Labels

Sunday, August 6, 2017

බක්කුල මහ රහතන් වහන්සේ


යමෙක් තමන් නිරෝගි යැයි සිතයි. අන් අය රෝගීින් යැයි පවසයි. තවත් කෙනෙක් කිවිසුමක් තරම්වත් රෝගයක් නැතැයි යනුවෙන් ආරෝග්‍ය මදයෙන් මත් වෙති. එහෙත් නිරෝගීිකම උතුම් ලාභය බව බුදුරජාණන් වහන්සේ පසේනදී කොසොල් රජතුමාට දේශනා කළහ.
සියලු සැප සම්පත් නොඅඩුව තිබුණ ද නිරොගිකම නැතිනම් රජෙක් වුවත් ඵලක් නැත. නිරෝගි පුද්ගලයෙකු විම සඳහා මනා ලෙස ප්‍රතිපත්ති පූරණයේ යෙදිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. එපමණක් නොව උණ්වහන්සේ අසූමහා ශ්‍රාවක තනතුරු ප්‍රධානයේ දී නිරෝගිමත් වූ ශ්‍රාවක භික්ෂූන් අතර අග්‍රස්ථානය තැබුවේ බක්කුල මහරහතන් වහන්සේයි.
හුදු ප්‍රාර්ථනාවකින් පමණක් නිරෝගිකම ලබා ගත නොහැකි බව බක්කුල ථෙරාපදානයේ පැහැදිලි වෙනවා. ඒ සඳහා හේතුවන පින්කම් රාශියක් බක්කුල හාමුදුරුවෝ පෙර ආත්ම භාවයන්හි සිදු කර තිබෙනවා. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ කාලයේ බක්කුල හාමුදුරුවෝ බමුණු කුලයක ඉපදී ත්‍රිවේදයේ පරතෙරට ගිය බමුණු කුමරෙකු වුණා. එහි කිසිදු හරයක් නොමැති බව දැනගත් ඒ බමුණු කුමාරයා හිමවතට නුදුරෙන් වූ සෝභිත නම් පර්වතයෙහි ඍෂිවරයෙකු ලෙස පැවිදි වුණා. ඒ කාලයේ දී පස්මරුන් බිඳ බුද්ධත්වයට පත් වූ අමෝමදස්සි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා පිරිවරාගෙන සදහම් චාරිකාවේ වැඩම කළා.
උන්වහන්සේ විවේකය පිණිස මෙම ඍෂිවරයාගේ අසපුව අසල වූ ආරණ්‍යයට වැඩම කළා. ඒ බව දැනගත් ඍෂිවරයා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් බණ අසා තිසරණයෙහි පිහිටියා. තවුස් බව අතහැර පැවිදි වීමට සිත් නොවූ මෙකී තවුසා කලින් කල ගොස් උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීමට පුරුදු වී සිටියා. දිනක් මෙම තවුසා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ ගිලන්ව සිටින බව දැන ගන්නට වුණා. එවිට තාපසතුමා “ස්වාමිනී කුමන වූ ආබාධයකින් ඔබවහන්සේ පෙළෙන්නේදැ”යි විමසුවා.එය උදරවාතයක් යැයි දැනගත් තාපසතුමා මෙය මා හට පින්කිරීමට සුදුසු අවස්ථාවක් යැයි සිතා අසපුවට ගොස් ශිෂ්‍යයින් සමඟ නොයෙක් ආකාරයෙන් ඖෂධ පිළියෙළ කොට අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට පිළිගැන්වුවා. බෙහෙත් වැළඳීමත් සමගම උන්වහන්සේගේ රෝගාබාධ සන්සිදී ගියා’. පසුව උන්වහන්සේ කරා එළැඹුණු තාපසතුමා “ස්වාමින්වහන්ස, මාගේ බෙහෙතින් ඔබවහන්ස්ට යම් පහසුවක් ඇති වූයේ ද එකී පින්කමේ විපාකයෙන් මම ද උපනූපන් සෑම භවයකදීම සුලු කලකට වුව ද කිසිදු ශරීර ව්‍යාධියක් නොම වේවා” යැයි ප්‍රාර්ථනා කළා යැයි පැවසුවා. මෙයින් බොහෝ කල්පයකට මත්තෙන් දෙපා ඇත්තවුන්ට අග්‍ර වූ විපස්සි බුදුරජාණන් වහන්සේ පහළ වීමටත් පෙර බන්ධුමතී නගරයේ බමුණු කුලයක බක්කුල මහරහතන් වහන්සේ ඉපදුණා. එහි දී ද පෙරසේම ඍෂීවරයෙකු මෙන් පැවිදි ව ධ්‍යානලාභී ව පර්වතයක වාසය කළා. එහි දී විපස්සි බුදුරජාණ්න් වහන්සේ සැටදහසක් පමණ වූ භික්ෂූ සංඝයා පිරිවරාගෙන බන්ධුමති නුවර ඇසුරු කොටගෙන බන්ධූ මහා පියරජුට සංග්‍රහ කරමින් මිගදායේ වාසය කළා. ඒ බව දැනගත් තාපසතුමා උන්වහන්සේගෙන් ධර්මය අසා තිසරණයෙහි පිහිටියා. තවුස් පැවිද්ද අත්හැරීමට සිත් නොවූ තවුසා වරින්වර විපස්සි බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ධර්මය ශ්‍රවණය කළා. ඇප උපස්ථාන සිදු කළා. එකල හිමාලයෙහි වූ වෘක්ෂයක පිපුණු මල්වලින් හමා එන වාතය ආඝ්‍රහණය කිරීමෙන් භික්ෂූන්ට මත්ථක නම් වූ (පීනස්) රෝගයක් හටගත්තා. එම රෝගය විපස්සි බුදුරජාණන් වහන්සේට හා දෑ අගසව්වන්ට හැර සෙසු සියලු භික්ෂූන් වහන්සේලාට වැළඳුනා. දිනක් තාපසතුමා ශාස්තෘ උපස්ථානයට පැමිණි විට සෙසු භික්ෂූණ් වහන්සේලා හිසේ සිට පොරවාගෙන සිටිනු දැක “ස්වාමීනී කුමක් හෙයින් හිසේ සිට පොරවාගෙන සිටින්නේ ද” “තාපසතුමනි අපහට මත්ථක නම් පීනස් රෝගය වැළඳී ඇති ”බව භික්ෂූන් වහන්සේ පිළිවදන් දුන්නා. එවිට තවුස් තුමා භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කොට පින්කිරීමට ඇති හොඳම කාලය මෙයයි සිතා නොයෙක් බෙහෙත් සොයා එක්කොට පිළියෙළ කොට දුන්නා. එයින් සියලු භික්ෂූන් වහන්සේලාගේ රෝගය එකෙනෙහි ම සන්සිදී ගියා. හෙතෙම දිවි ඇති තෙක් සිට පින්කම් කොට ආයු කෙළවර බඹ ලොව ඉපදුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ බරණැස කුලගෙයක කුලකුමරෙකු ලෙස බක්කුල හිමියන් ඉපදුනා.තමන් වසන නිවස අබලන් තත්වයට පැමිණි බැවින් එය පිළිසකර කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සොයමින් වඩුවන් සමඟ ඈත පිටිසර ප්‍රදේශයකට ගියා. යන අතරමග එක් දිරාගිය මහ වෙහෙරක් දැක මාගේ ගෙයි වැඩ කෙතරම් තිබුණත් මා හට පරලොව සඳහා පින්කිරීමට ඇති හොඳ අවස්ථාවක් යැයි සිතා තමා සමග පැමිණි ඒ වඩුවන් ලවා ම දිරාගිය වෙහෙරෙහි පොහොය ගෙය ද, දන් ගෙය ද, ගිනිහල් ගෙය ද, සක්මන් මළුව ද, වැසිකිලි කැසිකිලි හා රෝහලක් ද ඉදිකරවූවා. භික්ෂුන් වහන්සේ සඳහා අවශ්‍ය සියලු බෙහෙත් හේත් ද පිළියෙළ කොට තැබුවා. හෙතෙම දිවි ඇති තෙක් පින් දහම් කොට අප ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වීමටත් ප්‍රථම කොසඹෑ නුවර සිටු ගෙයක ඉපදුනා. ඔහු ඉපදුන දවසේ සිටම ඒ සිටු කුලය ලාභයෙන්, යසසින් අගතැන්පත් වුනා. දිනක් කිරි මව විසින් දරුවා නාවනු ලබන අවස්ථාවේ දී මත්ස්‍යයෙක් පැමිණ දරුවා ගොදුරක් කරගත්තා.
පින්වත් දරුවෙකු බැවින් දරුවා හට කිසිදු කරදරයක් වූයේ නැහැ. පසුව එම මත්ස්‍යයා ධීවරයෙකුගේ දැලට හසු වී ගියා. පසුව මියගිය එම මත්ස්‍යයා විකිණීම සඳහා ධීවරයා විසින් වෙළෙඳපොළට රැගෙන යන අවස්ථාවේ දී අසූ කෙළක් ධනය ඇති එක් සිටුවරයෙක් කහවණුවක් දී මෙම මත්ස්‍යයා මිල දී ගත්තා. පසුව මත්ස්‍යයා පිසීම සඳහා සිටු දේවියට ලබාදුන් අවස්ථාවේ දී ඇය විසින් මත්ස්‍යයාගේ කුසවිවර කරන අවස්ථාවේ ඇය විමතියට පත් කරමින් මසු කුසෙන් පුතෙකු ලැබුණා. සිටු දියණිය එකෙනෙහිම කුමාරයා රැගෙන ස්වාමිය, සමීපයට දිවගියා’‘ සිටු තෙමේ ද එකෙනෙහිම දරුවා රැගෙන රජු සමීපයට ගොස් “දේවයිනි, මසු කුසින් මා හට දරුවෙක් ලැබුණි යැයි” කීවා. පසුව රජුගේ අනුදැනුම මත මෙකී කුලකුමරුවා සැපයෙන් වැඩෙන්නට වුණා. එහෙත් මුල්ගෙදර වූ කොසඹැ නුවර මව වහා පැමිණ කුලකුමරුවා ඉල්ලුව ද දරුවා දීමට අකමැති වුණා. පසුව මෙම දෙදෙනාම රජු සමීපයට ගොස් කරුණු ඉදිරිපත් කළා. කරුණු විමසූ රජතුමා දරුවා කුල දෙකටම දායාද වන්නේයැයි පැවසුවා. ඔහු කුල දෙකකින් වඩන ලද බැවින් (ද්ව+කුල ද්වකුල බක්කුල කුමරු යැයි නම් තැබුවා. එසමයෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේ ද කොසඹැ නූවර සදහම් චාරිකාවේ වැඩම කළා. බක්කුල සිටුතෙමේ බුදුරජාණන් වහන්සේ වැඩම වූ බව දැන බොහෝ සුවඳ මල් ආදිය රැගෙන බුදුන් සමීපයට ගොස් දහම් අසා ශ්‍රද්ධා සිත් අති ව පැවිදි වුණා.පසුව සත්දිනක් පුහුදුන් කෙනෙක්ව සිට අටවැනි දින උදෑසන සිවිපිළිසිඹියා පත් මහරහතන් වහන්සේ නමක් බවට පත්වුණා. බක්කුල මහරහතන් වහන්සේ පෙර සංසාරයේ භික්ෂුන්ට උපස්ථාන කළේ හුදු පින් බලාපොරොත්තුවෙන්ම පමණක් නොවේ. උන්වහන්සේගේ සුඛ විහරණය ද බලාපොරොත්තුවෙනි. අන්අයට පිහිට වුයේ ද යම් දෙයක් අපේක්ෂාවෙන් ද නොවේ. අන් සත්වයාගේ යහපත වෙනුවෙනි. ඔවුන්ගේ සැපය උදෙසාය. ශ්‍රද්ධාවෙන් යුක්තව කරන ලද කුමන පින්කමක් වුව ද වහා ආනිශංස ගෙන දෙන්නේ ය.

නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ 
තණමල්විල රාහුල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඇසළª අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 23 වන ඉරිදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment