වසරකට වතාවක් එළඹෙන පින්බර වස් සමය පින් සිතිවිලි උදාකරවන කාලයකි. තෙමසක් තුළ පවතින එම කාල පරිච්ඡේදය තුළ ගිහි පැවිදි දෙපක්ෂයේම චර්යාමය වෙනසක් ඇතිවේ. අධ්‍යාත්මික සුවයද වර්ධනය වේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවවාද අනුශාසනාවලට අනුව භික්ෂූන් වහන්සේ විනය ශික්ෂා පද ආරක්ෂා කරමින් වස් සමාදන් වීම හා වස් ශික්ෂා පද ක්‍රියාත්මක කිරීමේ කටයුතු සිද්ධ කරනු ඇත. විශේෂයෙන් මේ කාලය තුළ වත් පිළිවෙත් ගැන ගිහි පැවිදි දෙපක්ෂයම දැඩි අවධානයක් යොමු කරති. ‘වත්තං න පරි පුරෙන්තො - න සීලං පරි පුරති’ වත් පිළිවෙත් සම්පූර්ණ නොකිරීම තුළින් සීලය වර්ධනය නොවන බව පැහැදිලි කොට ඇත.
එම හේතුවත් සමඟ විශේෂයෙන් පැවිදි පක්ෂය වෙනදාට වඩා වත් පිළිවෙත් සම්පූර්ණ කරති. පාන්දරින් අවදි වී මලුපෙත් මන් වතාවත්හි නිරත වෙති. දවසම සිත, කය, වචනය සංවර කොට ගනිති. ඒ ඒ වත් පිළිවෙත්වල නියැළෙති. එම වත් පිළිවෙත් සිදු කරන්නේ ද ඉතා ඕනෑකමින් හා වගකීමෙන් ය. චෛත්‍යය හා බෝධිය, විහාරගෙය යන ත්‍රිවිධ චෛත්‍යය වෙත වැඳීම් පිදීම් හා පිරිසුදු කිරීම් කටයුතු සිද්ධ කිරීම් ඉතා ඉහළින් සිදු කරති. එයින් මානසික සහනසීලීබව හා නිරවුල් චෛතසික වර්ධනය සිදුවීම අනිවාර්ය කාර්යයකි.
ගිහි පිරිස චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව් පසයෙන් භික්ෂූන් වහන්සේට උපස්ථාන කරති. වෙනදාට වඩා ඉතා ඕනෑකමින් හා ශ්‍රද්ධා ගෞරවයෙන් එම කටයුතු සිදුකිරීමට දායක පක්ෂය වශයෙන් ඔවුන් වග බලා ගනු ඇත. පැවිදි පක්ෂය විසින් ද වෙනදාට වඩා වස් දානය පිළිබඳ සැලකිලිමත් වී ධර්මමය දානයෙන් සංග්‍රහ කටයුතු සිද්ධ කරති.
සමහර විහාරස්ථානවල නොකඩවා සවසට මල් පහන් පූජා, බෝධි පූජා සිද්ධ කරන්නේ ය. එහිදී ළමා ළපටින් කලින්ම විහාරස්ථානයට පැමිණ අතුපතු ගෑම ඇතුළු පිරිසුදු කටයුතු කිරීම දක්නට ලැබීම වැඩිමහල්ලන්ට පවා සතුට වඩවන කරුණකි. ආගම ධර්මයට අනුව හැදෙන වැඩෙන දරුවන්ගේ ස්වභාවය වස් කාලය තුළ මනාව ස්ඵුට වේ. විශේෂයෙන් අනාගතය බාර ගැනීමට සිටින කුඩා දූදරුවන් සඳහා වස්කාලයෙන් ලැබෙන චර්යාමය වෙනස ඉතා ඉහළය.
පින යනු සිත පිනා යෑම ය. ‘චිත්තං පුනාතීති පුඤ්ඤං’ සිතේ ප්‍රසන්න බව නොහොත් සතුට පිනය. ඒ සඳහා සිත පිරිසුදු විය යුතු ය. එනම් අකුසල මූල වූ ලෝභ, ද්වේෂ, මෝහ වෙනුවට අලෝභ, අදෝෂ, අමෝහ සිතිවිලි පහළ වීමය. එම විපර්යාශය වස් කාලය තුළ අනිවාර්යෙන්ම සිදුවේ. පින් සිතිවිලි වර්ධනය කර ගැනීමට හොඳ දෙයකින් මිස නරක දෙයකින් පුළුවන්කමක් නැත. පින්කම් අතර කඨින පින්කම ශ්‍රේෂ්ඨ හා බලවත් බව දහමෙහි සඳහන් වේ. එම උතුම් උදාර පින්කම පෙරමුණෙහි තබාගෙන වස් තුන්මාසය තුළ සිදු කරන යහපත් ක්‍රියා තුළින් පින් සිතිවිලි වර්ධනය වීම අමුතුවෙන් කිව යුතු නැත. වස් කාලය තුළ සමහර විහාරස්ථානවල දායකත්වයක් නොදරන අය පවා පැමිණ විහාරස්ථානයේ වැඩ කටයුතුවලට උදව් උපකාර කිරීමද ආගමික කටයුතු සඳහා සම්බන්ධවීමද සිදු කරති. තව කෙනෙකුගේ මඟ පෙන්වීමක් නොමැති වුවත් කුසල කටයුතු කිරීමට වස් කාලය තුළ ඕනෑම කෙනෙකු පෙළඹීම සාමාන්‍ය දෙයකි.
බොහෝ දුරට විහාරස්ථානවල නඩත්තු කටයුතු හා අභිවෘද්ධිය පිණිස සිදුවන කටයුතු සඳහා දායකයින්ගේ ආධාර උපකාර ලැබෙනු ඇත. පන්සල් අලුත්වැඩියා කිරීම්, පන්සලේ නැති අංගෝපාංගයන් ඉදිකිරීම ආදී කටයුතු සිදුවේ. කඨින චීවරය භාරගත් පින්වතා වත්කම් ඇති කෙනෙකු නම් ඔහුගේ තනි වියදමෙන් විහාරස්ථානයෙහි නැති, වන්දනාමාන කිරීමට අවශ්‍ය දෙයක් හෝ, භික්ෂූන් වහන්සේගේ පරිහරණය සඳහා අවශ්‍ය දෙයක් හෝ ඉදිකර දෙනු ඇත. දුෂ්කර ප්‍රදේශවල නම් සියලු දායකයින්ගේ පුංචි ආධාර මුදල් එකතු කොට විහාරස්ථානය අලුත්වැඩියා කිරීම හෝ ඉදි කිරීම් කටයුතු සිදු කරනු ඇත.
ආමිස පූජා, හා ප්‍රතිපත්ති පූජා යන පින්කම් දෙකම වස් කාලය තුළ ඉතා ඉහළින්ම සිදුවේ. එලෙසම දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ද සිදු වේ. ඊට අමතරව, තෙලෙස් ධුතාංග පිළිබඳවද විහාරස්ථ භික්ෂූන් වහන්සේ වැඩි සැලකිල්ලක් දක්වනු ඇත.
මේ සෑම දේකින්ම සිදු වන්නේ පින් සිතිවිලි වර්ධනය වීමය. පින යනු සත්වයාගෙ මෙලොව පරලොව සැපවත් කරවන ශක්තියකි. ‘ඉධ මෝදති පෙච්ච මෝධති” පින් කළ ඇත්තෝ මෙලොවත් සතුටු වෙති. එබැවින් අප නිතර නිතර පින් කළ යුතු ය. පින් නොමැති වීමෙන් හා අඩුවීමෙන් ජීවිත වල නොයෙක් අඩුපාඩුකම් වගේම සැප විපාකවල අඩුපාඩුකම් සිදුවනු ඇත. එනිසා පින් කිරීමට කම්මැලි විය යුතු හෝ පසුබට විය යුතු නැත.
“අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ”
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ”
යන ලෝවැඩ සඟරාවෙහි කියමනට අනුවද අද අදම පින්කර ගත යුතුව ඇත. හෙට, අනිද්දා, තව කාලෙකින් මාරයා එයි කියා නොසිතිය යුතුය. හොඳ දේ කිරීමට උනන්දු විය යුතු අතර නරක දේ කිරීමට ලජ්ජා බිය ඇති කර ගත යුතු ය. එම කරුණු සිතට ගෙන තව තවත් පින් සිතිවිලි වර්ධනය කර ගනිමින් මනුෂ්‍යත්වය අර්ථවත් කර ගැනීමටත්, ගුණ ධර්මයෙන් අලංකාර වීමටත් වස් කාලය තුළ විහාරස්ථානය හා සම්බන්ධව තම කායික මානසික දෙඅංශයම යොදවා සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්නා ලෙසටද ඉල්ලා සිටීමට කැමතියි.
කොබෙයිගනේ
පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළª අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 23 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment