පින්වත් දේවතාවිය, ඔබ රනින් කළ පියැසි ඇති නැවක් වැනි මේ ගංගා විමානයකට නැගී ගත්තීය. දිව්‍ය මලින් ගැවැසුනු පොකුණකට බැස අතින් පියුම් නෙළන්නීය. සිරුරු පැහැය මනාය. මන වඩන සම්පත් (සිත් කැමැති සියල්ල) ලබන දේවතාවිය. මිනිස් ලොව සිටියදී ඔබ කවර පිනක් කොට මේ සම්පත්, මේ පුණ්‍ය සෘද්ධි (පිනෙන් පහළ වන) ලබන්නීදැයි මුගලන් මහ රහතන් වහන්සේ දෙව්ලොව කළ සංචාරයක දී දේවතාවියකගෙන් විමසීය.
මහත් අනුභාව ඇති පින්වත් ස්වාමීන් වහන්ස, මම පෙර ආත්මයේ දී මිනිස් ලොව මිනිස් දුවක්ව උපන්නෙමි. පිපාසය ඇති ක්ලාන්ත වූ භික්ෂූන් වහන්සේ නමක් දැක වහා ඉදිරිපත්වී බීමට පැන් දුනිමි. ඒ පුණ්‍ය මහිමයෙන් මෙවන් විමානයක් පහළ විය. එය වට කොට හැම කල්හිම සිහිල් දිය ගලා බස්නා, සිහිල් දිය පිරුණු විවිධ මල් හා සුදු පියුමෙන් ගැවැසි ගංඟාවෝ පහළ විය. අවටින් මල් පිපුණු අඹ, සල්, මදටිය, ජම්බු හා පළොල් ආදී වෘක්ෂයෝ ද වෙති. සිරුරු පැහැයද මෙබඳු වූවා ය. යමක් සිතයිද මට පහළ වේ යැයි දේවතාවිය කීවා ය. මෙම දේවතාවිය මිනිස් ලොව සිටිය දී කළ පින අටුවාවෙහි මෙසේ සඳහන් වේ.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන සමයකි. එක්තරා රහත් තෙරුන් වහන්සේ නමක් වස් එළඹීමේ කාලය ආසන්න වූ විට නගරයෙන් ඈත් වූ ග්‍රාමීය වාසයක වසනු කැමැති වූහ. දවල් දානයෙන් පසු වේලාවක දී සැවැත් නුවරින් පිටත්ව දීර්ඝ මාර්ගයට පැමිණි සේක. මෙසේ වඩින උන්වහන්සේ මාර්ග විඩාවෙන් වෙහෙසට පත් වූහ. පිපාසයෙන් පීඩිත වූහ. උන්වහන්සේ අතරමග පළමුව හමුවන එක්තරා ගමකට පිවිසියහ.
එහිද සෙවනක් හෝ ජලය සහිත ස්ථානයක් නොදුටුවහ. විඩාවෙන් හා පිපාසයෙන් දැඩි සේ පීඩිත වූහ. සිවුරු සකස් කොට පොරවා ගමෙහි හමු වූ පළමු නිවසෙහි ම දොරටුව සමීපයෙහි සිටගත් සේක. එහි සිටි එක් ස්ත්‍රියක් තෙරුන් වහන්සේ දැක, ස්වාමීනි, කොහි සිට වඩින්නේ දැයි ඇසීය. විඩාව හා පිපාසිත බව මුහුණෙන් පවා දැන වඩිනු මැනවැයි ගෙට කැඳවීය. මෙහි හිඳින්නැයි අසුනක් පනවා දුන්නා ය. එසේ වැඩ සිටි කල පා දෝනා පැන් ද, පයෙහි ගල්වන තෙල් ද දී තල් පතක් ගෙන පවන් සැලුවා ය. වෙහෙස මහන්සිය සන්සිඳුන බව දැනුනු විට මිහිරි, සිසිල්, සුවඳ පානයක් (මධුරං සීතලං සුගන්ධං පානකං) ඉක්මනින් පිළියෙළ කොට පිළිගැන්වූවා ය. තෙරුන් වහන්සේ එය පානය කොට පිපාසය සන්සිඳුවා ගත්හ. ක්ලාන්තය ද සන්සිඳුවා අනුමෝදනා දේශනාවක් කොට පිටත්ව ගිය සේක. ඕ තොමෝ මේ පින නිතර සිහියට නැගීය. පසු කාලයෙහි කලුරිය කොට තව්තිසාවෙහි දේවතාවියක්ව උපන්නීය. ඉහත සඳහන් සැප සම්පත් ද ලද්දීය.
අපි දැන් මේ කතාවෙන් මතු කරගත හැකි ධර්ම කරුණු කීපයක් සාකච්ඡා කරමු.
රහත් උතුමෝ රහත් භාවයට පත් වුවද සා පිපාසට ගොදුරු වෙති. ශීත, උෂ්ණ ස්වභාවයට, වාත, පිත්, සෙම් ආදී (තුන් දොස් කිපීම) ආබාධ ඇතිවෙති.
වෙහෙස, දහඩිය දැමීම, ගඳ සුවඳ දැනීම, මල මුත්‍රාදිය පහ කිරීම වැනි ස්වභාවික කටයුතුවලට ගොදුරු වෙති. එසේම රහතන් වහන්සේ නමකගේ නිත්‍ය විහරණ කවරේ ද යි දීඝ නිකායේ එන සංගීත සූත්‍රයේ ධර්මතා හය බැගින් සඳහන් ධර්ම කරුණු කොටසේ මෙසේ සඳහන්ව ඇත.
1. රහතන් වහන්සේ ඇසින් රූපයක් දැක සතුටු ද නොම වෙති. නො සතුටු ද නොම වෙති. එළැඹ සිටි සිහි ඇත්තේ වෙති. මනා නුවණින් යුක්ත වූයේ වෙති. අරමුණු මැදිහත්ව දකිමින් වාසය කරති.
2. කනින් හඬක් අසා
3. නැහැයෙන් ගඳක් ආඝ්‍රාණය කොට
4. දිවින් රසක් විඳ
5. කයින් හැපෙන දෑ ස්පර්ශ වීමෙන්
6. මනසින් දහම් අරමුණක් සිතා සතුටු ද නොම වෙති.
නො සතුටු ද නොම වෙති. එළැඹ සිටි සිහි ඇත්තේ වෙති. මනා නුවණින් යුක්ත වූයේ වෙති. අරමුණු මැදිහත්ව ගනිමින් වාසය කරති යනුවෙනි.
මෙම කතාවේ සඳහන් පරිදි දොරටුවේ රැඳී සිටි භික්ෂූන් වහන්සේ දුටු ඒ සැදැහැවත් කාන්තාව, ක්ෂණිකව සිතා ඉතා සුළු කාලයක් තුළ තමා සිදුකරගත් පිනත්, ඒ පින තමා ජීවත්ව සිටිනතාක් කල් නැවැත නැවැත සිහිකිරීමත් ගැන පින්වත් ඔබගේ අවධානය යොමුවීම මැනැවි. තමා අතින් දැන හෝ නොදැන සිදුකළ පව් වේ නම් ඒවා නැවැත නැවැත සිහි නොකළ යුතු බවත්, එසේ සිදුකළ පුණ්‍ය සම්භාරයක් වේ නම් ඒවා නැවැත නැවැත සිහිකළ යුතු බවත් ධර්මයට අනුගත උපදේශයක් බව ද සටහන් තබමි.
ලේකම් (බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව)
කේ.කේ. සුගතපාල
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළª අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 23 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment