Labels

Monday, December 12, 2016

කාන්තා පැවිද්දේ අතීතය සහ වර්තමානය

ථෙරවාද බෞද්ධ දර්ශනය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවේ මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. මේ සම්බන්ධ විස්තර දීපවංශය, මහාවංශය, චූලවංශය යන වංශ කථා වලින් සහ චීන මූලාශ්‍ර වලින් දැක්වේ. චීන මූලාශ්‍රයන් වැදගත් වන්නේ ක්‍රි.ව. පස්වන සියවස කාලයේදි චීනයේ භික්ෂුණී ශාසනය ස්ථාපිත කිරීමට අදාළ ඉතිහාසය අතින් පමණක් නොව, ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ භික්ෂුණී ශාසනය නැවත වරක් ස්ථාපිත කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාවලිය සහ එය ප්‍රථමවරට තායිලන්තයේ සහ ටිබැටයේ ස්ථාපිත කිරීමේ තොරතුරු අතින් ද ඉතා වැදගත්ය. ආචාර්ය තේසා බර්තෝලමියුස් (Tessa Bertholemuze) බෝ සෙවනේ කාන්තාවෝ (Woman Under the Bo Tree ) 1944 යන විමර්ශන ග්‍රන්ථයේ සවිස්තර වාර්තාවක් ඇත.
(මහින්ද හිමිගේ සොහොයුරිය / අශෝක රජුගේ දුවනිය) වූ සංඝමිත්තා මෙහෙණිය, ස්ත්‍රීන්ට පැවිද්ද ලබාදීමට අවශ්‍ය මෙහෙණින් වහන්සේලා නිවැරදි ප්‍රමාණයක් සමඟ ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ ඔවුන් සමඟ බෝධි වෘක්ෂයේ ශාඛාවක් ද ගෙන එමිනි. සංඝමිත්තා මෙහෙණිය වඩින විට මෙහි අනුලා බිසවගේ මූලිකත්වයෙන් කාන්තාවන් 500ක් පැවිද්ද ලබාගැනීමට සූදානම්ව සිටි බව පැරණි මූලාශ්‍රවල දැක්වේ. මහින්ද හිමියන්ට නියමාකාරයෙන් පැවිද්ද ලබාදීමට නොහැකිව සිටි ඔවුන් දසසිල් සමාදන් කරවා සිවුරු හඳවා රජතුමා විසින් ඔවුන් වෙනුවෙන්ම ඉදිකරන ලද වෙනම කුටිවල ආශ්‍රම ගතකරන ලදි. ශාසනය ස්ථාපිත කිරීමෙන් පසු අනුලා දේවිය ඇතුලු පිරිවර 500ක් දෙනා ධර්මාවබෝධය ලැබූබව සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ මෙහෙණින් වහන්සේලා පිළිබඳ ඉතිහාසය ඉන්දියාවේ භික්ෂුණීන්ගේ ඉතිහාසයට සමාන්තරය. දීපවංශයේ සඳහන් පරිදි බුද්ධාගම ස්ථාපිත කිරීමේදී භික්ෂුණීන්ගේ භූමිකාව ඉතා වැදගත්ය. භික්ෂුණීන්ගේ ඉගැන්වීමේ කටයුතු ඔවුන්ගේ බහුශ්‍රැතභාවය සහ නිර්වාණය අවබෝධ කරගැනීම ආදිය සම්බන්ධයෙන් ඉමහත් සේ ප්‍රශංසා කරන දීපවංශය රජවරුන් පවා ඔවුනට ගෞරව පුදකළ බව සඳහන් කරයි. කෙසේ වුවද මහාවංශයේ භික්ෂුණීන් ගැන සඳහන් වන්නේ ඉතා කලාතුරකින් බවත්, එසේ සඳහන් කරන විට පවා එසේ කරනුයේ භික්ෂූන් හා සම්බන්ධ කරගැනීමෙන් පමණක් බවත් කිව යුතුය. මෙයින් හඟවනු ලබන්නේ ඔවුන්ගේ අගය අඩුබවත් ඒ අනුව එසේ අඩු අගැයීමක් හිමිබවත්ය. භික්ෂුණී ශාසනය ගැන අවසන් වරට චූලවංශයේ වාර්තාවන්නේ දසවන සියවසේදීය. එහි සඳහන් වන්නේ රජතුමා භික්ෂුණීන් සඳහා විශාල ආරාමයක් සාදවා දුන් බවය. එතැනින් ඉදිරියට භික්ෂුණීන් ගැන වාර්තා නැත. එකොළොස්වැනි සියවස තුළ භික්ෂු ශාසනය මෙන්ම භික්ෂුණී ශාසනයත් පරිහානියට පත්ව ගිය අතර මේ ශත වර්ෂයේ අග කාලයේ බුරුමයෙන් භික්ෂූන් ගෙන්වා භික්ෂු ශාසනය ස්ථාපිත කළ බව පමණක් වාර්තා වෙයි. භික්ෂුණී ශාසනය නැවත උත්ථාපනය කිරීම සඳහා උත්සාහයක් කිසිවෙක් නොගන්නා ලද්දේ ද? අවශ්‍ය ගණපූර්ණය ලබාදීමට බුරුමය අසමත්වීද ? කාන්තාවන්ගේ අලුත් සසුනක් සඳහා කල්බලා නොකළේද ? යන්න ගැටළු සහගතය. එකොළොස් වන සියවසේදී මෙහෙණි සස්න බුරුමයට ගෙන යනු ලැබ දහතුන්වැනි සියවසේ අගහරිය වනතුරු ක්‍රියාත්මකව තිබුණද, ඊට වැඩි කාලය එය පැවතුණේ නැත.

මෙහෙණි සස්න තායිලන්තයට ගියේ නැත. වියට්නාමය එහි ඉතිහාසය පුරාම විවිධාකාර බෞද්ධ ඉගැන්වීම් ලබාගත්තේය. එනම් ථෙරවාද, මහායාන, ශුද්ධභූමි (Pure Land) සහ චාං (Chan) බුදුදහම යන අංශය වියට්නාම ජනයා මේ සම්ප්‍රදායන් තුනම මිශ්‍ර කිරීමේ නැඹුරුතාවයට පැමිණ චාං භාවනා ශුද්ධ භූමි භක්තිමය අභ්‍යාස ක්‍රම සකසා ගත්හ. වියට්නාමය, ලාඕසය සහ කාම්බෝජය යන රටවල ආගමික කාන්තා හා පුරුෂ දෙපක්ෂයටම අතිරේක ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවිය. එහි බුද්ධාගමටත් එරට ඇතිවූ දේශපාලනමය හා සාමාජීය ගැටුම් ද, නවීකරණ කටයුතු ද හේතු කොටගෙන සක්‍රීයව පැවැත්ම සඳහා අරගලයක් කිරීමට සිදුවිය ටිබැට් බුද්ධාගමට ද මෙම අභියෝගයන්ට මුහුණ දීමට සිදුවිය. 1957 දී ටිබැටය චීනය විසින් අත්කර ගැනීමෙන් පසු බෞද්ධ ආරාම විනාශ කරදමනු ලැබීය. භික්ෂු භික්ෂුණීන් ඝාතනය කරනු ලැබීය. බොහෝ දෙනෙකු රටින් පැන ගියහ. චීන ප්‍රතිපත්ති මත මේ ප්‍රදේශය චීන හන් (Han Chinese) පදිංචිකරුවන්ගෙන් පිරීයාමත් සමඟ සහජයෙන්ම බෞද්ධ වූ ටිබැට් සංස්කෘතියට තර්ජන එල්ලවිය. ටිබැටයට භික්ෂුණී ශාසනය ළඟා නොවූ අතර, භික්ෂූන් වහන්සේලා සාම්ප්‍රදායිකව සාමණේර පැවිද්ද ලබාදුන් අතර, ඉතිහාසය අතින් ගත්විට ටිබැටයේ විශාල මෙහෙණින් වහන්සේලා සංඛ්‍යාවක් සිට ඇත. වියට්නාමයේ මෙන්ම ඔව්හූ බොහෝ විට දේශපාලන අරගලවල ප්‍රමුඛස්ථානය ගත්හ. ඊට අතිරේකව ටිබැටයේ යෝගීන් (Yogine) නමින් හැඳීන්වුණ බ්‍රහ්මචාරි නොවන තාන්ත්‍රික අභ්‍යාස ක්‍රමවල යෙදුන කාන්තාවන් කොටසක් වූහ. යෝගීන්වරු පැවිදිවී නැත. බ්‍රහ්මචර්යාව පිළිබඳ බැඳීමක් ද නැත. ඔව්හු ඔවුන්ගේ පුරුෂ පාර්ශවය මෙන් සමහරවිට ආරාම මිදුල්වල හෝ හුදකලා ප්‍රදේශවල ජීවත්වූහ.
උපසම්පදාව ලැබූ මෙහෙණින් වහන්සේලා (12) ක් වූ ඝණපූර්ණය නොමැතිව කාන්තා සාමණේර පැවිද්ද ලබාදීම භික්ෂූන් විසින් සිදුකිරීමේ පුරුද්ද දකුණු හා ගිණිකොණ දිග ආසියානු රටවල මෙන්ම ටිබැටයේ ද සාමාන්‍ය දෙයක් විය. මෑත කාලයේ සම්පූර්ණ භික්ෂුණී පැවිද්ද නොපවතින තැන්වල එම පූර්ණ පැවිද්ද කාන්තාවන්ට ලැබාදීමේ ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන ක්‍රියාකරන කර්මා ලෙක්ෂේ ටිසොමෝ (Karma Lekshe Tssmo) නම් ඇමරිකානු උත්පත්තියක් ඇති වජ්‍රයාණ මෙහෙණිය ඇගේ පවුල, ආශ්‍රමය හා ලිංගභේද සාධාරණත්වය (Family Monastery and Gender Jushce) නම් කෘතියේ මේ හා සම්බන්ධ ගැටලු සහිත ස්වභාවය විමසිල්ලට භාජනය කර ඇත. බෞද්ධ පැවිදි ජීවිතයට පූර්ණ වශයෙන් සහභාගී වීමට කාන්තාවන් තුළ ඇති ආශාව ගැන භික්ෂූන් තුළ ඇති ආකල්පය ගැන ප්‍රශංසා කරන අතරම ට්සෝමෝ (Tsomo) විශ්වාස කරන්නේ පැවිද්ද, අධ්‍යාපනය සහ පුහුණුව හා සමඟ සම්පූර්ණත්වයට පත්නොවුනහොත් ඒ නිසාම කාන්තාවන්ටත් ඔවුන් සම්බන්ධවන ඕනෑම සමාජයකට සහ දෙකටම දුෂ්කරතා ඇතිවන බවය. තවද මේ නිසා පැවිදිකරවීමේ කාර්යයෙන් භික්ෂූන් වහන්සේලා ඉවත් වුවහොත් කාන්තා සමාජය හා සම්බන්ධ පැවිද්ද සතු බලය ටිකෙන් ටික පිරිහී යනු ඇත.
සම්පූර්ණයෙන් පැවිදි භික්ෂුණී පරම්පරාවක් ආරක්ෂා කර ගත හැකිවී ඇත්තේ චීනය, කොරියාව සහ වියට්නාමය යන රටවලට පමණි. විනයානුකූල පෙළපත නම් (ක්‍රි.ව. 429 - 54) පස්වන සියවසේ ප්‍රථම තුන්වන කාර්තුවේ ශ්‍රී ලංකාවෙන් චීනයට ගෙන එන ලද භික්ෂුණී පරපුරයි. මෙහි වැදගත් කාරණය වන්නේ ශාසනයේ පැවැත්ම රඳාපවත්නේ විනය ආරක්ෂාවීම මත සදහන්ව තිබීමයි. ඇත්ත වශයෙන්ම පාලි විනය පිටකයේ අවධාරණය වන්නේ බුද්ධාගම පවතින්නේ විනය පවතිනතාක් කල් පමණක් බවයි. මෙම කාරණයේදී ගිණිකොනදිග ආසියාවේ සහ ටිබැටයේ සම්පූර්ණ භික්ෂුණී පැවිද්ද නැවත ස්ථාපිත කිරීමේ කාර්යයේදී එම සම්ප්‍රදාය වෙනුවෙන් පක්ෂපාතව ක්‍රියාකරන (දැනට පවතින එකම ගුරුකුලය වන) මුල්කාලීන ථේරවාද ගුරුකුලය හා සම්බන්ධ පෙළපතට අයත් කෙනෙකු වන ධර්‍මගුප්ත එහි විනයානුකූලතාවය පිළිබඳ කරුණු ගෙනහැර දක්වයි. පූර්ණ පැවිදිභාවය පිළිබඳ විරුද්ධත්වය දැක්වෙන අය වාදකරන්නේ චීනයේ බුද්ධාගම මහායාන ගුරුකුලයට අයත් නිසා එය විනයානුකූල නොවන බවයි. එහෙත් මහායාන සම්ප්‍රදාය තුළ භික්ෂුණී පැවිද්දට විශාල පිළිගැනීමක් ඇති අතර ශාසනික වශයෙන් විශාල වගකීමක් පැවරී ඇති බව සදහන් කළ යුතුය. ආසියාව පුරා විසිරී ඇති පැවිදි බව නොලත් සහ අර්ධපැවිද්ද ලබාසිටින ආගමික කාන්තාවන් ද මේ වන විට විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරන බව දක්නට ලැබේ.





ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති, 
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි, මහාචාර්ය 
බෙල්ලන්විල විමලරතන අනු නා හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් 13 වන  අගහරුවාදා   දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment