පවුලක වැදගත්ම චරිත වන්නේ අම්මා සහ තාත්තායි. මෙහිදී අම්මා වඩාත් තීරණාත්මක චරිතයක් බවට පත්වේ. සමස්ථ පවුල පිළිබඳව වඩාත් අවධානයක් යොමුකර ආර්ථික වශයෙන් පවුලක් ශක්තිමත් කරන්නී අම්මාය. පින්වත් දරු සම්පත් සමාජයට දායාද කර දරුවන් හොඳින් පෝෂණය කර යහගුණදහම් කියා දී සමාජයට ඔවුන් ඉදිරිපත් කරන්නී ද ඇයයි.
මෙහි දී අම්මාගේ චරිතය නිවැරැදි ලෙස ක්‍රියාත්මක නොවුණේ නම් සමස්ත පවුලම විනාශ වෙන්නට පුළුවන්. බිඳ වැටෙන්න පුළුවන්. මවකගේ ගුණ ගරුක බව, ශක්තිය හා වගකීම පිළිබඳ බුදු දහමේ සාකච්ඡා කර තිබෙනවා.
එදා තථාගතයන් වහන්සේ වැඩ සිටි කාලයේදී ඉතාමත් ආදර්ශ සම්පන්න ස්වාමි දියණියක් සිටියා. ඇය විශාඛා මහෝපාසිකාවයි. ඇය අවුරුදු හතේ දී සෝවාන් වූ තැනැත්තියක්. තරුණ වියට පත් වී විවාහ වී නිවසින් පිටව යන මොහොතේ විශාඛාවගේ පියාණන් තම දියණියට අවවාද කිහිපයක් ලබා දුන්නා. ඒ අතර පළමු අවවාදය පිළිබඳවයි අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. ඒ අවවාදය නම් “ගෙයි ගින්දර පිටතට දෙන්න එපා. ඒ වගේම පිට ගින්දර ගෙට ගන්න එපා” යන්නයි.
අපට අද සමාජය දෙස බැලූවිට ඒ උපදේශය ක්‍රියාත්මක නොවන බවක් ඉතාමත් පැහැදිලිව පෙනෙනවා. නූතන සමාජයේ බොහෝ අවුල් වියවුල් ඇතිවී තිබෙන්නේ මේ අවවාදය පිළි නොගන්නා නිසයි. සමහර ස්වාමි දියණියන් අනවශ්‍ය ලෙස යෙහෙළියන් විශ්වාස කරගෙන තමන්ගේ නිවසේ තිබෙන පුද්ගලික තොරතුරු පවා පිටතට දෙනවා. ඒ වගේම යහළු යෙහෙළියන්ට, අසල්වාසීන්ට කියන ඒ පුද්ගලික තොරතුරු අවියක් කර ගනිමින් ඔවුන් ඒ පවුලේ අභ්‍යන්තරයට ඇඟිලි ගසා ඒ පවුලේ තිබෙන සාමය, සමගිය, සමාදානය බිඳ දමනවා. ඒ වගේම අද සමාජයේ සමහර අඹුසැමියන් තමන් සමාදන් වන සිල්පද නිසි ලෙස ආරක්ෂා කරන්නේ නැහැ. බොහෝ දෙනා දැන දැන අකුසලයක් සිදු කරනවා. කාමය වරදවා හැසිරීම නොකරමි කියන සිල්පදය අද සමාජයේ සමහර අය කඩ කරනවා. අනියම් සම්බන්ධතා පවත්වනවා. සමහර විට ඒ තොරතුරු සමීප යහළු යෙහළියන්ට කියනවා. ඔවුන් හිතවත්ව සිටින තාක් ඒ තොරතුරුවල රහස්‍යභාවය රකිනවා. යම් දෝෂයකින් ඒ හිතවත්කම පළුදු වූයේ නම් ඒ තොරතුරු භාවිත කරල දැඩි ලෙස ප්‍රහාර එල්ල කරනවා. එවිට ඒ පවුල් ජීවිතය විශාල අනතුරකට වැටෙනවා. ඔවුන්ට දැඩි අපකීර්තියක් එල්ල වෙනවා. ඒ නිසයි කියන්නේ “ගෙයි ගින්දර පිටතට දෙන්න එපා” කියා. තමන්ගේ නිවස තුළදීම ඒ ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහය කළ යුතු වෙනවා.
ඒ වගේම අප දන්නවා බොහෝ ස්වාමි දියණිවරු කරුණාව, අනවබෝධය, දුරදිග කල්පනා නොකිරීම ආදී ස්වභාවයන් නිසා අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා. තමන්ට විසඳා ගැනීමට බොහෝ ප්‍රශ්න තිබිය දී අවට ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කර ගන්නවා. ඒකටයි “පිට තිබෙන ගින්දර ගෙට ගේනවා” කියන්නේ. මෙය විශාල හානියක්. අප තුළ කරුණාව, දයාව, අනුකම්පාව තිබෙන්න ඕන. නමුත් එය තමන්ගේ පවුල් ජීවිතයට හානිවන ආකාරයට යොදා ගැනීම කළයුතු දෙයක් නොවේ. ඒ නිසා විශාඛාවට එදා ධනංජය සිටුවරයා දුන් ඒ උපදේශයන් අතර ප්‍රධාන වූ මේ උපදේශයන් දෙක වර්තමානයේ සිටින කාන්තාවන්ට ඉතාම උචිතයි. ඉතාම යෝග්‍යයි. මේ උපදේශය ක්‍රියාත්මක කළොත් දැනට තිබෙන නොයෙක් කරදර, බාධාක කම්කටොළු, චිත්ත පීඩා, දුක්ඛ දෝමනස්සයන් නැති කරගෙන හොඳින් ජීවත් වෙන්න වාතාවරණය ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ පවා අනුමත කළ උදාර කරුණු ඒ උපදේශයන් තුළ අන්තර්ගතයි. ඈත අතීතයේ මේ උපදේශයන් අපේ බෞද්ධ විවාහ මංගල්‍යයක දී විවාහක දෙපළට වැඩිහිටියන් විසින් කියා දෙනවා. නමුත් අවාසනාවකට මෙන් මේ කාලයේ මේ කරුණු කියවෙනවා අඩුයි. මේ කාලයේ බලන්නේ මංල්‍යය සිදුකරන හෝටලය, ඡායාරූප ගැනීම, සැරසීම්, සාදයට පැමිණෙන අයට දෙන සුරාපානය ගැන ආදී නොයෙක් කරුණු පිළිබඳව සිත යොමු කිරීමයි. නමුත් විවාහක දෙපළට උපදෙස් දීම අඩුවෙලා. ලබාදෙන උපදෙස් පවා ග්‍රහණය කර ගන්නා බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසාම අතීතයේ පවුල තුළ තිබුණ සතුට, සාමය, සමාදානය දැන් බහුතරයකගේ නැහැ.
එනිසා මේ විශාඛාවට ලැබුණ උපදෙස් ටික වර්තමාන කාන්තාව ඉතාමත් උදාරතර වූ, උසස් වූ උපදේශයන් ලෙස සලකා ගෙයි ගින්දර පිටතට නොදී - පිට ගින්දර ගෙට නොගෙන එහි අර්ථය මැනවින් තෝරාගෙන, ගින්දර කුමක් ද කියා දැනගෙන කටයුතු කළයුතු වෙනවා. මේ උපදේශ මත කටයුතු කළොත් බෞද්ධ කාන්තාවට සුන්දර ජීවිතයක් ගත කළහැකි වෙනවා.
පොල්පිටිමුකලානේ පඤ්ඤාසිරි හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අගෝස්තු 07 වන සඳුදා බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment