බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වෙසෙන කාලයේ එක්තරා කුමාරයෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගෙන දැහැමි දිවියක් ගත කරයි. සිල්වත් භික්ෂූන් ආශ්‍රය කරයි. සසර පිළිබඳ කලකිරුණු ඔහු සංසාර ගමන කෙළවර කරගැනීම සඳහා සුදුසු මාර්ගය පෙන්වා දෙන ලෙස එක්තරා සිල්වත් භික්ෂූන් වහන්සේ නමකගෙන් අයැද සිටියේය.
උන්වහන්සේ ලෝකෝත්තර විමුක්තිය සඳහා හේතුවන කරුණු රැසක් දේශනා කළ අතර ඒවා හිස් මුදුනින් පිළිගත් ඔහු නිරන්තරයෙන් භික්ෂු සංඝයාට දන් පිළිගැන්වීම්, සිල් රැකීම් ආදිය කරමින් මනාව පින්දහම් කරගත්තේය. මෙකී දේවල් සිදුකළත් සංසාර ගමනින් එතෙරවීම සඳහා ප්‍රමාණවත් නොවන බව දැනගත් ඔහු මේ බව තම කුළුපග භික්ෂූන් වහන්සේලා හමුවේ ප්‍රකාශ කර සිටියේය. උන්වහන්සේ ‘ඔහුට පැවිදි වන ලෙස’ කියා සිටියේය. එම තරුණයා ද උන්වහන්සේගේ වදන් පිළිගෙන ඉමහත් සතුටට පත් විය.
ඔහු පැවිදි වීමේදී ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ වූයේ ධර්මධර සහ විනයධර හිමිවරුන් දෙදෙනෙකි. උන්වහන්සේ නවක පැවිද්ද ලද මෙම තරුණ භික්ෂූන් වහන්සේට ධර්මවිනය ඉගැන්වූ අතර සංසාර ගමන කෙළවර කර ගැනීමේ මාර්ගය පෙන්වා දීමට වෙහෙස වූයේ නැත.
තමා මෙතෙක් සෙවූ සත්‍ය මාර්ගය, නිවන් මාර්ගය සඳහා වූ මාවත දොරගුළු වැටී ඇති බව අවබෝධ කරගත් උන්වහන්සේ එම ස්ථානයෙන් මිදී ගිහිව සිල් රකිමින් දානාදී පින්කම් කරමින් දිවි ගෙවමියි සිතා ගෙන විහාරයෙන් ඉවත්ව යන කල්හි මේ පිළිබඳ දැනගත් අනෙක් භික්ෂූන් වහන්සේ ඔහු ඇතූළු පැවිදි දිවිය පිළිබඳ කලකිරුණු අනෙකුත් භික්ෂූන් වහන්සේලාද බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ වූහ. මෙම අවස්ථාව මුල් කරගනිමින් මෙම ගාථාව දේශනා කළහ.
සුදුද්දසං සුනිපුනං
යත්ථ කාමනිපාතිනං
චිත්තං රක්ඛේථ මේධාවි
චිත්තං ගුත්තං සුඛාවහං
යත්ථ කාමනිපාතිනං
චිත්තං රක්ඛේථ මේධාවි
චිත්තං ගුත්තං සුඛාවහං
මේ සිතෙහි පවතින ළාමක බව, ක්ෂණයකින් වෙනස්වන සුළු බව කදිමට පෙන්වා දුන් අවස්ථාවකි.මෙහි සුදුද්දසං යන පදය පිළිබඳ අවධානය යොමු කිරීමේදී එයින් කියැවෙන්නේ ඇස් දෙකෙන් දැකිය නොහැකි සිත පිළිබඳවයි. සිත යනු ඇසට දැකගත නොහැකි ඇසට ගෝචර නොවන වස්තුවකි. එය රූ සටහන් ආදි වශයෙන් හැඳින්විය හැකි දෙයක් නොවේ. මේ නිසා කිසි ලෙසකින් දැකිය නොහැකි වන බැවින් සුදුද්දසං යනුවෙන් දහමේ හැඳින්වේ. ඊළගට සුනිපුණං යන ගාථා පදය ගෙන බැලීම වැදගත් වේ. සුනිපුනං කියන්නේ ඉතා සියුම් බවයි. සිත හා සමාන වෙනයම් වූ සියුම් දෙයක් මේ ලෝක ධාතුවේ වෙනත් නැත. සිත හට ගැනෙන ආකාරය, එය පවත්නා වූ සියුම් දෙයක් මේ ලෝක ධාතුවේ වෙනත් නැත. සිත හට ගැනෙන ආකාරය, එය පවත්නා පිළිවෙළ, අරමුණූ ගන්නා ආකාරය, කැමැති අරමුණු වෙත වහා එළඹෙන ස්වභාවය ආදීි ලක්ෂණ හඳුනාගත හැකි වන්නේ සිත පිළිබඳ දීර්ඝ අධ්‍යනයක් කිරීම මගින්ම ය. සිත නිරන්තරයෙන් කැමැති කැමැති අරමුණු කරා ම යොමුවේ. කාමලෝකයේ ජීවත්වන අප නිරන්තර යොමුවනුයේ කාමයන් හා සමීප වන රූපාදි අරමුණු කෙරෙහි ය. එය පෘථග්ජන සිතක සාමාන්‍ය ස්වභාවය යි. මේ ආකාරයට හිතකර හා අහිතකර යන දෙපක්ෂය කෙරෙහි කිසිඳු විරුද්ධත්වයක් නැතිව ලොල් වු සිතින් යුතුව විවිධ අරමුණු ගනී නම් එය පුද්ගලයාගේ අහිත, අවැඩ පිණිසම පවතී. සිතෙහි කුමන ආකාරයේ අරමුණු ඇති වූවත් එම අරමුණු ක්‍රියාවට නැංවීමේ දි ලෝකයාගෙන් විවිධ දෝෂාරෝපණ අසන්නට ලැබේ නම් එය බුද්ධිගෝචර සෙවීමක් නොවේ. එබැවින් රූපාදී අරමුණු ගැනීමේ දී ඒ පිළිබඳ සිය දහස්වරක් සිතා බැලීම නුවණැත්තා විසින් කළ යුතු කරුණක්මය.
තෙවැනි පාඨයෙන් කියැවෙන්නේ රැකීමට අපහසු සිත රැකගන්නේ කවර ආකාරයේ පුද්ගලයාද යන කරුණයි. සැබැවින් ම මේ ලෝ තලයේ උපත ලැබූ සියලු දෙනාට සිත මනාව රැක ගැනීමට හැකියාවක් නැත.ඊට නිසි පුහුණුවක් තිබිය යුතුය. එසේම නුවණක් තිබිය යුතුය. මෙහි "මේධාවී" යනුවෙන් හඳුන්වන්නේ මෙකී පුහුණුව ලැබූ, සිත රැකගැනීමේ හේතුවෙන් වහා සැපය කරා ළඟා වේ යන්නයි.
මේ ගාථාවෙන් අප කෙරෙහි ලබා දෙන ධර්ම අවවාදය අතිශයින්ම වැදගත් ය. සිතක් රැකීම අපහසු බව පෙන්වා දෙන අතර එය රැකීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවද හැඳින්වීමක් සපයා තිබේ. අපි යම් යම් වූ දේ සිදු කිරීමේදී එයින් ලැබෙන ප්‍රතිවිපාක ගැනද සිතන්නෙමු. බොහෝදෙනා ජීවත් වීමේ දී තමා අනෙකාට සිදුකරන උපකාර හෝ වෙනයම් දෙයක් ආපසු ලබාගැනීමේ අරමුණින් කරනා බව සැබවි. එවැනි සිතක් නොමැතිව වගකීමක් මනුෂ්‍ය ගුණධර්මයක් සේ සිතා කටයුතු කරන සත්පුරුෂයන්ද මේ සමාජයේ දුලබ නොවේ. කෙසේ නමුදු අපි යමක් සිදු කරන්නේ ආපසු යමක් අපේක්ෂා සහිතව ය. සිත රැක ගැනීම නිසා අපට ලැබෙන්නේ කවර විපාකයක් ද යන්න දැන ගැනීම වැදගත් නොවන්නේ මන්ද?
සිත කියන්නේ පුදුම සහගත දෙයක් බව ඉහතින් පෙන්වා දුන්නා. ඉතින් ඒ පුදුම සහගත දෙයින් කළ නොහැක්කක් නැති තරම්. හොඳ දේ වගේම සමාජයේ දෝෂාරෝපණය එල්ල වන තමාගේ දිවිය පරිහානියට ඇද දමන ඕනෑම දෙයක් කිරීමේ හැකියාව පවතී. අප බෞද්ධයන් හැටියට පුරුදු පුහුණුකර ඇත්තේ තමාට හොඳක් කරගෙන අන්‍යයාටද හොඳක් කර දීමටයි. බෞද්ධයා යනු අනෙකාට වඩා මේරූ දැනුමකින් හා මනා දැක්මක් ඇති තැනැත්තා යැයි සඳහන් කිරීම වරදක් නොවේ. එබැවින් සැබෑ බෞද්ධයා නිරන්තරයෙන් කැපවෙන්නේ කෙසේ හෝ තමාගේ මෙලොව පරලොව සහ ලෝකෝත්තර විමුක්තිය සඳහා අවශ්‍ය කෙරෙන කටයුතු සම්පාදනය කර ගැනීම කෙරෙහිය. යම් දෙයක් කර එයින් යම් විපාකයක් අපේක්ෂා කරන්නේ නම් හැකි සෑම විටෙකම හොඳ දෙයක් කිරීමට අදිටන් කර ගත යුතුය. මන්ද ඉන් එහා ගිය යමක් කරන්නේ නම් එයින් ලැබෙන විපාක සිතට සැනසිල්ල ලබා දෙන විපාක නොවන හෙයිනි.
සිතකින් ලබා ගත හැකි වටිනාකම් බොහෝ බව ඔබට දැන් අවබෝධ වී ඇත. තමාට අභිමත අරමුණු කෙරෙහි සිත නොයොදවා යහපත් දෙයෙහිම සිත යෙදවීම කළ යුතු වැදගත් ක්‍රියාවයි. අපහසුවෙන් හෝ අමාරුවෙන් හෝ සිත රැක ගැනීමට පෙළඹීම ඔබට හොඳක් සිදුකරගැනීමක්ම වන්නේය. අකුසලින් බැහැරව කුසල් ක්‍රියාකාකරම්වල යෙදීමට වෙහෙස ගත යුතු ය. මේ ලබා ගත් ජීවිතයේදී සිත මනාකොට සුරක්ෂණය කොට ලබාගත හැකි උතුම් වූ නිවන් සුවය සඳහා මාර්ගය හෙළි පෙහෙළි කර ගනිමු.
බිබිල යල්කුඹුර
මො/ ශී‍්‍ර විද්‍යානන්ද පිරිවෙනේ පරිවේණාධිපති
රාජකීය පණ්ඩිත
පදියතලාවේ ඤාණවිමල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළª අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 23 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment