Labels

Friday, August 11, 2017

කියමි රහසක්‌ වසන්වූ මග මතුවෙලා යළි සිතට ගනු මැන


කවුද මේ අරුත්බර ගී ගයන්නේ? ඉන්නකෝ ඉන්නකෝ ඒ ගීතයේ ඉතිරි පද වැල් සම්පූර්ණ කරමින්ම මම කතාව ආරම්භ කරන්නම්කෝ ඔබත් සමඟ අද. එහෙනම් මෙන්න මෙහෙම පද ගලපනවා මම. කියන්නකෝ හොඳයි ද කියලා.

ඇත්ත දැක්‌කොත් ලොවෙන් එතෙරට

යන්න හැකි වෙයි ඇත්තමයි එය.

ලසස්‌නයි, ලස්‌සනයි, මේවා ඇහෙන විට සිත විකසිත වෙනවා තමයි. ගයන්න ගයන්න බිය නොවන්න.

ත්‍රිවිධ ලෝකය ත්‍රිවිධ ලෝකය කියනවා. විමසලා බලමු ද අපි කුමක්‌ද මේ ත්‍රිවිධ ලෝකය කියලා. එහෙම නම් කියන්නකෝ යහළුවේ ඔබට පෙන්වන්න පුළුවද මේ ත්‍රිවිධ ලෝකය කියන්නේ කුමක්‌ද කියලා 



ඇයි බැරි? ඔය ත්‍රිවිධ ලෝකය කියන්නේ සත්ව ලෝකය - සංඛාර ලෝකය - අවකාශය ලෝකය නේ.

ම්... ලෝක තුනක්‌ම තියනවා වාගේ නේද?

නොරැවටෙනු, නොරැවටෙනු. එකම ලෝකයේ ප්‍රභේදනේ මේ, අපි සම්මුති වශයෙන් කියාගන්නා ලෝකය නම් නෙමෙයි මේ. පරමාර්ථ වශයෙන් බැළුවම හෙළි වන්නේ සිඳෙන බිඳෙන බැවින් ලෝකය කියන බවයි. මේ ස්‌වභාවයන් තුනම එක්‌වෙලා මුළු ලෝකයම හැදන බව. මේ ස්‌වභාවයන් එක්‌වෙලා මුළු ලෝකයම හැදෙන්නේ කෙලෙසද?

දන්නවාද ඒ ස්‌වභාව දහම මේ ත්‍රිවිධ ලෝකය හදන්න භාවිත කරන අමු ද්‍රව්‍ය මොනවාද කියලා? ඒවා තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ කියන ස්‌වභාවික ක්‍රියාවල්, ශක්‌තීන්. ස්‌වභාව දහමේ ශක්‌තීන් සයක්‌ම තියනවානේ. වටහගන්න කෝ මේවායෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ස්‌වභාව ශක්‌තීන් එක්‌ වෙලා ඝන වෙලා රූප හැදිලා හිස්‌ අවකාසය පුරාම විසිරිලා පවතිනවා. අවකාසය පුරා විකාශනය වෙනවා. මේ විධියට එකතු වෙලා තියෙන නිසානේ බුදුපියාණෝ මේවාට සහජාත ධර්ම කියන්නේ. උප්පාද- තිථි- භංග. රූපයෝ ස්‌වභාවයෙන්ම ඇතිවෙමින්, ස්‌වභාවයෙන්ම ඇති නැති වෙමින් පවතිමින්, ස්‌වභාවයෙන්ම නැතිවී යාමමයි පවතින්නේ. උප්පාද- තිථි - භංග. රූපයෝ ස්‌වභාවයෙන්ම ඇතිවෙමින්, ස්‌වභාවයෙන්ම ඇති නැති වෙවී පවතිමින්, ස්‌වභාවයෙන්ම නැතිවී යනවා. රූපයන්ගේ ස්‌වභාවයයි ඒ. මේ තමයි තිලකුණ. ලෝකය කියන්නේ තිලකුණකටනේ.

ත්‍රිවිධාකාර ස්‌වභාව ශක්‌තීන්ගේ වැඩ බලන්න කෝ. සත්ත්ව කියන්නේ සයාකාර මූලද්‍රව්‍ය සියල්ලම එක්‌තැන් වෙලා සංසකරණය වෙච්ච පූර්ණ නිර්මාණයනේ. ඒ ලෝකය නිර්මාණය වෙනවා, සැකසෙනවා, නිමවෙනවා, හැදෙනවා, සංස්‌කරණය වෙනවා යයි කියන්නේ සංඛාර ලෝකය බව දැනගන්න. කොහේ ද මේ සත්වයා සංස්‌කරණය වුණේ? සත්වයා සස්‌කරණය වුණේ? හිස්‌ අවකාසයේනේ. ඉඩ කඩ නැතැයි ඕන තරමක්‌. ඔබ දන්නවාද? අවකාස ලෝකයේ ඉඩ කඩ ඕන තරං තියනවා කියලා. මේ අවකාසය මුළු ලෝක නිර්මාණයට අත්‍යාවශ්‍යම අංගයනේ. කොපමණ දේවල් නිර්මාණය වූවත් ඉඩකඩ ඉවරයක්‌ වෙන්නෙම නැහැ, පුදුම ස්‌වභාදහමක්‌.

අවකාසයට අගක්‌ මුලක්‌තියෙනවායෑ. ඒකනේ ලෝකයට අගක්‌ මුලක්‌ නැත්තේ. තේරුණා නේද? ඒශක්‌තීන් අටම එකටමයි ඇතිවෙමින් නැති වෙමින් පවතිනේ. ඒකනේ අනිත්‍යයි කියන්නේ. ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා මිසක අඛණ්‌ඩව මොහොතක්‌වත් පවතින්නෙ නැහැනේ. වේගවත් බැවින් ඇතිවන නැතිවන යළි ඇතිවන ස්‌වභාවයේ අන්තර් පරතරය ඇසට හසු නොවන නිසා මුළාවක්‌ ඇතිවෙනවානේ තියනවා කියලා. එහෙම තමයි ආත්ම දිට්‌ඨීය ඇතිවෙන්නේ. සසර සැරිසරන්නට සිදුවන මූලික හේතුව වූයේ මෙලෙස ඇතිවූ ආත්මදිට්‌ඨීයමයි. අනිත් සංයෝජන සියල්ලම ගොඩ නැඟුනේ ඒ ආත්මදිට්‌ඨීය වටාය. ඔබ දැනගන්න මේ සත්‍ය හසුකරගත හැකිවෙන්නේ නුවණැසින් පමණක්‌ම බව. මේ ඉන්ද්‍රියයන් ඉක්‌මවා ගිය නුවණයි. ඒ දිට්‌ඨී විසුද්ධිය යි.

චිත්ත වේගය හෙවත් විඤ්ඤාණයත් එක්‌වෙලානෙ දැන් තියෙන්නේ. එවිට තමයි සත්ව ලෝකය සැකසෙන්නේ. මම කියන්නද රහසක්‌? අහගෙන ඉන්නකෝ. සියලුම ස්‌වභාවයන් එක්‌වෙලා ත්‍රිවිධ ලෝකය නිර්මාණය වෙලා තියෙනවා. ඒ ත්‍රිවිධියම එක්‌වෙලා තමයි සත්වයා හෙවත් සත්වලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ .

ඔබ දන්නවාද මේ ත්‍රිවිධාකාරයම එක්‌වෙලා මේ සක්‌වලෙහි අන්තර්ගත වූ තිස්‌ එක්‌ ලෝක තල සෑදිලා තියෙන බව. සියළුම ස්‌වභාවල් විසිරිලා ලොව සැකසුනා. අවකාස ස්‌වභාවය තනිවම තියෙනවා. සතරක්‌ එක්‌ වෙලා රූප සැදුනා. සියල්ලම එක්‌ වෙලා සත්වයා සැදුනා. මේ ස්‌වභාව ධර්මයයි. මේ සක්‌වල සහ තියන තාක්‌ සියළුම සක්‌වලවල් සැකසුනේද එලෙසමයි. ස්‌වභාවන් සියල්ලම කැටිවෙලා සිදුවූ නිමැවුම තමයි සත්වයා. ඒ සත්වයා තුලිනුත් ප්‍රමුඛතාවය දරන්නේ තමාමයි කියා බුදු ඇසින් දුටුවා. ඇයි ඒ? පසිඳුරන් මඟින් එකිනෙකාට දැනෙන දේවල් තමාට දැනෙනවායෑ. ඒකයි. තමන්ටත් දැනෙන්න ඕනමද?

ඇයි නැත්තේ තමන්ට පස්‌ස නූනොත් ස්‌පර්ෂ නූනොත් නොදැනුණොත් තමන්ට වේදනාවක්‌ නොදැනුණොත් කොහොමද තමන් වටහාගන්නේ? කොහොමද ඇත්ත සොයන්නේ? ඒ නිසා තමා මූලික කරගෙන ක්‍රියාකාරිත්වය තුළින්ම සත්‍ය දැක සැනසෙන්න. ඒ මාර්ග බ්‍රහ්ම චරියාවයි.

ඒක නම් ඇත්තම ඇත්තමයි ඒකනේ බුදුපියාණෝ තමා තුළින්ම දැක බලාගන්න කිව්වේ ලොකයේ ඇත්ත. තමාගේ ඇස්‌පනාපිටම දැකලා නුවණ පූර්ණ කළ මොහොතේම කාලය මොහොතක්‌වත් නොඉක්‌මවා මුළු ලෝකයේම ඇත්ත පිරිසිඳ දැකගන්න පුළුවන් කිව්වේ. තමා තුළින්මනේ. බුදු පියාණෝ විභඡ්ජවාදය අනුව මේ ගැටලුව විස» ආකාරය විශ්මයජනකය.

ත්‍රිවිධ ලෝකයේ සම්පිණ්‌ඩනය මම වේය - බෙදාලා බැලුවාම මුළු ලොවම හෙළිවේය.



කම්මට්‌ඨානාචාරිනී ,
පද්මාවෝ රාජපක්‌ෂ ,
ශ්‍රී අමත ගවේෂී ධම්ම සමාජයේ අනුශාසිකා



2017 අගෝස්‌තු මස 07 වැනිදා සඳුදා   දින   බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment