" අපවිත්‍ර දෑ එකතු වන්නේ අපවිත්‍ර ගොඩටමය. දුසිල්වත් පාපී පුද්ගලයෝ එවැනිම පිරිස්වලට එකතුවෙති. එනමුත් සුවඳ සුවඳට ම එකතු වන්නාක් මෙන් සදාචාරවත්, ගුණ යහපත් සුසංයත මනුෂ්‍යයෝ, එවැනිම අය සමඟ එකතු වෙති.'
සීලය නම් කායික වාචසික සංවරයයි. කායික හා වාචසික සංවරය නිසා පුද්ගලයාගේ සිත දමනය වෙයි. පුද්ගල සිත දමනය වූයේ ද, ඔහු සිත, කය, වචනය නම් වූ තිදොරින් ම දමනය වේ. එනම් සංවර වූ පුද්ගලයෙක් බවට පත්වේ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. “භික්ඛු සීලවා හෝති, පාතිමොක්ඛ සංවර සංවුතො විහරති, ආචාර ගෝචර සම්පන්නෝ අණුමත්තේසු වජ්ජේසු භය දස්සාවි. සමාදාය සික්ඛති සික්ඛාපදේසු.”
මෙහි ‘භික්ෂුව’ යැයි ආමන්ත්‍රණය කළත් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිසම තම තමාට මෙම දහම ගළපා ගත යුතුය. නිවන් මඟෙහි පළමුවන පියවර නම් සිල්වත් විය යුතු බවය.
එනම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතු වීමය. ගෘහස්ථ ජීවිත ගත කරන අශ්‍රැතවත් පෘතග්ජනයා පඤ්ච සීලය, උපෝසථ සීලය, ආජීව අට්ඨමක සීලය වශයෙන්, එම සීලයන්හි පිරිපුන් විය යුතු බවට විශ්වාස කරමු. එපමණක් ද නොවේ, ආචාර ගෝචර සම්පන්නවීම හෙවත් සිරිත් විරිත් ද අනුගමනය කරන්නා වූ අයෙක් වීම ද අවශ්‍යයි. මෙහි චාරිත්‍ර වාරිත්‍ර හෙවත් සිරිත් විරිත් මොනවාද? නම් වූ ප්‍රශ්නයට මනා වූ පිළිතුරක් ‘සේඛියා’ නම් වූ ශික්ෂා පද හැත්තෑපහෙන් විමසා බැලීමෙන් තේරුම් ගත හැකියවේ.
“ න චපු චපු කාරකං භුඤ්ජිස්සාමීති සික්ඛා කරණීයා” පිටතට ශබ්දය ඇසෙන සේ තලු මරමින් ආහාර අනුභව නොකරන්නෙමියි හික්මිය යුතුය. “න හත්ථනිල්ලේහකං භූඤ්ජිස්සාමිති සික්ඛා කරණීයා” අත ලෙවකමින් ආහාර අනුභව නොකරන්නෙමියි හික්මිය යුතුය. මේ ආදී ලෙසින් සිවුරු පරිහරණය (වස්ත්‍ර පරිහරණය) ගමන් කිරීම්, ආහාර ගැනීම්, වැසිකිලිය, කැසිකිළිය පරිහරණය කිරීම් වශයෙන් ද සංවරය, හික්මීම, ආචාරශීලිවීම උගන්වා තිබේ.
“අණුමත්තේසු වජ්ජේසු භය දස්සාවි” කුඩා අනුකුඩා වරදෙහි පවා බිය දක්නා වූ අයෙක් විය යුතු බවය. බුදු දහමෙහි පෙන්වා දෙන “හිරි ඔතප්” එනම් පාපයට හෙවත් වරදක් කිරීමට ඇති ලජ්ජාව සහ බියයි. වරදක් කිරීමට ඇති ලජ්ජාව සහ බිය අවබෝධයෙන් ම ඇති කරගත යුත්තක් ද විය යුතුය. එසේ නොමැති වුවොත් රහසේ පව්, වැරැදි කිරීමට පෙළඹිය හැකිය. අනුන් ඉදිරියේ හෝ ප්‍රසිද්ධියේ වරද නොකළාට ඉඩ ලද අවස්ථාවේ රහසේ වරදට යොමු විය හැකි ය. එසේ නොවීමට නම්, පාපයෙහි හෝ වරදෙහි ඇති, භයානක බව, ආදීනවය මෙලොව සහ මරණින් මතු වශයෙන් සිහිපත් කළ යුතුය. එනම් අත්තානුවාද භය – තමාටම අපවාද කර ගැනීමේ බිය. පරානුවාද භය – අන් අය විසින් දෝෂාරෝපණය කිරීමේ බිය. දණ්ඩ භය – දඬුවම් විඳින්නට සිදුවීමේ බිය. දුග්ගති භය – මරණින් මතු නිරයක උපතක් ලබන්නට සිදුවේය නම් වූ බියයි.
අධ්‍යාත්මික වශයෙන් සීලය හෙවත් සංවරය පිළිබඳව මෙනෙහි කරන්නට සහ සිත පුරුදු කරන්නට අභ්‍යාස නොකිරීම නිසා ‘ආවේග‘ ඉදිරියේ දී පුද්ගලයා හික්මීමෙන් බැහැර වෙයි. ‘ආවේග‘ ලෙස හඳුන්වනු ලැබුවේ ලෝභ, දෝෂ, මෝහයන් මුල් කරගෙන බලවත් ලෙස මතුවන සිතිවිලිය. බෞද්ධ භාවනාවේ දස අනුස්සති මෙනෙහි කිරීම් අතර සීලානුස්සති භාවනාව පෙන්වා දෙන්නේ තම සීලය පිළිබඳව නැවත නැවතත් මෙනෙහි කරමින් වරදින් වැළකීමටත් ප්‍රාණඝාත නොකරමි, සොරකම් නොකරමි, කාම මිථ්‍යාචාරය නො කරමි, බොරු නො කියමි, මදයට සහ ප්‍රමාදයට හේතුවන ලජ්ජා බිය නැතිවන රහමෙර පානයෙන් වැළකෙමි ආදී වශයෙන් තම කායික සහ වාචසික සංවරය සිතට ද පුරුදු කිරීමයි.
පාපයක් හෙවත් වරදක් සිදුවීමෙන් ඇතිවන විපාකය පිළිබඳව මෙනෙහි කරමින්, සීලයෙහි පිහිටීමෙන් සිදුවන යහපත් වූ අපමණ සුන්දර විපාකය පිළිබඳවත්, එසේ නොවීමෙන් සිදුවන අපමණ කටුක ප්‍රති විපාක පිළිබඳවත් සිත ඔසවා තැබිය යුතුය. “දුස්සීල”යෙක් හෝ පව්කාරයෙක් හෝ පව්කාරියක් වීම නිසා මෙලොව වශයෙන් තමාගේ අධ්‍යාත්මයේ පටන් අත්විඳීමට සිදුවිය හැකි භයානක විපාක නිතර සිහිගැන්විය යුතුය. එනම් මේ වරදෙහි විපාක වශයෙන් ‘සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, පරිළාහ ආදී වශයෙන් කටුක විපාක පිළිබඳව තම සිත අවදි කළ යුතුය. එමෙන් ම සීලයෙහි ඇති සුන්දර වූ විපාක පිළිබඳව. සිත සහ සිතෙහි හටගන්නා වූ සිතිවිලි අවදි කළ යුතුය. ඒ මෙසේ ය.
භාග්‍යවතුන් වහන්සේ පාටලීගාමීය සූත්‍රයේ දී මෙසේ විස්තර කරති. නොපමා වූයේ භෝග සම්පත් ලබයි. සියලු පිරිස් මැදට තේජස් ඇතිව පැමිණෙයි. සිල්වත් හෙවත් සදාචාරවත් පුද්ගලයාගේ යසස් කීර්ති හඬ පැතිරෙයි. සිල්වත් පුද්ගලයා නො මුළාව කළුරිය කරයි. මරණින් පසු මහා ගති ඇති සුගතියෙහි උපදියි. මේ ආකාරයෙන් තම චිත්ත සන්තානය සීලයට ඍජුගත වන විට, බාහිර පරිසරය කෙරේ ද සැලකිලිමත් වෙයි.
මංගල සූත්‍රයේ දී ‘අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා” දහමින් පෝෂණය නොවූ අසත්පුරුෂ දුර්ජනයන්ගේ ඇසුරින් බැහැරවීමත්, දහමින් පෝෂණය වූ සත්පුරුෂයන්ගේ ඇසුර පැවැත්වීමත් කළ යුතු බව දක්වා ඇත.
අපවිත්‍ර දෑ එකතු වන්නේ අපවිත්‍ර ගොඩටමය. දුසිල්වත් පාපී පුද්ගලයෝ එවැනිම පිරිස්වලට එකතුවෙති. එනමුත් සුවඳ සුවඳට ම එකතු වන්නාක් මෙන් සදාචාරවත්, ගුණ යහපත් සුසංයත මනුෂ්‍යයෝ, එවැනිම අය සමඟ එකතු වෙති.
මෙවැනි සීලයෙන් යුතු ප්‍රියශීලි, සුපසන් මනුෂ්‍යයාගේ වචනවල ඇත්තේ ද මනුෂ්‍යත්වයේ සැබෑම සංකේතයයි. “ගුථභාණී නම් වූ දුගඳ හමන වචන කතා නොකරයි. එනමුත් පුෂ්පභාණී – මල් සුවඳ මෙන් සුවදැති වචන ද, මධුභාණී මී පැණි මෙන් මිහිරි වචන ද කතා කරයි. එමෙන් ම හැකිතාක්දුරට නිදොස් වචන ද - නෙලා, සභ්‍ය වචන ද - පොරි, කනට සුවදායි වචන ද – කණ්ණ සුඛා, ප්‍රිය බව ඇතිවන වචන ද - පේමනීයා, හද ඇඳගන්නා වූ වචන ද – හෘදයංගම, බොහෝ දෙනා කැමැති වන්නා වූ යහපත් වචන ද – බහුජන කන්තා, බොහෝ දෙනාට මනාප වචන ද – බහුජන මනාපා කතා කළ යුතුය. කුඩා, අනුකුඩා වරදෙහි පවා අවබෝධයෙන් බියක් ඇතිකර ගන්නා වූ පුද්ගලයා කයෙන් සහ වචනයෙන් හික්මීමක් ඇතිකර ගත යුතු වන්නේ කෙසේදැයි මෙහි පැහැදිලි කරයි.
අවබෝධයෙන් යුතුව, තම පැවැත්ම කෙරේ සිහිය පිහිටුවන පුද්ගලයා ප්‍රඥාව වඩන පුද්ගලයෙක් බවට පත්වෙයි. ජටා සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේගෙන් එක්තරා දේවතාවෙක් මෙසේ ප්‍රශ්න කරනු ලැබීය.
”අන්තෝ ජටා බහිජටා
ජටාය ජටිතා පජා
ජටාය ජටිතා පජා
කෝ ඉමං විජටයේ ජටං”
සියලු දෙනාම අධ්‍යාත්මික වශයෙනුත්, බාහිර වශයෙනුත් අවුලෙන් අවුලට පත් වී ඇත්තෝය. ගෞතමයන් වහන්ස, මේ අවුල ලිහන්නේ කවුද? කෙසේ ද? යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර වූයේ,
“සිලේ පතිට්ඨාය නරො සපඤ්ඤෝ
චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකො භික්ඛු
චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකො භික්ඛු
සො ඉමං විජටයේ ජටං” යනුවෙනි. එනම් සීලයෙහි පිහිටන ප්‍රඥාවන්ත මනුෂ්‍යයා විසින්, සිතත්, ප්‍රඥාවත් වඩන්නේය. එමෙන් ම කෙලෙස් තවන වීර්යයෙන් යුතු සම්මා ප්‍රඥාවෙන් යුතු භික්ෂුව මෙම රාග, ද්වේෂ, මෝහයන්ගෙන් පිරි අවුල ලිහන බවය.
අවබෝධයෙන් යුතුව ශික්ෂා පදයන්හි සමාදන්ව ශික්ෂණයට පැමිණෙයි. එනම් විනයට, සංවරයට, හික්මීමට පත්වෙයි. භාග්‍යවතුන් වහන්සේ “සෝණ දණ්ඩ” සූත්‍ර දේශනාවේ දී මෙසේ දේශනා කරති. ප්‍රඥාව සීලයෙන් පිරිසුදු වෙයි. ශීලය ප්‍රඥාවෙන් පිරිසුදු වෙයි. සිල් ඇති තැන ප්‍රඥාව වෙයි. ප්‍රඥාව ඇති තැන සීලය වෙයි. සිල් ඇත්තාට ප්‍රඥාව ඇත. ප්‍රඥාව ඇත්තාට සිල් ඇත. ශීල ප්‍රඥා දෙක වනාහි ලෝකයේ අග්‍ර යැයි කියලු ලැබේ.
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළª අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 23 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment