Labels

Wednesday, August 2, 2017

සිව් බඹ විහරණ - මෙත්තා

මෙත් සිත ගෙනෙන සෙත

අප තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ සිව් බඹවිහරණයන් වදාළ සේක.මෙත්තා, කරුණා,මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ගුණයන් මහා බ්‍රහ්මයා තුළ ඇති බව පෙන්වාදුන් බුදුරජාණන් වහන්සේ එම ගුණධර්ම දෙමව්පියන් තුළ තිබෙන බවට ද දේශනා කොට වදාළහ.
ඒ අතරින් මෙත්තා ගුණ ධර්මය සුවිශේෂී වේ. බොහෝ සේ ජන ජීවිතය හා බැඳී පවතී.මෙත්තා හෙවත් මෛත්‍රිය පැතිරවීම භාවනාවක් ලෙස වැඩිය හැකි කමටහනකි.මෛත්‍රිය අපගේ සිත් සතන් තුළ වර්ධනය විය යුතු උදාර ගුණාංගයකි.ලෝකයට හිතානුකම්පී ලෙස ජීවත්වන පුද්ගලයෙකු නිරන්කරයෙන්ම මෙත් සිත පැතිරවිය යුතු බවට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.
මෙත් සිත බහුල වශයෙන් වැඩිය යුතුය.යානාවක් මෙන් පුරුදු කළ යුතුය. හොඳ අරමුණක් ලෙස පුරුදු කළ යුතුය. නැවත මෙනෙහි කළ යුතුය. මේ ආකාරයෙන් පුරුදු පුහුණු කළ යුතු උදාර ගුණාංගයක් ලෙස මෛත්‍රිය පිළිබඳ අවබෝධ කරගත යුතුයි.

මෛත්‍රියෙන් වෛරය දුරුකරගැනීම සිදුවෙයි.එම නිසා අහං අවේරෝ හෝමි.
මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊ්ර්්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, දුක්පීඩා නැත්තෙක් වෙම්වා,
සුවසේ ජීවත් වෙම්්වා, ශාන්ත සුවයට පත්වෙම්වා
මේ ආකාරයෙන් කල්පනා කිරීම තමා පිළිබඳ මෛත්‍රිය පැතිරීමයි. සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ආදී වශයෙන් තමාගෙන් බැහැර සෙසු පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පැතිරිය යුතුය. මජ්ක්‍ධිම නිකායේ අනුරුද්ධ සූත්‍රයේදී භාවනාව ක්‍රම දෙකකට වැඩිය යුතු බව සඳහන් වේ.
මම තරහ නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, ශාන්ත සුවයට පත්වෙම්වා
යනුවෙන් ආරම්භ කර මා මෙන්ම නිවසේ සිටින සියලු සත්ත්වයෝද , මා මෙන්ම ගමේ සිටින සියලු සත්ත්වයෝද, මේ නගරයේ සිටින සියලු සත්ත්වයෝද,පළාතේ සිටින සියලු සත්ත්වයෝද, මේ රෙටි සිටින සියලු සත්ත්වයෝද සියලුම ලෝකවල සිටින්නාවු සියලුම සත්ත්වයෝද වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක්පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා යනුවෙන් භාවනාව වඩමින් අප්‍රමාණ වශයෙන් දිශාවලට වැඩිය යුතුය.මෛත්‍රී භාවනාව දිශාවලට වැඩීමේදී විශාල වශයෙන් ආනිශංස ලැබේ.
මෛත්‍රි චිත්ත සමාධිය දියුණු කිරීමට ගතවන කාලය මලක් සිඹින මොහොතක් වෙයි. හුදු වචන මාත්‍රයකින් ප්‍රකාශ නොකොට තමා විසින්ම අවංක ලෙස ච්ත්ත සමාධියක් දක්වා මෛත්‍රියෙන් මනස දියුණු කළ විට එය මලක් සිඹින මොහොතක සමාධියක් ගොඩනඟාගත හොත් ,රහතන් වහන්සේ සියක් නමකට පූජා කරන දානයට වඩා පිනක් ඒ තුළින් රැස්කර ගත හැකිය. මෛත්‍රි භාවනාවෙහි ආනිශංස 11 ක් ලැබෙන බවට මෙත්තානිශංස සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.
සුවසේ නින්ද යයි. හොඳින් අවදි වෙයි. නරක සිහින නොදකී. මනුෂ්‍යයන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයන්ට අප්‍රිය වෙයි. දෙවිවරු රැකගනී. වස විෂ අවි ආයුධවලින් හානි නොපැමිණෙයි. මුහුණ පැහැපත් වෙයි. මරණයේදී සිහිය විකල් නොවේ.මරණින් මතු බ්‍රහ්ම ලෝකයක උපත ලබයි.
මෛත්‍රි භාවනාව වැඩීමෙන් අප තුළ හටගන්නාවූ තරහව පාලනය කළ හැකි බවට බුදුරජාණන් වහන්සේ වදාළහ. භාවනා කිරීමෙන් බොහෝ පින් රැස්කරගත හැකි වුවද, බොහෝ දෙනා නිකරුණේ කාලය නාස්ති කර දමයි.මෛත්‍රි භාවනාවෙන් මනස සැහැල්ලු වේ. අමනාපයක් බියක් ඇති නොවේ.සැම විටම මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සුවසේ ගත කළ හැකි වෙයි.
මහරහතන් වහන්සේ විශාල ප්‍රමාණයක් බිහිවීමට එම භාවනාව උපකාරී වී තිබේ. මෛත්‍රි භාවනාවෙන් මාර්ගඵල අධිගමනයන් දක්වා ගමන් කළ හැකිය.

පොල්පිටි මූකලානේ 
පඤ්ඤාසිරි හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඇසළª අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 23 වන ඉරිදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment