කරුණා භාවනාව පුහුණු කරමු
භාවනාවක් ලෙස නිතර වඩන්නට පුළුවන් අංග හතරක් ගැන බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ සතර බ්‍රහ්මවිහරණයන් වන එනම් මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන භාවනායි. කරුණාව සහ කරුණා භාවනාව වේ. පිළිබඳව මේ ලිපියෙන් විස්තර කෙරෙනවා.
අපගේ මනසේ කරුණාව උපදවා ගැනීමේදී එය දියුණු කර ගැනීමේදී එහි ආනිශංස සිහිපත් කළ යුතුයි. යම් කෙනෙක් තුළ කරුණාව වැඩී නැතිනම් එහි ආදීනව සිතන්නටත් පුරුදු විය යුතුයි. එවිට තමන් කෙරෙහි කරුණාව උපදවා ගැනීමේ ආශාවක් ඇතිවෙනවා. එයට හේතුව මේ සිත යම් සැපතකට, යම් ආනිශංසයකට ආශා කිරීමයි.
අප කුඩා කාලයේ දී මව්පියන් කියනවා අප විඳින දරු දුක අම්මා තාත්තා වූ දවසක ඔබටත් දැනේවි කියා. එදා එය අපට එතරම් තේරුණේ නැහැ. ඒත් අම්මා හෝ තාත්තා වූ දිනක තමන්ගේ අම්මා, තාත්තා තුළ තිබූ කරුණාව, මෛත්‍රිය දැනෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා “ පරදුක්ඛේ හදයං කම්පේති” කරුණාව යනු අන් අයගේ දුක දැක තමන්ගේ සිතේ අනුකම්පාව උපදවා ගැනීමයි කියා. කරුණාව නැති නිසා දරුවෝ අම්මාට තාත්තාට සැරවැර වෙනවා, අකාරුණික වෙනවා. සමහර මව්පියන්ද තමන්ගේ දරුවන්ට දැඩි ආකාරයට කටයුතු කරනවා. සහෝදර, සහෝදරියන් අතරද කරුණාව නැතිකම නිසා එකිනෙකාගේ සිත් රිදවා ගැනීම්, හිරිහැර කර ගැනීම් අද සමාජයේ සුලබයි. සමහර මිනිසුන් සත්ත්ව ඝාතනය කරන්නෙත්, සැමට හිංසා පීඩා කරන්නේත් කරුණාව නැති නිසායි. තමන්ගේ සිත, කය, වචනයෙන් අකාරුණික වීම නිසාත් පසුතැවෙන අවස්ථා ද අප තුළ තිබෙනවා. යම් කෙනෙක් මේවා බැහැර කර තමන්ගේ සිතේ අනුකම්පාව උපදවා ගන්නවානම් ඔහු තුළ කරුණාව වැඩෙනවා. මඟතොටේ ගමන් කරන විට යාචකයෙක්, ආබාධිතයෙක් දුටුවිට හෝ ඔහු පිළිබඳව කරුණාව උපදීනම් ඒ අයට පිහිටවීමට සිතක් උපදීනම් එය තමා තුළ වැඩෙන කරුණාවයි.
කරුණාව දියුණුකර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙළක් භාග්‍යවතුන් වහන්සේ වදාළා. මුලින්ම තමා උපමා කරගෙන අන් සත්ත්වයන් දෙස බැලීම කළ යුතුයි. අප දන්නවා කෙනෙක් අපේ සිත රිදෙව්වොත්, පිරිසක් මැද අපට නින්දා අපහාස කළොත් අපට වේදනාවක් දැනෙනවා. යම් රෝගයක් වැළඳී අප එක්තැන් වූ විටක කෙනෙක් අපට අනුකම්පාවෙන් උපකාර කළේ නැත්නම් ඒ ඇතිවන අසරණකම, වේදනාව අපට දැනෙනවා. කායික දුක පමණක් නොවේ අන් අය විසින් අපගේ සිත රිදවීම තුළින් ඇතිවන වේදනාව අපට දැනෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ තමා උපමාකොට අන් සත්ත්වයන් දෙස බලන්න කියා. එහෙමනම් මේ දුක , වේදනාව ගැන හොඳින් කල්පනා කර තමන් එවැනි පීඩාවට අකැමැති මෙන් මුළු ලෝක සත්ත්වයාම දුක, වේදනාව, අසරණකම ආදියට අකැමැතියි සිතා කරුණාව දියුණුකළ යුතුයි. එහිදී
”මම කායික දුක් පීඩා නැත්තෙක් වෙම්වා, මානසික දුක් පීඩා නැත්තෙක් වෙම්වා ,සුවසේ ජිවත් වෙම්වා කියන දේ මෙනෙහි කිරීම කළ යුතුයි. කායික දුක්පීඩා නැත්තෙක් වෙම්වා කියන්නේ කයෙහි සුවපත් භාවය ගැන සිතීමයි. මානසික දුක්පීඩා නැත්තෙක් වෙම්වා කියන්නේ තමන්ගේ සිතට පීඩාවක්, වේදනාවක් නැතිබව සිතීමයි. සුවසේ ජීවත් වෙම්වා කියන්නේ ඉහත කී කායික මෙන්ම මානසික දුක් නැතිව ජීවත් වීමයි. තමන්ට ඒ ආකාරයට හොඳින් කරුණාව පතුරුවාගෙන තමා මෙන්ම තමා වටා ජීවත් වන සෑම සත්ත්වයාටම කරුණාව පතුරුවා හැරීම කළ හැකියි. මේ ආකාරයට තමාටත්, ලෝකයේ සිටින සියලු සත්ත්වයාටත් කරුණාව භාවනාවක් ලෙස නැවත නැවත වර්ධනය කිරීමේදී කරුණාව නමැති මෘදු ගුණය සිත තුළ හොඳින් පිහිටනවා වගේම සිත එකඟ වෙනවා.
කරුණාව භාවනාවක් ලෙස වැඩීමේදී එහි ආනිශංසත් ඒ තැනැත්තාට තිබෙනවා. සුවසේ නින්ද යනවා, සුවසේ අවදි වෙනවා, නපුරු සිහින පෙනෙන්නේ නැහැ, දෙවි මිනිසුන්ට පි‍්‍රය වෙනවා, අමනුස්සයන්ගෙන් හිරිහැර වෙන්නේ නැහැ. ඒ වගේම අවි ආයුධ, වස විසවලින් හානි වෙන්නේ නැහැ. මේ ජීවිතයේදී ධර්මය අවබෝධ කර ගන්නට නොහැකි වුණොත් ඊළඟ ජීවිතයේ දී සුගතියේ උපදිනවා කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.
කොච්චිකඩේ
සීවිලි හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළª අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 23 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment