බුදුදහම තරම් මිනිස් සිත පිළිබඳ අවධානය යොමු කළ ආගමික දර්ශනයක් ලොව ආගම් ඉතිහාසයේ දක්නට නොලැබේ. සමස්ත බුද්ධ දේශනාව ම සිත පදනම් කොට කරන ලද ඉගැන්වීමක් හෙයින් බුදුදහම මනෝ විද්‍යාත්මක ඉගැන්වීම් සමුදායක් වශයෙන් සැලකීම වඩාත් ම උචිතය.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ විමුක්ති පරමාර්ථයේ දී උන්වහන්සේගේ අවධානයට යොමු වූයේ බඹයක් තරම් වූ ශරීරයක් දරමින් ඒ තුළ ක්‍රියාත්මක වන සිත සහ එහි ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමයි. ඉර, හඳ, තාරකා, ග්‍රහ පෘථවි සප්තමහා සාගරය සහ එහි දිග පළල සෙවීමට වඩා උන්වහන්සේට අවශ්‍ය වූයේ මිනිස් සිත පිළිබඳ ගැඹුරින් අවබෝධ කර ගැනීමයි. සිත ගැන සෙවීම ම දුකින් මිදීමට මාර්ගය බව අවබෝධ කරගත් උන්වහන්සේ සියලු දුක් ගැහැට විඳිමින් එම උත්කෘෂ්ට ක්‍රියාදාමය වෙසක් පොහෝ දින ගයාවේ බෝසමිඳුන් අබියස දී පසන්කොට ගත්හ. එම ආත්මාවබෝධය විමුක්තිකාමී ලෝකයාගේ විශිෂ්ටතම ජයග්‍රහණය විය. දුක්ඛ වූ පසමනයට මාර්ගය ද එම විජයග්‍රහණයයි. ඒ සඳහා බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දේශනාකොට වදාළ ප්‍රධාන ඉගැන්වීමක් වනුයේ ආත්ම ගවේෂණයෙහි යෙදෙන ලෙසත් ඒ සඳහා චිත්ත දමනය කළ යුතු බවත්ය. ‘අත්තානං ගවේසෙය්‍යාථ සචිත්ත මනුරක්ඛථ’ යන බුද්ධ වචනයෙන් එය අවධාරණය කොට ඇත.
මිනිසාගේ වටිනාකම ඉන්ද්‍රිය වූ මනස හෙවත් සිත පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇති කර ගැනීම තුළින් පෘථුල ජීවිතාවබෝධයක් ඇතිකර ගැනීමට හැකි බව අවධාරණය කළ බුදුරජාණන් වහන්සේ සිතත් සිතෙහි ඇතිවන සිතිවිලිවල ස්වභාවයත් තේරුම් ගැනීම සුඛිත මුදිත ජීවිතයකට මාර්ගය බව දේශනා කර ඇත. ඒ අනුව සෑම පෘථග්ජන සිතකම ඇතිවන සිතුවිලි ආදානග්‍රාහීය. ඇලීම්, බැඳීම් සහ ගැටීම් ඇතිකරවන සුළුය. එවැනි සිතිවිලි කුඹුරක හටගත් වල් පැළෑටි බඳුය. වල් පැළෑටි උදුරා දමා කෙත ආරක්ෂා කර නොගතහොත් කෙතක සමෘද්ධිය ඇති නොවේ. සිත තුළ වල් පැළෑටි බඳු කෙලෙස් උදුරා නොදැමුවහොත් චිත්ත සංවර්ධනය ඇති නොවේ.
ඒ නිසා කෙලෙස් සිඳීමට සිතෙහි ස්වභාවය වටහා ගත යුතු ය. අභිධර්ම විභාවිනි නම් ටීකාවේ සඳහන් වන මෙම ගාථා ධර්මයෙන් සිතෙහි මූලික ස්වරූපය කෙබඳු ද යන්න ප්‍රකට වෙයි.
විචිත්ත කරණ චිත්තං
අත්තනො චිත්ත තායවා
චිතං කම්ම කිලෙයෙහි
චිතං කායති වා තථා
විනෝති අත්ත සන්ථානං විචිත්තාරම්මණන්ති චාති (අභිධර්ම විභාවිනි ටීකාව)
1. විචිත්ත කරණං චිත්ත – විසිතුරු දේ නිපදවන්නේ සිතයි.
2. අත්තනො චිත්ත කාර වා - සිත තමා විසින්ම විසිතුරු වෙයි.
3. චිතං කම්ම කිලොසෙහි – කර්මය සහ ක්ලේෂයන් විසින් ගොඩ නැඟුණේ සිතයි.
4. චිතං තායති වා කථා - ආත්මය රකින්නේ සිතයි.
5. විනෝනි අත්ත සත්ථානං - ආත්මභාව පරම්පරාව රැස් කරන්නේ සිතයි.
6. විචිත්තාරම්මණන්ති චිත්තං - විසිතුරු අරමුණු ගන්නේ සිතයි.
බුදු දහමේ ඉගැන්වීම් අතර මිනිස් සිත පිළිබඳ ගැඹුරු විග්‍රහයක් අන්තර්ගත වන්නේ අභිධර්ම පිටකයෙහිය. එහිදී සිතෙහි ස්වභාවය හා ක්‍රියාකාරීත්වය මැනවින් ඉදිරිපත් කොට තිබේ. අභිධර්ම පිටකය අයත් අභිධර්ම විහාවිනී ටිකාවෙහි සඳහන් වන ඉහත සඳහන් ගාථාව සිත පිළිබඳ ඉගැන්වෙන විශිෂ්ට ඉගැන්වීමක් වශයෙන් සැලකිය හැකිය. එහි ඉගැන්වෙන කරුණු 06ක් පිළිබඳ සංක්ෂිප්ත ඉගැන්වීමක් මෙහිදී ඉදිරිපත් කෙරේ.
1. විචිත්ත කරණං චිත්තං විසිතුරු දේ නිපදවන්නේ සිතයි.
සමස්ත ලෝකය ම ඒකාකාරී වූ ඒකාත්මික පැවැත්මට නතු වුවක් නොවේ. සියලු තතු විවිධත්වය සහ විචිත්‍රත්වය පැවැතීම විශ්ව ධර්මතාවයකි. සජිවී සත්වයන් සහ අජීවී ද්‍රව්‍යාත්මක දේවල් තුළින් පැහැදිලිව පෙනෙනුයේ විවිධත්වයයි. සත්‍ය වශයෙන් ලෝකයේ පැවැත්ම ද ඒ විවිධත්වය සහ විචිත්‍රත්වය නිසා ඇති වේ. මෙම තත්ත්වය දිව්‍යමය බලවේගයක් අනුහසින් නොව මනස පදනම් වූ චෛතසික රටාවක් හේතුවෙන් ම ඇතිවන්නකි. ‘මනෝ පුබ්බංගමා ධම්මා’ යන බුද්ධ වචනයට අනුව මනස සියලු දෙයට පූර්වාංගම සාධකය වේ. මෙම ධර්ම පාඨයට අනුව විශ්වගත සත්ත්වයන්, මිනිසුන්, දෙවියන්, බ්‍රහ්මයන් හා යක්ෂ, භූත, ප්‍රේතයන් බවට හා තිරිසනුන් බවටත් බුදු, පසේ බුදු මහරහතන් සහ බෝසත් උත්තමයන් බවටත් පරිවර්තනය වන්නේ සිතේ ක්‍රියාකාරීත්වයේ අනුහසිනි. එනිසා සත්ත්වයන් විවිධ විචිත්‍ර ජීවිත බවට පත් කරන්නේ සිතයි. එපමණක් නොව රමණීය මාළිගා, උද්‍යාන, පරිගණක, ගුවන් යානා ආදී සියල්ලමත් මිනිසුන්ට දෛනිකව නෙත ගැටෙන සියලු ලොකු කුඩා මෙවලම් ආදියත් සිතේ ක්‍රියාකාරිත්වයේ විවිධත්වය අනුව නිෂ්පාදනය වූ ඒවාය. නිවසක් තවත් නිවසක් සමඟත් සිතුවමක් තවත් සිතුවමක් සමඟත් සන්සන්දනය කර බැලීමේ දී ඒකාකාරී නොවී විවිධත්වයක් ප්‍රදර්ශනය කරන්නේ ඒ ඒ සිත්වල හැඟීම් දැනීම් අපේක්ෂාවෙන් අනුව ඒවා නිෂ්පාදනය වූ හෙයිනි. එනිසා සිත වූ කලී මෙලොව විචිත්‍රත්වය හඳුන්වා දුන් මූලායතනය වේ.
2. අත්තනො චිත්ත තායවා
සිත තමා විසින්ම විසිතුරු වෙයි.
මෙම ධර්ම පාඨය අනුව මිනිස් සිත තමා විසින් විසිතුරු වූවකි. වරෙක සතුටින් ප්‍රමෝදයෙන් සිටින පුද්ගලයෙක් තවත් වරෙක ඊර්ෂ්‍යාවෙන් කෝපයෙන් හා වෛරයෙන් යුත් කෙනෙකු බවට පත්වෙති. තවත් වරෙක ඒ පුද්ගලයා ම ශ්‍රද්ධාවෙන් යුත් ශාන්තුවරයෙකු උපාසකයෙකු මෙන් හැසිරෙයි. තවත් විටෙක පරිත්‍යාගශීලී නොමසුරු අයෙකු වන ඔහු කුරිරු අයෙකු මෙන්ද හැසිරෙයි. කරුණා, මෛත්‍රී, දයා, අනුකම්පා ආදී උසස් ගුණධර්ම ද දරමින් කටයුතු කරන ඔහු හොඳ නරක දෙකින් ම මිශ්‍ර චරිතයක් බවට ද පත්වෙයි. මේ නිසා දෛනික ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධ මානසිකත්වයන් ඇති කෙනෙකු වශයෙන් කටයුතු කරන මිනිසාට මෙවන් වෙනස්කම් පැතිරවීමට ඉඩ සලසන්නේ සිතයි.
3. චිතං කම්ම කිලෙසෙහි
කර්මය සහ ක්ලේෂයන් විසින් ගොඩ නැගුණේ සිතයි.
කර්මය සහ කෙලෙසුන්ගේ බලපෑම මත කෙනෙකු තිරිසනෙකු, ප්‍රේතයෙකු, අසුරයෙකු බවට පත්වන්නේ ද සිත අනුවය. පාපකාරී අකුසල කර්මයන් සහ අකුසලකාරී සිතිවිලි පදනම් කොටගෙන දුක්ඛිත ආත්මභාව වෙත පුද්ගලයා මෙහෙයවන්නේ සිත නමැති බලවේගය විසිනි. යහපත් කුසල කර්ම පදනම් කොටගත් කුසල චෛතසික ධර්ම හේතුකොටගෙන කෙනෙකු උපාසකයෙකු සත් පුරුෂයෙකු බවට පත්වන අතර දිව්‍යලෝක මනුෂ්‍ය ලෝකවල සැපවත් ජීවිත වෙත ද අනතුරුව සෝවාන් ආදී මාර්ගඵල ලබා රහත් බවට පත්වීමට ද එය ඉවහල් වේ. මිනිසෙකුට ලැබිය හැකි උසස් ම පදවිය වූ ලොව්තුරා බුද්ධත්වයට ද කෙනෙකුට ළඟා විය හැකි වන්නේ නිවැරැදි චින්තනයේ සහ ඒ හා බද්ධ වූ චර්යාවේ ප්‍රසන්න බව හේතුකොට ගෙනය. මේ නිසා කෙලෙස්වලින් යුතු සිතත් චර්යාවත් පුද්ගලයෙකු පහත් ආත්මභාව කරා යොමු කරවන අතර කෙලෙස්වලින් මිදුණු චර්යාව සැපවත් ආත්මභාව වෙතත් අනතුරුව නිවන වෙතත් මෙහෙයවයි. මෙය ද සිතේ ක්‍රියාකාරීත්වයේ අනුහසින් සිදුවන්නකි.
4. චිතං තායති වා තථා
ආත්මය රකින්නේ සිතයි
සිත ජීවිතයේ ආරක්ෂකයාය. නඩත්තු කරන්නාය. ලබාගත් ආත්ම භාවය සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලිය සිත විසින් ම සිතට අනුව සිදුවේ. හුස්ම ගැනීමේ ක්‍රියාවේ සිට ආහාර ගැනීම, නිදීම, ඇවිදීම, ගමන් යාම, අතපය නැවීම සිරුර නැහැවීම ආදී කුදු මහත් කටයුතු සියල්ලම සිතේ මෙහෙයවීමකින් තොරව සිදු නොවේ. මිනිස් ජීවිතයක් මෙන්ම කවර හෝ සත්ත්ව ජීවිතයක පැවැත්ම, සංරක්ෂණය සහ ලබාගත් ආත්මභාවය මියෙන තෙක් උපරිම අයුරින් පවත්වා ගැනීම සිත විසින් ක්‍රියාත්මක කරයි. මේ නිසා ලබාගත් ආත්මභාවය ආරක්ෂා කිරීමේ අර්ථයෙන් ද සිතට චිත්ත යන ව්‍යවහාරය ලැබේ.
5. විනෝති අත්ත සථානං
ස්වකීය ආත්මභාව පරම්පරාව රැස් කරන්නේ සිතයි.
සංසාරයේ කෙදිනක හෝ ලබාගත් මේ ජීවිතය භවයෙන් භවයට කර්ම රැස්කරමින් භවගාමී සසර දීර්ඝ ගමනකට අවශ්‍ය මාර්ගය සලසා ඇත්තේ සිතයි. සිතෙහි වයස සහ එම ආත්මභාව ගණන් කළ නොහැකි තරමින් ඉදිරියට පැමිණ ඇත්තේ ඒ චිත්ත පරම්පරාවේ බලවේගය හේතුවෙනි. එනිසා පස්පව් දස අකුසල් කරමින් අපායගාමී භාවයටත්, දස පුණ්‍යක්‍රියා, දස කුසල කර්මපථ, පාරමි පුරමින් මිනිස් ලොව, දෙව්ලොව බඹලොව ආදී ස්ථානවල රැඳෙමින් නිවන වෙත යොමු කරන්නේත් සිත නැමැති බලවේගයයි. ඇතැම් විට සසර වැරැදි පුරුදු සහ යහපත් පුරුදුතාවයන් භවයෙන් භවයට බලපාන්නේද මේ චිත්ත බලවේගය නිසාවෙනි. එනිසා ආත්මභාව පරම්පරාව රකින අදහසින් ද සිතට චිත්ත යයි කියනු ලැබේ.
6. විචිත්තාරම්මණන්ති චිත්තං -
විසිතුරු අරමුණු ගන්නේ සිතයි.
සත්වයෙකුගේ සියලුම ඉන්ද්‍රියයන් මනස නමැති ඉන්ද්‍රිය සමඟ බද්ධව පවතී. එනිසා ඇසින් දකින රූපයක් කනින් අසන ශබ්දයක්, නාසයට දැනෙන ගඳ සුවඳත් ශරීරයට දැනෙන ස්පර්ශ සහ දිවට දැනෙන රසයන් පිළිබඳ සුඛ, දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් අරමුණු ගන්නේ සහ ඒවාට ප්‍රතිචාර දක්වන්නේ සිතයි. මෙනිසා සිතට අරමුණ නොවන හෝ ග්‍රහණය කළ නොහැකි කිසිවක් විශ්වය තුළ නොමැති මේ අනුව සිත විසිතුරු අරමුණු ලබා ගනිමින් මුළු විශ්වය ම ග්‍රහණය කරගනී. සිතට ආවේණික ධර්මතාවය වනුයේ ද විචිත්‍ර වුත් විවිධ වූත් අරමුණ කරා සිත මෙහෙය වීමයි. එබැවින් සිත නමැති ආයතනය විශ්වයට විචිත්‍රත්වය සහ විවිධත්වය ප්‍රදානය කළ මූලායතනය වශයෙන් සැලකිය හැකි ය.
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අයගම සුසීල හිමි
|
No comments:
Post a Comment