Labels

Sunday, December 11, 2016

අසිරිමත් දිනීමක්‌

සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරා ඉරා දුක්‌බර සසරින් මිදීයැමේ සුන්දර ශෝභමාන මාවත කරවකුගේ වුව සිත් තුළ පවතිනු ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ ශීලෝපශෝභිත මහ යතිවරයාණන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහණ වන අරණකදීය. නම් ගොත හෝ රුව පවා හෙළි කිරීමට අකමැති වූ උන්වහන්සේගේ මුව මඬලින් ගලාගිය අමා සදහම් දියෙන් බිඳක්‌ අප ඔබ සිත් අභිමුව තබමු.


ගිහි ජීවිතය නැමැති කොටු පවුර තුළ සිරවී දිර්ඝ කාලයක්‌ කම්කටොලු අනුභව කළ උපක ආජීවකයා තමා සරණ ගිය කපටි බිරින්දෑවගෙනුත් වංගහාරයෙනුත් මිදී සම්මා සම්බුදුන් සොයා ආවේය.
මට මුලින් හමුවූ අනන්තජින නම් වූ මගේ යහළුවා කොහිද. අනේ මට ඔහු හමුවීමට අවශ්‍යයි. මට එයට ඉඩ ලබාදෙන්නයි උපක එහිදී ආරාම දොරටු වෙහි වූ සේසසන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේය. පින්වත් මහණෙනි අනන්ත ජින යෑයි කෙනෙක්‌ සොයා කිසිවෙකු මේ ආරාමයට පැමිණියහොත් ඔහු මා අභිමුවට කැදවාගෙන එන්නැයි සම්මා සම්බුදු රජාණන් වහන්සේ මුලින් ආරාම දොරටුවෙහි භික්‌ෂුන් වහන්සේලාට දන්වා තිබිණි. ඒ අනුව උපක සම්බුදුන් වෙත පමුණුවනු ලැබීය.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ධරමාන (ජීවමාන) කාලයේ සිදුවූ මේ සිදුවීම සරල සංසිද්ධියකි. එහෙත් ඔබටත් මාහටත් මේ තුළින් මතුකරගත හැකි මහා ගාම්භීර්ථයක්‌ තිබේ. ඒ දෙය අනෙකක්‌ පිළිබඳව නොවේ පරම සුන්දර වූ ජාතියක්‌ ජරාවක්‌ මරණයක්‌ නැති අමෘත්ත අමා මහ නිර්වාණය පිළිබදවය. එනම් අනන්ත ජින යන්නය. ඇත්තෙන්ම මේ අනන්ත ජින යන්නෙන් කෙරෙනුයේ කුමක්‌ද. අනෙක්‌ දෙයක්‌ නොවේ. අනන්ත ජින නම් කෙළවරක්‌ නැතිව දිනූ යන්නයි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ අනුව කෙළවරක්‌ නැතිව දිනූ නැත්නම් ජයගත් මහෝත්තමයාණන් වහන්සේය. හුදෙක්‌ම ඒ මේ අනවරාග්‍ර වූත් අප්‍රමාණ බය ඇත්තා වූත් සංසාර සාගරයෙන් උන් වහන්සේ එතෙරවී වදාළ බැවින්මය. තුච්ඡ වූ භව ගමන සදාකාලිවම නවතා දැමූ හෙයින්මය.

ලෝකයත් ලෝකයාත් දෙස මදක්‌ බලන්න. ලෝකය තුළ කොතෙක්‌ නම් දිනන්නට යෑයි සම්මත කොටගත් දේ තිබෙනවාද ඒවා පසු පස දිනුම හඹා යන ලෝකයාගේත් කෙළවරක්‌ නැත්තේමය. එහෙත් ඒ හැම දිනුමකටම යටින් දිවයන සියුම් වූද අනිවාර්ය වූද දුක්‌ත ශෝකාන්තයක්‌ තිබේ. එනම් අනිත්‍ය බවයි ඇතැම් දිනුම් මහ විපත් වලින් කෙළවර වන අවස්‌ථාද තිබේ. එනමුදු කෙළවරක්‌ නැති එකම දිනුම වූ නිවන් දිනුමෙහි කවරදාකවත් ඉවර වීමක්‌ නැති වීමක්‌ ගෙවීයාමක්‌ දැකිය නොහැකිය. එහි ජය අනන්තය. අප්‍රමාණය. සැබැවින්ම සම්මා සම්බුදුවරුන් එලෙස පවසන්නේ ඇයි. සැකැවින්ම පවසතොත් එහි කිසිදු දුක්‌ සහිත බවක්‌ නැති නිසාය. එමෙන්ම දුකක්‌ හෝ සැපතක්‌ විඳින්නට නිර්වාණය තුලදී කිසිවෙකුහට නොගන්නා නිසාය. අමාමහ නිර්වාණයෙන් මෙතෙර වූ ලෝකයට මිනිස්‌සු නොයෙක්‌ නම් ව්‍යවහාර කරති. විශ්ව ධාතු කුහරය විශ්වය එබඳු නම් වලින් කිහිපයකි. ලෞකික බවින් යුක්‌ත වූ මෙහි විවිධාකාර වූ අනන්ත වූ දුක්‌ තිබේ. දුක්‌වලටම හේතුවන හටගැනීම් තිබෙන්නේද මෙහිමය. මෙම නිසාම මෙය හැම විටම ගිනිගත් ගෙයක්‌ වැන්න. සත්වයාට ලැබෙන ඔහුගේ දුකට හේතුවන දුක්‌ත ලැබීම්ම මේ ගිනි ගෙය තුළ තව තවත් දුක්‌ විපත්ම මොලවා ලන්නේය. සංසාර ගමන තුළදී මනුසස්‌සයෙකු ලෙස උපත ලබන්නට ලැබීම එක්‌තරා ආකාරයකින් භාග්‍යයක්‌ බව සැබෑය. ඒ ජීවිතය තුලදී මනුස්‌සයාට දෙමාපියන් ලැබේ. 

සහෝදර සහෝදරියන් අඹුදරුවන් කළ්‍යාණ මිත්‍රයන් මෙන්ම ගේදොර ආදියද ලැබීම දිනීම්ය. නැත්නම් ජයග්‍රහණයි. එහෙම වුණත් මේ කිසිම ජයග්‍රණයක දිනීමක ස්‌ථිරසාර බවක්‌ හෝ සදාකාලිකබවක්‌ නැත. තාවකාලික අස්‌වැසිල්ලක්‌ම ඇත. සංසාර ජීවිතය තුළ මේවා නොලබන අයත් කොතෙක්‌ නම සිටිනවාද.. ඒ නොලැබීම පරාජිත බවකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ එක්‌ ස්‌ත්‍රියක්‌ ජීවත්ව සිටියාය. ඇයගේ මව ඇයට බෙහෙවින් ආදරය දැක්‌වූ කරුණාව පෑවාය. එහෙත් හදිසියේ ඒ මව මිය ගියාය. ඇයගේ දියණිය වූ අර ස්‌ත්‍රියට එය දරාගන්නට බැරි තරම් ශෝකයක්‌ හා වේදනාවක්‌ ගෙන ආවේය. තවදුරටත් කීවොත් ඇය එම දුකින් උමතු බවට පත් වුනාය. ඇය මහ මග ඉබාගාතේ ඇවිද ගියේය. එම දුක හා මුසු වුනු උමතුවෙන්මය. ඉතින් බලන්න තාවකාලිකව ලබාගත් ජයග්‍රහනයක නිමාව සිදුවූ අයුරු. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයෙහි අසන්නට ලැබුණ කිසා ගෝතමියගේ කතාවෙන් අපට පෙනෙන්නේද මේ අතිශය කටුක වූ යථාර්ථයම නොවේද.. ඒ කතාව ඉතාම සරල කතාවකි. එහෙත් සංසාර ජීවිතයේ ඇති ගෝර බවත් මුලාවන සුළු බවත් දැන හඳුනා අවබෝධ කර ගැනීමට මෙවැනි කතා තුලින් ලැබෙන්නේ හොඳ මග පෙන්වීමකි. සංසාර ජීවිතය තුළදී ලැබෙන අප්‍රමාණ තාවකාලික ලැබීම් අතරේ දරුවන් ලැබෙන එකද සත්වයින් ලබන එක දිනුමකි. එය ලබන අය බොහෝ සතුටට පත්වෙති. නැති අය දුක්‌ වෙති. ඒ කෙසේ වුවත් මේ දෙකටම නැති එක යථාර්ථයක්‌ද තිබේ. එය අවබෝධකරගන්නා අය නැති තරම්ය.එනම් කවරෙකු වුවත් ඒ ලබන දරුවෝ ක්‍රමයෙන් මුහුකුරා යති.

ලෙස කායත් සමඟ අත්වැල් බැඳගනිමින් ඔවුන්ගේ ඉන්ද්‍රියන් තුළ සිදුවන මුලික මුහුකුරා යාම වර්ධනය නැතහොත් වැඩීමයි. පසුව මෙහෙම සිදුවන මුහුකුරා යාම ඉන්ද්‍රියයන්ගේ අතිශය දුර්වල වීමයි. බුදුරජාණන් වහන්සේ මහලු බව නැත්නම් ජරාවට පත්වීම යනුවෙන් හඳුන්වා වදාලේ මෙයයි. මොනතරම් මනස්‌කාන්ත රූප සම්පත්තියක්‌ ලබාගෙන කොතැනක ඉපදුනද කවර ජගතෙකුට වුවද ඒකාන්ත වශයෙන්ම මේ ජීවන සංධිෂ්ඨානය අනිවාර්යෙන්ම පසු කරගෙන යන්නට සිදුවෙනවාමය.

අධිෂ්ඨානය පෙරදැරි කර ගනිමින් මිනිස්‌සු ජීවිතයේ කොතෙකුත් දැනීම් ලබන්නට වීරිය කරති. ලෞකික ලෝකය හා බැඳුනු ස්‌ සැම දිනීමක්‌ පෙරටුවම ඇති සිතිවිලි හෝ සිහින සැබැවින් ඔවුන්ගේ හිත් වල පවතින දැරුණුq ඇවිලීම් නොවේද? ඒවා ඒ තරමටම තියුණුය. කටුකය, ආදරය, වෛරය, කෝපය, නොඉවසීම මෙබඳු ඇවිලීම් කිහිපයකට පමණක්‌ නිදසුන්ය. ලෞකික ලෝකයේදී , නැත්නම් සංසාර ජීවිතයේ දී මේ තුළින් ලබන්නට යන දිනීම් සියල්ලක්‌ම පාහේ කෙළවර වන්නේ තැවුලකිනි. නැත්නම් දරුණු ගණයේ හිත් වේදනාවකිනි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ ජීවත් වූ අම්බපාලිය ඔබට මතකද? ඇය දහසය හැවිරිදි විය පසුවෙද්දී ආදර සම්බන්ධතාවයක පැටලිනි. අන්තිමේ දී එය අවසන් වූයේ සිත් බිඳීමකිණි. බලන්න මුලින් වූ ලෞකික ජයග්‍රහනයට ඊළඟ මොහොතේ සිදු වූ දෙය. ඊළඟට ඇය ආදරයෙන් බැඳුනේ තරුණ බිම්බිසාර කුමාරයත් සමඟය. එහි ඵල විසින් ඇයට ජීවක නමින් පුත් කුමරකු ලැබුණේය.

එසේ වුවත් අම්බපාලි හෝ ජීවක රාජ මන්දිරයේ කිසිවෙකුත් පිළි ගත්තේ නැත. ජීවක මහ මග අයිනේ කසළ බඳුනකට විසිකරනු ලැබී ය.ඒ ලෞකික දිනුමෙන් ද ඉක්‌බිති අම්බපාලියගේ හිත හොඳටෝම බිඳුනේය. අවසන තොරොංචියක්‌ නැතිව ලැබුණු ඒ අපවාද තුළින් අම්බපාලි එක්‌ දෙයක්‌ තේරුම් ගත්තාය.එනම් මේ සංසාරික ජීවිතයේ තමන්ට ආරක්‌ෂාකර ගන්නට හැකි කිසිම ජයග්‍රහනයක්‌ නැති බව ඇය වටහා ගත්තාය. ඒ සියල්ලක්‌ම තාවකාලික බව ඇය තේරුම් ගත්තා ය.තව දුරටත් පැවසුවහොත් තමන්ට ආරක්‌ෂා කර ගැනීමට තිබෙන එකම දෙය වන්නේ තමාගේ නිදහස ස්‌ථිරසාර නිරාමිස නිදහස නොවේ දැයි අම්බපාලි කල්පනා කරන්නට වූවාය. ඒ කල්පනාව විසින් ඇය යොමු කරවනු ලැබුවේ බුදු රජාණන් වහන්සේ වෙතය.

අම්බපාලි පිංවත් දැරිය ලොව අන් සෑම දෙයක්‌ මෙන්ම රූමත් බවද ඇති වෙනවා. එමෙන්ම එය තවත් ස්‌වල්ප කාලයකින් නැතිවී යනවා. අනෙකුත් සෑම දෙයකම සදාතනික යථාර්ථයක්‌ මෙයයි. බුදුරජාණන් වහන්සේ ඇයට මහා කරුණාවෙන් දහම් දේශනා කළහ.

බුදු,පසේ බුදු, මහරහතන් වහන්සේලා ලබා ගත් කෙළවරක්‌ නැති දිනම අමෘත නිර්වාණයට පැමිණීමයි. තවත් කියන්නේ නම් සංසාර සාගරයෙන් ගොඩනැඟීමයි. සංසාර දුක නමැති අනවරාග දුකින් සදහටම අතමිදී ගැනීම ඉදින් මෙය කෙළවරක්‌ නැති දිනීමක්‌ නැත්නම් අන්ත ජින තත්වය නොවේද? ඊට හේතු වන අප්‍රමාණ කාරණා ඉහත සරල ධර්ම කතා තුළින් ඔබට වටහා දුනිමි. එනම් ඒ තුළ තාවකාලික බව හිස්‌ බව, ඉවරවෙන බව, ගෙවී යන බව, ප්‍රසන්න හෝ අප්‍රසන්න බව ආදී කිසිවක්‌ නැත. එය ආවේදයික හෙවත් කිසිදු විඳීමකින් තොර නොසෙල්වෙන නොගෙවී යන සුවයකි. ඒ නිවන් සුව විඳින කෙනෙක්‌ද නැත. එය කැත, අපිරිසිදු කෙළෙස්‌ කුණු වලින් සම්පූර්ණයෙන්ම තොරය.

මේ අනන්ත දිනුම නැත්නම් මාරයා පරාජය කරවීම සඳහා නම් ඔබ කළ යුත්තේ ඒ කෙළෙස්‌ මඩ ගොහොරු අතරේ කරවටකටත් වඩා එරීමද? ඇත්තෙන්ම නැත මෙහිදී අපට සිහිපත් වන්නේ එදා බුදුරජාණන් වහන්සේ හා උරුවේල කාශ්‍යප අතර ඇති වූ සංවාදයයි. ගෞතමයාණන් වහන්ස, ඔබ වහන්සේගේ වචන වල ඇත්තේ සිතින් ගත් සංකල්ප විස්‌තර කිරීමක්‌ පමණයි. ඔබ වහන්සේ පුද පූජා, යාඥා නිශ්ඵල යෑයි කියනවා. පෘතග්ජන උරුවේල කාශ්‍යප බුදුරදුන්ට කීවේය. මෙහිදී බුදුරජාණන් වහන්සේ අපූරු උපමාවකින් උරුවේල කාශ්‍යපයන්ට නිර්වාණාවබෝධය සඳහා මඟ පෙන්වූ සේක. ඒ අනුව බුදුහු නේරංජන ගංගාවෙහි මෙහා ඉවුරෙහි සිට ඌරුවෙලට එහා ඉවුර පෙන්වා මෙසේ වදාළහ. උරුවේල ඔබ අර ඉවුර වෙත එතර වීමට කැමති නම් ඔබ ඒ ඉවුරට මෙම ඉවුර වෙත පැමිණෙන් නැයි කියා ආයාචනා කළහොත් කවදාවත් එය සිදුවෙනවාද? එය කවදාවත් සිදුවෙන්නේ නැති දෙයක්‌ බුදුහු කීහ. ඔබගේ ජීවිත ගමන් මංපෙත් දෙසත් මොහොතක්‌ බලන්න. ඔබේ නිවන් අරමුණු හා ගමනත් උරුවේලගේ අරමුණ හා සමාන නොවේද?


සංවාද සටහන( සුගත් වීරසූරිය 


2016 නොවැම්බර් මස 14 වැනිදා සඳුදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment