Labels

Saturday, March 12, 2016

බෝධි පූජාව


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

යස්ස මූලෙ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සම්බඤ්ඤුතං සත්ථා
වන්දේ තං බෝධි පාදපං

සුපින්වත්නි,

සසර සැරි සරන අපමණ සත්ත්වයන්ට මඟ නොමඟ දක්වන්නා වූ අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට දාන සීලාදී දස පෙරුම්දම් පාරමී, උප පාරමී, පරමත්ථපාරමී වශයෙන් පුරා අන්තිම ආත්ම භවයේ දී මායා කුසින් බිහිව ක්‍රමයෙන් රාජකුමාරයෙක්ව හැදී වැඩී සියලු සැප සම්පත් හැරදමා සයවසක් තවුස්දම් පුරමින් මහා දුෂ්කර ක්‍රියාවක් කොට දඹදිව බුද්ධගයාවේ බෝධිවෘක්ෂ මූලයේ දී උතුම් ලොව්තුරා බුද්ධත්වයට පත් වී වදාළ සේක.

බෝධි වුච්චති චතු සුමග්ගේසු ඤාණං යනුවෙන් විවරණ දක්වා ඇති බෝධිය නම් සර්වඥතාඤාණයයි. එය අවබෝධ කරගැනීමෙහිලා ආසන්නම උපයෝගීතාවය වශයෙන් අතීතයේ නියතවිවරණ ලැබීමාදී කෙතරම් උපකාරක ධර්ම පැවතියද ලොව්තුරා බුද්ධත්වයේ දී අපරාජික පරියංකය පිහිටි අස්සත්ථ වෘක්ෂරාජයාට බෝධීන් වහන්සේ වශයෙන් බුදුරදුන් ජීවමාන කාලයේ මෙන්ම මෙතෙක් වසර 2600ට අධිකව පූජ්‍යතම සංකේතය වශයෙන් වන්දන මානන පූජා සත්කාරයට භාජන වන්නේ ය.

01. ජය ශ්‍රී මහා බෝධිය, 

02. ආනන්ද බෝධිය,

 03. අනුරාපුර ශ්‍රී මහා බෝධිය,

04. අෂ්ඨඵලරුහ බෝධි, 

05. දෙතිස්ඵල රුහ බෝධි,

 06. වෙනත් බෝධි.

බෝධි සත්වයන් උපදින දවසෙම පහළ වූ උතුම් වස්තු අතර ජය ශ්‍රී මහා බෝධි අංකුරය ද ශාඛා ප්‍රශාඛාවශයෙන් විහිදී ලක්ෂ ගණන් රන්වන් බෝපත්වලින් මඳ මඳ පවනේ සැලෙමින් ගෞතම බෝසතුන් ගෞරවයෙන් පිළිගන්නට මෙන් විරාජමාන වන්නට විය.

යම් වෘක්ෂයක් මුල වැඩ අප ශාස්තෘන් වහන්සේ සියලු සතුරන් පරාජය කොට ජයගෙන සර්වඥතා ඥානයට පත්වී වදාළ සේක්ද. ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට වන්දනා කරමි.
අප බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන්නේ මෙම ජය ශ්‍රී මහා බෝධිය ආශ්‍රය කරගෙන ලෝකයේ එතෙක් කිසිම කෙනෙකු විසින් අවබෝධ නොකරගත් චතුරාර්ය සත්‍යධර්මය දැනගත් බැවිනි.
ප්‍රථම ධර්ම දේශනාවේ දී සම්මා සම්බුද්ධත්වය පිළිබඳව තමන්වහන්සේට අභියෝග කරන්නට කිසිම කෙනෙකුට නොහැකි අතර එයින් සම්මා සම්බුද්ධ වන බව පැහැදිලි කළ සේක.

අප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ බුදුරදුන් වෙනුවට පිදුමට සුදුසු ශාරීරික, පාරිභෝගික, උද්දේශික චෛත්‍ය තුනක් අනුදැන වදාළ සේක. එකෙණෙහි බුදුරදුන්ගෙන් අවසර ලබාගෙන ආනන්ද හිමි මේ කාරණය කොසොල් මහ රජතුමන් ප්‍රධාන කොටගත් සියලු රටවැසියන්ට දන්වා ජේතවනාරාමය ඉදිරිපස සකස්කොට මුගලන් මහ රහතන්වහන්සේට දැන්වූහ. මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධියෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට වැඩ අත්තකින් ගිලිහෙන්නාවූ ඵලයක් බිමට පතිතවීමට පෙර සිවුරුපොටෙන් පිළිගෙන අවුත් ආනන්ද හිමිට දුන්හ.
මෙම බෝධිරෝපණ මහා පුණ්‍ය කර්මය සැවැත් නුවර සත්කෙලක් සකල ජනතාව ම පවිත්‍ර සුදුවතින් සැරසී ගඳමල් සුවඳ දුම් ගිලන්පස ආදී පූජා ද්‍රව්‍ය රැගෙන ජේතවනාරාමය අසල පෙළගැසී සිටියහ. කොසෙල් රජතුමා ද සවස්යාමයේ චතුරංගනී සේනාව පිරිවරා මෙම අසහාය පුණ්‍ය කර්මයට සහභාගී වූහ. ආනන්ද හිමි සුවඳ කලල් පිරූ රන් තටාකයේ බෝධිඵලය මැදිකොට රජතුමාට දුන්හ. රජතුමා මොහොතක් කල්පනාවේ නිරතව රන් කටාහය අනේපිඩු සිටුතුමාට පැවරූහ. සිටුතුමා ඉතා ශ්‍රද්ධාවෙන් හා සොම්නසින් නියමිත ස්ථානයේ තැන්පත් කළ කෙණෙහිම බෝළුලය රෝපණය වී පනස්රියන් උසට නැගී ශාඛා ප්‍රශාඛා විහිදී සිව් දිසාවටම නිල්වන් බෝපත් ලෙලදෙමින් මේසා විශාල ජනතාවගේ නෙත් සිත් පුබුදමින් විරාජමාන වන්නය විය.
ඉක්බිති ආනන්ද හිමිගේ ආරාධනාවෙන් අප බුදුරජාණන් වහන්සේ එම බෝධීන්වහන්සේ ළඟ එක් රැයක් ඵල සමාපත්ති සුවයෙන් වැඩසිටිසේක. මෙය ආනන්ද බෝධිය නමින් ලොව පසිඳු වූ අතර එදවස කොසොල් මහරජතුමන් විසින් සිදුකළ මහා බෝධි පූජාවේ අනර්ඝත්වය, ආශ්චර්යවත් බව සිතා කියා ලියා වර්ණනා කර නිමා කළ නොහැක්කේමය.

බෝධිපූජා පින්කම් අතර ආනන්ද හිමියන් විසින් කළ බෝධි පූජාව අසහාය වන්නේ ය. බුදුරදුන් පිරිනිවී කළ ලොවට පූජාර්හ වශයෙන් බෝධීන් වහන්සේ ප්‍රකට කළේ ආනන්ද හිමියන් විසිනි. මෙයට කොසොල් මහරජතුමන් ප්‍රධාන කෝසල රාජ්‍යතාන්ත්‍රික සියලුදෙනා ම සහභාගී වූ බැවින් ආනන්ද හිමියන්ගේ යසෝරාවය තව තවත් පැතිරී ගිය ආකාරය මහාබෝධිවංශය, කාලිංග බෝධිජාතකය මහාවංශය, පූජාවලිය ආදී ඓතිහාසික ග්‍රන්ථවලින් මොනවට සනාථ වන්නේ ය.

අනුරාධපුර මහමෙව්නා උයනේ වැඩසිටින දක්ෂිණ ශාඛා ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ ඉතිහාසය ඉතාම දීර්ඝ වන්නේ ය. බුදුරදුන් පිරිනිවී වසර දෙසියගණනකට පසු අසෝක රජතුමා තම අධිරාජ්‍ය පිහිටුවා ඔටුනු පළන් දසවන අවුරුද්දේ සම්බෝධිය කරා පැමිණ වන්දනාමාන කරගත් බව ශිලාලේඛනවල සඳහන් වේ. එතුමාණන්ගේ ශ්‍රද්ධාවත්, පුණ්‍යවන්තභාවයත්, තේජෝබල පරාක්‍රමයක් නිසා ම ලංකාවට සංඝමිත්තා රහත් තෙරණියත්, දක්ෂිණ ශාඛා ශ්‍රී මහා බෝධියත් හිමිවිය.
මානව ඉතිහාසය ප්‍රභාමත් කළ රාජ්‍ය පාලකයන් අතර මුදුන්පත් සක්විති රජෙකු සේ තේජෝබලපරාක්‍රමයෙන් ප්‍රාදේශීය පාලකයන් තම අණසකට ගත් ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහය නොතිබෙන්නට අපට උතුම් බුදුදහමත්, මෙහෙණිසස්නත්, ශ්‍රී මහා බෝධියත් අහිමි වී බෞද්ධ ශිෂ්ටාචාරයක් නොතිබෙන්නට ඉඩ තිබුණි. එහෙත් ලංකාවාසී ජනතාවගේ වාසනා මහිමය නිසාම භාරතයේ බුදුදහම දියුණුවෙන සෑම වකවානුවකම ශ්‍රී ලංකාවේ ආගමික ජාතික සංස්කෘතික සංවර්ධනයක් ඇතිවිය.
දඹදිව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් දක්ෂිණ ශාඛා බෝධිය වෙන් කිරීමේ දී රජතුමා ක්‍රියා කළ ආකාරය ඉතා ශාස්ත්‍රීය හා ජනතා හිතකාමී විය. රජතුමාගේ අසහාය බලය, ශක්තිය, වාසනාව ධෛර්ය සම්පූර්ණ වුවද අරිට්ඨ කුමරුගේ පණිවිඩය අමාත්‍යවරුන්ට ප්‍රකාශ කිරීම, සංඝමිත්තා තෙරණියගේ අදහස් විමසීම, මහා සංඝරත්නයට දන්පැන් පුදා අදහස් හා අවසර ලබා ගැනීම, පැලලුප් නුවර පටන් බුද්ධගයා භූමිය දක්වා මද කුදු අපවිත්‍ර ජාතියක් ඇත්නම් පවිත්‍ර කරවා මඟ දෙපස සරසා රජතුමා සියල්ල සපුරා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මහා බෝධි පූජාවක් සිදුකොට අවංක ශ්‍රද්ධාව විචක්ෂණ බුද්ධිය, පරාර්ථචරියාව, පරිත්‍යාගය මෙකී චින්තන ධාරා බෝධීන් වහන්සේ වෙත ආරෝපණය කොට රන් පුටුවකට නැග රන් සිරියෙලින් ඉරක් ඇඳ සත්‍ය ක්‍රියාවක් සිදු කළහ.
මගේ අවංක ශ්‍රද්ධාව ඇත්තේ නම්, මේ බෝධීන් වහන්සේ ලංකා ධරණී තලයේ පිහිටන සේක්නම් රන් සිරියෙලින් ඉරි ඇඳ තැනින්ම සිඳී රන් තටාකයේ පිහිටන සේක්වායි යනුවෙනි. එකෙණෙහිම බෝධිශාඛාව එතනින්ම වෙන්වී රන් තටාකයේ පිහිටා මොහොතකින්ම මුල් බැස ශාඛා ප්‍රශාඛා විහිදී සියගණනින් බෝපත් සිලි සිලි නද දෙමින් විරාජමාන වන්නට විය.

මෙවන් අසිරිමත් බුද්ධ බල මහිමයන් බලමින් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ශුද්ධ භූමියෙන් පටන් තාමුලිප්ත තොටුපොල දක්වා මොනවට සරසවා මැති ඇමතින් පිරිවරා පසතුරු ගොසනද කරවමින් සුවඳදුම් මල් පූජා කරමින් වින්ධ්‍යාවනපෙත් මැදින් වැඩමවා ගෙන අවුත් සුමුද්‍ර වෙරළ විචිත්‍ර මණ්ඩපයක වඩා හිඳවූහ.
පුරා සත්දිනක් පුද පූජා පවත්වා දඹදිව රාජ්‍යයම දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේට පූජා කරවා ශ්‍රී ලංකාද්වීපයට වැඩම වීම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකව කළ යුතු සියල්ල සංවිධානය කරන්නට විය.
සංඝමිත්තා තෙරණිය ප්‍රධානව සෙසු මෙහෙණින් වහන්සේලා ද මහා බෝධිය ද මධුරින්ද කුමරුන් ඇතුළු ආරක්ෂක නිලධාරීන් ද ලක්දිවින් ගිය අරිට්ඨ ඇමැතියන් ප්‍රධාන පිරිස ද අට්ඨාරස කුලවලට අයත් පිරිස ද වෙන් වෙන්ව නැව්වල නංවා තාමුලිප්ති තොටුපොලින් ලංකාභූමිය කරා පිටත්කොට රජතුමා එම දර්ශන පථය ඉක්මවනතුරු බලා කඳුළු වගුරුවා අඬා යළි රාජධානිය කරා සැපත් වූහ.

දෙවන පෑතිස් රජතුමා ද පණිවිඩ මඟින් මෙය දැනගෙන සුමන සාමණේරයන් වහන්සේගේ අනුශාසනා පරිදි උඳුවප් මස පුර පෑලවිය දිනයේ දී දඹුලුකොට සරසවා මණ්ඩප තනවා දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ පිළිගැනීම සඳහා සූදානම් වූහ. එදින දඹකොල පටුන දෙව්පුරයක් සේ විසිතුරු සේ සරසා රජතුමා අසීමිත පී‍්‍රතියෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහිත නැව් දැක කරවටක් ජලයට බැස බෝධීන් වහන්සේ ඉස මුදුනින් පිළිගෙන තනා තිබූ මණ්ඩපයෙහි වඩා හිඳවූහ. දින තුනක් පුරා පූජා පවත්වා එතැන් සිට විසිතුරු පෙරහරකින් අනුරාපුරයට වැඩමවා ගෙනවුත් උතුරු දොරටුවෙන් පිවිස දකුණු දොරටුවෙන් නික්ම මහමෙව්නා උයනේ සතර බුදුරජාණන් වහන්සේලාගේම බෝධීන් වහන්සේලා රෝපණය කරන ස්ථානයේ ම රෝපණය කළහ.

මෙසේ රෝපණය කළ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේගෙන් හටගත් අෂ්ටඵලරුහ බෝධි හා දෙතිස්ඵලරුහ බෝධි ථූපාරාම, ඉසුරුමුනි ආදී සිද්ධස්ථානවල රෝපණය කොට පුද පූජා පැවැත්වූහ. මෙසේ දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආනන්ද බෝධිය, දක්ෂිණ ශාඛා බෝධිය, අෂ්ඨඵලරුහ බෝධි, දෙතිස්ඵලරුහ බෝධි ආදී වශයෙන් සියදහස් ගණනින් වැඩ සිටින බෝධීන් වහන්සේලාට පුද පූජා වන්දන මානය පෙරහර බාරහාර පැවැත්වීමෙන් කරන පින්කම් අනන්තය. බෝධි පූජා පැවැත්වීමෙන් ලබන ආනිශංස අපමණය.

01. ලෙඩරෝග සුවවීම, 

02. ශාන්තිය හා ආරක්ෂාව, 

03. දිරිය, බලය, අධිෂ්ඨානය ,

04. සාමය සම්පත ,

05. චතුරාර්ය සත්‍යාවබෝධය

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේ සවන යට තිර අදිටන ඇතිව චතුරංග වීර්යයෙන් මාරයන් පරදවා ත්‍රිවිද්‍යාව උපදවා චතුරාර්ය සත්‍ය අවබෝධ කළසේක්ද එම ගුණාංගවලින් අංශුමාත්‍රයක් හෝ ලබන්නට නම් බෝධි පූජාවක් කළ යුතුම වන්නේ ය.


තෙරුවන් සරණයි,



අස්ගිරි මහා සංඝ සභාවේ 
මහෝපාධ්‍යාය ශාස්ත්‍රවේදී පණ්ඩිත 
අමුණුපුර පියරතන හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ නවම් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 08 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment