Labels

Wednesday, January 24, 2018

මිතුරු ඇසුර සදයි ඉසුර

මිතුරෙක් යනු කවුදැයි ඔබෙන් ප්‍රශ්න කළහොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක් ද? ඔබේ පිළිතුරු අතර යමෙකුගේ දුක සතුට දෙකේ දී ම ළඟින් හිඳින තැනැත්තා මිතුරා ය. වැරදි දැක නිවැරැදි කරන තැනැත්තා මිතුරා ය. දුකට පත් වූ විට ඉන් මුදවා ගැනීමට වෙහෙස ගන්නේ මිතුරා ය ආදී වශයෙන් පිළිතුරු ලැබෙනු ඇත. සැබැවින්ම ඒ ලබා දෙන පිළිතුරු සාවද්‍ය ඒවා නොවේ. සැබෑ මිතුරාගේ ලක්ෂණ ඒවායෙන් ජනිත කෙරේ.

බුදුන් වහන්සේ මිතුරු කණ්ඩායම් දෙකක් පෙන්වා දී තිබේ. එනම් කල්‍යාණ මිත්‍රයන් සහ මිත්‍ර ප්‍රතිරූපකයින් ය. කල්‍යාණ මිත්‍රයන් යනු අපගේ ජීවිත වාසනාවන්ත කර ගැනීම සඳහා උදව් දෙන, උපකාර කරන පිරිස යි. මිත්‍ර ප්‍රතිරූපකයින් යනු අපගෙන් යමක් ලබාගෙන, අප වැරැදි මාර්ගයට හසු කරන කොට්ඨාසය යි. අප ඇසුරු කළ යුත්තේ මින් පළමු කොට්ඨාසයට අයත් පිරිසම ය. එම පිරිස් කොටස් 04 කි. උපකාරක මිත්‍රයා, අනුකම්පක මිත්‍රයා, සමාන සුඛ දුක්ඛ මිත්‍රයා සහ අත්ථක්ඛායි මිත්‍රයා යනුවෙනි.
උපකාරක මිත්‍රයාගේ ලක්ෂණය තමන්ට කරදරයක්, බාධකයක් පැමිණි අවස්ථාවක මිල මුදලින් සහ කාලය, ශ්‍රමයෙන් උදව් උපකාර කිරීම යි. මිත්‍ර ප්‍රතිරූපකයෙකු නම් මේ වැනි අවස්ථාවල දී මඟහැර යාමට උත්සාහ කරයි. දෙවැනි මිතුරා අනුකම්පක මිත්‍රයා ය. යම් ගැටලුකාරී අවස්ථාවක, ශෝකී අවස්ථාවක, තමාටවත් නො දැනුවත්ව ජීවිතය පරිහානියට පත් වූ අවස්ථාවක මේ තැනැත්තාගේ ලක්ෂණය වන්නේ තම මිතුරාට අනුකම්පා කොට ඒ ව්‍යසනයෙන් ගළවා ගැනීම පිණිස උපදෙස් දීම ය. අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කිරීම ය. එසේ ම දුක් තැවුල් සන්සිඳීම තෙක් මිතුරා අත නො හැර සිටී. කලණ මිතුරන්ගෙන් තෙවැනියා සමානසුඛ දුක්ඛ මිත්‍රයා ය. ඔහු ද ඉහතින් පෙන්වා දුන් ලක්ෂණයෙන් සමන්විත ය. එනම් සැප දුක දෙකේ දී ම තමන් අත නො හැර සිටීමේ ගුණය ඔහු සතුව ඇත. අත්ථක්ඛායී මිත්‍රයා යනු අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පුද්ගලයා ය. තමා වැරැද්දක් කරන්නේ නම් එම අවස්ථාවලින් මුදවා ගෙන යහපතෙහි යෙදවීම මොහුගේ ලක්ෂණය යි. මෙම මිත්‍රයාගේ ප්‍රතිරූපක ලක්ෂණය වන්නේ ‘අපාය සහය’ යනුවෙන් දක්වන ලක්ෂණය යි.

සිත ව්‍යාකූල කරන තෘෂ්ණාව පිපාසය හා සමානය

ලෝභය හෙවත් තෘෂ්ණාව මිනිස් සිත ව්‍යාකූල කරන ආත්මාර්ථකාමීත්වය පොළඹවන ක්ලේෂ ධර්මයකි. ලෝභය නිසා ආතුර වු මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තුළ සමගිය, සහජීවනය, එකමුතු බව තුරන් වී යයි.
කුමන වේෂයකින් පැමිණිය ද ලෝභය සමාජය භේදභින්න කරන කෙලෙස් මූලයකි. රටවල් අතර, ජන කණ්ඩායම් තුළ මෙන් ම පවුල තුළ ඇතිවන බොහෝ ගැටුම්වලට හේතුව මෙම ක්ලේෂ ධර්මයේ බලපෑමයි. ලෝකයේ සම්පත් සීමිත ය. මිනිසුන්ගේ ආශාවන් අසීමිත ය. සීමිත සම්පත් අසීමිත ආශාවන් සහිත මිනිසුන් අතර බෙදීමට යාමේ ගැටුම් නිර්මාණය වේ. මේ තුළ නැතිවනුයේ සමඟිය සහ සහජීවනය යි.
සමාජය තුළ තමන්ට නැතිදෑ අනෙකා සතුවීම ඉවසීමට නොහැකි වන්නේ ලෝභය නිසාවෙනි. හිමිවිය යුතු සෑම දෙයක් ම තමාට පමණක් හිමිවිය යුතුය. අනෙකාට එසේ නො ලැබිය යුතුය යන්න සිතනුයේ තෘෂ්ණාව පදනම් කරගෙන ය. ඒ තුළ මානසික මෙන්ම කායික අපහසුතාවයන්ට ලක්වීමට සිදුවේ. තනතුර, බලය, ධනය පසුපස ලුහුබඳින සේ ලෝභය ඇති බැවිනි. තමන්ගේ එම තෘෂ්ණාව සන්තර්පණය කර ගැනීමට මිනිසා බොහෝ දෑ සිදුකිරීමට පසුබට නොවේ. එහිදී පව, පින, හොඳ, නරක, සදාචාර සීමාවන් උල්ලංඝනය කරමින් ජාතිය, ආගම පවා අනවශ්‍ය ලෙස යොදාගැනීම තුළ සිදුවනුයේ සමාජ සාමය බිඳ වැටීමයි. ජීවත්විය යුත්තේ තමා පමණක් ය. තනතුරු වරප්‍රසාද තමන්ට පමණක් යැයි සිතා මනුෂ්‍ය ඝාතනයන්, චරිත ඝාතනයන් පවා සිදුවනුයේ ලෝභය හේතුවෙනි.
තෘෂ්ණාව පිපාසයක් හා සමාන වේ. පිපාසිතයා අනෙක් සියලු කටයුතු පසෙකලා පිපාසය සන්සිඳවා ගැනීමට වෙහෙසේ. තෘෂ්ණාවෙන් පීඩිතයාගේ ස්වභාවය ද මේ හා සමාන ය.

සදහම් දැනුම

ප්‍රශ්නය – මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අසරණ වූ දරුවකු දැක අනුකම්පාව උපදවා ආලෝකයක් පතුරුවා ඔහුට පියවි සිහිය ලබා දී “දරුව මෙහි එව, තථාගතයන් දෙස බලව, රාහුගෙන් සඳ මිදුණාක් මෙන් මම නුඹ මුදා ගන්නෙමි” යි වදාළ සේක. මේ විපතට පත් දරුවා කවු ද? බුදුරජාණන් වහන්සේ මොහු මුදා ගත් ආකාරය පැහැදිලි කරන්න.
පිළිතුර - සෝපාක, රජගහනුවර සැඬොලෙකුට දාව පුක්කුස කුලයක ස්ත්‍රියක කුසින් උපන් දරුවෙකි. කුඩා කලම පියා මළ බැවින් සුළු පියා ඔහු ඇති දැඩි කළේ ය. තම පුතාට වැඩි සෙනෙහස දැක් වූ ඔහු පසුව සෝපාක විනාශ කිරීම සඳහා රාත්‍රියක සොහොනකට ගෙන ගොස් මළ මිනියක බැඳ තැබී ය. එහි දී ඉහත සඳහන් පාඨය දේශනා කොට බුදුරජාණන් වහන්සේ ඔහුට සරණ වූහ. පසුව ඔහුගේ මවට දේශනා කොට වදාළ බණ පදයෙන් මව සෝවාන් වූ අතර සෝපාක හිමියෝ ද රහත් ඵලයට පත් වූහ.

ජීවිත ආශාව දුරුවීමට නම්.

මරණානුස්සති භාවනාව දියුණු කර ගැනීම සඳහා බෞද්ධ අබෞද්ධ කවුරුත් ඇප කැප විය යුතුයි. තණ්හාව, තරහව, මෝහය දුරු කර ගැනීමට මරණානුස්සති භාවනාව ඉවහල් වෙයි. මේ භාවනාවෙන් ඉතා සවිමත් සිතක් සකසා ගත හැකි යි. ඒ බලසම්පන්න සිත නිවන් මඟ විවර කරයි.

සංඛාරයන්ගේ ස්වභාවය වන්නේ ගෙවී යාම, විනාශ වීම සහ මරණයට පත්වීම යි. නිර්වාණය හැර සියලු ම දේ සංඛාර පදයට අයත් වෙයි. මනුස්සයෝ ද, දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, සතර අපාය සත්ත්වයෝ ද , ඈත පෙනෙන නොපෙනන සියලු ම සත්ත්වයෝ ද සංඛාර පදයට ඇතුළත් වෙයි. ගහ කොළ, ඉර හද තාරකා, ඇළ දොළ ගංගා , මහා සාගරය, මහා මේරු පර්වතය, මෙලොව පමණක් නොව අනන්ත ලෝක සහ එහි සියල්ල සංඛාර පදයට යටත් වෙයි. මේ ගැන දැන කියාගෙන දියුණුව, ආරක්ෂාව පිණිස මරණ සතිය වැඩිය යුතු යි.
බුදුසරණ පුවත් පත කවුරුත් කියවිය යුතු යි. එහි ඇති ලිපි අනුන්ට නෙවෙයි තමන්ට ම බව සිතන්න. මව් පියන්ට සැළකීම, ගුරු දෙගුරුන්ට ගරු බුහුමන් කිරීම, මල් පහන් පුදා තෙරුවන් නැමදීම, කරුණාව- මෛත්‍රිය- දයාව- අනුකම්පාව ආදී ගුණාංගයන් දියුණු කිරීම අවශ්‍යය යි. මෙලෙස නිවැරැදි ප්‍රතිපත්ති මාර්ගයකට පිවිසිය යුතු යි.
“අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තේසං වූප සමො සුඛො” සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝ ය. ඉපෙදෙමින් නිරුද්ධ වන්නා හ. ඔවුන්ගේ සංසඳීම ඒකාන්තයෙන් ඇති වන්නේ ය. ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි, මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. මනුස්ස ජීවිතය වනාහි ආශ්වාස, ප්‍රශ්වාස දෙක පිහිට කොට ඇත්තේ ය. ආශ්වාස ප්‍රශ්වාස දෙක අවහිර වීමෙන් ද මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. මනුස්ස ජීවිතය වනාහි සතර ඉරියව් පැවැත්ම පිහිට කොට ඇත්තේ ය. සතර ඉරියව් පැවැත්ම විෂම වීමෙන් ද මරණය වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. මනුස්ස ජීවිතය වනාහි ශීත - උෂ්ණ දෙක පිහිට කොට ඇත්තේ ය. ශීත උෂ්ණ දෙක විෂම වීමෙන් ද මරණය වන්නේ ය.

මරණය පීඩාවක් කරගන්නෝ

" මහණෙනි, ඒ ගම, ඒ වන ලැහැබ, නදී තොමෝ දැකීමෙන් මට මෙවන් අදහසක් ඇති වුණි. මේ බිම ඉතා රමණීයයි. වන ලැහැබ සිත සතුටු කරවයි. සුදු වැලිතලා ඇති, මනා වූ පාරුතොටු ඇති සිත්කඵ නදිය ද සෙමින් සෙමින් ගලා බසී. මේ සමීපයේ ම ගොදුරු ගමක් තිබේ. ප්‍රධන්වීර්ය කරනු ලබන යම් වූ ද කුල පුත්‍රයකුට තමාගේ ප්‍රධන්වීර්යය වඩන්නට සුදුසුම ස්ථානය මෙයයි."


අප තථාගත බුදුරජාණන් වහන්සේ, මෙසේ දේශනා කරන ලදී. උද්දකරාම පුත්‍ර ගුරුවරයාගෙන් අෂ්ඨසමාපත්ති ලබා එයින් සෑහීමකට පත් නොවූ බෝධිසත්වයන් වහන්සේ, තමන් සොයන නිවන මෙහි නොවන බව අවබෝධ කර ගන්නා ලදී.
ඒ අනුව බෝධිසත්වයන් වහන්සේ අනුගමනය කළ මඟ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළහ. මහණෙනි, මම කුසලය කුමක් දැයි සොයන්නට උත්සාහ කළෙමි.
අනුත්තර වූ උතුම් නිර්වාණ පදය සොයමින් මගධ දේශයේ පිළිවෙලින් සැරි සැරූවෙමි. උරුවෙලාවෙහි සේනානි ගමට මම පැමිණුනෙමි. එහි සිත්කළු භූමි භාගය, සිත පහදන වන ලැහැබ. වැලි තලාව. පාරු නවතන තොටුපළවල් ඇති ගලා බස්නා නදී, ඒ හාත්පස ගොදුරුගම තිබුණි.
මහණෙනි, ඒ ගම ඒ වන ලැහැබ, නදී තොමෝ දැකීමෙන් මට මෙවන් අදහසක් ඇති වුණි. මේ බිම ඉතා රමණීයයි. වන ලැහැබ සිත සතුටු කරවයි. සුදු වැලිතලා ඇති, මනා වූ පාරුතොටු ඇති සිත්කඵ නදිය ද සෙමින් සෙමින් ගලා බසී. මේ සමීපයේ ම ගොදුරු ගමක් තිබේ. ප්‍රධන්වීර්ය කරනු ලබන යම් වූ ද කුල පුත්‍රයකුට තමාගේ ප්‍රධන්වීර්යය වඩන්නට සුදුසුම ස්ථානය මෙයයි. ප්‍රධන්වීර්යය පිණිස මෙය සුදුසුම ස්ථානය යැයි තෝරාගෙන මම එහි වාඩිවුණෙමි. ඒ ඇසතු වෘක්ෂ මූලයයි. එනම් සිරි මහා බෝ මැඩයි.
මහණෙනි, ඒ මම ජාති ධර්ම වූයෙම්, ජාති ධර්මයේ ආදීනව දැන ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයමින් අජාත වූ අනුත්තර වූ යෝගක්ෂේම වූ නිර්වාණය අවබෝධ කළෙමි.
බුදුරජාණන් වහන්සේ එසේ දේශනා කරනු ලැබූයේ තමන් වහන්සේ විසින් සාර සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරා පුරණ ලද පාරමී ගුණයන්ගෙන් ලද අත්දැකීම් අනුවයි. මේ ජීවිතයේත් ගුරුවරුන් වෙතට ගොස් ලෞකික වශයෙන් ලැබූ ධ්‍යාන සමාපත්තින්ගෙන් ලැබූ අත්දැකීම් අනුව තමන් වහන්සේ විසින් කුසලය නම් කුමක් දැයි සොයමින් ආරම්භ කළ ප්‍රධන් වීර්යයෙහි ඵලය ලැබූ ආකාරය යි.

විවේකී මනසගෙනෙයි සතුට


තමන්ගේ අඩුපාඩුවලට, වැරැදිවලට අන් අයට චෝදනා කිරීම සමහර අයගේ සිරිත ය. එහෙත් විවේකී මනසින් සිතා බැලුවේ නම්, ඒ සියල්ලට වැරැදි තමන් ම මිස අනුන් නොවන බව වටහා ගැනීම අසීරු නැත.
කෙනෙකුගේ ජීවිතයේ වගකීම් දැරීමට අනෙකෙකුට නො හැකිය. වගකිව යුතු තමන්ම ය. එය හුරු පුරුදු කළ යුත්තකි. අන් අයට දොස් නොනඟා තමන්ගේ අඩුපාඩු, දුර්වලතා පිළිගන්නට සූදානම් විය යුතු ය.
එතරම අන් අයට චෝදනා කරන්නේ නො හික්මුණු පුද්ගලයා ය. හික්මුණු, නුවණැති පුද්ගලයා ගේ ලක්ෂණය අනුන්ට දොස් නොකියා වරදට හේතුව සොයා බැලීම ය. වරද තේරුම් ගෙන එය නිවැරැදි කළ හැකි නම් ලෝකයේ ප්‍රශ්න හා ගැටුම්වලට ඉඩක් නැත. එහෙත් අපක්ෂපාතීව සිතා මතා කටයුතු කරන අය අඩු ය. මිනිසා සිය වරද සඟවා ගන්නේ ද, යටපත් කරන්නේ ද සිතෙහි වන වංචනික ගතිය නිසා ය. ධම්ම පදයේ බාල වග්ගයේ දී

“ යොබාලො මඤ්ඤති බාල්‍යං
පණ්ඩිතො වාපි තෙන සො,
බාලො ව පණ්ඩිතමානී
ස වෙ බාලොති වුච්චතී”

නුවණ නැති කෙනෙක් තමන්ගේ නුනුවණකම් දන්නේ නම්, එහෙයින් හෙතෙම පණ්ඩිතයෙක් වන බවත්, යම් අයෙක් මට වඩා පණ්ඩිතයෙක් කවුදැයි සිතමින් පණ්ඩිත ගති පෙන්වනවා නම් ඔහු ඒකාන්තයෙන් ම අඥානයෙක් වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
යම් කෙනෙක් ජීවිතයේ දුකට, නොසතුටට මුහුණ දෙනවා නම් එහි වගකිව යුතු අන් කිසිවෙක් නොවේ. තමන් ම ය. නිවැරැදිව සිත පාලනය කරගත නොහැකි වුවහොත් දුක වැඩිවනු ඇත. එය ලෝකයාගේ වරදක් නොවේ. නිවැරැදි වන්නට නම් පළමුව එය තමන්ගේ ම වරදක්, අඩුපාඩුවක් බව වටහා ගන්න. තමන්ගේ දුකට හේතුව මිය ගිය ඥාතියෙකුගේ බලපෑමක් හෝ පවුලේ අයගේ ශාපයක් ද නොවේ. එය යක්ෂයකුගේ හෝ දෙවියකුගේ බලපෑමක් ද නොවේ.

සිහි මුළා වූවොත්..

බුද්ධ දේශනාවට අනුව සෝතානුදත යනුවෙන් සූත්‍රයක් තිබෙයි. එය ඉතාමත් ම වැදගත් ය. බොහෝ වේලාවට බණ ඇසූ, බවුන් වැඩූ, ධර්මය වඩා, පින්කම් කළ, උපාසක උපාසිකාවන්ට මරණාසන්න මොහොතේ දී විවිධාකාර අනතුරු ඇති විය හැකි යි. ඇතැම් විට මොළයට හානිදායක විය හැකි යි. ඇතැම් විට ස්නායු ආබාධ විය හැකි යි. එවැනි හේතු මත සිහි මුළා වන්නට ඉඩ ඇත.

ඇතැම් විට දුශ්ශීල කෙනෙකුගේ අකුසල් බලවත් ව, සිහි මුළා විය හැකි යි. එලෙස සිහි මුළා වන්නා ඒකාන්තයෙන් අපායගාමී වෙයි. බුදුන් වහන්සේ ශීල විපත්ති අතර පෙන්වා වදාළේ, දුශ්ශීල වූවෝ සිහි මුළාව මරණින් මතු අපායගාමී වන බවයි. එය දුශ්ශීලයාට ලැබෙන විපාකය යි. නමුත්, කෙනෙක් හොඳින් සිල් රැක, දන් දී භාවනා කළ ද, ධර්මය දියුණු කළ ද , එවැන්නෙකුට වුව ද දුශ්ශීල ව සිහි මුළා විය හැකි යි. ඇතැම් විට අනතුරකින් ස්නායු ආබාධයක් ඇති විය හැකි යි. ඇතැම් විට මොළයේ ශල්‍ය කර්මයක් නිසා ක්‍රමයෙක් සිහි කල්පනාව ටිකෙන් ටික අඩු වී සිහිය නොඑන්නට ද පුළුවනි. ඇතැම් විට පාකින්සන් , කෝමා වැනි රෝගයන් නිසා මොළයේ ස්නායු මැරී යන්නට පුළුවනි. ඇතැමුන් හදිසි අනතුරු නිසා අවුරුදු ගණනාවක් දිවි ගෙවන්නේ තාක්ෂණික මෙවලම් තුළ යි. මේවා කායිකව සතර ධාතූන්ගෙන් හටගත් මේ ශරීරයට සෑදිය 

හැකි අනතුරු වෙයි. මෙවැනි ලෙඩ රෝග නිසා, බණ භාවනා කළ කෙනෙකු පවා සිහි මුළා විය හැකි යි. එවිට කෙනෙකුට මෙසේ සිතෙන්නට පුළුවනි. අනේ! එසේ වූ විට අප කළ පින්කම් එකක්වත් වැඩකට නැති වෙයි ද? සිහි මුළා ව මිය ගියොත් වැඩක් නෑ නේද? යනුවෙනි.

නොසන්සුන්කම මෝහය නිසයි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 14



" මෝහය ඇතිවෙන්න පුළුවන් උද්ධච්චය නිසා, විචිකිච්ඡාව නිසා. අපේ හිතේ නොසන්සුන්කම ඇතිවෙන්නේ මෝහය නිසා. අපි කියමු එකම අරමුණක සිත තියාගන්නට බෑ. භාවනාව එක අරමුණක තියාගන්න බෑ කියලා. ඒ කියන්නේ හිතේ උද්ධච්චයයි. එය ඇති වන්නේ මෝහය නිසයි."

මෝහය නම් මුළාවයි.
‘දුක්ඛේ අඤ්ඤානං
දුක්ඛ සමුදයේ අඤ්ඤානං
දුක්ඛ නිරෝධේ අඤ්ඤානං
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය අඤ්ඤානං”



මේ දුක, දුකට හේතුව, දුක නැතිකිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන අනවබෝධයයි, නොදැකීම යි. මෝහය කියා කියන්නේ. ‘මූය්හ තීති මෝහෝ යමෙකුට මුලාවුණු ස්වභාවයයි. මෝහය ඇතිවෙන්න පුළුවන් උද්ධච්චය නිසා, විචිකිච්ඡාව නිසා අපේ හිතේ නොසන්සුන්කම ඇතිවෙන්නේ මෝහය නිසා. අපි කියමු එකම අරමුණක සිත තියාගන්නට බෑ. භාවනාව එක අරමුණක තියාගන්න බෑ කියලා. ඒ කියන්නේ හිතේ උද්ධච්චයි. එය ඇති වන්නේ මෝහය නිසයි. අපි කියමු පොතක් කියවන්න ගියත්, බණක් අහන්න ගියත් භාවනා කරන්න ගියත් හැම වේලාවේ ම සැක. බුදුරජාණන් වහන්සේ ගැන සැක, ධර්මය ගැන සැක, මහා සංඝයා ගැන සැක, බුදුගුණ, දහම් ගුණ, ධර්ම කරුණු ගැන පොත්පත්වල ඇති ධර්ම කරුණු ගැන දේශනා කරලා තියෙන දේ ගැන සැක. තමා රකින ශීලය ගැන සැක. පෙර ජීවිතය ගැන සැක, මතු ජීවිතේ ගැන සැක. අතීත ජීවිත, වර්තමාන ජීවිත මෙලොව පරලොව ජීවිත ගැන සැක. පටිච්ච සමුප්පාදය ගැන සැක. මේ සැක ඇතිවෙන්න ඇතිවෙන්න මොකද වෙන්නේ? මෝහය උත්සන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ මෝහය සම්පූර්ණයෙන් ම නැති කළ නිසා අප කියනවා ‘අරහං’ කියලා .

ඊළඟට පින්වතුනි,

සත්වගට සෙත් සදන මග


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
නහනෙය්‍ය න ඝාතයෙ

සකල ජන සෙත සදන අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි සවග භික්ෂූන් හා සතළොස්වග භික්ෂූන් අතර ඇති වූ ගැටුමක් අරබයා මෙම ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක.
මෙ කල සවග හෙවත් සයනමක් ප්‍රධානත්වයෙන් වර්ග වූ භික්ෂු පිරිසක් හා සතළොස්වග හෙවත් දාහත් නමකගෙන් වර්ග වූ භික්ෂු පිරිසක් අතර ගැටුමක් හටගෙන එය දණ්ඩනයෙන් කෙළවර විය. හේතුව සෙනසුන්වල අයිතිය බෙදා ගැනීමට යාම ය.
එක් දිනක් සතළොස්වගට අයත් භික්ෂූහු සැතපීමට සෙනසුන් පිළියෙල කරගත්හ. සවග භික්ෂූන් වැඩිමහල් වන අතර එම සෙනසුන් බලහත්කාරයෙන් ගන්නට ප්‍රයත්න දරනවිට සතළොස් භික්ෂූන් එයට අකමැති වූ බැවින් සවග භික්ෂූහු සතළොස් වග භික්ෂූන්ට පහර දුන්හ. අප බුදුරජාණන් වහන්සේ මෙම කාරණය නිමිති කරගෙන විනය නීතියක් පනවා මෙම උතුම් ගාථා ධර්මයෙන් ලෝකයේ සෑම සත්වයන්ගේ ම වන ස්වභාව ධර්මයක් දේශනා කළ සේක.
සියලු සත්වයෝ දඬුවමට තැති ගනිති. එමෙන් ම මරණයට බියවෙති. සියලුම සත්වයෝ තමාගේ ජීවිතයට පි‍්‍රය කරති.
පින්වත්නි, මාතෘ ගර්භයේ කළල රූපයේ පටන් පිළිවෙලින් වැඩෙන, ඉපදෙන්නට සිටින, ඉපදෙන, යළි ක්‍රමයෙන් වැඩෙන මැරෙන තුරු ජීවිතය ගෙන යන සියලු සත්ත්වයන්ගේ එකම අපේක්ෂාව ජීවත්වීමයි. ඒ අපේක්ෂාව කුමන ක්‍රමයකින් හෝ බිඳවැටීමට අකැමැත්තක්, භීතියක් , ත්‍රාසයත්, එකවන් ව ඇති වන්නේ ය.

සැහැල්ලු ජීවන ගමනක්


" ජීවිතයෙහි පැමිණි දුරත්, යන වේගය ත්, වේගයේ රිද්මයත් සැහැල්ලු කරගනිමින් ඒපිළිබඳ විමසන දිනය අෂ්ටාංග ශීීලය සමාදන් වන පුර පොහොය දවස ය. එය මනසට අවශ්‍ය දෙයකි. වෙනත් දිනවලට පවතින මානය, ක්‍රෝධය, එදිනට යම් ප්‍රමාණයක හෝ අඩුවක් පවතින නිසා එදිනටත් එය පුහුණු කළ යුතු ය."
බෞද්ධ අනුගාමිකයාට මූලික අරමුණු දෙකක් ඇත. පුද්ගලයෙකු මෙලොව උප්පත්තිය ලැබුවාට පසුව මරණය දක්වා කාලය තුළ සාර්ථක, යහපත් ,අර්ථවත් ජීවිතයක් ගතකිරීම හා පරලොව ජීවිතය සාර්ථක කර ගැනීම එම අරමුණු ෙවි. සෑම පුද්ගලයෙකුම තමාගේ ජීවිත කාලය තුළ තමා බලාපොරොත්තු වූ සියල්ල ලැබෙන්නේ නැත. සෑම පුද්ගලයෙකුම තමා අපේක්ෂා කරන සියල්ල ලැබුවද, තමන් බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා කිසියම් අඩුවක් තුළ එය ලබාගනී. තමන් ලැබූ සියලු බලාපොරොත්තුවල අඩුවක් පවතී. එය සෑම පුද්ගලයෙකුටම පොදු කාරණාවක් බව අවබෝධ කරගත යුතු වේ.

Sunday, January 21, 2018

කුසලය බලවත් නම් උපත සුගතියක ය

දෙව් ලොව උපත ලබන්නට කෙනෙකුට වැදගත් ම වන්නේ ශ්‍රද්ධාව යි. බුද්ධ ශාසනයක් ඇතිවන කාලවල බොහෝ දිව්‍ය පිරිස බහුල වෙයි. එවිට දෙවිවරු බුදුරදුන් මුණ ගැසී දිව්‍ය පිරිස් බහුලවීම ගැන සතුටු වෙයි.
දෙව්ලොව දෙවිවරු අතර සුර අසුර ගැටුම් ඇති වෙයි. ඒ සුර දෙවිවරු ධර්මයට ලැදි , ධර්ම මාර්ගයේ හැසිරෙන, තෙරුවන් සරණ ගිය, මාර්ග ඵල ලාභී, දෙවි දේවතාවෝ වෙති. බොහෝ පිරිසක් චාතුර්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතී, පරනිම්මිත වසරවර්ති දිව්‍ය ලෝක හයෙහි ම වැඩ සිටිති. මනු ලොව ආසන්නයේ පිහිටි චාතුර්මහා රාජිකය, තාවතිංසය දෙකෙහි අධිපති වන ශක්‍ර දෙවියන් සුර දෙවියන්ගේ නායකයා වෙයි. ශක්‍ර දෙවියන් සමඟ නිබඳව ම ගැටුම් ඇති කර ගන්නේ අසුර පිරිස යි. ඔවුන් ක්ෂණිකව කෝප වෙයි. ඇතැම් විට ගැටුමට පැමිණෙයි. දෙවියන් යනු කෙලෙස් සහිත පිරිසකි. ඇතැම් විට ඔවුන් දෙව් ලොව සිටිය ද දිගින් දිගට වෛර බැඳගෙන පළිගන්නා පිරිසකි. ඒ අය හඳුන්වන්නේ අසුර පිරිස යනුවෙනි. සුර අසුර ගැටුම ඇතිවූ ආකාරය කෙසේදැ’යි බුද්ධ දේශනාවෙහි සඳහන් වෙයි.

බලයෙන් මත්වන්නේ බලයෙන් මත්වන්නේ දුබලයන් ය


ලෝකය පුරා අද පවතින්නේ බල තරගයක්. මේ සඳහා හැම කෙනෙක් ම දැඩි උත්සාහයක යෙදී ක්‍රියා කරනවා. තමන්ට කිසියම් බලයක් නොමැති අවස්ථාවල දී ඇතැම් පුහුදුන් පුද්ගලයෝ අයුතු ලෙස නැති බලයක් පාවිචචි කර සමාජයේ අකටයුතුකම් කරනවා. නැතිනම් තමන්ගේ අරමුණු ඉටු කරගැනීමට ක්‍රියා කරනවා. මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ එන ගාථා පාඨයකින් අපට මැනවින් පැහැදිලි කර දී තිබෙනවා.

“පුත්තාමත්ථි ධනම්මත්ථි - ඉති බාලො විහඤ්ඤති, අත්තාපි අත්තනො නත්ථි - කුතො පුත්තා කුතො ධනං” මෙය තමයි ලෝකයේ පවතින සැබෑ ඇත්ත. අපි බොහෝ දෙනෙක් ක්‍රියා කරන්නේ, අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා පාඨයෙන් අපට පැහැදිලි කරලා දෙන ආකාරයට තමන්ගේ බලවත් පුතුන් ගැන, ධනය ගැන, පිරිස් ගැන කියමින්, සිතමින් තමන් සතුව නො පවතින බලපුළුවන්කාරකම් පෙන්වලා ලෝකයේ ව්‍යාජ ප්‍රතිරූපයක් තමා පිළිබඳව ගොඩනගාගෙන යි. ඒ වගේම තමා ධනයෙන් මත් වූ පිරිස. ඔවුන් හැමවිට ම පෙන්වා දීමට උත්සාහ වන්නේ, යුක්තිධර්මයට එකඟ නො වී හෝ අයුක්තියෙන් අසාධාරණයෙන් සොයා සපයා ගත් ධනය ගැන මත් වී, ඒ බලය අනිසි ලෙස යොදා, සමාජයෙහි පෙන්වා තම ශක්තිය ගොඩ නගා ගැනීමට යි. මේ ක්‍රියා දෙක ම මුළාවට පත් වූවන්ගේ සිතිවිලි ක්‍රමය ක්.

කළණ මිතුරු සැපත ( සීහළවත්ථු කතා: )

මාගේ කුටිය සමීපයෙහි එක් ඇතින්නක් විසී ය. ගැබිනි වූ කල ඇය එහි ම පැටියකු වැදුවාය. පැටියකු වැදූ පසුව පෙර වෛරක්කාරියක් වූ එක් යකින්නක් පැමිණ ඒ පැටවා කා දමන්නී ය. මේ උපද්‍රවයෙන් බොහෝ සේ පීඩිතව දුකෙන් සිටි ඒ ඇතින්නිය මේ ඇතා කුඩා අවදියේ දී මාගේ කුටිය වෙත පැමිණ ඇතින්නියගේ සොඬින් ඇත් පැටවා මාගේ අතෙහි තබා මට භාර කළාය."
සුරට්ඨ නම් ජනපදයෙහි ‘අච්චිමන්තසේල’ නමින් පර්වතයක් තිබුණි. එහි ගුහාවක ෂඩ් අභිඥා ලැබූ මහත් සෘද්ධි අනුභාවයෙන් යුතු රහතන් වහන්සේ නමක් වැඩ සිටි සේක. ඒ පර්වතය ඇසුරු කොට ගෙන එක්තරා ඇතෙකු ජීවත් විය. මේ ඇතා නිරතුරුව ම ඒ රහතන් වහන්සේට උපස්ථාන කළේ ය.

දිනක් දඩයමේ යමින් සිටි එක් වැද්දෙකු මේ ඇතා කැලයේ සැරිසරනවා දැක රාජ භවනට පැමිණ “දේවයන් වහන්ස, ශුභ ලකුණුවලින් යුතු ඔබතුමාට යෝග්‍ය වූ ඇතෙකු අසවල් ගමට ආසන්නව ඇති කැලයේ වෙසෙන්නේය යි කීවේය.
ඇතා දිනක් ස්වාමින් වහන්සේට උපස්ථාන කරමින් සිටිය දී රාජපුරුෂයන් පැමිණ ඇතා අල්ලා උජ්ජේනියට ගෙන යාමට සැරසුණ ද, ඇතා ස්වාමින් වහන්සේ වටේ කැරකෙමින් හඬන්නට විය.

සසුනේ ආරක්ෂාවට කාන්තා බලවේගය ...


‘ඉත්තීපි පණ්ඩිතා හොන්ති
තත්ථ තත්ථ විචක්ඛණා’



එදා කොසොල් රජුට දියණියක උපන් වේලාවේ එතුමා බොහෝ දුකට පත්වී ය. ඒ, ඉන්දීය බමුණු සමාජයේ පැවැති මතවාදයට අනුව දියණියකගේ උපත අවාසනාවේ සලකුණක් ලෙස සැලකූ හෙයිනි. එහෙත් කොසොල් රජු අස්වැසූ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ ගැහැනු දරුවෙකු ඉපදීම කිසිසේත් ම දුකට කරුණක් නොවන බව ය. ඇය ද නුවණින් හා විචක්ෂණශීලී බවින් පොහොසත් වන බව ය.

බුදුදහමට අනුව සමාජ කාර්යභාරයේ දී පිරිමින් හා සමාන ලෙස කාන්තාවන් ද වගකීම් ඉටුකරන පිරිසක් ලෙස පිළිගනී. දැනට ලංකාවේ ථෙරවාදී සංස්කෘතික සම්ප්‍රදායට අනුව කාන්තා පැවිද්ද ගැළපෙනවාද? නොගැළපෙනවාද? ඇයට උපසම්පදාව දීම සුදුසු ද? නුසුදුසුද? යන්න පිළිබඳව සංවාදයක් ගොඩනැඟී තිබේ. මේ ගැටලුවේ දී දීමට හැකි හොඳම පිළිතුර වන්නේ චුල්ලමාළුඤ්ච පුත්ථ හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් පිළිතුර හා සමාන පිළිතුරකි.

අමතක කළහැකිද? අම්මා...

මිනිස් දරුවන් ලෙස මෙලොවට බිහි වූ අපගේ ජීවිත යහමඟට ගැනීමේ සද්කාර්ය ඇරඹෙන්නේ අම්මාගේ හදවතිනි. ඉපදුණ දා පටන් ලබා දුන් ඒ අනුපමේය දායාදය ගැන ලොකු මතකයක් නැත්තේ ළාබාල වියේ බොහෝ මතකයන් අපගෙන් ගිලිහි ගොස් තිබෙන නිසාවෙනි.
හොඳ, නරක, යහපත, අයහපත තෝරාබේරා දෙමින් යහපත් මිනිසෙකු වශයෙන් අප සමාජගත කරන්නට අම්මා දරන වෙහෙස අපමණ ය. සැබැවින්ම අප දුකට, කඳුළට, සිනහවට සංවේදී හෘදයාංගම මිනිසුන් බවට පැමිණෙන්නේ අම්මාගේ ගුණ ධර්ම අපගේ ජීවිතයටද එකතු වීම නිසා ය.
විශ්වයේ ජීවයත්, අම්මාත් අතර ඇත්තේ නො බිඳෙන සම්බන්ධතාවයකි. දරුවා පිළිසිඳ ගත් දා පටන් ම අම්මා දරුවා සමඟ අධ්‍යාත්මික ගනුදෙනුවකට එක් වන්නී ය. නූපන් දරුවාගේ හැඩය, පැහැය, ස්ත්‍රි, පුරුෂභාවය කිසිවක් නො දැන ඇය දරුවාට කථා කරන්නී ය.

Saturday, January 20, 2018

සර්වඥ ධාතූන් වහන්සේලාට අපහාස කළ අකුසලය ( කළ කම් පළදෙන හැටි )

බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්උයනේ දී පිරිනිවන් පා වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වානයෙහි ආදාහන කටයුතු අවසන් කළ පසු සම්බුදු සිරුරෙහි පැවැති සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනීය පූජනීය කොටස් ලෙස බෙදා දුන්හ. එම ධාතූන් වහන්සේලා බොහොම ගෞරවයෙන් වැඩමවා පුදපූජා පැවැත් වූහ. අජාසත්ත රජතුමා තමා ලද ධාතූන් වහන්සේලා වැඩමවාගෙන වසර හතක්,මාස හතක්,දින හතක් පුරා බුදුගුණ සමරමින්, සිහිකරමින් පුද පූජා පවත්වා ඇත.
මේ ආකාරයට සර්වඥ ධාතු වන්දනය යන අදහස ලෝකය තුළ ඇති විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ මෙනෙහි කළ බෞද්ධයෝ උන්වහන්සේගේ සිරුරෙහි තිබූ කොටස් සර්වඥධාතූන් වහන්සේලා ලෙස වන්දනාමාන කළහ. මේ ආකාරයට සර්වඥ ධාතු වන්දනය ආරම්භ විය. බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලාට නිග්‍රහ කිරීම, අවමන් කිරීම, අවතක්සේරු 

සැනසිලිදායක නිවහනක් ...

දුර්වලකම් හඳුනාගෙන ඒවායින් ඉවත්වීමට උත්සාහ නොකරන්නේ නම්, මොනතරම් අනාගත සැලසුම් සකස් කළ ද ඒවා අසාර්ථක උත්සාහයන් වනු ඇත. මේ නිසා වටිනා ඵලදායී ජීවිතයකට අවශ්‍ය කරුණු කිහිපයක් කරණීය මෙත්ත සූත්‍රයේ මූලික කරුණු ඇසුරෙන් සලකා බැලීම අද වැනි දිනයක වැදගත් වනු ඇතැයි සිතමි.
එක මොහොතක් හෝ අපතේ නොයවමින් දින චරියාවකට අනුව කටයුතු කළ බුදුරජාණන් වහන්සේ අවුරුදු හතළිස් පහක් තුළ මොනතරම් මෙහෙයක් ඉටුකර ඇති දැයි බලන්න. අපේ රටේ සිටි වැදගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයින් ක්‍රමවත් වැඩසටහනකට අනුව දවස ගත කළ අයුරු ඉතිහාසය අපට කියා දෙයි. දෙවන පැරකුම්බා රජු නියමිත වේලාවට ආගමික වතාවත් ඉටුකළ අයුරුත්, රාජ්‍ය පාලකයකු ලෙස තම වගකීම් සඳහා දවස සැලසුම් කරගත් අයුරුත් අපට වැදගත් පාඩමකි.
දිනය සැලසුම් කිරීමේ දී, උදේ සහ සන්ධ්‍යාවෙහි සිදුකරනු ලබන ආගමික වතාවත් පිළිබඳවත් විශේෂයෙන් පොහෝ දිනයෙහි විහාරස්ථානයට ගොස් සිදුකළයුතු ආගමික වතාවත් ගැන ද මූලික අවධානය යොමුකරන්න. ඉගෙන ගන්නා ශිෂ්‍යයකු වශයෙන් තම දින චරියාව සකස් කරගත යුත්තේ බොදු හැදියාව සමඟ අධ්‍යාපනික ජීවිතය ද ගොඩනැංවෙන අයුරෙනි. අරුණට පළමු නැඟිටීමට පුරුදුවන්න. එය ප්‍රබෝධවත් ජීවිතයට මහත් ශක්තියකි. උදේ හිරුරැස් වැදීමෙන් ගස්වැල් පවා නව පණක් ලබයි. අප කරන කාර්යයන්හි ඵලදායීත්වයට අරුණ තුළින් ලබන පිබිදීම මහත් ශක්තියකි. ඒ තුළින් දවස තුළ කළයුතු කාර්භාරයට සූදානම් වීමේ වටිනා අවස්ථාව උදාවනු ඇත.
එදිනෙදා ගෙදර කටයුතු ඉටුකරගැනීමේ දී පවුලේ සමගි සම්බන්ධතාවය ඉතා වැදගත් ය. මෙහිදී සෑම කෙනෙක් ම අදාළ කාර්යයන්හි කොටස්කරුවකු වන අයුරින් බැඳී කටයුතු කරන්නේ නම්, එම නිවස සැනසිලිදායක තැනක් වන බව අමුතුවෙන් කිවයුතු නැත. ගෙදර හා සම්බන්ධ කාර්යය භාරය තනි අයෙකුට කරන්නට සිදුවුවහොත් මොනතරම් කායික හා මානසික පීඩනයකට ඔහු හෝ ඇය පත්වෙනවාදැයි බලන්න.

බුදුදහම අවධාරණය කළ සමානාත්මතාවයේ අගය

පිනිබර දුරුත්තෙහි පුන්සඳ උදාවන මොහොතේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනය සිදුවිය. භාරතීය ජන සමාජය තුළ මුල් බැසගෙන තිබූ දැඩි ගෝත්‍රවාදය ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ ගංගා, යමුනා, අචිරවතී ආදී සිවු මහා ගංගා ගලා බසින විට එහි ජලය ඒ ඒ නමින් හැඳින්විය හැකි බවත්. එහෙත් ඒ ජලය මහ සමුද්‍රයට එක් වූ විට එය හඳුන්වනු ලබන්නේ සමුද්‍ර ජලය ලෙසත් වන බවය. එමෙන් භාරතීය සමාජයේ බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර ආදී කවර කුලයකින් පැමිණ පැවිදි වුව ද ඒ සියලු දෙනා හඳුන්වන පොදු නාමය “භික්ෂු” යන නාමය හෙවත් ‘සංඝ’ යන පොදු නාමය බව පෙන්වා දුන්හ.


ඉතා ක්‍රමානුකූල පදනමක් මත පිහිටා බුදුරජාණන් වහන්සේ බුදුසසුන පිහිටුවාවූ බව පැහැදිලි වේ. සංඝ යන්නෙහි වටිනාකම පැහැදිලි කළ බුදුපියාණන් වහන්සේ සංඝ යන පොදු නාමයට පත්වන තැනැත්තා හිමිකරගත යුතු සමාජ වටිනාකම ද පැහැදිලි කළහ. මහවතුරක් ගලා එන්නාසේ පොදු ජනයා සඟ සසුනට ඇදී ආහ. සසුනට ලැබුණු ප්‍රත්‍ය පහසුකම් කෙරෙහි ආශාවෙන් ද, රාජ උදහසට ලක් වූවන් ද, සොරුන් මං පහරන්නන් ආදී වශයෙන් විමුක්ති මග නොසොයා පැමිණි ඇතැම් විවිධ අය ද සසුනට ඇතුළත්වීමට උත්සාහ කළහ. ඒ නිසා ම සසුනට ඇතුළත්වීමට යම් කොන්දේසි පැනවීමට ද ඇතැම්විට සිදුවිය. මහා වග්ගපාලියේ ඒ පිළිබඳ සඳහන් වේ.

Friday, January 19, 2018

ජීවන ප්‍රතිපදාවට ..

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශීත ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙහි කෙලෙස් සතුරෝ තිදෙනෙක් මතුකොට දක්වයි. ඒ රාගය හෙවත් ඇලීම ය. ද්වේෂය – තරහවය. මෝහය නම් වූ මුළාවය.
මේ ලෝක සත්ත්වයන් දීර්ඝ කාලයක් ඉපදෙමින් මිය යමින් සසරෙහි අපමණ දුක්විඳ තිබේ. දීර්ඝව පැමිණි සසර ගමනේ දී මෙන් ම මේ ජීවිතයේ ද බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරුවේ. ඒ දුක්ඛ වේදනාවන්ට සැබෑ හේතුව කුමක් ද? නුවණින් විමසා බලන්න. රාගය නම් වූ ආලය නිසා ම බව නොවේ ද? ආලයක්, ඇලීමක්, බැඳීමක්, ආදරයක් , සෙනෙහසක් නැතිව කෙසේ නම් ජීවත් වෙන්නදැයි ඇතැමෙකුට ප්‍රශ්නයකි. නැතිවම බැරි යැයි සිතූ ආලය, ඇලීම ආදරය නිසා ඔබ කොපමණ නම් හඬා වැළපී තිබෙනවා ද? අහිමි වීම් දරා ගන්නට නොහැකිව කොපමණ නම් පීඩාවට, වේදනාවට පත්ව තිබෙනවා ද?
වරෙක සුවයක් දැනෙන්නට ඇති. එහෙත් ඒ සුවය තාවකාලික වූවා නොවේ ද? රාගයෙන් මත්වී, අන්ධවී කළ ක්‍රියා නිසා තමාටත්, අන් අයටත්, ජීවත්වන පරිසරයටත්, මිනිස්කමටත් සිදු වූ නිගාවන් කොපමණ වෙත් ද?

චක්ඛුපාල හිමියන්ගේ කතාව ( යමක වග්ගය )

" සිත පෙරටු කොට - සිත ම මුල් කොට
සිතෙන් උපදිති – දහම හැම විට
කතාවට හෝ ක්‍රියාවට යම් – නපුරු සිතිවිලි පෙරටු වේ නම්
ලෙසට රිය සක ගොනු අනුව එන – ලැබෙයි දුක් වේදනා සතහට "
‘අකුසල දහමට මුල් වන්නේ සිත ය. කිළිටි වූ සිතින් අකුසල් කළ තැනැත්තා පසු පස දුක ලුහු බඳින්නේ ය.’
මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතෝ නං දුක්ඛමන්වෙති
චක්කං’ව වහතො පදං
මේ ගාථාව භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ විසූ සමයෙහි චක්ඛුපාල නම් දෙනෙත් අඳ තෙර නමක් අරභයා වදාරන ලද්දකි.
චක්ඛුපාල හිමියෝ බුදුරජාණන් වහන්සේ වැඳ පුදා ගනු පිණිස වරක් ජේතවනාරාමයට පැමිණියහ. එදින රැයෙහි සක්මන් භාවනාවෙහි යෙදුණු උන්වහන්සේට පෑගී කෘමී සත්තු රැසක් මිය ගියහ. දෙනෙත් නොපෙනෙන හෙයින් මෙය නොදැනුවත්කමින් සිදු වූවකි. උදෑසන පිබිදුණු හිමිවරු කීපනමක් මිය ගිය කෘමීන් දැක ඒ ගැන බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළහ.
“චක්ඛුපාල හිමියන් ඒ සතුන් මරණවා ඔබ දැක්කාද?” යි උන්වහන්සේ ප්‍රශ්න කළහ.
“නැත ස්වාමීනි”

සැමට සෙත සදන පිරිත් දෙසුම

පිරිත් දේශනාව පිළිබඳ තොරතුරු විවිධ සූත්‍රවල දී මෙන් ම ජාතක කතා, ධම්මපද ගාථා යනාදියෙ හි ද දක්නට ලැබේ. බෝධිසත්ව චරිතය ගැන කියවෙන රණමයුර ජාතක කතාව තුළ ද පිරිත් දේශනා පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.

ඛුද්දක නිකායේ ධම්ම පදයේ සහස්ස වග්ගයේ 8 වෙනි ගාථාවට අදාළ නිදාන කතාව තුළ පිරිත් දේශනාව පිළිබඳ ව අගනා තොරතුරු ගණනාවක් අනාවරණය වේ.

Friday, January 12, 2018

දුක මිස සැප නැති අපාය

පසුගිය ලිපි පෙලින් අට මහා නරකය ගැන සඳහන් වුණා. සතර අපායේ දුක මිස සැප නැහැ. සත්ත්ව ඝාතනය, සොරකම, කාමමිථ්‍යාචාරය, බොරුව, මත් ද්‍රව්‍ය පානය කිරීම, අධාර්මික ජීවිකාව සහ වෙළෙඳාම, මවට පියාට නොසැළකීම සහ තර්ජන ගර්ජන අපහාස කිරීම, පංචානන්තරීය පව් කිරීම, තෙරුවන්ට, පින්වතුන්ට , ගුණවතුන්ට නිග්‍රහ කිරීම, අසාධාරණ නඩු තීන්දු, බොරු චෝදනා ආදී අනේකවිධ පාපයන් සිදු කරන්නන්ට දරුණු විපාක ලබා දෙන්නේ අපායෙනි.
සතර අපාය අනන්ත දුක් ලබා දෙන තැනකි. මේ අපායන්ට පත් වූවෝ මින් මතු පව් නොකරන්නේ යැ’යි පොරොන්දු වෙමින්, දුක් අෙඳීනාවන් අපමණ නගති. මේ ගැන හොඳින් දැනුම්වත් ව පොත පතින් දැනුම ලබන්න. දිව්‍ය, බ්‍රහ්ම ලෝකයන්හි තතු දැනකියාගෙන පවින් වැළකිය යුතු යි. ඒ සඳහා පින් දහම් කළ යුතු යි. දරුණු පව් කළ සැවොම අටමහා නරකයට වැටෙයි. ඒ වටා තවත් ඔසුපත් නරකයන් දහසයකි. සියලුම නරකාදී අපාය එකසිය තිස් හයකි. මෙහි ඇති නිරි සතුන් ප්‍රමාණය ගණනය කළ නොහැකිව, එක් අයකුට තවත් අයෙක් නොපෙනෙනා සේ නිරි සතුන් අපමණ වෙයි. සැවොම මුව රැකගෙන මින් මතු පව් නොකරන බවට සිතා ගත යුතු යි. ලොවුතුරා බුදු කෙනෙක් මෙලොව පහළ ව අපා දොරටු වසන සුගතියට පත්ව නිවන් මඟ විවර කළා. මේවා හොඳින් වටහාගෙන දානාදී කුසල කර්ම රැස්කරගෙන අපායෙන් වැළකීමට වෙහෙස මහන්සි වන්න. අපායකට වැටුණොත් නැවත ගොඩ එන්නට ලෙහෙසි පහසු නැහැ. මුගලන් මහ රහතන් වහන්සේ තම දේශනාවල දෙව් ලොව සහ අපායේ තතු මෙලෙස යැ’යි වදාළ සේක.

සසර ගමනේ සැරි සැරීම

" නැවත ඉපදීම හෙවත් උපත ලැබිය හැකි ස්ථාන තිස් එකක් ප්‍රධාන වශයෙන් සඳහන්ව තිබේ. එය තිස් එක් සක්වල ලෙස ද දක්වා තිබේ. එනම් සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක හය, රූපාවචර බඹලොව දහසයක්, අරූපාවචර බඹලොව හතරක් යනුවෙනුයි. කුසලා කුසල කර්ම අනුව සත්ත්වයා මේ තිස් එකක් වූ සක්වල උපදිති.

අනේක ජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං

සිල්වතුන් දුසිල්වතුන් කරන අඥාන ඇසුර

ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව -අංක 13:

" මනුෂ්‍ය ආත්මයක් තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා බැලීමත්, කතා කිරීමත්, ඇසීමත් විශේෂයෙන් වැදගත් වෙයි. ඒ කරුණු තුන ම නොව එක් කරුණක් නැති වුවත් සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් පවත්වාගෙන යාම අපහසු ය. කෙනෙකුගේ ජීවිතයක අඟ පසඟ අඩුව පැවතීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අතීතයෙහි කරන ලද අකුසල කර්මයන් ය.
දද මිනිසුන් බස් ගෙන කිසි කලෙක ය
තද අකුසල් කොට කුසලින් වැළක ය
අඳ ගොලු බිහිරිව ලදුවත් මේ ක ය
මද පිනකුත් නො පිරෙයි බල නිසැක ය
ලෝවැඩ සඟරාවෙහි සඳහන් මෙම කවිය අපේ ජීවිතය මැනවින් පවත්වාගෙන යෑමට වැදගත් අදහසක් ඉදිරිපත් කොට ඇත. සමහර කාලයක මෝඩ මිනිසුන්ගේ අදහස් පිළිගෙන කුසල් කිරීමෙන් වැළකී බලවත් අකුසකුල් කිරීම නිසා අඳ, ගොළු, බිහිරි ලෙසින් මනුෂ්‍ය ආත්මයක් ලැබුවත්, බලවත් වූ ස්වල්ප පිනක්වත් ඒකාන්තයෙන් සම්පූර්ණ කරගත නොහැක්කේ ය යන්න එම කවියෙහි අදහස යි.

නිවන සැපතක් වන්නේ දුකක් නැති නිසා යමහාචාර්ය


එක්තරා පොකුණක මිතුරෝ දෙදෙනෙක් වාසය කළෝ ය. ඉන් එකෙක් ඉඳිබුවෙකි. ඔහුට ගොඩදිය දෙකම හුරු ය. ඉඳිබුවාගේ මිතුරා මාළුවෙකි. ඔහුට ගොඩබිම නුහුරු ය. දියෙහි ම ඉපිද එහි ම වසන හෙතෙම ගොඩබිම් පරිසරය නොදනියි. දිනක් ඉඳිබුවා පොකුණෙන් ගොඩබිමට පැමිණ දීර්ඝ සංචාරයක යෙදුණේ ය. ඔහුට බොහෝ දේ අසන්නට ද දකින්නට ද ලැබුණි. සවස් යාමයෙහි නැවත පොකුණට පැමිණි හෙතෙම තම හිතුරු මාළුවාට කථා කළේ ය.

තමා ගොඩබිම ඇවිද ආ බවත්, බොහෝ දේ දුටු බවත් පැවසුවේ ය. ඉඳිබුවා සිය ගොඩබිම අත්දැකීම් එසේ ඉතා සතුටින් හා උද්‍යෝයෝගයෙන් සිහිපත් කළේ ය. එහෙත් මාළුවාට කිසිවක් නො තේරිණි. “ ඒ කියන්නේ ඔබ පිහිනා ගිය බව නොවේදැ යි “ අවසානයේදී හෙතෙම විමසී ය. ගොඩබිම ඝණ බවත්, එහි පිහිනිය නොහැකි බවත්, ඇවිද යා යුතු බවත්, මාළුාවාට කියා දෙන්නට ඉදිබුවා බෙහෙවින් උත්සාහ කළේ ය. ඒ මාළුවාට කිසිවක් නො තේරුණි. ගොඩබිම ද , පොකුණ මෙන් ජලය ඇති, රළ සහිත, කිමිද පිහිනා යා හැකි තැනක් විය යුතු බව මාළුවා තදින් ම කියා සිටියේය. මෙය උපමා කථාවකි.
සසර වසන, කෙලෙස් සහිත පුහුදුන් තැනැත්තෙකුට සසරින් එතරවීමෙන් ලබන කෙලෙස් රහිත වු දුක්ඛ නිරෝධය හෙවත් නිවන යනු කුමක්දැයි කියාදීම පහසු කටයුත්තක් නොවේ. එය ඉඳිබුවා මාළුවාට පොකුණෙන් එතෙර ඇති ගොඩබිම ගැන කියා දීමට සමාන කළ හැකි ය.

තිසරණ සරණ ගොස් පන්සිල් සුරකිමු

"බුදුරජාණන් වහන්සේ “අභිසන්ධ” සූත්‍රයේදී වදාළේ යම් කෙනෙක් අවබෝධයෙන් තිසරණ සරණ යනවානම්, ඒ ශ්‍රාවකයාට පුණ්‍ය ගංඟා තුනක් ගලන බවයි. වර්තමානයේ බොහෝ බෞද්ධයන්ට මේ පුණ්‍ය ගංගා අහිමිවීම කනගාටුවට කරුණක්."
2018 වසර අදින් උදාවෙයි. නව වසරේ දුරුතු පොහොය දිනය ද අදට යෙදී ඇත. ජීවිතය ගැන හැරී බැලීමක් කිරීමට වැරැදි නිවැරැදි කර ගැනීමට මෙය හොඳම අවස්ථාවයි.
පසුගිය වසරවලදී අප තුළ තිබූ මිථ්‍යා දෘෂ්ඨික සිතිවිලි ඉවත්කර මේ මොහොතේ පටන් සම්මා දෘෂ්ඨියෙන් යුතුව කටයුතු කරන්නේ නම් උදාවූ වසර යහපත් කර ගැනීමට මග හසර උදාවනු ඇත.


ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේයි. අපට උන්වහන්සේගේ සරණ යාමේ දුර්ලභ අවස්ථාව උදා වී ඇත. එහෙත් අවාසනාවකට මෙන් මේ රටේ බෞද්ධ නාමයෙන් පෙනී සිටින බොහෝ දෙනෙකුට උන්වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් නැත; අවබෝධයක් නැත; වටිනාකමක් නැත.
එමෙන්ම ශී‍්‍ර සද්ධර්මය පිළිබඳවත් අගයක් වටිනාකමක් නැත. ආර්ය මහා සංඝරත්නය පිළිබඳවත් ඇත්තේ එබඳුම ආකල්පයකි. එයට හේතුව තුන් සරණය පිළිබඳ ඔවුන්ගේ නො දැනුවත්කමයි. අපගේ බහුතරයක් බෞද්ධයෝ බුදුරජාණන්වහන්සේ ගේ නව අරහාදී බුදුගුණ නො දනිති. ධර්මයේ ගුණ හය නොදනිති. ආර්ය මහා සංඝ රත්නයේ ගුණ නවය නො දනිති.

චේතනාත්මකව කර්මයක් කරයි ද එහි විපාකය ඒකාන්තයි




" චේතනාත්මකව කරන ලද්දා වූ, රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක, විඳීමකින් තොරව අභාවයට පත්වෙන බවක් මම නො කියමි. එම විපාක වනාහී මොලොවදී විපාක දෙන්න පුළුවනි. නැතහොත් ඊළඟ ජීවිතයේ දී විපාක දෙන්නට පුළුවන. නැතහොත් භවයේ උපදින තාක් කිසියම් තැන දී විපාක දෙන්නට පුළුවන."
අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් තථාගත බල දහයකින් යුතු වන සේක. මේ දෙව් මිනිස් ලෝකයා ඉදිරියේ අභීත ස්වරයෙන් උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්ථනය කොට වදාළේය. එනිසාම අප භාග්‍යවතුන් වහන්සේ දසබලධාරී නමින් හඳුන්වමු. උන්වහන්සේ තුළ පැවැති ඒ ඤාණ බලයන් අතරින් එක් ඤාණයක් වූයේ කර්මය විපාක දෙන ආකාරය ගැන මුළුමනින් ම දන්නා නුවණ යි.

Tuesday, January 9, 2018

ශෝකයට හේතුව කුමක් ද?

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 13:


 තණ්හාව නිසයි ශෝකය හටගන්නේ.
තණ්හාව නිසයි භය හටගන්නේ.
තණ්හාවෙන් අතමිදුන අයෙකුට ශෝකයක් නෑ."

බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා නොයෙක් ආකාරයේ බ්‍රාහ්මණවරු. ඒ වගේ ම සිටුවරු, ධනවත් අය, මේ හැමෝ ම එක එක දේවලට ආශා කරමින් ජීවත් වුණා. එක බ්‍රාහ්මණයෙකුට ශ්‍රද්ධාව නෑ. ශ්‍රද්ධාවක් නැති බ්‍රාහ්මණයා මිථ්‍යා දෘෂ්ඨිකයි. ඔහු කුඹුරක් හදන්න පටන් ගන්නවා.

මේ කුඹුර සකස් කරන්න පටන් ගන්නකොට ම බුදුරජාණන් වහන්සේ වඩිනවා කුඹුරට.බ්‍රාහ්මණය, නුඹ ‘මොකද කරන්නේ? ‘මම මේ කුඹුර හදනවා’ කතාව එපමණයි. බුදුරජාණන් වහන්සේ වැඩියා. තව ටික දවසකින් බුදුරජාණන් වහන්සේ නැවතත් වැඩියා. ‘බ්‍රාහ්මණය මොකද කරන්නෙ?’ උන්වහන්සේ ඇසුවා ‘මම දැන් මේ කුඹුර වපුරනවා.’ බ්‍රාහ්මණයා කීවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ විවිධ කාර්යයන් කරන අවස්ථාවන්හි කුඹුරට වඩිනවා. එතකොට මිථ්‍යා දෘෂ්ඨික වුණත් මේ බ්‍රාහ්මණයා තුළ හිතවත් කමක් ඇති වුණා. සමහර විට අපත් එහෙමනේ. අන්‍ය ආගමික කෙනෙක් අපට හැමදාම මුණ ගැහෙනවා නම්, හිතවත් කමක් ඇතිවෙනවා නේ ද? ඒ වාගේ හිතවත් කමක් ඇති වුණා. ඉන්පසු මොකද කරන්නේ? හිතවත් කමත් එක්ක ඉන්න කොට කියනවා ‘මගේ කුඹුරේ අස්වැන්න හොඳට නෙළුවොත් ඔබ වහන්සේටත් මම කොටසක් දෙන්නම්. 

Wednesday, January 3, 2018

පින්වත් චරිතයක් අවශ්‍ය නම් ...

 සාමාන්‍ය ජීවිතයේ දී පින්දහම් කිරීමට ධනය ම, මුදල් ම අවශ්‍ය නොවේ. ඕනෑකම තිබේ නම්, හිත ඇත්නම් ගෙදර දී වුව ඕනෑතරම් පින්කම් කිරීමට පුළුවන. සෑම දිනකම උදේ සවස බුදුන් වඳින්නට පුරුදු වන්න. විනාඩි පහක් පමණවත් මෛත්‍රි භාවනාව වඩන්න. මවුපියන්ට, වැඩිහිටියන්ට හැකි පමණ උදවු උපකාර කරන්න. ගරු කරන්න. මේවාට මුදල් ඇවැසි නොවෙයි. "
සැවැත් නුවර විසූ ලොකුම ධනවතා අනේපිඬු සිටුතුමා ය. ඔහුගේ නිවසේ, භික්ෂූන් වහන්සේ දෙදහසක් පමණ දිනපතා දන් වළඳති. ඒ ලෙසම විශාඛා මහෝපාසිකාවගේ නිවෙසේ ද දෙදහසක් පමණ භික්ෂූන් වහන්සේ නිතිපතා දන් වළඳති. සැවැත් නුවර වැසි බොහෝ ජනයා ද බුදු හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය තම තමන්ගේ නිවසට වඩමවා දානය පිරිනැමීමට කටයුතු කරති. ඒ සඳහා සූදානම්ව අනේපිඬු සිටුතුමාටත්, විශාඛාවටත් එම අවස්ථාවට සහභාගි වන ලෙස ආරාධනා කරති. මේ දෙදෙනාගේ පැමිණීම ඉතා වැදගත්යැයි ඔවුහු කල්පනා කළහ.
ඔවුන්ගේ සහභාගිත්වය නොමැතිව දෙන දානයෙහි බැබළීමක්, වටිනාකමක් නැතැයි සිතූහ. දානය දෙන්නේ කෙසේද? දන්බෙදන්නේ කෙබඳු ආකාරයට ද? භික්ෂූන් වහන්සේගේ ඕනෑ එපාකම් මොනවාද? එහි දී අනුගමනය කළ යුතු චාරිත්‍රවාරිත්‍ර මොනවාදැයි මේ දෙපළටම හොඳ අවබෝධයක් තිබුණි. මේ දෙදෙනා සිටින තැන භික්ෂූන් වහන්සේ ද පි‍්‍රයශීලිව හොඳින් දානය වළඳති. මෙසේ බොහෝ ඉල්ලීම් අනුව පිටත නිවෙස්වල දානමය පින්කම් සඳහා නිතර සහභාගි වන නිසා තමන්ගේ සිටු මැදුරුවල නිතිපතා පිරිනමන දානමය පින්කමට සහභාගි විය හැකි අවස්ථා අවම විය.

කාන්තා ලොවට මිණි පහනක් වූ යශෝධරා වත


ගැඹුරු දහමක් වටහාගත නොහැකි ඇතැම් ගැමි ජනතාව පුණ්‍ය සංකල්ප දෙසට යොමු කරවමින් ජනතාවගේ ජීවන ගතිපැවතුම් දිගුකලක් තිස්සේ සදාචාරවත් බව තුළ රැඳවීමට බෞද්ධ කතා සාහිත්‍ය විශිෂ්ට මෙහෙවරක් ඉටුකර ඇත. අතීත ශ්‍රී ලංකාවේ ජන සමාජය යහමගට යොමුකරවන ලද්දේ බෞද්ධ කථා සාහිත්‍ය මගිනි.


මහනුවර යුගයේ ලියවුණ කෘතියක් බවට බෝහෝ දෙනා විශ්වාස කරන යශෝධරාවත කාව්‍ය බොහෝ සේ වටිනා කෘතියක් වේ. මෙම කෘතිය තුළින් ආගමික වශයෙනුත්, සාහිත්‍ය වශයෙනුත් වටිනා කාරණා රැසක් පිළිඹිබු කෙරේ. බෞද්ධයන්ට පමණක් සීමා නොවන යශෝධරාවත කෘතිය අන්‍යාගමිකයන්ට පවා වටිනා කෘතියක් ලෙස සදහන් කළ හැකි ය. එම කෘතියෙහි සඳහන්ව පවතින පතිභක්තියෙහි ඇති වටිනාකම සමස්ත කාන්තා පරපුරටම ආදර්ශවත් බවක් එක් කරයි.
යශෝධරා දේවියගේ චරිතයේ වැදගත් අවස්ථා ඒකරාශී කොට ධම¡ ගෞරවය ගොඩනැගෙන පරිදි සංවේදී බව ආරක්ෂා කරගනිමින් රචනා කර ඇත. බෝසතාණන් වහන්සේ මවගෙන් වරම් ලබා, දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා, අනේක ජාති සංසාරයෙහි උප්පත්තිය ලබමින්, අනේක දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් ජීවිතය කැප කරමින් පාරමිතා පූරණය කරමින් අවසාන වශයෙන් වෙස්සන්තරව උප්පත්තිය ලැබූ ආත්මභවයේදීත් දරුවන් දන්දුන් ආකාරයත්, සිදුහත් චරිතය හා අවසන් භවයෙහි යශෝධරාවන් වී ලෞකික සැප සම්පත් විඳි ආකාරයත්, සිදුහත් කුමරු තපසට ගිය පසු විරහ වේදනාවෙන් සන්තාපයට පත්වූ ආකාරයත් කවියා සංෙවිදීව ඉදිරිපත් කර ඇති ආකාරය අන්තර්ගතය වශයෙන් සඳහන් කළ හැකි ය. ගතවූ සෑම ආත්මභවයේදීත්, වෙස්සන්තර වූ අවසාන ආත්මභවයේදීත් සහකාරිය හෝ දේවිය වශයෙන් යශෝධරා දේවිය පැමිණි ආකාරය පැහැදිලි ය. බෝසතාණන් වහන්සේ ඉපදීිම කෙළවර කරනු ලැබූයේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීමෙන් අනතුරුව ය. මහාමායා දේවිය දුටු සිහිනය, සිද්ධාර්ථ කුමරා උප්පත්තිය ලැබීම පිළිබඳව යශෝධරා වතෙහි සඳහන් වේ.
සිද්ධාර්ථ කුමරා ගිහිගෙය අතහැර පැවිදිවීමට සිතූ ආකාරයත් අභිනික්මන් කරන අවස්ථාවේ දී යශෝධරා දේවිය හා රාහුල කුමරුත් දෙස අවසන් වරට බැලු ආකාරයත් මෙසේ සඳහන්වේ.

නැතිකර ගත යුත්තේ තරහව ද? තරහකරුවන් ද?


තරහව ද්වේෂය පාලනය කරගත් තරමට ලාභ වාසි අත්වේ. ඉවසීම නිවට කමක් හෝ දුර්වල කමක් නොව උදාරතර ගුණයකි. මෙම ගුණය සකසා නොගැනීම තුළ තමන්ට මෙන්ම සමාජයට මහත් අවැඩක් සිදුවේ. ජාතිකත්වය හෝ ආගමික නැමියාව තව පිරිසක් පීඩාවට පත් කිරීම සඳහා යොදා නොගත යුතුය."
ද්වේෂය නම් යම් දෙයක් හෝ යම් කිසි කාරණයක් නිසා අපේ සිතේ ඇතිවන නොසතුටයි. පි‍්‍රය නොවන, නොරිස්සුම් සහගතබවයි. සාමකාමී පරිසරය හීන වී අසහනය, අසමගිය ගොඩනැඟෙන්නේ, ද්වේෂය මූලික වීම හේතුවෙනි. ප්‍රතිඵලය වන්නේ සහජීවනය පළුදුවීමයි. කෙලෙස් අතර ශාරීරිකව හා මානසිකව පුද්ගලයා දුර්වල කරන ක්ලේෂය ද්වේෂයයි. ලෝකයේ බොහෝ ගැටුම්, මිනීමැරුම් ඇතිවන්නේ අවි ආයුධ නිසා නොව ද්වේෂය නිසාය.
ද්වේෂය නිසා පළමුව හානිය සිදුවනුයේ ද්වේෂය ඇති තැනැත්තාටය. කෙසෙල් ගසක කැන වැටුනු පසු ගස කපා ඉවත් කරයි. උක්,අන්නාසි වැනි ඵලදාවන්ගේ තත්ත්වය ද මෙසේම ය. යමෙක් ද්වේෂයෙන් ආතුරවු තැන ඇතිවන්නේ මෙවන් තත්ත්වයකි. සසරේ දී අප නැතිකර ගත යුත්තේ තරහ ගතිය මිස තරහකරුවන් නොවේ. ලෝකයේ කිසිම ආගමක් ද්වේෂය, වෛරය තරහ ගතිය අනුමත නොකරයි. පළමු, දෙවන ලෝක යුද්ධයන් ඇති වීම හා හිරෝෂිමා නාගසාකි නගර තුළ ඇතිවු ඛේදවාචකයන්ට මූලය මෙම ද්වේෂයයි. ද්වේෂය තුළ රාජ්‍ය රාජ්‍යන් අතරද, මව්පියන් දරුවන් අතර ද, අඹුසැමියන් අතර, ආගම් අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය වේ. මේ තුළ නැතිවන්නේ අන්‍යෝන්‍ය සබඳතාවයයි.

තාවකාලික දිනුම්

වර්ග, පාට, ආගම් ගැටුම් නිරන්තරව ඇතිවන්නේ මිනිස් සිත තුළ ද්වේෂය ඇති බැවිනි. මෙවන් ගැටුම් නිරන්තරව වර්ධනය වීම රටකට සුබවාදී තත්වයක් නොවේ. රටක් ආර්ථික සාමාජික ලෙස පසුබෑමට පත්වීම මේ තුළ නොවැළැක්විය හැකි ය. දියුණු ජන කොටස් විසින් එවැනි පුද්ගලයන්, රාජ්‍යයන් ප්‍රතික්ෂේප කරනු ලබයි.

සදහම් දැනුම

ප්‍රශ්නය
සුමන සාමණේරයන් වහන්සේ විසින් වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ නිදන් කොට අනුරාධපුර යුගයේ කරවන ලද ස්ථූපය කුමක්ද?
පිළිතුර
අනුරාධපුර පූජනීය පෙදෙස් පිහිටි ථූපාරාමය
ප්‍රශ්නය
බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ආරම්භ වී සත්මසකින් අවසන් වූ සංගායනාව කුමක් ද?
පිළිතුර
අජාසත් රජතුමා දවස රජගහනුවර සප්තපර්ණී වේහාර පර්වත පාමුල පිහිටි ගුහා ද්වාරයෙහි ඉදිකරන ලද ශාලාවෙහි පවත්වන ලද පළමුවන සංගායනාව වේ. එහි මුලසුන තෘතීය මහා ශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ විසින් උසුලන ලදී.

පින ඇවැසි අය


පෙර ලක්දිව ‘තිස්සදන’ නමින් නගරයක් තිබුණි. ඒ නගරයේ ‘වත්තේගම’ ලෙසින් ගමක් විය. ඒ ගමෙහි ධාර්මිකව ජීවිකාව කළ තුණුරුවන් කෙරෙහි බොහෝ ශ්‍රද්ධාවෙන් පැහැදී සිටි මහාදේව නම් උපාසකයෙක් වාසය කළේ ය.
ඔහු ජීවිකාව ලෙස ඈත වනයේ කුඹුරක් වපුරයි. ගොයම් කපන කාලයේ ඒ කුඹුරු අසල පැලක් සාදාගෙන ගොයම රකියි.
දිනක් මැදියම් රැයේ දී එක්තරා පේ‍්‍රතයෙක් හඬමින්, විලාප කියමින්, ආහාර ඉල්ලමින් මහමඟ යමින් සිටියේ ය. ඒ ශබ්දය ඇසුණු මහාදේව “මිනිසුන් නැති වනයේ රාත්‍රියේ දී ආහාර ඉල්ලමින් දුකසේ හඬමින්, වැළපෙමින් මෙසේ ගමන් කරන නුඹ කවරෙක්දැයි” ඇසී ය.
”මිත්‍රය, මම මනුස්ස ලෝකයේ ජීවත් වූ අයෙක්මි. ඒ ජීවිතයේ මසුරුබව නිසාම මරණින් පසු පේ‍්‍රත ලෝකයේ ඉපදුණි.මා කළ පව්කම් බොහෝ ය. මා අවට සිටින පේ‍්‍රතයන්ට බොහෝ සැප තිබේ. ඔවුන් කා බී සැපසේ සිටිති. බොහෝ ආභරණවලින් සැරසී ඇත්, අස්, රිය ආදියෙහි නැඟී කැමැති දිශාවලට ගමන් කරති.
”ඔබට නැති, ඔවුන්ට ඇති මේ සැප කො තැනින් ලබන්නේ ද?” මහාදේව ඇසී ය.

ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙමු

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අසුබවාදී දහමක්වත් සුබවාදී දහමක්වත් නොවෙයි. යථාර්ථවාදී දහමක්. ඇත්තටම එය දර්ශනයක්. දර්ශනයක් කියන්නේ අදහන දෙයක් නෙවෙයි. පිළිපැදිය යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘ඒහිපස්සිකෝ පච්චත්තං වේදිතබ්බෝ’ යනුවෙනි. එන්න බලන්න. තම තමන්ම දැන ගන්න. අවබෝධ කරගන්න. බුද්ධ යන වචනයේ අර්ථයත් අවබෝධය යන්නයි.
යමක් විශ්වාස කිරීම ඉතා පහසුයි. එහෙත් යමක් අවබෝධ කර ගැනීම ඉතා අපහසුයි. දැනුම සහ අවබෝධය අතරත් ලොකු වෙනසක් පවතිනවා. බොහෝ දෙනාට ධර්මය පිළිබඳ ව ඉහළ දැනුමක් තිබෙනවා. එහෙත් අවබෝධයක් නැහැ. බුදු සමය පෙන්වා දෙන්නේ මිනිසකු වශයෙන් ජීවත් විය යුතු හොඳම ක්‍රමය. එම නිසා ඔබ තේරුම්ගන්න. බුදුදහමේ පෙන්වා දී ඇති වටිනාකම් සිතසිතා සිටීමෙන් හෝ සාකච්ඡා කර කර සිටීමෙන් කිසිදු පලක් නෑ. එය පිළිපදින්න ම ඕනෑ. එහි අන්තර්ගත ප්‍රතිපත්ති එදිනෙදා ජීවිතයෙහි භාවිතාවෙන් අත්හදා බැලිය යුතු යි.
කනගාටුවට කරුණ අද අපේ බෞද්ධ ජනතාවගෙන් බහුතරයක් අනුගමනය කරන්නේ ජනපි‍්‍රය බුදුදහම විමයි. ජනපි‍්‍රය බුදුදහම තුළ මුල් තැන දී තිබෙන්නේ ඇදහිලි විශ්වාස හා පුද පූජාවලට. මෙය බුදුදහමේ හරය නොවේ. පුද පූජා, වැඳුම්, පිදුම්, නරකයි කියලා කියන්නෙ නෑ. එය සිදු කිරීමත් හොඳයි. නමුත් ඔබ මුල් තැන දිය යුත්තේ දර්ශනයට, ධර්මයට.
බුදුරජාණන් වහන්සේ සැබැවින්ම බලාපොරොත්තු වූයේ උන්වහන්සේගේ ප්‍රතිරූපය වන්දනා කිරීම නොවේ. බුදුරජාණන් වහන්සේ අපේක්ෂා නොකළත් ඒවාට වැඳුම් පිදුම් කිරීම හොඳයි. එහි කිසිදු වරදක් නැහැ. නමුත් ඔබ කළ යුත්තේ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මාර්ගයෙහි යාමයි.

පන්සිල් රැකීමෙන් අකල් මිය යෑමෙනුත් වැළකෙයි


ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් උපමාවන් සිතට ගෙන මෙනෙහි කිරීමෙන් තමාට ඉමහත් ශක්තියක් ගොඩ නංවා ගන්නට පුළුවනි. ඉවත දමන කෙළ පිඬක් සේ ඇලීම ගැටීම තුරන් කරන්න භාවනාව ඉවහල් වෙයි.
පින් මද වූවෝ මරණසතියට බිය වෙති. සත්ත්ව ඝාතන ආදී පව් කරන අය, මව් පියන්ට නොසලකන අය මරණයට බිය වෙති. පන්සිල් රකිමින්, මව් පියන්ට සළකන්නෝ මරණයට කිසිවිටකත් බිය නොවෙති. සැවොම පන්සිල් රැකිය යුතුම ය. තුණුරුවන් නැමැදිය යුතුම ය. දාන මානාදී පින්දහම් පිරිය යුතුම යි, බණ ඇසීම, බවුන් වැඩීම කළ යුතුම ය. මෙවැනි වතාවත් සපුරන්නෝ කිසිම අඩු පාඩුවක් නොමැතිව තම දිවි ගමන සුවපත් කර ගනිති.

Monday, January 1, 2018

හිතින් හදාගත් ලෝකයක අතරමං වනවා ද?

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චිත්තෙන නීයති ලොකො
චිත්තෙන පරිකස්සති
චිත්තස්ස එක ධම්මස්ස
සබ්බෙව වසමන්වගු


පින්වත්නි

ඔබගේ ධර්මාවබෝධය සඳහා අද මාතෘකා කළ මේ ගාථාව සංයුත්ත නිකායේ චිත්ත සූත්‍රයේ එන ගාථා ධර්මයක්. දිනක් එක් දේවතාවියක් බුදුරජාණන් වහන්සේගෙන් මෙබඳු ප්‍රශ්නයක් ඇසුවා ය.
“කෙනස්සු නියතී ලොකො – කෙනස්සු පරිකස්සති, කිස්සස්ස එක ධම්මස්ස, සබ්බෙව වසමන්වගු “ලෝකය කුමකින් පමණුවනු ලැබේ ද? කුමකින් එහා මෙහා අදී ද? සියල්ලෝ ම කවර වූ එක් ධර්මයක වසඟයට ගියාහු ද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන තථාගතයන් වහන්සේ ඉහත ගාථාව ප්‍රකාශ කරමින් , සිත විසින්ම ලෝකය පමුණුවනු ලැබේ. සිත විසින් ම එහා මෙහා අදිනු ලැබේ. සියල්ලෝම සිත නමැති එකම ධර්මයාගේ වසඟයට ගියාහු ය. යනුවෙන් පිළිතුරු දී ඇත.
බාහිර ලෝක පිළිබඳව සිත ක්‍රියාත්මක වන ආකාරය මේ ගාථාවෙන් පෙන්වයි. ලෝකයේ පවතින සෑම දෙයක්ම සිතට යටත්ව පවතී. ලෝකයේ ඇති දේ හඳුන්වා දෙන්නේ සිතින් ය. ඒ ඒ වස්තූන් හා සම්බන්ධ වටිනාකම් පිළිබඳව එහාට මෙහාට අප ගෙන යනු ලබන්නේ ද සිත විසිනි.

බුදුරදුන්ගේ බුදුරදුන්ගේ පළමුවන ලංකා ගමනය

"දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකා බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. උන්වහන්සේ මෙරට බුදුදහම ස්ථාපිත වන බව දිවැසින් දුටු නිසා ශ්‍රී ලංකාද්වීපය කෙරෙහි විශේෂ සැලකීමක් තිබූ බව මෙයින් පෙනේ."

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව ගත වුණ නමවෙනි මස එළඹුණ දුරුතු පුන්පොහෝ දින ලංකාවාසී යක්ෂයන් පිළිබඳ අනුකම්පාවෙන් මහියංගණයට වැඩම කිරීමත්, සුමන සමන් දෙවියන් සෝවාන් වීමත්, සුමන සමන් දෙවියන්ට කේශ ධාතු ලබාදීමත්, එම දෙවිඳුන් කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍යය බැඳවීමත්, බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ පුරාණ ජටිල භික්ෂූන් සමඟ රජගහනුවරට පිටත්වීමත් ආදි සිදුවීම් රැසක් දුරතු පුන් පොහෝදා සිදුවී තිබේ.

දුරුතු පුන් පොහොය උදාවීමට පෙර බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ විසූ උරුවෙල් කාශ්‍යප , නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන සොහොයුරු පිරිස වෙත වැඩමවා දහම් දෙසා පැවිදි කළ සේක. එහිදී උන්වහන්සේ ඒ සියලු භික්ෂූන්ට “ආදිත්ත පරියාය” සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. දේශනය අවසානයේ දී ඒ සියලු දෙනා වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ මහ රහත් බවට පත්වු සේක.