පාසල් අධ්‍යාපනය ලබන කාලය ජීවිතයේ වටිනාම කාලයයි. අනාගතය තීරණය කරන කාලයයි. ඉගෙනුම ලබන ඕනෑම දරුවෙකුට හෙට දවස ගැන ශක්තිමත්වූත්, යහපත්වූත් බලාපොරොත්තුවක් තිබිය යුතුයි. එය මුදුන් පමුණුවා ගන්නට නම් හොඳ ඉගෙනීමක් ලැබිය යුතුයි. උදාවී තිබෙන්නේ මේ වසරේ අවසන් කාලසීමාවයි. දුවේ, පුතේ, ගෙවුන වසරේ ඉගෙනීමේ කටයුතුවල අතපසුවීම් වන්නට ඇති. දුර්වලකම් අඩුපාඩු තිබෙන්නට ඇති. එළඹෙන වසරට ඔබ මුහුණ දිය යුතු වන්නේ අඩුපාඩු , දුර්වලකම් නිසා පරාජිත වූ සිතින් නොවේ. ඒ මතින් නැඟී සිටීමේ ශක්තිමත්, ධෛර්මත් සිතිනි.
ඉලක්කයක්, අරමුණක් නැතිව යන ගමන අයාලේ යන ගවයකුට සමානය. අයාලේ යන ගවයා ගමනේ කෙළවර නොදනී.
කොතැන නවතීද, කවර දේට මුහුණ දෙන්නට සිදුවේද නොදනී. අනාගතය ගැන ඉලක්කයක් ඇති කරගන්නට පළමුව ගෙවුණු අතීතය දෙස ආපසු හැරී බලන්න. ඊයේ දිනයේ සිදුවු දුර්වලතා, අතපසුවීම්, වැරැදි හඳුනා ගන්න. ඒවා සකසා නොගෙන සාර්ථක ඉදිරියක් ගැන සිතීමට නොහැකිය.
බුදුරජාණන් වහන්සේ කැඩපතක් උපමා කර ගනිමින් රාහුල හිමියන්ට දුන් උපදේශය සිහිපත් කරන්න.
“රාහුලය, කැඩපතින් ඇති ප්‍රයෝජනය කුමක්ද?” උන්වහන්සේ රාහුල හිමියන්ගෙන් විමසූහ.
“ස්වාමීනි,! භාග්‍යවතුන් වහන්ස, මුහුණ බලා ගැනීමටය. ලප කැළැල්, කුණුදුහුවිලි අඩුපාඩු තිබේදැයි දැක ගැනීමටය”.රාහුල හිමියෝ පිළිතුරු දුන්හ. එවිට බුදු හිමියන් දේශනා කළේ කැඩපතින් මුහුණ බලා අඩුපාඩු , ලප කැළැල් හඳුනා ගන්නා සේ, ඒවාට ප්‍රතිකර්ම කරන්නා සේ ජීවිතයේ ඇති අඩුපාඩු තමන් කළ කී දේ හා කරන කියන දේ හි දුර්වලකම්, වැරැදි හඳුනා ගන්නා ලෙසය. අකුසල් බැහැර කුසල් වඩන්නට, නොහැකියාවන් හැකියාවන් දක්වා වර්ධනය කර ගන්නට, නිපුණතා , ශක්‍යතා හඳුනා ගන්නට ඒවා වැඩි දියුණු කරගන්නට අවධානය යොමු කරන ලෙසය.
ඉලක්ක, අරමුණු වෙත යන්නට නම් ඒ පිළිබද නිතර සිහිපත් කරමින් යටි සිතට කාවැද්දිය යුතු වේ. මම විද්‍යාඥයකු වෙනවාද? ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක්, සංගීතඥයෙක් වෙනවාද? යහපත් සමාජ සේවකයෙක්, ව්‍යාපාරිකයෙක් වෙනවාද? ඒ කවර චරිතයක් වුවද ඒ තැනට එන්නට නම් ඒ ගැන උදේ, සවස සිතමින්, සිතට ශක්තියද, ධෛර්යය ද දෙමින් ඒ සඳහා අවශ්‍ය දැ ටිකෙන් ටික, ක්‍රමවත්ව සම්පාදනය කළ යුතුය. බෝසත් චරිතය ඒ ආදර්ශය ලබාදෙයි.
අප මහ බෝසතාණන් වහන්සේ දීපංකර පාද මූලයේදී ‘සුමේධ නම් තවුසා ලෙස සිට මතු බුදු බව ලබන්නට ප්‍රාර්ථනයක් ඇති කරගත්හ. එය යටි සිතෙහි තැන්පත් කර ගනිමින්, ශක්තිමත් අධිෂ්ඨානයක් ඇති කරගත්හ. වසරක් දෙකක් නොව අවුරුදු කල්ප ගණනාවක් යටි සිතේ වූ ඒ අරමුණ සිහිපත් කරමින් අවශ්‍ය දෑ සම්පාදනය කළහ. විවිධ භවයන්හි උපත ලබමින් පාරමිතා සම්පූර්ණ කළහ. එහිදී අනේකවිධ ගැටලු, බාධකයන්ට මුහුණ දුන්නත් ඒ සියල්ල ඉවසීමෙන් දරා ගනිමින්, නොපසුබට උත්සාහයෙන් තමන් වහන්සේ ගේ අරමුණ වෙත ගියහ.
අපේ පාසල් දරුවන්ට බොහෝ අනාගත බලාපොරොත්තු වේ. වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක්, යහපත් පුරවැසියෙක් වන්නට සිහින මැවීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන කටයුතු දියුණු කර ගැනීමට වෙහෙසිය යුතු වේ. නිතර පොත පතේ නියැලෙමින්, ගැටලු නිරාකරණය කර ගනිමින් ධාරණය ඇති කර ගත යුතු වේ. ඒ ඒ කාලයට, වයසට, අවශ්‍ය දේ මිස අනවශ්‍ය දේට සිත නොයෙදිය යුතු වේ. උසස් අරමුණක් තිබුණද අනවශ්‍ය දේට යොමු වූයේ නම් ඒ තරුණ දුවට, පුතාට එතැනින් එහාට සාර්ථක ගමනක් යා නොහැකිය. අප්‍රමාණ විසූක දස්සන නිසා විපරීත වන සමාජයක හරසුන් දේ පසුපස හඹා යමින් තාරුණ්‍ය දිය කර හරින්නට නොව ඒ ගොහොරු මඩෙහිම සිටිමින් මඩ නොගෑවී ජීවිතයේ පිවිතුරු බව රැක ගන්නට උත්සාහ කළ යුතු වේ. හරියට මඩෙහි පිපි පිවිතුරු නෙළුමක් මෙනි. නීල දිය දහරක් සේ මායාවෙන් අප රැවටුවද එවැනි ජලාශයක පතුල මඩ ගොහොරුය. එහෙත් දියෙන් මතු වී පිවිතුරුව පිපි නෙළුම අප හදවතෙහි ඇති කරන්නේද පවිත්‍ර හැඟීමකි. එම නිසා අපි ඒ මල ගෞරවයෙන් නෙළා බුදු පුදට ද ගෙන යමු. අපේ යොවුන් දු පුතුන් උත්සාහ කළ යුතු වන්නේ එවැනි නෙළුමක් වීමටය. අම්මගේ තාත්තගේ ආදරය මැද, සමාජයේ ආදරයද ලැබ හැදෙන කවර කෙනෙකුට වුවද අරමුණු ජයගැනීම අපහසු වන්නේ නැත.
ගොහොරු මඩ බිමක ඇති අනේක අප ද්‍රව්‍ය මෙන් මේ සමාජය නමැති ගොහොරු බිමෙහිද තරුණ දරුවන් බිලි ගන්නට මත්වතුර, මත්කුඩු, වස විෂ පිරි අපත්‍ය ආහාර, නුසුදුසු මිතුරු මිතුරියන් ,පේ‍්‍රම සම්බන්ධතා ආදි බොහෝ අයහපත් දේ බලා සිටී. හොඳ අවධානයකින් සිට ඒවායේ නොඇළී, නොගැටී, සිටින්නට ප්‍රවේශම් විය යුතුවේ. යම් හෙයකින් එවැනි දේ අල්ලා ගත්තේ නම් ජීවිතයේ ඉලක්ක, අරමුණුද ඒ සමඟම බිඳී යනු ඇත.
සමාජයේ උසස් රැකියා කරන, හොඳින් අධ්‍යාපනය ලැබු පඬිවරු, ලස්සනට ජීවත්වන අය බොහෝ වෙත්. ඔවුන් ඒ තැනට එන්නට බොහෝ කැප කිරීම් කර ඇත. ඒ කිසිවක් ඉබේ ලැබුණු දේ නොවේ. කුඩා කල වෙහෙස මහන්සියෙන් කළ කැප කිරීම්වල ප්‍රතිඵලයන් ය.
බුදුරජාණන් වහන්සේට ‘මිතභාණී’යැයි කියති. ඒ කිසිවිටෙක උන්වහන්සේ නිස්සාර කථාවෙහි නිරත නොවන බැවිනි. අපේ තරුණ දරුවන් ඒ ආදර්ශය ජීවිතයට සමීප කරගත යුතුමය. පාඩම් කරන්නට, ඇති කාලයෙන් කොපමණ ප්‍රමාණයක් යහළුවන් සමඟ නිස්සාර කතා සඳහා වෙන් කරනවාද? සමහර දු පුතුන් ‘නින්දාරාමතා' කොයි වේලෙත් නින්දට බරය. ඇතැම්විට නිවාඩු දින පෙරවරු 8-10 වන තුරුත් නින්දේය. මේ ගෙවා දමන්නේ අරමුණු ජය ගන්නට ඇති වටිනා කාලයයි.
කාලසටහනට වැඩ කිරීමද අරමුණ ඉටු කර ගැනීමේ හොඳම මඟකි. බුදුරදුන් දවස ‘අකාලරාවී” නම් හිමිනමක් වැඩ සිටියේය. ඒ හිමියෝ බොහෝ අපිළිවෙලය. අනෙක් හාමුදුරුවරු සැතපෙන වේලේ ඒ හිමියෝ ඇහැරී සිටිති. පිණ්ඩපාතයේ වඩින වේලේ ස්නානය කරති. අවස්ථාවට ගැලපෙන දේ නොකර වෙනත් වැඩක නිරතවීම ජීවිතයට පිළිවෙලක් ඇති කරන්නේ නැත.
ඉස්සර, දිසාපාමොක්වරුන් විසින් මෙහෙයවූ තක්ෂිලාවන්හි ඔරලෝසු තිබුණේ නැත. ශිෂ්‍යයන් අවදි වන්නේ දවස අරඹන්නේ, පාන්දර කුකුළා හඬලනු ඇසීමෙනි. මෙසේ එක තක්ෂිලාවක දරුවන් අවදි කළ කුකුළා හදිසියේ මිය ගියේය. ඒ වෙනුවට කැලයෙන් ඇහිඳගත් කුකුළු පැටියෙක් ගෙන ආවේය. මේ කුකුළු පැටවාට හඬලන්නට නියමිත වේලාවක් නැත. මැදියම් රැයේත් හඬලයි. පාන්දරටත් හඬලයි. දවල්ටත් හඬලයි. මේ නිසා එහි ශිෂ්‍යයෝ ද වෙලාවට පිබිදෙන්නේ නැත. දිනක් දවල් වනතුරුත් නිදාගත් සිසුවකුට ඇදුරුතුමා දඬුවම් කළේය. මෙසේ දඬුවම් වින්දේ කුකුළු පැටවාගේ අපිළිවෙල හැඬලීම නිසා යැයි ඒ සිසුවා කුකුළු පැටවා ගැන තරහෙන් ඌ මරා දැම්මේය.
මේ කුකුළු පැටවා මෙසේ අපිළිවෙලට හැඩළුවේ ඇයි? අම්මා, තාත්තා ඒ පිළිවෙල උගන්වා නොතිබුණ නිසාය.අම්මා තාත්තාගේ සෙවනෙන් මිදී අයාලේ හැදුණ නිසාය. පරිසරය හඳුනා ගන්නට, ජීවන පුරුදු පිළිවෙලට ඉගෙන ගන්නට අම්ම, තාත්තාගේ ඇල්ම බැල්ම තිබිය යුතුමය.
‘ඊධඤචර ඪඵ බඩඥ ඡඥඵබ ඤචර’ යැයි ඉංගී‍්‍රසි කියමනක් වේ. ‘අද හොඳම දවසයි’ යනු එහි අර්ථයයි. ඉන් හැඟවෙන්නේ අද කළ යුතු දේ හෙටට කල් නොදැමිය යුතු බවය.
මිනී වළෙනුත් නැඟිට ඉගෙන ගත් අය ගැන කතා අපේ ජනප්‍රවාදයේ එයි. එක් ඡ්‍යොතිෂවේදියෙක් තමන් මිය යන දිනය දැන මිනී වළක් කපා එහි සැතපී සිටියේලු. ඔහුට මිය යන්නට ඇත්තේ තවත් විනාඩි 10 ක තරම් කාලයකි. මෙවේලේ තවත් ඡ්‍යොතිෂ වේදියෙක් එතැනින් යන්නට ආවේය. මේ ඇයි දැයි අසා, වේලාව බලා නෑ නෑ ඔබ මිය යන්නට තවත් පැය තුනක් තිබෙනවා’යි කීවේය. වහා මිනි වළෙන් නැඟිට ඔහු වෙත ආ ඡ්‍යොතිෂවේදියා මම ඉගෙන නොගත් ඒ ශාස්ත්‍රය උගන්වන්නැයි අනෙක් ඡ්‍යොතිෂවේදියාගෙන් ඉල්ලා සිටියේලු. ඉගෙනීමේ අගය වටහා ගන්නට මෙවැනි කතා පවා දෙන ආදර්ශය මහඟුය.
දිනකට එක්වරක් හෝ මෛති‍්‍ර භාවනාව, ආනාපානසතිය වැඩුවේ නම් ඉගෙන ගන්නා දේ හොඳින් ධාරණය වේ. ඉගෙන ගත් දේ නිතර නිතර සිහිපත් කිරීමද වැදගත්ය. එසේ නොවුණේ නම් එය මතකයෙන් බැහැරවෙත්. ‘සුනාථ ධාරෙථ චරාථ ‘ යනුවෙන් බණ පොතේ සඳහන් වේ. සුනාථ නම් ඇසීමය. වර්තමානයේ කියවීමද ඊට අයත්ය. දැනුම ලබන්නට, තහවුරු කරගන්නට ඒ ආශි‍්‍රත දේ නිතර කියවීම හා ශ්‍රවණය වැදගත් වේ. ‘ධාරෙථ නම් ඒ දැනුම හිතේ රඳවා ගැනීමය. ‘චරාථ’ නම් ඒ දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමය. ඕනෑම අපහසු ගැටලුවක්, විෂයය ප්‍රශ්නයක් පහසුවෙන් තහවුරු කර ගන්නට මේ අවස්ථා තුන ප්‍රගුණ කිරීම ඉතා වැදගත්ය. මේ උපදෙස් පිළිපදින දු පුතුන්ට අනාගත අරමුණු මෙන්ම අභියෝග ජය ගැනීමද අපහසු නොවනු ඇත.
රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් 13 වන අගහරුවාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment