කුසගින්නෙන් පෙළෙන බල්ලෙකු විසින් මස්, ලේ නැති ඇට කැබැල්ලක් ලෙවකමින්, සපමින් කුසගින්න නිවාගැනීමට දරන්නා වු මෝඩ උත්සාහයක් වැනිය, අරමුණුවලට ගිජුවීම නිසා ලෝකයා වෙහෙසට පත්වීම.
පෘතග්ජනයා ලෙසින් හැඳින්වෙන්නේ කවර පුද්ගලයෙක්ද?
මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රයේ මුලින්ම දැක්වෙන්නේ අස්සුතවත් පුඵුජ්ජනයන්ගේ ස්වභාවයයි. එහි අට්ඨකථාවෙහි සඳහන් “පුඵූනං නානප්පකාරානං කිලේසානං ජනනාදීහිපි කාරණෙහි පුඵුජ්ජනො’ යන විග්‍රහයට අනුව නොයෙක් කෙලෙස් ඇතිවීමට හේතුවෙන ලෙසින් කටයුතු කරන තැනැත්තා,පෘථග්ජනයෙක් වන්නේය.
ඔහු පඤ්චකාමයන්ගෙන් ලැබෙන සුළු ආස්වාදයට ඇලී, එහිම ගිලී කාමාස්වාදයන්ගෙන් මුසපත් බවට පත්වේ. පඤ්චකාමාස්වාදයන් නම්,ඇසින් රූප බැලීමට ඇති ආශාවය, කනින් ශබ්ද ඇසීමට ඇති ආශාවය. නැහැයෙන් සුවඳ ආඝ්‍රාණයට ඇති ආශාවය .දිවෙන් රස විඳීමට ඇති ආසාවය. කයෙන් ස්පර්ශ විඳීමට ඇති ආසාවය. සිතට සිතිවිලිවලින් ලැබෙන වින්දනයන් පිළිබඳව ඇති ආසාවන්ය. එම ආසාවන් සම්පූර්ණ කරගැනීමට සියලුම සත්වයෝ විවිධාකාරවලින් වෙහෙසෙති. එහෙත් ආසාවන් සම්පූර්ණ කරගෙන තෘප්තියට පත්ව දැන් මම සියලුම කාමාස්වාදයන් වින්දෙමි. තවත් මට නම් කිසිම කාමාස්වාදයක් එපා යැය’යි සිතා, ඉන්ද්‍රියයන් පිනවීමෙන් සෑහීමකට පත්වෙන කිසිම සත්ත්වයෙක් හෝ පෘතජ්ජන පුද්ගලයෙක් ලෝකයේ නැත. එනිසා ඉඳුරන්ගෙන් ලැබෙන අස්සාද සුඛය සොයමින් සියලු සත්වයෝ වෙහෙසට පත්වෙති. එය හේමවත සූත්‍රයේ මෙසේ සඳහන් වේ.
ඡස්සු ලොකෝ සමුප්පන්නො ඡස්සු කුබ්බති සන්ථවං
ඡන්න මෙවමුපාදාය ඡස්සු ලොකෝ විහඤ්ඤති
ඡන්න මෙවමුපාදාය ඡස්සු ලොකෝ විහඤ්ඤති
ලෝකයෙහි සතුන්ට ඉන්ද්‍රිය හයක් පහළ වු කල්හී ඒ සතුන් විසින් අරමුණු හයක් සමඟ සම්බන්ධතා පවත්වනු ලැබේ. ඉන්ද්‍රියන්ගෙන්, එම අරමුණු හය අල්ලා ගැනීම නිසා සියලු ම ලෝකයා වෙහෙසට පත්වන්නේය.ඇසින් ලස්සන රූපයක් දැක සතුටට පත්වෙයි. එම රූපය නැවත නැවතත් දැකීමට කැමති වෙයි. ඒ සඳහා වෙහෙසෙමින් ලස්සන රූපයම සොයා යයි. එයින් සුලු ආස්වාදයක් ලබමින් දැඩි වෙහෙසකට පත්වෙන පෘතග්ජනයාට ඇති වන්නේ වෙහෙසක් පමණි. එය කුසගින්නෙන් පෙලෙන බල්ලෙකු විසින් මස්, ලේ නැති ඇට කැබැල්ලක් ලෙවකමින්, සපමින් කුසගින්න නිවාගැනීමට දරන්නා වු මෝඩ උත්සාහයක් වැනියැ”යි සඳහන් වේ. ඇස, කන, නාසය, දිව, ශරීරය,මන යන අනෙක් ඉන්ද්‍රියන්ට අරමුණු වන්නා වූ රූප, ශබ්ද,ගන්ධ, රස, පොට්ඨබ්බ,ධම්ම යන අරමුණුවලට ගිජුවීම නිසා ලෝකයා වෙහෙසට පත්වෙයි. මෙසේ සත්වයන් විසින් පඤ්ච ඉන්ද්‍රියන්ගෙන්ම ලබන්නේ, අස්සාද සුඛයක් පමණි. සැපයට මුසපත් වූ පෘථග්ජන පුද්ගලයා, එයට ඇලී කම් සැපයෙහි ම ගිලේ. එනිසාම පඤ්ච නීවරණවලිනුත් වැසේ. කාමච්ඡන්ද,ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච,කුක්කුච්ච, විචිකිච්ඡා යන පඤ්ච නීවරණවලින් ආවරණ වූ තැනැත්තාට සත්‍යය නොපෙනේ. ඉන්ද්‍රියන්ට හමුවෙන අරමුණුවලට ආසාකිරීම, කාමච්ඡන්දයයි. තමා කැමැති වන දෙයක් ලබාගැනීමට උත්සාහවත්වන විට, වෙනත් කෙනෙක් ඊට විරුද්ධ වුවහොත් ඔහු සමඟ ගැටේ. එය පටිඝය හෙවත් ව්‍යාපාදයයි. අලස බව හෙවත් කම්මැලිකම ථීනමිද්ධයයි. නොසන්සුන් බව සහ කල්පනාකාරී බව උද්ධච්ඡ , කුක්කුච්ඡ නම් වන්නේය. බුද්ධාදී අටතැන් පිළිබඳව ඇතිවෙන සැකය හෙවත් කුකුස , විචිකිච්ඡාවයි. මේවා නීවරණ හෙවත් ආවරණයෝය. නීවරණවලින් වැසුණු තැනැත්තාට, සත්‍යය නොපෙනීම හෙවත් මෝහය (මුලාව) ඇතිවෙයි. ඔහුට සත්‍යය හෙවත් යතාර්ථය දැකිය නොහැකිය.
නිවැරදි දැක්මක් නැති තැනැත්තා සක්කාය දිට්ඨි නම් වූ ‘මමයැ’යි කෙනෙක් ඇත, යන මිථ්‍යාදෘෂ්ටියෙන් වෙළෙන්නේය. එනිසා සක්කාය දිට්ඨියෙන් වෙළුණු පෘතග්ජනයා තණ්හාව, මානය, දිට්ඨියෙන්ද ආවරණය වෙයි. මෙසේ කෙලෙස්වලින් වැසුණු හේ අන්ධයෙක් වැනිය. ඔහුට ආර්යයන් වහන්සේලා දැකීමටවත්, උන්වහන්සේලාගේ ධර්මය අසා, ධර්මාවබෝධයටත් ශක්තියක් නැත. එවැනි අය, අස්සුතවත් පුඵුජ්ජනයන්, අසත්පුරිසයන්, අනාර්යයන්, පෘතග්ජනයන් වශයෙන්ද හැඳින්වෙති. අස්සුතවත් පෘථග්ජනයාට අවස්ථා තුනකදී සද්ධර්මයෙන් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වේ.
1.බුදු ,පසේබුදු, මහරහත් යන ආර්යයන් වහන්සේලා දැකීමෙන්
2.ආර්යයන් වහන්සේලා විසින් දේශනා කරනු ලබන ධර්මයෙහි හැසිරීමට දක්ෂයෙකු නොවීමෙන්
3.ආර්ය ධර්මයෙහි හික්මීමට කුසලතාවක් නැති නිසා ධර්මාවබෝධ කළ නොහැකි වීමත්ය.
ආර්යයන් වහන්සේලා නොදැකීමත් සද්ධර්මය නොඇසීමත් නිසා අස්සුතවත් පුඵුජ්ජනයෝ ආර්ය ධර්මයෙන් ඈත් වෙති. නීච වූ පහත් අය ඇසුරු කරමින් නීච ධර්මවලට පුරුදු වෙති. පාප ක්‍රියාවලට පුරුදු වූ ඔවුහු තිරිසනුන් වැනිය. ධර්මය සහ අධර්මය තෝරා ගත නොහැකි වූ තිරිසනුන් වැනි මිනිසුන් අන්ධයෝ මෙන් කටයුතු කරති. එනිසා අස්සුතවත් පඵුජ්ජනයන්ට ආර්යයන් වහන්සේලා දක්නට ලැබුණත් උන්වහන්සේලා හඳුනාගැනීමට ඔවුහු අසමත් වෙති. එය තිරිසනුන්ට ආර්යයන් වහන්සේලා දකින්ට අවස්ථාව ලැබුණත් උන්වහන්සේලා හඳුනාගන්නට, නොහැකි වන්නාක් මෙනි. සතුන් වැනි ඒ මිනිසුන්ටත් ආර්යයන් වහන්සේගේ ගුණ තේරුම් ගැනීමට නොහැකි වේ.
සිතුල් පව්වේ වැඩ සිටි රහතන් වහන්සේ නමකට උපස්ථාන කළ භික්ෂුවක් සිටියේය. වයසට ගොස් පැවිදි වූ ඒ භික්ෂුව ධර්මාවබෝධයට අසමත් කෙනෙකි. දිනක් ඒ භික්ෂුව, රහතන් වහන්සේ පසුපසින් යමින් ‘ස්වාමීනි, රහතන් වහන්සේ හඳුනාගන්නේ කෙසේදැයි’ ප්‍රශ්නයක් ඇසීය. එයට පිළිතුරු දෙමින් උන්වහන්සේ, සමහර අස්සුතවත් පෘතග්ජනයන් රහතන් වහන්සේලාට උපස්ථාන කළහ. පාසිවුරු රැගෙන පසුපසින් ගමන් කළද,අන්ධයන් වැනි වූ ඔවුන්ට රහතන් වහන්සේ හඳුනාගත නොහැකිය’යි වදාළහ. මෙසේ කරුණු පැහැදිලි කළත් ඒ භික්ෂුවට තමා උපස්ථාන කරන්නේ රහතන් වහන්සේ නමකටයැ’යි අවබෝධ කරගත නොහැකි විය. එනිසා සත්‍යයය දැකිය නොහැකි වූ අස්සුතවත් පෘථග්ජනයෝ මසැසින් හෝ දිවැසින් ආර්යයන් වහන්සේලා දැක්කත් අන්ධයන් මෙන් ආර්යයන් වහන්සේලාගේ ගුණ නොදකිති. වක්කලි හිමියන් බුදුරජාණන් වහන්සේගේ පිටුපස ගියේ අන්ධයෙකු මෙනි. ‘වක්කලිය, කුණුවී යන මේ ශරීරය දැකීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? යමෙක් ධර්මය දකී ද? ඔහු මා දකින්නේය. යමෙක් මා දකින්නේ නම් ඔහු ධර්මය දකින්නේය. යයි බුදුරජාණන් වහන්සේ වක්කලී භික්ෂුවට අවවාද කළහ. එනිසා අන්ධයෙකු වැනි වූ පෘතග්ජනයා අස්සුතවත් කෙනෙකි. එහෙත් සුතවත් වූ පුද්ගලයා ආර්යයන් වහන්සේලා දැක, ධර්මය අසන්මෝය. එයින් සුතවත් වූ ඒ තැනැත්තා ධර්මචාරි කෙනෙක් වී සත්පුරුෂයෙකු බවට පත්වන්නේය. ඔහුගේ ලක්ෂණ තුනකි.
1.සුචින්තිත චින්තී හොති (යහපත් ලෙසින් සිතන්නෙක් වෙයි)
2. සුභාසිත භාසී හොති (යහපත් වචන කථා කරයි)
3.සුක්කත කම්මකාරි හොති (යහපත් වැඩ කවෙහෙරයි)
සුතවත් වු සත්පුුරිසයෝ යහපත් ලෙසින් සිතන නිසා තමාගේ පඤ්ච ඉන්ද්‍රියයන්ට ගොදුරු වෙන අරමුණුවලින් සුළු ආස්වාදයක් ලැබුවත් එහි ආදීනව දකිති. ලස්සන රූපයක් ඇති කෙනෙක් කලක් ගතවන විට වියපත්ව වැහැරීමට පත්වේ. කලු කෙස් සුදුවේ. සුදු දත් හැලේ. සිත් කලු හම රැලිවැටේ. මේවා ශරීරයේ ඇතිවෙන ආදීනවයන්ය. ඒ ආදීනව පිළිබඳ ව විමසුම් නුවණින් මෙනෙහි කරන සුතවත් පුද්ගලයා කාමාස්වාදවලින් වෙහෙසට පත්නොවී පඤ්ච කාමයන්ගෙන් මිදීමට උත්සාහවත් වෙයි. එබැවින් නිවැරැදි දැකීමක් ඇති අය, පඤ්ච කාමාස්වාදවලින් මිදීමට ප්‍රයත්න දරති. ඔවුහු, ජීවිතය පිළිබඳ ව නිවැරදි අවබෝධයෙන් හා නිවැරදි සිතිවිලිවලින් යුක්තවන, කය සහ වචනය සංවර කරගනිමින් යහපත් ජීවිතයක් ගත කරති. එවැනි සත්පුරුෂයෝ මෙලොවත් සතුටු වෙති. පරලොවත් සතුටු වෙති. දෙලොවම ජයගන්නා, ඔවුහු නිවන් දකින්නෝය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක මහාචාර්ය
කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් 13 වන අගහරුවාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment