනයකට යටවී ශරීරය කුඩුවෙනවා දකින්න. ඔබ වයසට ගිහින් ලෙඬ ඇඳේ අබ්බගාතයෙක්‌ ලෙස දුක්‌විඳිනවා දකින්න. ඔබට සලකන්නට කෙනෙක්‌ නොමැතිව අසූචි මළමුත්‍රා මත ඔබ වැටී සිටිනා හැටි දකින්න. ඔබ මනසින් මියයන්න.

ඔබේ සිතේ ස්‌වභාවය අධ්‍යයනය කරන්න. මේ සියලු කමටහන් තුළින් ඔබ තුළ වැඩෙන්නේ සතර සතිපට්‌ඨානය බව අවබෝධයෙන් දකින්න. මරණය මනසින් අත්දකිමින්, අත්විඳිමින් නැවත උපාදනයක්‌ නැති අවසානයක්‌ කරා යැමට සිත පුහුණු කරන්න. අභියෝගය- අවබෝධයක්‌ කරගන්න. ඔබද නිවන් මඟට අවතීර්ණ වන්න. නිර්වින්දන, අලිවෙඩි, ඇත්ගොව්වන්, හෙන්ඩුව නොමැතිව සද්ධන්ත කුළයේ අලි ඇතුන් දමනය වන ආශ්චර්යවත් ධර්මයේ උරුමක්‌කරුවෙක්‌ වෙන්න. හැබැයි ඒ අලි දමනය කිරීමට නම් නොවේ. අලි දමනය කිරීමට ඔබ තුළ ඇතිවන සිත හා කැමැත්ත දමනය කරගැනීමටය. කැමැත්ත අතහැර දැමීමටය. කැමැත්ත යනු ඔබට අයත් දෙයක්‌ නොවන බව දකින්න. අනිත්‍යභාවයට පත්වන සිත ඔබට දෙන අනිත්‍යවූ නියෝගයක්‌ පමණක්‌ම ලෙසින් එය දකින්න. සිත අතහැරුණු කල, කැමැත්තද ඔබට අතහැරෙනු ඇත. මේ මොහොතේත් ඔබ යම් කැමැත්තකින් පසුවෙනවා නම් ඔබ සියුම්ව නිරීක්‍ෂණය කර බලන්න. ඔබේ අනිත්‍යභාවයට පත්වන, ඔබට අයිති නැත. සිත නේද ඒ කැමැත්තට ඔබව පොළඹවන්නේ. භවය කරා ඔබව කැඳවාගෙන යන අවිචාරවත් සිත අවබෝධයෙන් හඳුනාගෙන කැමැත්තෙන් මිදෙන්න.



2012 ජනවාරි 29 ඉරිදා  දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:

Post a Comment