Labels

Friday, August 4, 2017

මල්වර මංගල්ලෙට පිරිතක් කියමුද?


මවුපියන් දරුවන්ට ආදරෙයි. එසේ නම් දරුවන්ට දිය යුත්තේ අද දවසට ගැළපෙන දෙයට වඩා හෙට දවසට ගැළපෙන දේයි. ඇත්තෙන්ම බුද්ධිමත් මවුපියන් ගේ දැක්ම සහ දූරදර්ශී බව විය යුත්තේ කාලයට අනුව දරුවන් තැනීම නොව තවත් වසර ගණනාවක් ඉදිරියට ගැළපෙන ආකාරයට සමාජ සාරධර්ම සමඟින් දරුවන් සෑදීමයි.
 තෑගි එකතුකර ගැනීමක්
මොහොතක් හිතන්න, අද තමන්ගෙ දරුවන්ගේ උපන් දිනයට මවුපියන් නටන නාඩගම් ගැන.

හයක් හතරක් නොදන්න දරුවටත් විච්චූර්ණ ඇඳුමක් අන්දගෙන අම්මත් බටහිර පන්නයට ඇඳගෙන කරන විකාර අද වසංගතයක් බවට පත්වෙලා. දන්න කියන හැමෝටම ආරාධනා කරලා මහ විශාල කේක් ගෙඩියක් කපනවා. එක පැත්තකින් මේ දරුවගේ උපන් දිනය විකුණලා තෑගි එකතුකර ගැනීමක් තමයි වෙන්නෙ.
තවත් අතකින් සතකුගෙ මලකුණකුත් එක්ක මත්පැන් සංග්‍රහයකුත් පැවැත්වෙනවා. තමන්ගෙ දරුවා මේ ලෝකයට බිහිවුණ දවස තමයි මවුපියන්ට ඇති වටිනාම දවස. මේ තම ආදරයේ ජීවමාන ප්‍රතිමූර්තියයි. එදින සිහිකළ යුත්තේ මේවැනි උපන් දින සාද රටාවට නම් නෙමෙයි. අද දවසේ සමාජීය පරිසරය පිළිබඳව පමණක් සිතමින්, දරුවන් හදනවා නම් තවත් අවුරුදු ගණනාවක් ඉදිරියට ගිය විට එම දරුවන් අන්දමන්දව අතරමං වෙයි. අතීතයේ පැවැති සමාජ සංස්කෘතිය අද බොහෝ දුරට සේදී ගිහින්. රටම වෙනස් වෙලා.
ආර්ථිකමය, අධ්‍යාපනික වශයෙන් පමණක් නොව මානව අවශ්‍යතා වශයෙන් ද එම වෙනස එදා සිට සිදුවූ වේගයට වඩා වැඩි වේගයකින් අද වෙනස් වෙනවා. මේ වෙනසේදී ඔබ දරුවන් ඉදිරියේ මවන ලෝකය තමයි ඔවුන්ගේ අනාගත හැරවුම් ලක්ෂය වන්නේ. ඔබේ ආදර්ශය දරුවාගේ හෙට දවස ගෙන යන්නට යහපතක් නොවේ නම් සැබැවින්ම දරුවා අතරමං වේ.
 ආදර්ශය වැදගත්
උපන් දිනය යනු මරණෙට ළඟා වෙන
තවත් දිනකි! මේ ලෝකෙට උදා වෙන
මේ එක දිනට අපෙ මිනිසුන් මුලා වෙන
කෝලම් නටයි! ගිනි වතුරත් පොවා ගෙන
 උපන් දිනය නිමිත්තෙන් කළ යුත්තේ මෙවැනි දෙයකි
උපන් දිනේ මුල් කරගෙන කර දන් පූජා
සියක් වසක් ආයු ලබමු ඇතිවම තේජා
මේ කය තුළ පවතින බව සිහිකර ඕජා
දෙසූ දහම් මඟෙහිම යමු තිලොවග රාජා
 රුධිරයෙන් කිරි දියර තනා - මෙමට පෙවුව දාඅහරෙන් මවු කුස පුරවමු උපන් දිනය දාසෙනෙහෙන් පිරි පියාගෙ ගුණ සිහිකර නැම දාඇඳුමෙන් අහරෙන් පුදදෙමු උපන් දිනය දා
  මල්වර උදාවට පිරිත්
අපි දැන් ඉන්නෙ කලියුගයක. ඒත් මෑතකදී ඉතාම භාග්‍යවන්ත සිදුවීමක් වුණා. ඒ අනුරාධපුර මැදවච්චියේ පදිංචි ජයන්ත විජේසිංහ සහ ගයන්තිකා සුදර්ශනී යන පිංවත් මාපිය දෙපළගේ දියණිය නදුනි අවිශ්කා වැඩිවියට පත්වීමේ අවස්ථාවයි. මේ මාපියන් නිතරම ධර්මය ශ්‍රවණය කරන, ධර්මයට අනුව දිවිපෙවෙත ගත කරන දනට පිනට බොහොම ළැදි අය. තම දියණියගේ මල්වර මංගල්‍ය වෙනුවෙන් නිවෙසට වඩින්නට මට ආරාධනාවක් කළා. ඇත්තෙන්ම මමත් පුදුම වුණා. මේ වගේ කාලයක මෙහෙම උඩුගම් බලා යන මවුපියන් සිටිනවාද කියලා. ඇත්තටම ඔවුන් බෝසත් ගුණ පිහිටි රටේම පිනට පහළ වූ දරුවන්. මල්වර චරිත්‍ර චාරිත්‍ර ඉටු කළ ඔවුන් ගරුතර සංඝයා වහන්සේලා වැඩමවා පිරිත් දේශනාවක් සිදු කළා. බලන්න දියණියගේ
 ජීවිතයට එය කෙතරම් ආශිර්වාදයක් ද කියා.
දියණියකගේ දිවිමගේ ඇය පස් වතාවක් උපදිනවා කියලා කතාවක් තියෙනවා. එය ‘ජන්ම පංචනී’ කියලා හඳුන්වනවා. ඇගේ පළමු ඉපදීම ඇය මවුකුස තුළ පිළිසිඳ ගැනීමයි. ගැහැනු දරුවකු ලෙස ඉපදීම ඇයගේ දෙවැනි ජන්මය. තෙවැන්න මල්වර වීමයි. එනම්, ඇය කන්‍යාවක් බවට පත්වීමයි. කුලගෙට පිවිස බිරියක් වීම සිව්වැනි ඉපදීම වන අතර මාතෘත්වය ලැබීම පස්වැනි ඉපදීමයි. මේ සියලුම අවස්ථාවන්හිදී වර්තමානයේ ඇතැමුන් විවිධ උත්සව සාද පවත්වති. එහෙත් එහි වරදක් ද නැත. නමුත් ධර්මානුබෝධව ආගමික පසුබිමක් මත උත්සවයක් පවත්වන්නේ නම් අතිශය යහපතක්ම සිදු වේ.
සිත අපිරිසුදු නම් කිලි තමයි
ඇතැමුන් මල්වරවීම සම්බන්ධයෙන් කිලි ඇතැයි කියා එම නිවෙසේ පිරිත් දේශනාවක් සිදුකිරීම නුසුදුසු යැයි තීරණය කරාවි. එහෙත් එය මිථ්‍යා මතයක්. වැඩිවියට පත් දියණිය ඖෂධ කලයක් ස්නානයකර, අලුත් වස්ත්‍රාභරණවලින් සැරසී ඉතාමත් නැවුම් ලෙසයි කල එළි බහින්නේ. චාරිත්‍ර වාරිත්‍රවලින් පසුව ඇය කිලිටි නොවේ. කිල්ල හෝ කිලිටිවීම අප විසින්ම සිදුකරගැනීමක් පමණි. චිත්ත තරංගවල ඇත්තේ විශිෂ්ට පිරිසුදු සිතිවිලි නම් ක්‍රියාව කිලිටි නොවේ. හිත අපිරිසුදු නම් කොපමණ කිලි නැති වුණත් ප්‍රතිඵලය ලැබෙන්නේ කිලිටිවය.
හෙළ සමාජය භක්ති පූර්වක හැඟීමෙන් කිල්ල සැලකුවත් අද සමාජය බුද්ධි පූර්වකව ඒ දෙස බලයි. මිථ්‍යා සංකල්පවලින් බැහැර වී තුණුරුවන් කෙරෙහි විශ්වාසය ඇති කරගෙන කරන ඕනෑම කටයුත්තක් සාර්ථකත්වයට පත් වේ.
උපන් දිනය, විවාහ මංගල්‍යය, මල්වර මංගල්‍යය, දරු උපත යන සියලු කාරණා ජීවිතයේ මංගල අවස්ථායි. බුදු දහමේ සඳහන් වන්නේ,
‘සමනානංච දස්සනං’ - ශ්‍රමණයකුගේ දැක්ම මංගල කරුණාක් ලෙසනි.
සිරිත් විරිත්වලට මුල්තැනක්
එබැවින් ජීවිතයේ වැදගත් මංසන්ධියකදී විහාරස්ථානය මුල්කරගෙන සිරිත් - විරිත්, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන්නේ නම් ලැබෙන ආශිර්වාදය මෙතෙකැයි කිව නොහැකිය.
මවු කුසෙන් මෙලොවට ජනිත වූ දරුවාට ආරෝග්‍ය ශාලාවත්, පාඨශාලාවත්, ආපනශාලාවත්, මල් ශාලාවත් විවිධ කඩඉම් පසුකරද්දී හමුවුවත් ධර්ම ශාලාවට ගොඩවදින්න අකැමැතිය. එහෙත් මාපිය ඔබේ ආදර්ශය විය යුත්තේ දරුවා යහමඟ යැවීමට ධර්මශාලාවට යොමු කිරීමයි.
එවැනි පසුබිමක් යටතේ හැදී වැඩෙන දරුවා ජීවිතයේ යථාර්ථය තේරුම් ගනී.
ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන දාන, සීල, භාවනා ක්‍රමයෙන් වටහා ගන්නේ නම් මේ භවයේදීම එහි ආනිශංස ලෙස සතුට ලැබෙයි. විකාර උත්සවයකින් ලබන සතුටක් සුළු මොහොතක සතුටක් නොවෙයි. ආගමික පසුබිමක් මත පවත්වන උත්සවයක දී ‘ඉධ නන්දති’ යනුවෙන් එම අවස්ථාවේදීම විශාල සතුටක් ලැබෙයි. ‘පෙච්ච නන්දති’ ඇසුවත් සතුටක් ලැබෙයි. ‘කත පුඤ්ඤෝ උභයත්ත නන්දති’ ඒ අවස්ථාවෙහිදීමත් පසුවත් සතුටින් සිටී.අද ඇතැම් උත්සව අවසන්වන්නේ මත් වතුරෙන් මනස අවුල්වී කලකෝලාහලයකිනි. එහෙත් තුණුරුවන් ගුණ සිහි ගන්වමින් ජීවිතයේ වැදගත් අවස්ථා ආගමික පසුබිමක් මත පවත්වයි නම් සැබෑ සතුටත් ආශිර්වාදයත් ලැබේ.
හෙළ කුල සිරිත් සම්ප්‍රදාය රකිමින් එයට නවතාවයක් ආගම දහමින් ඇතුළු කිරීම ඉතාමත් විශිෂ්ට සත් ක්‍රියාවක් බව යළි යළිත් සිහි ගන්වමි.
  අනුශාසනාව පූජ්‍යපාද කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ

2017 අගෝස්තු 01  දින තරුණි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment