Labels

Monday, December 12, 2016

කන්න එපා වළඳන්න

භික්ෂූන් වහන්සේලා යනු ගිහි ඇත්තන්ට ආදර්ශ සැපයිය යුතු පිරිසකි. එනිසා ම “කෑම නොකෑම” භික්ෂුවට අනිවාර්ය පැනවීමක් ව සමාජගතවී ඇත. එහෙත් එය එසේ සිදුවන්නේ කෙසේ ද? යන්න මැදහත් සිතින් විමසා බැලීම අත්‍යවශ්‍ය කරුණක්ව පවත්නේ වැළදීමේ ආනිශංසවලට නොව කෑමේ ආදීනවවලට භික්ෂූන් වැඩි දෙනෙකු ගොදුරු වී සිටින නිසා ය.

කනවා සහ වළඳනවා යන දෙකම එකක් වගේ පේන බව ඇත්තකි. එහෙත් ඒ දෙකේ බරපතල වෙනසක් ඇති බව පේන්නේ ඒ ගැන හිතන්නට පෙළඹුනොත් පමණකි.
කනවා කියන එකට සීමා මායිම් නැත. ලැබෙන දේත් කති. සොයාගෙනත් කති. උදුරාගෙනත් කති. බඩගින්නටත් කති. කෑදර කමටත් කති. වෙලාවටත් කති. අවේලාවටත් කති. එහි හොඳක් නරකක්, වේලාවක් කලාවක් ගුණාගුණ බැලීමක් හෝ සිතීමක් නැත.
එහෙත් වැළඳීම වූ කලී ඒ සියලු තත්වයන් ඉක්මවාගිය ක්‍රියාවකි. බුදුරජාණන් වහන්සේ මේ ගැන කොයිතරම් හිතා තිබේදැයි යන්න පැහැදිලි වන්නේ මහාවග්ග පාලියේ එන පැනවීම් දෙස බැලීමෙනි. ප්‍රාතිමෝක්ෂා ගත සේඛියා 75 න් 23 ක් ම දක්වා ඇත්තේ ද වැළදීම ගැනයි. ඒ අනුව ලොව පහළ වූ ප්‍රථම පෝෂණවේදියා වන්නේ බුදුරජාණන් වහන්සේ ය. කෑමට නොව වැළදීමට වේලාවක් හා භාජනයක් නියම කළ එකම ශාස්තෘවරයා ද වන්නේ උන්වහන්සේ ය.
භික්ෂූන් වහන්සේලා යනු ගිහි ඇත්තන්ට ආදර්ශ සැපයිය යුතු පිරිසකි. එනිසා ම “කෑම නොකෑම” භික්ෂුවට අනිවාර්ය පැනවීමක් ව සමාජගතවී ඇත. එහෙත් එය එසේ සිදුවන්නේ කෙසේ ද? යන්න මැදහත් සිතින් විමසා බැලීම අත්‍යවශ්‍ය කරුණක්ව පවත්නේ වැළදීමේ ආනිශංසවලට නොව කෑමේ ආදීනවවලට භික්ෂූන් වැඩි දෙනෙකු ගොදුරු වී සිටින නිසා ය.
දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරුව දුක්විඳීන්නන් අතර වැඩිම ප්‍රතිශතය දක්නට ලැබෙන්නේ භික්ෂූන් අතර වීම එහිලා හොඳම සාධකයයි. එහි ප්‍රතිශතය ගිහි සමාජයේ 40% වන අතර පැවිදි සමාජයේ 90% කි. “විරියෙන දුක්ඛං අචිචේති” යනු කී හෙයින් උනන්දුවක්, ඕනෑකමක් අවබෝධයක් තිබේ නම් ඒ තත්වයන්ගෙන් අත්මිදීම අමාරු කාරණාවක් නොවෙයි. කොටින් ම කියතොත් කෑමේ වාරිත්‍රයෙන් වෙන්ව වැළඳීමේ වත සමාදන්වීම එහිලා එකම විසඳුම බව තේරුම් ගැනීම වැදගත් වනු නිසැක ය.
“ආහාරය යනු බේතකි. එය පමණ දැන වේලාවට ගත යුතු දෙයකි” යනුවෙන් නූතන විද්‍යාත්මක කියමනක් තිබේ. එයනම් වෙනකක් නොව “ආහාරෙ මත්තඤ්ඤුතා” යන ධර්ම පාඨයෙහි ප්‍රායෝගික පරිවර්තනයක් ම ය යන්න නිවැරදිය. එහිලා වැඩිමනක් විස්තර සැපයෙන්නේ අපේ ආහාර ප්‍රත්‍යවේක්ෂාව මගිනි. එහි ද සාරාංශය වන්නේ “ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය” යන යෙදුමයි. 'මේ ශරීරයේ යහ පැවැත්ම උදෙසාම ආහාරය ගනිමි' යන සිහිය ඇතිව ආහාරයට අත තැබීමයි. මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ ඒ පිළිබඳව එන විවරණය සර්වකාලීනව ඇගයිය යුතු ආහාර ප්‍රතිපත්තිය යි. ප්‍රත්‍යවේක්ෂාව වශයෙන් භික්ෂූන් වහන්සේලා කටපාඩමින් නිතර දෙවේලේ කියන්නේත් එයම යි.
මෙහිදී දිව පිනවීම මෙන්ම රස තෘෂ්ණාව සන්තර්පණය කිරීම කෙරේ උනන්දුව බැහැර වෙයි. සියල්ලටම මුල කට ම ය යන අදහස පෙරදැරිව සිය මුව තුළට ගන්නා දේ ගැන නිවැරදි අවබෝධයෙන් සිටීම එහිලා වැදගත් වෙයි. විවිධ විෂ සහිත රසකාරක මගින් රසගැන්වූවා වූ ද සුවඳ හා වර්‍ණ ගැන්වූවා වූ ද ආහාර හඳුනාගෙන ඒවායින් බැහැර වී ගුණය ම පදනම් කරගෙන වැළඳීම කරන්නේ නම් දායක ඇත්තන්ට යන වියදම ද බෙහෙවින්ම අඩුවනු ඇත.
මෙහිදී බොහෝ ප්‍රතිග්‍රාහකයින්ගේ පිළිවදන වන්නේ “අපි කුමක් කරමුද ? දායක ඇත්තන් දෙන දේ භාර ගන්නවා මිසක්” යන්නයි. මෙය ද නිවැරදි නොවන උත්තරයකි, අනික් සෑම තැන්හි ම සේම
මෙහිදී ද දායක පින්වතුන් දැනුවත් කිරීම අපගේ පරම යුතුකම වන්නේ ය. මෙහිලා දරන සම්‍යක් උත්සාහය ප්‍රතිඵල ගෙනදෙන්නේ ම ය. එමගින් හොඳ දානය කුමක් ද ? යන්න ගැන අර්ථවත් ධර්මානුකූල අවබෝධයක් අපේ දායක දායිකාවන්ට ලැබෙනවා නොඅනුමාන ය. “සක්කච්චං දානං දේති” යන ධර්මාන්විත නියමයේ අරුත පැහැදිළි කළ යුතු වන්නේ ඒ ආකාරය ට ය.
දිව පිනවන්න, හිත පිනවන්න හිතාගෙන හාමුදුරුවන්ට රසවත් දන් වේලක් පිරිනමන ඇත්තන්ට ආයු, වණ්ණ, සැප, බල, පඤ්ඤා යන ආනිශංස පහ ලැබෙනවා ද? සත්‍ය වශයෙන්ම නැත. ඒ වෙනුවට එබඳු රසනහර පිනවන දන්වේලක් මගින් ලැබෙන්නේ කොලෙස්ට්‍රෝල්, දියවැඩියාව, හෘදයාබාධ, උදරාබාධ සහ මෝහ මූලික රස තෘෂ්ණාව යන පංචානිශංසය මිස වෙන කවරක් ද? ප්‍රතිග්‍රාහකයාට ලැබෙන මේ ප්‍රතිඵල පහම ඒ දානය පිරිනමන දායක පිරිසට ලැබෙනු නොවැළැක්විය හැකියැයි උපකල්පනය කිරීම නිවැරදි නොවේද ?
අවසානයේ සිදුවන්නේ මෙලොවදීම කායික මානසික දුක්ඛවේදනා රැසකට දෙපරිස ම ගොදුරුවීමය. මේ තත්වයෙන් දෙපිරිසටම ගැලවීමක් නැති ද? ඒ පැනයට පිළිතුර විය යුත්තේ “ගැලවීමක් තිබේ” යන්නයි. එසේ ගැලවීමට ඇති එකම මග වහාම කෑම අත හැර වැළඳීම යළි ආරම්භ කිරීමයි.
බුදුසරණ පාඨකයන් වන බුද්ධිමත් සුධීන්ට මෙසේ සැකෙවින් දක්වන ලද්දා වූ කාරණාවන් දහසක් නයින් අවබෝධ වනවාට කිසිදු සැකයක් නැත. “ළඟට ලැබෙන දේ අහරට ගන්නා අය ලෙඩ වෙති. සොයාගෙන අහර ගන්නා අය නීරෝගී ය.” යනුවෙනු දු පිළිගත් ප්‍රකට කියමනක් ඇත. අපි ඒ වදන් හි අරුත තවදුරටත් නොසලකා සිටින්නේ කුමට ද?

“ළඟට ලැබෙන දේ වුව ද “වළඳන්නෝ” (සිහියෙන් අහර ගන්නෝ) ලෙඩ නොවෙති. සොයා ගෙන වුව ද “කන්නෝ” ලෙඩ වෙති” යන්න වඩාත් ධර්මානුකූල ය. සාධු සම්මත ය.



ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය 
ඕමල්පේ සෝභිත නා හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ දෙසැම්බර් 13 වන  අගහරුවාදා   දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment