"දානයෙන් උපන් සියලු තැන ආහාර ලැබේවායි ද ප්‍රාර්ථනා කළේය. සිතේ අදහස පුන් සඳක් සේ ඉටුවේවායිද පසේ බුදුහිමියෝ පැතූහ."
අතීතයේ බරණැස් සිටුතුමා හදිසියේ කාලක්‍රියා කළෙන් රජතුමා ඔහුගේ පුතු ගන්ධ නම් කුමාරයාට සිටු තනතුර ප්‍රදානය කළේය. ගන්ධ සිටුවරයා නමින් ඔහු ප්‍රසිද්ධ විය. සිටු මාලිගයේ භාණ්ඩාගාරික වරයා නවක සිටු තුමන්ට භාණ්ඩාගාරය හැර පියා විසින් රැස් කොට තැන්පත් කොට ඇති අති මහත් ධනය, පෙන්වීය. පියා මෙම ධනය රැගෙන නොගොස් මෙසේ තැන්පත් කර ගියේ ඇයිදැයි
භාණ්ඩාගාරවරයා වෙතින් තරුණ ගන්ධ සිටු ප්‍රශ්න කළේය. එවිට ඔහු සිටුතුමන්ට පැහැදිලි කළේ මරණින් මතු ධනය රැගෙන නොයන බවත් කරන ලද කුසල් අකුසල් පමණක් රැගෙන යන බවත්ය. එවිට සිටුවරයා කියා සිටියේ තම පියා ධනය භුක්ති විඳින ක්‍රමය නොදැන ගොඩ ගසා මිය ගොස් ඇති බැවින් තමා එසේ නොකොට ධනය පරිභෝග කරන බවයි. ඒ සඳහා කිසිදු දානමාන පින්කම් කුසල් ආදිය කිසිත් නොකොට සුර සැප විඳින්නට ඉටා ගත්තේය.
ඒ අනුව කහවණු ලක්ෂයක් යොදවා පළිඟු මැණිකෙන් නාන ගෙයක් ඉදි කළේය. තවත් කහවනු ලක්ෂයක් වියදම් කොට නාන පුවරුවක් ඉදි කළේය. තවත් ලක්ෂයක් වැය කොට වාඩිවීමට අසුනක් පිළියෙළ කළේය. තවත් ලක්ෂයක් වැය කොට ආහාර ගන්නා බඳුනක් ද තවත් ලක්ෂයක් වැය කොට පැන් ගන්නා ස්ථානයක්ද සකසා ලීය. තවත් ලක්ෂයකින් සී මැදුරු කවුළුවක් තනා ගත්තේය. තමාගේ උදෑසන ආහාරය සඳහා කහවනු, දහසක් ද රාත්‍රී ආහාරය සඳහා කහවණු දහසක්ද, පුර පෝ දිනයකට කහවණු ලක්ෂයක්ද වියදම් කළේය. මැදුර අලංකරනය සඳහා තවත් ලක්ෂයක්ද යනාදී වශයෙන් පිය උරුමයෙන් ලද ධනය අතට, පයට වියදම් කළේය. කිසිඳු දිනකට පිනකට කිසිඳු වියදමක් නොකළේය.
මෙම සිටුවරයා ආහාර ගන්නා ආකාරය නරඹන්නට නගර වැසියන්ට එන්නැයි අණ බෙර ලැවීය. එවිට බොහෝ ජනයා මැසි මත්තෙහි මැසි බැඳ ඒවායේ නැගී ගන්ධ සිටුවරයාගේ අපූරු ආහාර ගැනීම නරඹන්නට රැස්වූහ. සිටුපුත්‍රයා ද සුවඳ පැන් කළ දහසකින් දිය නා සිවුමැදුරු කවුළුව හැර මැණික් පළඟෙහි වාඩි වී නළු නිළියන් පිරිවරා ඔවුන්ගේ නර්තන රංගන මධ්‍යයෙහි ආහාර ගන්නට සූදානම් වූයේය. ඔහුගේ රන් පිඟානට බොහෝ ආහාර බෙදා ගත් සිටුවරයා අනුභව කිරීම ඇරඹීය.
මේ අතරෙහි එක් දුගී මිනිසෙක් තමාගේ වියදම් උපයා ගැනීම උදෙසා දර විකුණමින් ජීවත් විය. ඔහු නගරයට පැමිණ දර විකුණමින් සිටියදී ගන්ධ සිටුවරයාගේ අපූර්ව ආහාර ගැනීම නරඹන මිනිසුන් දුටුවේය. ඔහුද එම මිනිසුන් සමඟ ගොස් මෙම ආහාර ගැනීම නරඹා එම ආහාරයෙහි සුවඳ ආඝ්‍රණය වීමට මේ රන් තැලියෙන් ආහාර පිඬක් හෝ අනුභව කරන්නට ආශාවක් පහළ විණැයි අනෙක් ජනයාට කීවේය. එය කිසිසේත් ලැබිය නොහැකි බව සියලු දෙනා මෙම දුගියාට කීහ. එය ප්‍රාර්ථනා ද නොකළ යුතු දෙයක් බව පැහැදිලි කළහ. එවිට දුගියා, එම ආහාරය සඳහා තදින් ලොල් වී කෙසේ හෝ සිටුපුත්‍රයාගේ ආහාරයෙන් පිඬක් නොලැබෙන්නේ නම් ජීවිතය නැති වන්නේ යැයි හඬමින් කියන්නට වීය. කිසිවකුට ඔහු අස්වසාලිය නොහැකි විය.
අනතුරුව මෙම දුගියා පිරිස මැදින් ඉදිරියට ගොස් සිටු පුත්‍රයාට කෑ ගසා තෙවරක් දණ නමස්කාර කොට ඔබගේ බඳුනෙන් ආහාර පිඬක් අනුභවයට ආශාව පහළ වූ දුගී ගැමියෙකැ’යි තමා හඳුන්වා දුන්නේය. එය කිසිසේත් නොලැබෙන බව සිටුපුත්‍රයා කී විට ලැබුණොත් ජීවත් වෙමි. නොලදොත් මැරෙමි’යි විළාප නැගීය. එවිට බත් පිඬෙක වටිනාකම ගණන් බැලු සිටුවරයා එය ගෙවෙන්නට තුන්මසක් තම නිවෙසහි බැලමෙහෙවර කරන්නේ නම් එම මෙහෙවර අවසන් කළ පසු බත් පිඬක් ලබා දෙන්නට පොරොන්දු වීය.
එවිට මෙම දුගියා සියලු නෑදෑ හිතවතුන් ගේ දොර අත්හැර බත් පිඬක් වෙනුවෙන් තුන් මසක් මෙහෙවර කරන්නට සිටු මැදුරට පිවිසුණි. එතැන් සිට නිවසේ සියලු දෑ නිසි ලෙස ඉටු කළේය. ඔහු බත් බැලයා යැයි මුළු නුවරම ප්‍රසිද්ධ විය. ඉක්බිති තෙවසර අවසන් වූ පසු සිටුවරයාට දැන්වීය. සිටුවරයා මොහු ඉතා දුෂ්කර කාර්යයක් කරන ලදැයි සතුටුව සියලු සම්පත් පවරා දී සිටුවරයාගේ නාන කොටුවෙහි සුවඳ පැන් ස්නානය කොට ඔහුගේ මැණික් පළඟ මත අසුන් ගත්තේය. බත් බැලයා ආහාර ගන්නා අයුරු බලන්නට නගර වැසියෝද එක්රැස් වූහ. මැසි මත්තෙහි සිටිමින් ජනයා මෙය කුතුහලයෙන් නැරඹූහ. ඔහු ආහාර අනුභව කරන්නට බත් බඳුන ගෙන අත සේදුවා පමණි.
එවිට ගන්ධවාදන පර්වතයෙහි සිටි පසේ බුදුවරයෙක් මෙම බත්බැලයාගේ ආහාර ගැනීම දැක ඔහුගේ ආහාරය පිණ්ඩපාතය ලෙස ලබා ගෙන ඔහුට අනුකම්පා කරමි’යි සිතා ගත්හ. එමෙන්ම ඔහුට ශ්‍රද්ධා සම්පත්තියද පිහිටුවා ගන්නට හැකි බවද පසේ බුදු හිමියෝ දුටහ. බුදුහිමියෝ සිවුර පොරවා පාත්‍රය අතට ගෙන අහසට පැන නැගී පිරිස් අතරින් පැමිණ බත් බැලයා ඉදිරියේ පෙනී සිටියහ. බත් බැලයා එය දැක තමන්ට ලැබුණේ මහා භාග්‍යයක් යැයි සිතා තමන් පෙර දන් නොදුන් බැවින් බත් පතක් වෙනුවෙන් තුන් වසක් බැල මෙහෙවර කරන්නට සිදු වූයේ යැයි කල්පනා කොට මෙම ආර්යන් වහන්සේට බත් පිඬක් දන්දී සසර බොහෝ ආහාර ලබමි’යි වසර තුනක් මෙහෙවර කොට ලද බතින් පිඬක් තමරුජාව දුරු කොට පාත්‍රයට බෙදීය.බෙදා බුදුරදුන් වෙතින් ඉල්ලා සිටියේ ස්වාමීනි, මට මෙලොවින් සංග්‍රහ නොකොට පරලොවින් සංග්‍රහ කරන ලෙසයි. පෙර දන් නොදී බත් පතක් වෙනුවෙන් වසර තුනක්, බැලමෙහෙවරෙහි යෙදෙන්නට සිදුවු බවත්, මේ දානයෙන් උපන් සියලු තැන ආහාර ලැබේවායි ද ප්‍රාර්ථනා කළේය. සිතේ අදහස පුන් සඳක් සේ ඉටුවේවායිද පසේ බුදුහිමියෝ පැතූහ.
බැලයාගේ දානය දෙස බලා සිටි ජනයෝ සාධුකාර දුන්හ.එම හඬ පැතිරී ගියෙත් ගන්ධ සිටුවරයාට එය හෙන හඬ¼ක් සේ විය. අතවැස්සන් යවා මේ කරව හඬක්දැයි සොයා දැනගත් සිටු පුත්‍රයා අහෝ තමන්ට කිසිදා කළ නොහැකි වූ දුෂ්කර කාර්යයන් බැලයා සිදු කරගෙන ඇතැයි කම්පාවට පත්ව දහසක් මිල දී පින බෙදා ගන්නට යෝජනා කළේය. බැලයා සතුටු සිතින් එකඟව දෙදෙනා සමඟම පින් අනුමෝදන් වූහ. එයින් තුටු වූ සිටු පුත්‍රයා බැලයාට සිටු තනතුර ද ප්‍රදානය කළේය. ඔහු භක්ති භතක සෙට්ඨි’ නමින් ප්‍රසිද්ධ විය.
කොළඹ විශ්ව විද්‍යාලයේ
සිංහල අංශයේ මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් 13 වන අගහරුවාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment