සුළඟට අල්ලමින් උඩ යවන සරුංගලයක් වගේ උඩ යවන්නේත් ජීව්තයම තමයි. සරුංගලයක් වූ විට එය උඩ යන්නත් ඕනෙ වගේම සරුංගලය ලස්සන වෙන්නත් ඕනෙ. ඒ වගේම ජීව්තයත් උඩ යන්න ඕනෙ වගේම ලස්සන වෙන්නත් ඕනෙ. ඇඳුමක් වගේ, ඇඳුම ඇන්ඳ විට ලස්සන වෙන්න අවශ්‍ය වගේම සුව පහසු වෙන්නත් අවශ්‍යයි. මෙම කාරණා දෙකෙන් එකක් පමණක් තිබුණොත් එය අර්ධ සම්පූර්ණයි. ලස්සන වෙනවා වගේම හරවත් වීම ජීව්තයකට ඉතාම වැදගත් වෙනවා. කවියක් වගෙයි. කවියක අර්ථයක් තිබිය යුතුවා සේම කවියක තාලයක්ද තිබිය යුතුයි. ජීව්තයට තාලයක් තිබිය යුතු සේම අර්ථයක්ද තිබිය යුතුයි. අර්ථවත් සහ තාලසම්පන්න ජීව්තයක් ගොඩනගා ගත යුත්තේ කෙසේද?
දෙමව්පියන් දරුවන් වෙනුවෙන් යම්කිසි පරිත්‍යාගයක් කරනු ලබන්නේ පෙරළා උපකාරයක් හෝ නැවත ලබාගැනීමේ බලාපොරොත්තුවක් හෝ පරමාර්ථයක් නොමැතිවයි. ගණුදෙනුවක් සම්බන්ධව නම්, එය එසේ නොවේ. යමක් දෙනු ලබන්නේ ආපසු ගැනීමේ බලාපොරොත්තුවක් ඇතිවයි. අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් යම් යම් දේ කරනු ලබන්නේ ආපසු ගැනීමේ බලාපොරොත්තුවක් ඇතිව නොවේ. ආපසු ගැනීමේ බලාපොරොත්තුවක් නැතිව නොගැනීමේ පරමාර්ථ කරගෙන දරුවන් වෙනුවෙන් යම්යම් කාරණා ඉටුකරද්දීත් සමහර දේ අසාර්ථක වන්නේ ඇයි?මෙය සැලකිය යුතු ප්‍රශ්නයක්. දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ට කරන්න පුළුවන් දේ තියෙනවා වගේම කරන්න බැරි දේ තියෙනවා. දෙමවිපියන්ටත් ඒ වගේම දරුවන්ටත් එය එසේමයි. සෑම මිනිසකුටම වගකීමක් තියෙනවා. එම වගකීම කොයි ආකාරයෙන් වගවීම දක්වා ස්වේච්ජාවෙන් බාර ගන්නවාද? කියන කාරණාව මෙහිදී වැදගත්. වගකීම සහ වගවීම අතර වඩාත් වැදගත් වන්නේ ස්වේච්ජාවෙන් වගවීමයි. මම රටට වග වෙන්නට අවශ්‍යයයි. ඒ වගේම මම දෙමවිපියන්ට වග වෙන්නට අවශ්‍යයි. මම මේ මහා සමාජයට වග වෙන්නට අවශ්‍යයයි. ඒ අනුව දරුවන් වෙනුවෙන් දෙමවිපියන්ට කාරණා තුනක් ඉටුකළ හැකියි. ඒ කාරණා තුනම රෙටිත් ලෝකයේත් එක ලෙසම පොදු කාරණාවන් වේ. ඕනෑම අයෙකුට තවත් අයෙකු වෙනුවෙන් සම්පත් ලබාදිය හැකියි. උදව් ද කළ හැකියි. මාර්ග උපදේශකත්වය ලබාදිය හැකියි. ඒත් එම කාර්යය කළ නොහැකියි. උදාහරණයක් වශයෙන් දරුවන් සම්බන්ධව දෙමවිපියන්ට පොත් පත් බෑග් පැන්සල් සපත්තු ඩෙස් රැගෙන දිය හැකි අතර එය සම්පත් සැපයීම වෙයි. නොදන්නා කාරණා පිළිබඳව පහදා දෙමින් උදව් ද කළ හැකියි. එම් දේවල් ඉගෙන ගන්න, මෙම විෂයය ධාරාවන් හැදෑරීම වැදගත් වේවි, මේ මේ කාරණා කරන්න උත්සාහ කරන්න එපා ආදී වශයෙන් යම්කිසි අයෙකුට මාර්ගෝපදේශකත්වය සැපයිය හැකිය. මෙම කාරණා තෙªනන් දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ට උදවි කළ හැකියි. ඉගෙන ගැනීම දරුවගේ කාර්යභාරයක් මිස දෙමවිපියන්ගේ කාර්යභාරයක් නොවේ. දරුවන් වෙනුවෙන් මාර්ග උපදේශනය සපයනවා නම්, දරුවන් වෙනුවෙන් උදව් උපකාර අවශ්‍ය වූ විට එය කරනවා නම්, ඉතිරි කොටස ඉටුකිරීම දරුවන්ගේ වගකීමක් . එනිසා දරුවන් ස්වේච්ජාවෙන් වග විය යුතුයි. අම්මා තාත්තා මේ තරම් වෙහෙස මහන්සි වෙනවා නේද?කියලා සිතිය යුතුයි. දෙමවිපියන් දරුවන්ට උදව්කරන්නේ වගකීමක් ඇතිව . දරුවන් දෙමවිපියන්ට වගවීමක් තියෙන්නට ඕනේ. ඒ දරුවන් සම්බන්ධව පමණක් නොවෙයි.
රජයක් හැටියට ජනතාවට ඩෙංගු බෝවන ආකාරය පිළිබඳව මාර්ග උපදේශනය දිය හැකියි. ඒ වගේම යමියම් වෛද්‍යමය උපකාර ලබාදිය හැකියි. ඒ වගේම පහසුකම් සම්පාදනය කළ හැකියි. එහෙත් රජයක් හැටියට පැමිණිලා යෝගට් කෝප්ප අනෙක් පිට හැරවිය නොහැකියි. වැහිපීලිවල වතුර හලා දමන්න රජයකට පැමිණිය නොහැකියි. රජයක වගකීම රජය විසින් ඉෂ්ට කරද්දී ජනතාවගේ වගකීම ඉටුවෙනවාද? කියන කාරණාව සලකා බැලිය යුතුයි. වගකීම සහ වගවීම පිළිබඳව අපට කැපවීමක් තියෙනවා.
වගකීම යනු පැහැර හැරිය නොහැකි කාරණාවක්. වගවීම පැහැර හැරීම හොඳ නැති දෙයක් හො නොකළ යුත්තක්. ඒ නිසා ජනතාව්ක් හැටියට අපට වගවීමක් තියෙනවා. දරුවන් හැටියට වගවීමක් තියෙනවා. සෑම අවස්ථවකදීම බොහෝ විට අනෙකා මත දෝෂාරෝපණය කරමින් අනෙකා වෙත තමාගේ වගවීම ස්වේච්ජාවෙන් අමතක කීරීමට වෑයම් දරන සාමාන්‍ය සමාජයක අප ජීවත් වෙයි. එම සාමාන්‍ය සමාජය තුළ සිටින බොහෝ පිරිස් සෑම කාරණාවකදීම ආණ්ඩුවට දෝෂාරෝපණය කළ හැකියි. සෑම විටම අම්මා තාත්තාට අනෙකුත් සමාජයට දොස් කිය හැකියි. ඒ නිසා වගවීම යන්න බැරෑරුම් ලෙස සිතට ගත යුතු වටිනා කාරණාවක් වෙයි.
සාමාන්‍යයෙන් ඉතිහාසය පුරාවටම ඒ වගකීම ඉටුකළ දෙමවිපියන් විසින් එම වගකීම මැනවින් ඉටුකළා. එම වගකීම වගකීමම නොවේ යනුවෙන් ඇතැම් විට සමාජය සිතීමට පෙළඹෙන අවස්ථා ද නැතුවා ම නොවේ. ඒ බව අපට පෙනෙන්නට ද නැතුවාම ද නොවේ. නිදසුනක් ලෙස මවකගේ සහ පියකුගේ වගකීම නිරෝගිමත් දරුවකු බිහිකිරීම හා දරුවා නිරෝගිව රැකගැනීමයි දරුවාගේ මානසික නිරෝගිතාවය සහ සෞඛ්‍යය වඩාත් දියුණු කරවන අධ්‍යාපනය ලබාදීම දෙමවිපියන්ගේ වගකීමක් වන අතර දැවැන්ත ආදරයක්ද දරුවා වෙනුවෙන් ලබාදිය යුතුයි. දරුවා ශික්ෂණයට පත්කළ යුතුයි. ඒ වගේම දරුවා කුසලතා පූර්ණ දරුවකු බවට පත්කළ යුතුයි.
දරුවාගේ කායික මානසික නිරෝගීතාවය සහ කුසලතා පූර්ණ ආත්ම විශ්වාසයෙන් සහ ශක්තියෙන් යුතු දරුවෙක් නිර්මාණය කිරීම දෙමව්පියන්ගේ වගකීමක් වෙයි. ඒත් නූතන තරුණයන් හා එවකට තරුණයන්ව සිටි දැනට වැඩි හිටියන් වශයෙන් සිටින දෙමව්පියන් ගේ වගකීම යැයි දරුවන් විසින් කියනු ලැබූයේ එම කාරණාව නොවේ. මට මෙපමණ ප්‍රමාණයක පර්චස් ගණනක් අරන් දමලා නැද්ද? අපේ අම්මා තාත්තා අසවලාට මෙපමණ ප්‍රමාණයක් දුන්නාය. මට දුන්නේ ද නැත. මගේ තාත්තා අම්මා විශාල වටිනාකමකින් යුත් වාහන අසවලාට රැගෙන දුන්නත් මට දුන්නේ නැත. මගේ තාත්තා හා අම්මා මෙපමණ මුදල් ප්‍රමාණයක් අසවලාගේ ගිණුමෙහි තැන්පත් කළ තිබුණත් මට දුන්නේ ද නැත. මුදල් ඉතිරි කීරීම,ඉඩකඩම් අරන් දැමීම, ගේ දොර සාදා තිබීම හෝ භවභෝග සම්පත් රැගෙන තබා තිබීම යන කාරණා දෙමවිපියන්ගේ වගකීම නොවේ. එය අතිරේක කාරණාවක් වේ. දෙමව්පියන් දරුවන්ට උගන්වා තිබෙනවා නම්, දරුවන් හොඳට හදා වඩා තිබෙනවා නම්, දරුවන් වරදින් මුදවාගෙන තිබෙනවා, නම්, දරුවන්ට යහපත් ලෝකයක් සඳහා වන කුසලතා පූර්ණ දරුවකු ලෙස කායික මානසික නිරෝගිකම උදෙසා වන කාරණා සියල්ල කරදී තියෙනවා නම්, ඔවුන් දෙමව්පියන් ලෙස වගකීම ඉටුකර අවසානයි. ඉඩමක් මිලදී ගෙන ගෙයක් සාදා තිබීම අවශ්‍ය යැයි කියලා යම්කිසි දරුවකු සිතනවා නම්, එය දරුවන් වෙනුවෙන් දෙමව්පියන් කළයුතු වගකී මක් නොවන බව එවැනි දරුවන් විසින් අවධාරණයෙන් යුතුව වටහා ගතයුතු කාරණාවක් වෙයි. එසේ සීතීම වැරැදි සහගතයි. එය වගකීමක් නොවන අතිරේක කාරණාවක් පමණයි. ඒ වගේම දරුවා ශක්ති සම්පන්න කීරීමට වඩා, දරුවා නිරෝගී ආහාරවලින් පෝෂණය කිරීමට වඩා, දරුවාට පිළිකා කාරක රසකාරක වර්ණ කාරක උත්තේජ කාරක වැනි ආහාර වලින් පෝෂණය කරනවාට වඩා දරුවන්ට අධ්‍යාපනය ලබාදෙනවාට වඩා දෙමව්පියකු ලෙස මා කළ යුත්තේ දරුවාට වාහනයක් අරන්දීමය. මාකළ යුත්තේ පර්චස් 15 ක් රැගෙන දැමීමය මාකළ යුත්තේ රක්ෂණ ආවරණයක් ලබාදීමය. යනුවෙන් සිතනවා නම්, දෙමව්පියන්ගේ වගකීම කුමක්ද? කියන කාරණාව වැරැදි ආකාරයෙන් තේරුම් ගැනීමක් වෙයි.
දරුවා කුසලතා පූර්ණ දරුවකු බවට පත්කළ යුතුයි. අව්වට, වැස්සට හුරුවුණා වූද මහ පොළවට සහ ආකාශයට නිතැතින්ම යොමු වුණාවුද,අතට පයට වැඩට හුරුපුරුදු වුණා වූද, පුංච් දෙයක් වත් දරාගත නොහැකි තරමට මට සිළිටු නොවී ලෝකයේ වඩාත් ශක්ති සම්පන්නව ජීවත් විය හැකිය යන තැනට පැමිණි දරුවකු නිර්මාණය කරනවා වෙනුවට නිකම්ම නිකම් හුරතල් පුළුන් බබෙක් නිර්මාණය කළ විට එම දරුවාට තාත්තා නැතිව ජීවත් විමට බැහැ. ගෙදරින් නැතිව කෑම කන්න බැහැ. කරාමය නැතිව නාගන්න බැහැ. ඔහුට ගෙදරින් තොර ජීවිතයක් නැහැ. සමනලයකුටත් වඩා මොළකැටිවූත්, දුර්වල වූත් දරුවකු නිර්මාණය වී මහ පොළවට දිරවන්නේ නැති දරුවකු බවට පත්වූ වෙකු වෙයි.
නිදර්ශනක් ලෙස එකම දවසක එකම පසක එකම වර්ගයක පැළ දෙකක් සිටුවා, එක පැළයකට පන්දලමක් හෙවත් වටේට කොටුවක් ගසා ආරක්ෂාව ස පයා, අනෙක් පැළයට ආරක්ෂාව සඳහා පැළය ළඟ කෝටුවක් සිටුවා එම පැළය කෝටුවට අල්ලා බඳිනු ලබයි. එකම ජාතියේ පසක් සහිත බිමක එකම වර්ගයේ පැල දෙකක් එකම දවසක එකම වේලාක රෝපණය කරමින් සමාන පොහොර සමාන ජලය සමාන අව්ව වැස්ස ලැබෙනවා. එක ගසකට කෝටුවක් බැ ඳීමෙන්ද අනෙක් පැළයට කෝටුවක් නැතිව පන්දලමක් බැඳී රෝපණය විමට ඉඩ හැරිය හොත් කෝටුවක අතිරේක ආධාරයෙන් සිටුවා ඇති පැළය වේගයෙන් වර්ධනය වෙයි. කෝටුවක ආධාරයක් නැති පැළය සතා සිව්පාවාගෙන් ආරක්ෂා වීමට කොටුවක් බැඳ තිබෙයි. එම පැළයේ ආරක්ෂාවට කොටුව තිබුණත් අව්වට වේලෙමින් වැස්ස ට තෙමෙමින් සුළඟට නැමෙමින් පැළය වැඩෙයි. මෙම පැළ දෙකෙන් කොටුව සිටවන ලද පැළය වේගයෙන් උස ගියද, කෝටුව නැතිවුණ වේලාවට එකම සුළඟකින් දෙකට කැඩිල බිමටම සමතලා වීයයි.පන්දලම හෙවත් කොටුවෙහි සිටවන ලද පැළය සුළඟට ඔරොත්තු දුන්නු නිසා එම පැළය වැටෙන්නේ නැහැ. කොටුව නිසා ආරක්ෂා වුණා . කොටුවේ සහ කෝටුවේ ස්වභාවය නියමයක් ලෙස ගත හැකියි. කොටුවේ සහ කෝටුවේ නියාමය යන වර්ග දෙකට දරුවන්ද අයත් වෙයි. සමහර දරුවෝ කෝටු දරුවන් වන අතර ඇතැම් දරුවන් කෝටුවේ දරුවන් වෙයි. එනිසා කොටුව යනු ආරක්ෂාවේ සංකේතය වන අතර කෝටුව යනු අතිරේක සහ අනවශ්‍ය ආධාරකයේ සංකේතයයි.
තුම්මේහි කිච්චං ආතප්පං
අත්ඛා තාරෝ තථාගතා
ඔබ විසින් පිළිපැඳිය යුතුය. තථාගතයන් වහන්සේලා කරනු ලබන්නේ ඒ පිළිබඳව මාර්ග උපදේශනය පමණයි. තවත් අවස්ථාවක බුදුපියාණන් වහන්සේ වදාරනු ලබන්නේ
නාඤ්ඤ මඤ්ඤං විසෝධයේ
එකිනෙකා එකිනෙකාට පිරිසුදු කරගන්නේ නැත. මා කළ පව්ද මටමයි. කළ පින් ද මටමයි. ඒ අනුව ස්වේච්ජා වගවීම පිළිබඳව ඒ තුළ දැවැන්ත ආකාරයෙන් අවධාරණය කරනු ලබයි. මට කෙතරම් හිතවතෙක් හිටිය ද, මා කළ පවි එම හිතවතාට බාරදිය නොහැකි වා සේම එම කරන ලද පාපකර්ම බාරගැනීමේ හැකියාවක්ද නැත. අනෙකා කළ පින් මට ලැබෙන්නේ නැත. ඒ නිසා අප කරගනු ලබන පින් අපට සිටින වෙන අයෙකුට බාර දිය නොහැකියි. ඒ නිසාම ස්වේච්ජා වගකීමක් තියෙනවා. අප යම්කිසි හොඳක් කළහොත් එම හොඳතීන්දු කරන්නේ ද අප විසින්මයි. අප තීන්දු කරන්නේත් අප විනිශ්චය කරන්නේත් අප විසින්මයි. එතැනදී අප තීන්දු කරන දෙවියකු පිළිබඳව බුදු දහම විශ්වාස කරන්නේ නැත.දෙවියන් විසින් අප කිසියම් තැනකට මෙහෙයවනවා යැයි කියන එකට වඩා එම වගකීම හා වගවීම බුදුපියාණන් වහන්සේ විසින් රඳවනු ලැබ ඇත්තේ පුද්ගලයා මතයි. එනිසා සෑම පුද්ගලයකුටම තමන් පිළිබඳ වගකීමක් තියෙනවා. හෙට දවසේ තමන්ගේ වගකීම තමන්ගේම වගවීමක් විය යුතුයි. දරුවන් හෙට දවසේ සිටිය යුතු තැන හෝ හෙට දවසේ සිටිය යුතු ආකාරය පිළිබ ඳව අම්මාටවත් තාත්තාටවත් තීන්දුවක් නැහැ. කළ හැක්කේ උපකාරයක් පමණයි.
ඒ නිසා දරුවා වෛද්‍යවරයකු වෙනවාද? නීතීඥ වරයකු වනවාද? ව්‍යවසායකත්වය තුළ යෙදෙනවාද? නිෂ්පාදන කාර්ය භාරයක යෙදෙනවාද? යන වගවීම තිබෙන්නේ දරුවාටයි. ඒ නිසා එය උයාපිහා දිය හැකි , බෙදා දියහැකි , අනාදිය හැකි, වුවද, දරුවා වෙනුවෙන් කන්න බැහැ වගෙයි.
ඇඳුමක් මසා දියහැකි, මිලදී රැගෙන දියහැකි වුවද,එම ඇඳුම දරුවා වෙනුවෙන් ඇඳිය නොහැකියි. දොස්තර මහත්මයා ළඟට රැගෙන ගොස් බෙහෙත් අරන් දිය හැකි වුවද, දරුවා වෙනුවෙන් එම බෙහෙත් බීම නොහැකියි. ඒ නිසා කළ හැක්කේ උපකාරී වීම හා සම්පත් සැපයීමයි.
පහසුකම් සැපයීම හා උපකාරීවීම සහ මාර්ග උපදේශනය ලබාදීම පමණයි. තමාගේ තීන්දු තමා විසින්ම ගත යුතුයි. තමාගේ ස්වාමිත්වය තමා තුළම රඳවා තබාගත යුතුයි. ඒ සියල්ලටම තමා උත්සාහවත් විය යුතුය.
මිනිසුන් තමන් විසින්ම හිරකූඩුවක් තුළට වී තමන් විසින්ම ඉබ්බෙක් යොදා තමන් විසින්ම සිරකූඩුව ඇතුළට වී තමන්ගේ අගුල දමා තමන් විසින් සිරගත වී සිටිනවා වගේ තමන්ගෙන් ගලාගෙන යන සිතිවිලි ධාරාවට ඉඩ නොදෙන තැනක කවදාවත් පරිකල්පනාවක් නිර්මාණය වන්නේ නැත. එක එකතු කිරීම එක සමානයි දෙකයි කියලා අපට කියපු නිසා කවරදාවත් ඉන් එහාට දෙයක් සිතන්නේ නැත. එක එකතු කිරීම එක සමානයි රදකයි කියනවා හැර වෙන උත්තරයක් කියන එකක් නැහැ. තමන් විසින් තමාගේ සිතිවිලි පරාසය ස්වේච්ජාවෙන් ම මීට වඩා නොසිතිය යුතු යැයි සිතාගතහොත් හැර ඕනෑම අයකුගේ සිතිවිලිවලට ඉඩ ලැබුණහොත් ඉගිල්ලෙන සීමාවේ නිමක් නැතිව යයි. ලෝකය තුළ දාර්ශනිකයන් බුද්ධිමකු් බිහිවුණේ ඒ නිසයි. එක සමානයි එකයි කියනවාට වඩා දශමයක් එහා මෙහා නොවී නොසිතන පුද්ගලයා උගතෙක් වෙනවා. ඒත් එක එකතු කිරීම එක සමානයි එක විය හැකිද? යනුවෙන් කල්පනා කරන පුද්ගලයා බුද්ධිමතුන් වෙයි. ඒ නිසා උගත්කම යනු තමන්ට කවුදෝ ණයට දුන්නු දෙයක් රැගෙන ස්වේච්ජා හිරකාරයකු බවට පත්වීමයි. ඒ දැනුම තුළ හිර නොවී එම දැනුම ප්‍රශ්න කරන්නාවූ තැනැත්තා බුද්ධ්මතකු වෙයි. තීන්දුවක නිගමනයක නොසිටින්නාවූ පුද්ගලයා බුද්ධිමතකු වෙයි.
දිටිඨංච අනුපගම්ම-සීලවා දස්සනේන සම්පන්නෝ
දෘෂ්ටියෙන් දර්ශනයට යා යුතුයි. නිගමනය වහාම ඉවත් කළයුතුයි. ඒ නිගමන අප සත්‍යාවබෝධය දක්වා යන ගමනට බාධාවක් වෙයි.
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 22 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment