Labels

Wednesday, August 2, 2017

සිව් බඹ විහරණ - මුදිතා

සැපත දුටු විට සතුටු වෙමු

මුදිතා ගුණය නම් පුද්ගලයෙකුගේ දියුණුව ලාභය දැක තවත් පුද්ගලයකුගේ හදවතේ ඇතිවන සතුටයි. අභිධර්මයෙහි මුදිතාව ‘අප්පමච්ඡා’ නමින් සඳහන් වෙනවා. ‘අප්පමච්ඡා’ නම් ප්‍රමාණයක් සඳහන් කරන්න පුළුවන්කමක් නැත යන අර්ථයයි.
කෙනෙකුගේ දියුණුව සාර්ථකත්වය ප්‍රමාණයක් කළ නොහැකි තරමට සතුටක් ඇති කරගන්න පුළුවන්නම් එය මුදිතා ගුණයයි. මහා බ්‍රහ්මයා තුළ හා මව්පියන් තුළ අප්‍රමාණ වශයෙන් මුදිතා ගුණය පවතිනවා.
තවත් පුද්ගලයකුගේ දියුණුව, සැප සම්පත්, කීර්තිය උගත්කම, රූපය, හා ගති ලක්ෂණ දැක හදවතේ ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා නම්, අන්න ඒ පුද්ගලයාගේ හදවතෙන් මුදිතා ගුණය බැහැර යයි. ඒ වගේ ම පුද්ගලයෙකුට ඉවසීමේ ස්වභාවය නොමැතිකමින් හදවතේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඇතිවෙනවා. මෙවැනි දුර්ගුණයන් මුදිතා ගුණයට ප්‍රතිපක්ෂ ගුණයන් ලෙස සඳහන් කළ හැකියි. එවැනි දුර්ගුණයන් පවතින තැනැත්තාගේ මුහුණෙහි සිනහමුසු බවක් දකින්නට පුළුවන්කමක් නැහැ. ක්‍රියාවේ ද මෘදු ස්වභාවයක් දකින්නට පුළුවන්කමක් නැහැ. මුහුණේ, ශරීරයේ, කතාවේ, ක්‍රියාවේ ස්වභාවය රළුයි. නිරන්තරව තරහ ස්වභාවයකින් ජීවත්වන හෙයින් මුදිතා ගුණය දකින්නට පුළුවන්කමක් නැහැ.

තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මුදිතා ගුණය නැගෙනහිර, බටහිර වශයෙන් සෑම දිශාවකටම පතුරුවන ලෙසයි. එමෙන් ම ඒ සෑම දිශාවකම ජීවත්වන්නා වූ සියලු සත්ත්වයන් කෙරෙහි ම මුදිතාව පතුරුවන ලෙසයි. මුදිතා ගුණය තමන්ගේ සිතේ කුසල් දහම් ඇති කරගනිමින් උසස් ධ්‍යාන ලබා ගැනීමට ඉවහල් වන ගුණයක් බව උන්වහන්සේ පෙන්වා දුන්නා.
පුද්ගලයකුගේ දියුණුව, සාර්ථකත්වය දැක එයට අසතුටුවන ඊර්ෂ්‍යා කරන පුද්ගලයා අන් අයට හානියක් කිරීමට පෙර තමන්ට විශාල හානියක් සිදු කර ගන්නවා. නොයෙක් ආකාරයේ කරදරවලට පත්වෙන ස්වභාවයක් ද දකින්නට ලැබෙනවා.
එදා බුදුන් දවස අහිංසක අංගුලිමාල බවට පත් වූයේ අහිංසක තුළ තිබූ දක්ෂතාව, හැකියාව දරා ගැනීමට හැකියාවක් නොතිබූ හිතවතුන් නොයෙක් ආකාරයේ ගතු කේලම් කියා ඔහුගේ චරිතය විනාශ කරන්න උත්සාහ කළ නිසයි.
ජාතක පොතෙහි සඳහන්, එක් කතාවක අසරණ පුද්ගලයෙක් සිටියා. ඔහු දර කපා ජීවත්වන හෙයින් දර කැපීමට කැළයට ගියා. ඔහුගේ පොරව ගඟට විසිවුණා. අසරණ පුද්ගලයා තමන්ගේ පොරවට වූ දේ ගැන බොහෝම කනගාටුවෙනවා. එවිට ඒ වනයේ සිටිය දේවතාවෙක් ඇවිත්, ඒ තැනැත්තාට පොරව තුනක් පෙන්වා, කොයි පොරවද ඔබගේ කියා විමසුවා. තමන්ගේ පොරව දැක මෙය මගේ පොරව යැයි ඒ පුද්ගලයා පැවසුවා. ඒත් දේවතාවා රත්තරන් පොරවක් ඒ තැනැත්තාට පරිත්‍යාග කරනවා.
ඔහු මේ ලාභය පිළිබඳව ගමට ඇවිත් ප්‍රකාශ කළා. ඒ ඇසූ තවත් පුද්ගලයෙක් වනයට ගොස් තමන්ගේ අතේ තිබූ පොරව ගඟට විසි කර දේවතාවාගෙන් රත්තරන් පොරවක් බලාපොරොත්තුවෙනවා. කෙනෙකුගේ දියුණුව, ලාභය දැක සතුටුවන්න බැරි නිසා අවසානයේ තමන් ළඟ තිබූ දේත් නැතිකර ගන්න තත්ත්වයට පත්වුණා. කෙනෙකුගේ සැප, සම්පත් දැක ඔහුගේ සතුට විනාශ කරන්නට ක්‍රියා කරන පුද්ගලයෝ ජීවත්වෙනවා. එසේ නොවී සියලු සත්ත්වයන් කෙරහි ම අප්‍රමාණව මුදිතා ගුණය පැතිරවීමට හැකිනම් එය ඉතා වටිනා චර්යා ධර්මයක් බවට පත්වෙනවා.
සතුටින් යුතු සෑම පුද්ගලයෙක් ම ප්‍රිය කරන පුද්ගලයෙක් වශයෙන් ජීවත්වීමට මෙන් ම තෘප්තිමත්භාවයෙන් ජීවත්වීමට මුදිතා ගුණය අවශ්‍යයි. මුදිතා ගුණය හදවතේ නැති නම් තමන් සෑම විට ම අතෘප්තිමත්. අසතුටෙන් ජීවත්වනවා පමණක් නොවේ, අන් අයට ප්‍රියමනාප පුද්ගලයෙක් වන්නේ නෑ.
යම් කෙනෙකුගේ දියුණුව දැක ඒ දියුණුවට වඩ වඩාත් උදව් උපකාර කරන්න පුළුවන් නම්, ඒ තැනැත්තාට ශක්තියක් වෙන්න පුළුවන් නම් එය මනුෂ්‍යයෙක් ළඟ තිබෙන ඉතා වටිනා ගුණයක්. මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදී මේ මනුෂ්‍ය ආත්මභාවය වඩාත් අර්ථවත් කර ගැනීමට මනුෂ්‍යයෙක් වශයෙන් ගොඩනඟා ගත යුතු වර්ධනය කර ගත යුතු මුදිතා ගුණැති පුද්ගලයා හොඳ මිනිසෙක් වශයෙන් ජීවත්වෙනවා. ඒ වගේ ම බෞද්ධයෙක් හැටියට මරණින් පසු සුගතිගාමී වීමට, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඉපදීමේ වාසනාව සලසා ගැනීමට උපකාරීවන මා හැඟි ගුණයක් හැටියට මේ මුදිතා ගුණය හැඳින්විය හැකියි.


ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ 
පාලි අධ්‍යයන අංශයේ අංශාධිපති 
මොරගොල්ලාගම උපරතන හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඇසළª අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 23 වන ඉරිදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment