ශ්‍රී ලාංකේය සංස්කෘතියෙහි කාන්තාවගේ පුරුෂාර්ථ විමසා බලන විට ආදි කාලීන සමාජයේ සිටම බෞද්ධ පසුබිමක ඇයගේ චරිතය ගොඩනැඟිණි.
වෙස්සන්තර ජාතකයේ මන්ද්‍රි දේවිය, උම්මග්ග ජාතකයේ අමරා දේවිය විශාඛාව වැනි බෞද්ධ කාන්තා චරිත ඔස්සේ සිංහල කාන්තාවගේ හැදියාව පුරුෂාර්ථ, අවශේෂ ගුණ දහම් හා ඇයගේ ජීවන ධර්මතා සෑම දෙයක්ම ගොඩනැඟී තිබේ.ඒ අතරින් වඩාත් සුවිශේෂී චරිතය යශෝධරාවයි.
බුදුබව පතනා බෝධිසත්වයන් වහන්සේට සසර පුරා ධෛර්ය ලබාදුන් ආකාරය ලෝකයේ කාන්තාවකට තම පුරුෂාර්ථ ගොඩනඟා ගැනීම උදෙසා උපදේශ ලබාදීමට ඉවහල් වේ.බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළ අවස්ථාෙවි සුද්ධෝදන රජුගේ මාලිගාවට යශෝධරාව පැමිණෙන්නේ නැත. යශෝධරාව පමණක් තනිවම කුටියෙහි සිටින බව සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට දන්වා සිටී අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ශීධරාවගේ කුටියට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වැළඳගෙන හඬමින් වැඳ වැටෙන යශෝධරාව සැනසීම සඳහා බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කළ සේක. සඳකිඳුරු ජාතකය වැනි ජාතක කතා රාශියක් යශෝධරාවට සිහිපත් කරමින් යශෝධරාව මේ සංසාරය පුරා උතුම් බුදු බව වෙනුවෙන් කළ කැපකිරීම පහදා දුන්හ.සදකිඳුරු ජාතකයෙහි එව බෝධිසත්වයන් වහන්සේ සදකිඳුරා ලෙසත් යශෝධරාව සඳකිඳුරිය ලෙසත් ජීවත් වූ ආත්මභාවයේද,ී කිඳුරිය ලබාගැනීම සඳහා දුෂ්ට රජෙකු සඳකිඳුරාට හී පහර විද්දේය.එම අවස්ථාවේ කිඳුරිය බෝසත් කිඳුරා කන්දක් උඩට රැගෙන ගොස් සත්‍යක්‍රියා කරමින් සුවපත් කළාය.
කලන්දක ජාතකයෙහි ලෙහෙනියකව ඉපදී දරුවන් සොයන්නට මුහුද ඉසින්නට බෝසත් ලේනා උත්සාහ කළ අවස්ථාවේ ලේනිය වී ධෛර්ය ලබාදුන්නීය. වෙස්සන්තර ජාතකයෙහි සඳහන් ආකාරයට අවසන් ආත්මභාවයේදීත් වනගත වන ගමනේදී තනිවම වනගත වීමට ඉඩ නොදී තවුස් ජීවිතයට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමට මන්ද්‍රී දේවියද පසු පසින් ආවාය.බුදුරජාණන් වහන්සේ මේ සැම දෙයක්ම යශෝධරාවට සිහිපත් කර දුන්හ.යශෝධරාව සැම විටම ධෛර්යෙන් යුතුව කටයුතු කළ ආකාරය වර්තමාන සමාජයට ඉතා වැදගත්ය.යශෝධරාව මෙන් සුවිශේෂී වු ,විශිෂ්ට, චරිතයක් ලෙස ගොඩනැඟෙන්නට නම්, සැම විටම කාන්තාවක්, බිරිඳක්, දියණියක්. ආදී කවරාකාරයේ හෝ ස්ත්‍රී චරිතයක් පසුබිමින් ඉඳීමේ වැදගත්කම පැහැදිලි වේ.ගෙදර ප්‍රධානියා වශයෙන් පියෙකුට ස්වාමිපුරුෂයෙකුට, ගෘහපතියෙකුට එම ගෙදර නමැති නෞකාව ඉදිරියට රැගෙන යාමට පසුපසින් ධෛර්ය ලබාදෙන්නී භාර්යාවයි.සැබෑ බිරියක් කිසිවිටෙකත් ස්වාමිපුරුෂයෙකුගේ ධෛර්ය බිඳින්නියක නොවිය යුතුය.ඇය සැම ආකාරකින්ම ස්වාමිපුරුෂයා ආරක්ෂා කරගත යුතුය. ස්වාමිපුරුෂයාගේ හැකියාවන්, නොහැකියාවන් වටහාගත යුතුය. අවශ්‍යතාවයන් හඳුනා ගෙන ඔහුට වඩාත් සුවපහසු ජීවිතයක් ගත කරන්නට අවස්ථාව ලබාදිය යුතුය. යශෝධරා චරිතය තුළින් කියැවෙන්නේ කන්තාවගේ එම ස්වභාවයයි. වෙස්සන්තර ජාතකයෙහි බෝසතුන් වහන්සේ මහ වනයේ තවුස් දම් රකින අවස්ථාවේ මන්ද්‍රි දේවිය කැලයට ගොස් පලවැල නෙළාගෙනවිත් බෝසතාණන් වහන්සේ පෝෂණය කළාය.එවැනි ආකාරයෙන් කාන්තා ලෝකයේ සිළුමිණ වෙන්නට තරම් යශෝධරාව ධෛර්ය සම්පන්නව කැපවීමෙන් කටයුතු කළාය. යශෝධරාවගේ චරිතය අධ්‍යයනය කළේ නම්,නූතන කාන්තාවට ලද හැකි උපදේශ අප්‍රමාණය.
සිංහල සමාජයේ සැම අවස්ථාවකදී ම යශෝධරා චරිතය පූජනීය චරිතයක් ලෙස පිළිගැනීමට එය හේතු විය. යශෝධරාවත කාව්‍යයේ අවසාන කවි කිහිපය විශේෂ වැදගත්කමක් තිබේ.
අසමින මේ දහම් අගනේ ගෙන සිතට
යසසින රවාවත් නොබලා තම හිමිට
වසමින රන් රසසෙ එකඟින් අදර කොට
උපදිමි යශෝධර බිසවුන් ලෙස සොඳට
යසසින රවාවත් නොබලා තම හිමිට
වසමින රන් රසසෙ එකඟින් අදර කොට
උපදිමි යශෝධර බිසවුන් ලෙස සොඳට
මෙවැනි ප්‍රකාශනයන් කරමින් යශෝධරාවත කවියා යශෝධරාවත කාව්‍ය සමාජගත කරන්නේ පොතපත නැති, අධ්‍යාපනය පිරිහීගිය ,ශාස්ත්‍රී වශයෙන් පිරිහීගිය පරිසරයක් පැවැති මහනවුර යුගයේදීය. එවන් කාලයක විශේෂයෙන්ම කාන්තාවට පවුල් ජීවිතය යහපත් ලෙස ගොඩනඟන්නට උපදෙස් දෙන්නට ජනකවියාට යශෝධරාවගේ චරිතය හැර වෙන මඟක් තිබුෙණි් නැත. යශෝධරාවගේ චරිතය ජනකාව්‍යයක් ලෙස නිර්මාණය කරන්නට එය හේතුවක් වන්නට ඇත. ජන කවියා බෝහෝ අවස්ථාවන්හි පරිහරණය කරනු ලබන්නේ සූත්‍ර ත්‍රිපිටකාගතව එන යශෝධරා චරිතය නොවීම ඉතාම වැදගත්. ගනේගම සරණංකර නා හිමියන් රචනා කරන ලද යශෝධරා කෘතිය ත්‍රිපිටකාගත තොරතුරුවලින් යශෝධරා චරිතය කවරාකාර කාන්තා චරිතයක්ද යන්න පෙන්වා දීමයි. ජන කවියා මුඛ පරම් පරාවෙන් , පරම්පරාවට පැවත ආ තොරතුරු ,ජනප්‍රවාද ජනශ්‍රැති ඇසුරින් උතුම් යශෝධරාවත ජනකාව්‍ය නිර්මාණය කළේය. විශේෂයෙන්ම ජන කවියාට අවශ්‍ය වූයේ මහනුවර යුගයේ පිරිහීගිය කාන්තාවගේ චරිතය නැවත ශක්තිමත් ලෙස ගොඩනැඟීමටය.
යසසින බලාවත් නොබලා තම හිමිට
උපදින යශෝධර බිසවුන් සොඳ ලෙසට
උපදින යශෝධර බිසවුන් සොඳ ලෙසට
වැරදීමකින්හෝ තම ස්වාමි පුරුෂයා දෙස රහසින්වත් රවා බලන්නට
එපාය කියමින් එවැනි ආකාරයෙන් යශෝධරාවක් ලෙස උපදින්නට ප්‍රාර්ථනා කරයි.
හිමිට ඇති පහසු අපහසු නොබලමිනේ
අපට මෙනම් දෙය දෙය ගෙනය කියමිනේ
සිතට දුක් දෙවන බස් නොකියමිනේ
සොඳට සිටිනු මැන හිමි වෙත පෙමිනේ
අපට මෙනම් දෙය දෙය ගෙනය කියමිනේ
සිතට දුක් දෙවන බස් නොකියමිනේ
සොඳට සිටිනු මැන හිමි වෙත පෙමිනේ
මේ කවියෙන් අර්ථවත් කරන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයා සමඟ ආදර ප්‍රේමයෙන් භක්ති ප්‍රේමයෙන් ජීවත්වීමේ අවශ්‍යතාවයයි.
හිමිට ඇති පහසු අපහසු නොබලමිනේ
අපට මේ නම් දෙය දෙය ගෙනව කියමිනේ
අපට මේ නම් දෙය දෙය ගෙනව කියමිනේ
මෙම කරුණ වර්තමානයට කෙතරම් අදාළ වෙනවාද?ඇතැම්විට භාර්යාවක් ස්වාමිපුරුෂයාගෙන් නොයෙක් දේ ඉල්ලා සිටී. දකින දේ ඉල්ලමින් ස්වාමිපුරුෂාට වදයක් දෙන වධක භාර්යාවන් කොපමණ සිටිනවාද? කවියා ආමන්ත්‍රණය කරන්නේ එවැනි කාන්තාවන්ටයි. ස්වාමි පුරුෂයාගේ හැකියාවන් බිරිඳක් විසින් වටහා ගත යුතුයි. යමක් ගෙනත් දිය යුතු බවට ස්වාමිපුරුෂයාට ඇවිටිලි කළ යුත්තේ එම තත්ත්වය අනුවය. ස්වාමි පුරුෂයාගේ සිතට දුක් දෙන බස්, සිත් රිදෙන බස් ප්‍රකාශ කිරීම වැරැද්දක් ලෙස කවියා දකී.ආදරයෙන් භක්ති ප්‍රේමයෙන් සිටිය යුතු බව යශෝධරාවත කවියාගේ ඉල්ලීමයි.
දුකක් වන් කළට අතමිට හිඟ වෙමින
දුකක් වන් කළට වැඩියෙන් දයාවෙන
ඇදක් නොව කතුන් හිමි සැළකුවෝතින
හිමිට මොක් දකිනු බැරිය යශෝධරා මෙන
දුකක් වන් කළට වැඩියෙන් දයාවෙන
ඇදක් නොව කතුන් හිමි සැළකුවෝතින
හිමිට මොක් දකිනු බැරිය යශෝධරා මෙන
යශෝධරා දේවිය එවැනි ආකාරයේ උතුම් කාන්තා චරිතයක් විය. ඔබටද ඇයගේ උතුම් ගුණ ජීවිතයට සමීප කරගන්නට හැකියාව ඇති බවට යශෝධරාවත කවියා ප්‍රකාශ කරයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ
සිංහල අංශයේ මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළª අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 23 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment