Labels

Sunday, December 11, 2016

කඨින වීචර පූජාවේ අනුහස්‌ හා නාගිත මහරහතන් වහන්සේ

මේ උදාවී තිබෙන්නේ කඨින වීචර මාසයයි. ඇසළ පුර පසළොස්‌වක පොහොය දින දැහැත්ගොටු පිරිනමා වස්‌ ආරාධනා ලැබූ උපසම්පදා භික්‌ෂුන් වහන්සේ තුන් මාසයක්‌ තුළ බුද්ධ විනයනීති අනුගමනය කිරීමෙන් පසු වප් පුර පසළොස්‌වක පොහෝදා මහා පාවාරණය සිදුකරනු ලැබේ.
එම ගරුතර මහා සංඝරත්නය විෂයෙහි ගමේ හෝ නගරයේ සතර පේරුවේ දාක දායිකාවන් එක්‌වී මහා බලගතු වසරකට එක්‌ වරක්‌ පමණක්‌ පූජා කළ හැකි කඨින වීචරයක්‌ පූජා කරනු ලැබේ. ඒ සඳහා වප් පුර පසළොස්‌වක පොහොය දිනය තෙක්‌ ඉඩ ප්‍රස්‌තාව ඇත. ඒ නිසා මේ මාසය චීවර මාසය ලෙස හැඳින්වේ. ඒ ඒ විහාරස්‌ථානවල පවත්වනු ලබන මේ මහා පින්කමට මහා සංඝරත්නය රැස්‌ කරවා ගැනීමේ පහසුව පිණිස මේ මාසයම මේ සඳහා වෙන්කර ඇත.

මේ චීවර මාසය තුළ ඒ ඒ විහාරස්‌ථානවල කඨින චීවර පූජාවේ ආනිශංස පිළිබඳව විශේෂ ධර්ම දේශනාවක්‌ සිදුකරනු ලබන අතර එයට බොහෝ පිරිස සහභාගි වේ. වෙනත් ධර්ම දේශනාවලට වඩා අවධානය යොමුකෙරෙති. කඨින චීවර පූජාවේ ආනිශංස වසරින් වසර අසා තිබුණත් මේ සඳහා දක්‌වන්නේ ලොකු උනන්දුවකි. එවැනි බොහෝ ධර්ම දේශනාවලදී දේශකයාණන් වහන්සේ නිතර කතා කරන සිහිපත් කරන එක්‌ සුවිශේෂී නාමයක්‌ ඇත. ඒ නාගිත මහරහතන් වහන්සේයි. කඨිනිශංස ධර්ම දේශනයත් නාගිත මහරහතන් වහන්සේත් අතර ඇත්තේ නොබිඳෙන සම්බන්ධතාවකි. ඒ නිසා උන්වහන්සේ කඨින චීවර පූජාව නිසා ලැබූ ආනිශංස කිහිපයක්‌ සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

බුදුරජාණන් වහන්සේ එක්‌ වස්‌සාන සමයක මේ නාගිත මහරහතන් වහන්සේ විසින් කරන ලද මහා පිංකම පිළිබඳව උන්වහන්සේගේ මුවින්ම මහා සංඝරත්නය ඉදිරියේදී ප්‍රකාශ කරවා ගැනීමට අදහසක්‌ ඇතිවිය. ඒ අනුව මහා පවාරණයෙන් පවාරණය වී ආනන්ද හාමුදුරුවන් වහන්සේ කැඳවා ''ඒහි භික්‌ෂුභාවයෙන් උපසම්පදාව ලැබූ මහරහතන් වහන්සේ පන්සීයක්‌ දෙනා වහන්සේලා අනවතප්ත විල අසලට රැස්‌කරවන ලෙස නියම කළහ. එය එසේම සිදුකෙරිණ. අනවතප්ත විල අවට කෂාය වස්‌ත්‍රයෙන් බබළවන්නට විය.

භාග්‍යවතුන් වහන්සේ රැස්‌ව සිටි මහරහතන් වහන්සේ අමතා ''මහණෙනි, ඔබලා අතරින් සුවිශෙෂී කුසල කර්මයක්‌ සිදුකළ භික්‌ෂුන් වහන්සේ නමක්‌ සිටී නම් එය විස්‌තර කරන සේක්‌වා' යි වදාළහ. එහිදී නාගිත මහරහතන් වහන්සේ ඉදිරිපත්වී දොහොත් මුදුනේ තබාගෙන බුදුන්වහන්සේට නමස්‌කාර කර මෙසේ සිංහනාද පැවැත්වූහ.

''භාග්‍යවතුන් වහන්ස, මම මීට කල්ප අනූ දෙකකට පෙර විපස්‌සී බුදුන්වහන්සේගේ සමයෙහි බන්දුමතී නුවර සිටු පුත්‍රයකු ලෙස උපත ලැබ, දුගී, මගී, යාචක ආදීන්ට නිතර නිතර දන් දුනිමි. සතර පෝයට සිල් සමාදන් වීමි. වස්‌කාලය තුළදී එම වස්‌ සමය අවසන් වනතෙක්‌ දිනපතා අටසිල් සමාදන් වුණෙමි. පින්කම් සිදුකළෙමි. එක්‌ දිනක්‌ බන්දුමතී නුවර රජුට විපස්‌සී බුදුරජාණන් වහන්සේ විසින් සිදුකළ ධර්ම දේශනයකට හොඳින් සවන්දී සිට වඩාත් පැහැදුනෙමි. එසේ පැහැදුනු මම බුදුපාමොක්‌ සංඝරත්නය මාගේ නිවසට වැඩම කරවාගෙන දින කීපයක්‌ දන් පිරිනමන ලදී. එයින්ද නොනැවතුණු මම 'ඉදිරි වස්‌ කාලය සඳහා වස්‌ වැසීමට ආරාධනා කර, සිව් මාසයක්‌ තිස්‌සේ කිසිත් අඩුවක්‌ නොවන පරිදි සිව්පසයෙන් ඇප උපස්‌ථාන සිදුකොට කඨින චීවර දානය පිරිනමා බොහෝ පිරිකරද උන්වහන්සේට පූජා කළෙමි. ඒ පිනෙන් ඉදිරි භවයක රහත්බව ලැබේවායි ප්‍රාර්ථනයක්‌ද කළෙමි. එදා සිදුකළ එම කුසල කර්මයේ බලය නිසා මම මේ ආත්මයේ රහත් බව ලබන තෙක්‌ සදෙව් ලොව සහ මිනිස්‌ ලොව පමණක්‌ උපත ලදිමි. සතර අපායේ නොවැටුණි. ඒ කාල වකවානුව තුළ මම බොහෝ සම්පත් ලදිමි.

''ස්‌වාමීනි, එදා සිදුකළ කඨින චීවර පූජාමය කුසල පින්කමේ අනුසස්‌ ලෙස කල්ප තිහක්‌ තිස්‌සේ කිසිදු දුගතියක උපත නොලැබුවෙමි. 

'ස්‌වාමීනි, අටලොස්‌ කල්පයක්‌ (කල්ප 18) මුළුල්ලෙහි සදෙව් ලොවම ඉපිද, දිව්‍ය සම්පත් පරිහරණය කළෙමි. තිස්‌හතර වතාවක්‌ සක්‌දෙව් පදවි ලැබ දෙව්ලොව පාලනය කළෙමි.'

''ස්‌වාමීනි, මා විසින් මසා නිමකර පූජා කරන ලද කඨින චීවරයේ එක්‌ ඉඳිකටු ඇස්‌සකට සූතිස්‌ වාරයක්‌ (34 වාරයක්‌) බැගින් සක්‌විති රාජ්‍ය සම්පත් භුක්‌ති විඳීමට වාසනාව ලදිමි. එහෙත් මගේ සසර ගමන එතරම් දුර නොවූයෙන් සුවාසු වාරයක්‌ සක්‌විති රාජ්‍ය සම්පත් භුක්‌ති වින්ඳෙමි.

''උපන් සෑම මනුෂ්‍ය ආත්මයකදීම උපභෝග පරිභෝග සම්පත් නොඅඩුව ලැබ පින්දහම් සිදුකර ගැනීමේ වාසනාව ලදිමි''. දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත් හැර වෙනත් කිසිම භවයක උපත නොලැබුවෙමි. ක්‍ෂ්ත්‍රීය, බ්‍රාහ්මණ යන උතුම් මහා සාරවංශ කුලවල හැර මිනිස්‌ ලොව කිසිදු පහත් කුලයක උපත නොලැබුවෙමි.

''මෙම චක්‍රාවාටය සුදු පටපිළියෙන් වසා පූජා සත්කාර කිරීමට තරම් මම වාසනාව ලදිමි. එක්‌ කඨින චීවරයක්‌ පූජා කිරීම තුළින් මම මේ සා විශාල ප්‍රතිපල ලදිමි.''

''ස්‌වාමීනි, තුණුරුවන් කෙරෙහි තිබූ පැහැදීම මම කිසි විටෙක අත් නොහළෙමි. දෙව්ලොවදී අනෙක්‌ දෙවියන්ට වඩා මහ බලයක්‌ ලදිමි. යස ඉසුරු ලැබුවෙමි. පිරිවර ලදිමි. මහේශාක්‍ය බව ලැබුවෙමි. මිනිස්‌ ලොව උපත ලැබීමේදී ඇඳුම්-පැළඳුම්, ආහාර-පාන, ගෙවල්-දොරවල්, බේත්-හේත්, යාන-වාහන ආදියෙන් කිසිදු අඩුවක්‌ නොමැතිව යස ඉසුරු ලැබුවෙමි. කීර්ති, ප්‍රශංසා ලැබුවෙමි. සැමට ප්‍රියමනාප පුද්ගලයෙක්‌ බවට පත්වීමි.

මෙසේ ගාථා කිහිපයකින් නාගිත මහ රහතන් වහන්සේ එක්‌ කඨින වීචරයක්‌ පූජා කිරීමේ ආනිශංශ විස්‌තර කරමින් සිංහනාද පැවැත්වූහ. 

මෙහිදී බුදුරජාණන් වහන්සේ තෙවරක්‌ සාදුකර දුන්හ.


ගුණපාල කාරියවසම්


2016 නොවැම්බර් මස 14 වැනිදා සඳුදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment