හැදිච්චකම, සංවර බව, හික්මුණු ස්වභාවය , තැන්පත්කම, කායික හා වාචසික සංවරය ( කාය වාචානං සමොධානං සීලං) සීලය ලෙස හඳුන්වනු ලැබේ. පුද්ගල චර්යාවන් ප්‍රකාශයට පත්වනුයේ කය හා වචනය පදනම් කරගෙනය. අකුසල සහගත පාපී පක්ෂයෙහි නොඇලී , කය, වචනය ක්‍රියාත්මක කිරීම ශීලයයි. “වේරමණී” යන වචනය ශික්ෂාපදවල භාවිත වනුයේ, එබැවිනි. අකුසලයෙහි නොඇලී සිටින අතරම කුසලයෙහි සමාදානයද සීලය වෙයි.
පුද්ගලයා තුළ සීලය පුබුදිනුයේ අභිජිඣා , ව්‍යාපාද හා විහිංසා යන සංකල්ප වලින් මිදුණු පමණටය. කාය කර්මාදියෙහි පිරිසුදුකම හා කුසල කර්මයන්ට පිහිට වන බව සීලයෙහි ලක්ෂණ වේ. පව් කිරීම පිළිබඳව ඇතිවන, විළිබිය ද්විත්වය සීලයෙහි ආසන්නතම කාරණය යැයි සැලකේ.
ප්‍රඥාවන්ත මිනිස් වර්ගයා සීලයෙහි පිහිටා චිත්තයත්, ප්‍රඥාවත්, වර්ධනය කරන බව බෞද්ධ දේශනාවයි.
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤං ච භාවයං”
යන්නෙන් ඒ බව තවදුරටත් සනාථ වේ. එයින් අවධාරණය කෙරෙන්නේ සීලයම ප්‍රතිඥා මාර්ගයෙහි පදනම වන බවයි. යම් ලෙසකින්, කය, වචන දෙකෙහි සංවරය නොවන්නේ නම් සිත එකඟ නොවේ. බාහිර වස්තු හෝ අරමුණූ සමඟ ආයතනයන් ගැටීමට පත්වේ. එයින්ම චිත්තාභ්‍යන්තරයෙහි ක්ලේෂ ධර්ම උපදී. එයම නැවත ශාරිරික වශයෙන් ප්‍රකට වේ.
සමස්තයක් වශයෙන් ගත් කල සීලය දෙ වැදෑරුම් වේ. එනම් ගෘහස්ත සීලය හා පබ්බජිත සීලය වශයෙනි. ගෘහස්ථ සීලය යනු ගෘහ ජීවිතයක් ගත කරන ගිහියා විසින් සමාදන් වන සීලයයි. පංචසීලය, බ්‍රහ්මචරිය පංච සීලය, උපෝසථ අෂ්ටාංග සීලය, ආජීව අෂ්ටමක සීලය හා ගිහි දස සීලය යනු, ගෘහස්තයන් නිරතුරුවම සමාදන් වන සීලමය ප්‍රතිපදාව වන අතර, එය චාරිත්‍ර සීලයට අයත් වේ. භික්ෂු භික්ෂුණී යන උභය පාර්ශ්වයම සමාදන් වන සීලය, සාමණේර දස සීලය, උපසම්පදා සීලය ආදි වශයෙන් හැඳින්වේ.
සීලයෙහි ආනිසංස පිළිබඳව බුදු සමය නොයෙක් අවස්ථාවලදී සාකච්ඡා කරයි. ඒ අනුව අවිප්පටිසාරාදී නොයෙක් ගුණ ලැබීම එක් ආනිසංසයක් ලෙස දක්වා ඇත. අවිප්පටිසාරි නම් විපිළිසර නොවීමය. මෙහි ආදි ශබ්දයෙන් තවත් ආනිසංස පහක් ඇති බව විසුද්ධි මාර්ගය ප්‍රකට කරයි.
මහත් වූ භෝගස්කන්ධ ලැබීම,
කල්‍යාණ කීර්ති ශබ්ද නැගීම,
ක්ෂත්‍රියාදී පිරිස් කරා විශාරදව එළැඹීම,
නො මුළාව කාල ක්‍රියා කිරීම,
මරණින් මතුව දෙව් ලොව ඉපදීම යනාදියයි.
කල්‍යාණ කීර්ති ශබ්ද නැගීම,
ක්ෂත්‍රියාදී පිරිස් කරා විශාරදව එළැඹීම,
නො මුළාව කාල ක්‍රියා කිරීම,
මරණින් මතුව දෙව් ලොව ඉපදීම යනාදියයි.
මෙහි ආනිසංස මෙලොව හා පරලොවදී ලැබෙයි. මෙලොව දෛනික ජීවිතය සැපවත් කරවීම මෙහි දක්නට ලැබෙන ප්‍රධාන පරමාර්ථය වන අතරම මෙම භවය සැපවත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පරලොවද සැපවත් භාවයට පත්වීම සිදුවේ.
සීලය මගින් අවබෝධයෙන් යුතු සංවරය, ඉන්ද්‍රිය අකර්මණ්‍යතාව හෝ දුබලතාව මත බාහිර ලෝකය සමඟ නොගැටීම අගයන්නේ නැත. නිරතුරුවම ධර්මානුකූල ප්‍රතිපත්ති මගින් සීලයෙහි ශික්ෂණය තුළින් පමණක් මානසික වශයෙන් බුද්ධි ප්‍රබෝධය ගොඩනගා ගත හැකි වේ.
සීලය ප්‍රධාන වශයෙන්ම බාහිර සංවරය උදෙසා ක්‍රියාත්මක කළ යුත්තක් වුවද, බාහිර සංවරය ඇති කර ගැනීමට නම්. අධ්‍යාත්මික සංයමයද තිබිය යුතුමය. එබැවින් විශුද්ධිමග්ගයේදී කුහනා (කුහකකම) ලපනා (දෙඩවීම) නෙමිත්තිකථා (සුභ අසුභ නිමිති කීම) ආදිය සම්මා ආජීවය කෙලෙසෙනු කරුණු වශයෙන් නම් කොට ඇත්තේ, එම කරුණුවලින් ඈත්වීම අධ්‍යාත්මික සංවරය සඳහාද පදනම සපයන හෙයිනි.
සීලය සමාධියෙහි පදනම වේ. එනම් සිලවත් බවින් තොර තැනැත්තාට සමාධියක් ඇතිකර ගත නොහැකිය. දුසිල්වත් බව නැති කිරීම සීලයෙහි කෘත්‍යය හෙවත් කාර්යය බව දැක්වෙනුයේ, එහෙයිනි. එසේම සමාධිය ඇති කරගැනීමේ පදනම වන්නේද සීලයයි. ඒ බව අංගුත්තර නිකායෙහි සති සම්පජඤ්ඤ සූත්‍රයෙහි ද දෘශ්‍යමාන වේ. එබැවින් සීල සම්පන්නයට සම්මා සමාධිය උපනිශ්‍රය සම්පත්තියකි.
සීලය වනාහී ධනයක් බව සප්ත ආර්ය ධන විභජනයේදී බුදුහු වදාළහ. ළමා වියේ සිට මහලු වී මරණයට පැමිණෙන තෙක් සිල් රැකීම සැප ගෙන දෙන්නේය. පිරිසුදු ආත්ම භාවයක් ඇතිව, පරලොව උසස් සුව ලඟාකර ගැනීමට හැකි වන්නේය. සීලය වනාහී උභය ලෝකසුව සාදන්නේය. සිල් සුවඳ හා සමාන සුගන්ධයක් තෛ‍්‍රලෝකයෙහිම ප්‍රතීයමාන නො වන්නේය.
සූසැට, අභරණවලින් සමලංකෘත වූ රජු වුවද සීලය නැමැති ආභරණවලින් සෝභමානිත වූ යතිවරුනට කිසිසේත්ම සමාන කළ නොහැකිය.
අශිෂ්ට පුද්ගලයා සමාජයට කරදරයකි. හානියකි. පිළිලයකි. එසේම ඔහුටද ඍජුව හෝ වක්‍රව හානි සිදුකර ගනී. එම තත්ත්වයෙන් මුදවා ගෙන ශිෂ්ට පුද්ගලයන් බිහිකිරීම ම සීලයෙහි මුඛ්‍යය අභිලාෂය වේ. බුදුදහමට අනුව, ආගමික අර්ථයෙන් බලන කල්හි ලෞකික වශයෙන් සමාජ ආචාර ධර්ම සනාථ කරන්නට මෙන්ම ලෝකෝත්තර වශයෙන් විමුක්ති සාධනය පිණිස ද සීලය උපයෝගී වේ. ඒ නිසාම සාමාන්‍යය වශයෙන් පුද්ගලයාට අධ්‍යාපනය මගින් උගත්කම ලබාදේ. උගත්කම තුළ නිසි හික්මීම ලබා නොදෙන්නේ නම් , එයින්ද ඵලයක් නොමැති බව බුදුදහමේ පිළිගැනීමයි. (සීලමෙව සුතාසෙය්‍ය) යන්නෙන් එය මනාව ස්ඵුට වන්නේය.
මේ අනුව බුදු දහමේ ත්‍රිවිධ ශික්ෂා මාර්ගයේ පදනම සීලයම වේ. එය ධර්මානුකූලව පුද්ගලයාගේ කය,වචනයෙන්, සංවරය අර්ථවත් කරන්නකි. සසර දුක නිවන්නට හේතුවන පිළිවෙතකින් සංවර වීම ගිහි පැවිදි උභය පාර්ශ්වයටම ලෞකික මෙන්ම ලෝකෝත්තර සුව සහනය පිණිසම ඉවහල් වන්නේය.
රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රපති
තිස්සමහාරාමයේ ධම්මසාර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළª අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 23 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment