පාලනය කරගත නොහැකි තරහව, කෝපය, වෛරය වැනි සිතිවිලි නිසා බොහෝ දෙනෙක් ජීවිතය ගිනිගොඩක් බවට පත් කර ගන්නවා. අඹු සැමියන්, දූ දරුවන් අතර ප්‍රශ්න ඇති කර ගන්නවා. පවුලේ සැනසිලිදායක බව, සමඟිය නැති කර ගන්නවා. සිත දවන එවැනි හැඟීම් පාලනය කරගෙන පී‍්‍රතිමත්, පවුලක් නිර්මාණය කර ගැනීමට නම් කළ යුතු හොඳම දේ කුමක්ද? මේ, ඒ පිළිබඳව කළ සාකච්ඡාවකි.
ජීවිතයේ සතුට, සැනසුම අපේක්ෂා කළත් එදිනෙදා මුහුණ දෙන සංකීර්ණ ගැටලු හමුවේ අපේ සමාජයේ ඇතැම් පවුල් තුළ අසමඟිය, අසතුට වර්ධනය වෙලා. අපේ හාමුදුරුවනේ, අඹුසැමියන් කෙරෙන්, මවුපිය දූ දරුවන් කෙරෙන් මෙලෙස සාමය, සංහිඳියාව දුරස්වන බවක් දැනෙන්නේ ඇයි?
පවුලක සාමය, සතුට සහ සමඟියේ පදනම ඉවසීමයි. ඉස්සර පවුලේ ගෘහ මූලිකයා, එසේත් නැතිනම් ගෙදර ස්වාමියා ආවේගශීලීව මොන දේ ප්‍රකාශ කළත් අහගෙන ඉන්නට තරම් ඉවසීමක් බිරිඳට තිබුණා. ඇය ආවේගශීලී වූයේ නෑ. අම්මා ලෙස ඒ ආදර්ශය ඇය දරුවන්ට ලබා දුන්නා. දරුවන් ඇය වෙතින් අන්‍යමතවලට ගරු කරන සැටි ඉගෙන ගත්තා. දැන් සමාජය සංකීර්ණවෙලා. සැමියා වගේ ම බිරිඳත් බොහෝවිට රැකියාවට යනවා. ඒ වෙහෙසකර බව එක පැත්තකින් ඉවසීම අඩු කරනවා. එහෙත් නුවණින් කල්පනා කර බලනවා නම්, ආගම දහමට අනුව ජීවිතය පවත්වා ගන්නවා නම් ගෙදර අම්මා කවර හේතුවක දී හෝ ආවේගශීලී වන්නේ නෑ.
ඒ වගේම එදා අධ්‍යාපනය ගමට සීමා වුණා. දැන් ඒ තත්ත්වය වෙනස්වෙලා. තාක්ෂණික දියුණුව සමඟ දරුවන්ගේ සිතුම් පැතුම් ආකල්ප වේගයෙන් වෙනස්වෙනවා. හොඳ, නරක ගැන උපදෙසක් ලැබුණත් අම්මා, තාත්තා සමඟ තර්ක කරනවා. මේ හැසිරීම් මවුපියන්ට අසහනයක්, අසතුටක් ගෙන දෙනවා. ඔවුන් වැඩිපුරම සතුටු වෙන්නේ දරුවන් දෙස බැලීමෙනුයි. අද ඇතැම් පවුල්තුළ ඒ සතුට නෑ. ආගන්තුකයන් වගේ, කතා බහක් නෑ.