Labels

Monday, August 28, 2017

ඇලෙන ගැටෙන සිතට කායගතාසතිය



ශරීරයෙහි තිබෙන කොටස් තිස් දෙක පිළිබඳව මෙනෙහි කිරීම කායගතාසති භාවනාව යි. කායගතාසති භාවනාව පිළිබඳ සූත්‍ර සිය ගණනාවක් අංගුත්තර නිකායේ සඳහන් වේ. තව ද මේ භාවනාව පිළිබඳව මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව, ගිරිමානන්ද සූත්‍ර දේශනාව ආදියෙහි ද සඳහන්ව තිබේ. තම, තමා විසින් කළ යුතු වන්නේ කායගතාසතිය පිළිබඳ මුල් පාඩම මෙනෙහි කිරීමයි. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ පංචකය නිබඳව ම මෙනෙහි කරන්න.
මේ මඟින් සිහිකල්පනාව අරමුණෙහි පිහිටුවා ගන්නට පුළුවන්කම තිබෙයි. එක අරමුණක පමණක් සිත පිහිටුවා ගැනීමෙන් චිත්ත සන්තානය රඳවා ගන්නට පහසුයි. නුවණ දියුණු කර ගන්නට ද පුළුවන්. එසේනම්, වැඩිදුරට නොගොස් කේසා,ලෝමා , නඛා, දන්තා ,තච පංචකය මෙනෙහි කිරීමට කවුරුත් පුරුදු පුහුණු විය යුතුයි. ගිහි පැවිදි කාට වුණත් කායගතා සතිය සාධාරණ භාවනාවක්. එය බොහෝ කල් මෙනෙහි කළ හැකියි. තච පංචක භාවනාව වූ මෙය කායගතාසතියේ පළමු කොටසයි.
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා වූ මේ භාවනාව අදත් මේ මොහොත දක්වාම පරිශීලනය වෙයි. එය පැවිදි වෙන සියලුම කුල පුත්‍රයන් වහන්සේලාට, උප සම්පදා වන සියලු භික්ෂූන් වහන්සේලාට මුලින් ම උගන්වන භාවනාවක්.
කායගතා සති භාවනාවෙන් රහත් වූ සංඛ්‍යාව ගණනය කළ නොහැකියි. සංකිච්ච හාමුදුරුවෝ, මිහිඳු මහ රහතන් වහන්සේ පවා කායගතාසති භාවනාවෙන් රහත් මඟ ඵල ලැබුවා. බුදුරජාණන් වහන්සේ පැවිදි වෙන සියලුම උතුමන්ට මුලින් ම පහදා දුන්නේ කේසා, ලෝමා, නඛා, දන්තා,තචො යනුවෙන් මෙනෙහි කරන ලෙසයි.

සීවලී මහ රහතන් වහන්සේ අවුරුදු හතේ දී රහත් වුණා. මහණ වෙන්න සූදානම් වූ මේ කුල දරුවාගේ අතට ලැබුණු මුල්ම හිස කෙස් ටිකෙන් කේසා, කේසා යනුවෙන් මෙනෙහි කර සෝවාන් මාර්ග ඥානය ලැබුවා. දෙවන වරට ලබාදුන් හිසකෙස් ටිකෙන්, මේ භාවනාව මෙනෙහි කිරීමෙන් සකෘදාගාමී මග ඵල ලැබුවා. තුන්වන හිසකෙස් ටික අතට ලැබුණු විට කේසා , කේසා යනුවෙන් මෙනෙහි කර අනාගාමී මඟ ඵල ලැබුවා. හිස මුඩුගා අවසන් වෙද්දී ම මේ පින්වත් කුමරුවා රහත් මඟ ඵල ලබා මහ රහතන් වහන්සේ නමක් වුණා.
එසේනම්, කායගතාසතිය මෙනෙහි කිරීමෙන් ලැබෙන ශක්තිය, බලය අපමණ යි. කරදර කම්කටොළු බාධක සියල්ල මැඩගෙන ඉදිරියට යන්න පුළුවන්. බුදු දහමට අනුව ශීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්ම දියුණුවෙන් මේ භාවනාවත් ඉතා පිරිසුදුවට පැහැදිලිව දියුණු කිරීමෙන් තමන්ගේ සිතත්, නුවණත් දියුණු කරගත හැකියි.
තච පංචකය පද සම්බන්ධයක් ලෙස ගැනීමේ දී ‘අත්ථී ඉමස්මිං කායේ කේසා(මේ කයෙහි ක්ලේශයෝ ඇත්තාහ. ), අත්ථී ඉමස්මිං කායේ ලෝමා (මේ කයෙහි ලෝමයෝ ඇත්තාහ),අත්ථි ඉමස්මිං කායේ නඛා (මේ කයෙහි නියපොතු ඇත්තාහ), අත්ථි ඉමස්මිං කායේ දන්තා (මේ කයෙහි දත් ඇත්තාහ), අත්ථි ඉමස්මිං කායේ තචෝ (මේ කයෙහි සම ඇත්තාහ) ආදී ලෙස පාලි සම්බන්ධයත් , සිංහල තේරුමත් පුරුදු විය යුතු යි.
මේ කයෙහි ක්ලේශයෝ වර්ණයෙන් පිළිකුල් ය, සටහනින් පිළිකුල් ය, ගන්ධයෙන් පිළිකුල් ය, ආශ්‍රිත කුණුපයන්ගෙන් පිළිකුල් ය, පිහිටි තැන් වශයෙන් පිළිකුල් ය. මෙලෙස ලොම්,නිය,දත්,සම ආදිය එකිනෙක මෙනෙහි කරන්න.
මේ භාවනාවෙන් තමන්ගේ පාරමී ගමන හොඳින් පුරාගෙන ඉදිරියට යන්නට පුළුවන්කම තිබෙයි. ප්‍රඥාව නොවේනම් මේ ගමන යෑම අසීරුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ,නිවන් මඟ ගමන් කිරීමට සංසාර ගමනින් නිදහස් වී නිවනට පත්වීමට ප්‍රඥාව ප්‍රධාන වෙයි. එසේනම් ප්‍රඥාව සැවොම දියුණු කළ යුතුයි. එය සම්පූර්ණ කර ගැනීමේ දී ඉතිරි පාරමී නවයත් සම්පූර්ණ කළ හැකියි.
මෙසේ ශ්‍රද්ධා වීර්ය, සති, සමාධි , ඥාන හොඳින් දියුණු කිරීමෙන් සප්ත බොජ්ඣංග ධර්ම පහළ වෙයි. එය ම නිවන් පසක් කර ගන්නට මහෝපකාරී වෙයි. එයට අනුගත කිසිම කෙනෙකුට වරදින්නේ නැත.
සැරියුත් මහ රහතන් වහන්සේ් භික්ෂුන් වහන්සේලාට නිබඳවම ඉගැන්වූයේ කායගතාසති භාවනාව යි. භික්ෂූන් වහන්සේලාත් ප්‍රශ්නයක් ඇති වූ විට සැරියුත් ස්වාමීන් වහන්සේගෙන් මේ භාවනාව ගැන අසා දැන ගන්නවා. උන්වහන්සේට අවශ්‍ය ක්‍රමයකට කායගතාසති භාවනාව පැහැදිලි කර දීමට සමත් ඥාන, ශක්තියක් තිබුණා. එසේනම්, කායගතාසතිය ප්‍රබල භාවනාවක්. යමෙක් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට සැරසෙනවා නම් ඒ අය කායගතා සති භාවනාව දියුණු කළ යුතු බව බුදු දහමේ සඳහන් වෙයි.
ලෝභ, ද්වේශ, මෝහ ආදී දරුණු අකුසල කෙලෙසුන් නිරුද්ධ කර ගැනීමට , යටපත් කර ගැනීමට, විශිෂ්ඨ ඥානය අවබෝධ කර ගැනීමට සහ ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන භාවනාව කායගතාසති භාවනාවයි. මෙය ඇත්ත ඇති සැටියෙන් දැකබලා ගත හැකි කමටහනක්. තමන්ගේ ජීවිතය වාසනාවන්ත බවට පත් කර ගැනීම සඳහා , නුවණ දියුණු කර ගැනීම සඳහා , සිහිකල්පනාව ශක්තිමත් කර ගැනීම සඳහා, එමෙන් ම සංසාර ගමන සුවපත්ව නුවණින් අග තැන්පත්ව, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කර ගැනීම සඳහා කායගතාසති භාවනාව මහෝපකාරී වෙයි.
බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා සිරුරෙහි අසාර බව දැකීමෙන් රහත් බවට පත් වුණා. එසේ අවබෝධයෙන් උන් වහන්සේ භාවනා ක්‍රම දේශනා කර වදාළා.
කායගතාසති භාවනාව මෙනෙහි කිරීමෙන් විශේෂයෙන් ඇලීම , ගැටීම දෙක තුරන් කරන්න පුළුවන්. කාමශ්‍රව( පංචකාම වස්තූන් පිළිබඳවම තිබෙන තෘෂ්ණාව), භවාශ්‍රය( මනුලොව, දෙව්ලොව , බඹලොව ආදී භවයක තිබෙන ආශාව),දිට්ඨාශ්‍රව (මිසදිටුකම්) , මෝහය (මෝඩකම), අවිද්‍යාශ්‍රව(ආර්ය සත්‍ය නොදැනීම) ආදී වූ ආශ්‍රවයන් සම්පූර්ණයෙන් සිතෙන් බැහැර කරන්ට කායගතා සති භාවනාව ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙයි. එසේ ම සංයෝජන යනුවෙන් වදනක් ද තිබෙනවා. එනම්, සංසාරයේ යෙදවීම යන අරුතයි. නැවත නැවත උප්පත්තියට පත්කරවීම , අපායට පත් කරවීම , දුකට පත් කරවීම සංයෝජනයන්ගේ ස්වභාව ලක්ෂණය යි. එසේනම්, දස සංයෝජනයන් පවා කඩා බිඳ දමන්නට කායගතා සතිය බලවත් වෙයි. සක්කාය දට්ඨි සංයෝජනය , විචිකිච්ඡා සංයෝජනය , සීලබ්බත පරාමාස සංයෝජනය, කාම රාග සංයෝජනය, පටිඝ සංයෝජනය, රූප රාග සංයෝජනය, අරූප රාග සංයෝජනය , මාන්න සංයෝජනය, උද්දච්ඡ සංයෝජනය , අවිජ්ජා සංයෝජනය ආදී දස සංයෝජනයන් තිබෙන තුරා සසර දිගු වෙනවා. සසරෙන් එතෙර වන්නට බැහැ. නිවන් දකින්නට බැහැ. නිවන් දැකීම යනු සංයෝජනයන් කඩා බිඳ දැමීමයි. සෝවාන්, සකෘදාගාමී , අනාගාමී , අර්හත් ආදී මාර්ග ඵල අවස්ථාවල දී පමණක් සංයෝජනයන් මුළුමනින් ම බිඳී වැටෙයි.
පෘතග්ජනයාගේ සංයෝජන පුණ්‍ය ක්‍රියා වේලාවේ දී යටපත්ව නැවත මතුව එයි. දස සංයෝජනයෝ සම්පූර්ණයෙන් නැති කරන්න මේ භාවනාව දිගටම සිදු කළ යුතුයි. ඇලීම ගැටීම දෙක අඩුවෙද්දී දස සංයෝජනයෝ ද ප්‍රහාණය වෙයි.
නිවන අවබෝධකරගත් උතුමා පමණක් එහි තත්ත්වය වටහා ගනියි. අප ඒ උතුමන් වහන්සේලා දේශනා කරන සහ බුද්ධ දේශනාවේ තිබෙන දේ පරිශීලනය කරමින් නිවන මේ තරම් වාසනාවන්ත බව කල්පනා කරනවා.
සෝවාන් මාර්ග ඤාණයෙන් මුල් සංයෝජන තුන නැතිව යයි. සකෘදාගාමී ඵලයේ දී කාමාරාග, පටිඝ, දෙක තුනී වෙයි. අනාගාමී ඵලයේ දී එය සම්පූර්ණයෙන් නැති වෙයි. රහත් ඵල ලබද්දී අවසාන සංයෝජන පහත් නැතිව යයි. රහතන් වහන්සේ තුළ මොනම පාපී සිතිවිල්ලක්වත් නැහැ. පව් සියල්ල සන්සිඳුවාලන, සසර ගමනට හේතු සාධක සියල්ල සිඳ බිඳ දමති. නිදහස් සිතකින් උන්වහන්සේ වාසය කරති. එය බොහොම පිවිතුරුයි. භාග්‍යසම්පන්නයි. මේ උදානයෙන් පිනාගිය උන්වහන්සේ මෙය ශාන්තයි, මෙය ප්‍රණීතයි යනුවෙන් නිවන ගැන නිබඳව ම මෙනෙහි කරති.
නිවනෙහි සටහනක් කිසිවක් නැත. දැනීමක් කිසිවක් නැත. රහතන් වහන්සේගේ ජීවිතය අවසාන වීමත් සමඟම නිවනට පත් වෙති. පහන නිවී ගියා සේ කුමක් සිදු වූවාදැ’යි සොයාගන්නටවත් නොහැකි වෙයි.



අම්බලන්ගොඩ, කහව ගල්දූව 
ආරණ්‍ය සේනාසනයේ 
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ නිකිණි අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අගෝස්තු 15 වන අඟහරුවාදා සඳුදා  බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment