Labels

Saturday, March 19, 2016

සීලයෙන් පිරිපුන් ජීවිතය සැමදා සතුටින්


සුපසන් ජීවිතයකට ලිපි පෙළෙහි නවම් මස අමාවක පෝදා සද්ධා සම්පදාව, සීල සම්පදාව, චාග සම්පදාව, සහ පඤ්ඤා සම්පදාව විග්‍රහ කර බලන්නට ආරම්භ කළ අතර අද ශීල සම්පදාවේ සිට ඉදිරියට විවරණය කර බලමු.

සීල සම්පදාව කියන්නෙ කුමක් ද අප පසු ගිය පෝය දිනයන්හි සඳහන් කළා සේ ආර්යය ශ්‍රාවකයෙක් මෙහි භික්ෂුවක්, භික්ෂුණියක් වෙන්නත් පුළුවන්. උපාසක උපාසිකාවක් වෙන්නත් පුළුවන්.
සීල සම්පදාවෙදි ගෘහස්ථ ජීවිතයේ නම් ඒ උපාසක උපාසිකාව මහත්මයෙක් හෝ මහත්මියක් නැත්නම් කාන්තාවක් හෝ පිරිමියෙක් ඒ අය ප්‍රාණඝාතයෙන්, සොරකමින්, ඉන්ද්‍රියන් වරදවා සතුටු කිරීමෙන්, බොරු කීමෙන්, මදයට ප්‍රමාදයට හේතුවන රහමෙර පානයෙන් බැහැරවෙනවා. මේ තමයි සීල සම්පදාව කියල කිව්වේ. එහෙම නම් සතුටින් ජීවත්වෙන්න කැමැති සෑම කෙනෙක් ම සීලයෙන් පිරිපුන් වූ ජීවිතයක් ඇතිකර ගන්න අධිෂ්ඨාන ඇති කරගත යුතුමයි. එසේ අධිෂ්ඨානයක් ඇති කර ගැනීම හැඳින්වූයේ සීල සම්පදා කියලා. කායික මානසික සංවරය නැති තැන මොනතරම් ධනයක් ලැබුණත්, මොනතරම් බාහිර පෙනුමකින් යුක්ත වූවත් ඒ ජීවිතය ආධ්‍යාත්මික වශයෙන් නම් පිරිහිලා. ආධ්‍යාත්මික වශයෙන් සුපසන් ජීවිතයක් වෙන්නෙ නැහැ. මේ නිසා ප්‍රාණඝාත ආදී පස් පව්, දස අකුසල්වලින් බැහැර වුණු ජීවිතයක් සැබෑවටම සුපසන් ජීවිතයකුයි.
ඉහත සඳහන් කළ දුර්ලභ ධර්ම කරුණු හතර ලබන්න දෙවැනි කරුණ හැටියට දැක්වූයේ සීල සම්පදාව නම් සීලයෙන් පිරිපුන් වූ සම්පදාව තමන්ගේ ජීවිතය තුළ පවත්වාගත යුතුයි කියල,
“සීලේන භෝග සම්පදා”
එහෙම සිල්වත්ව කටයුතු කරන කොට භෝගයන්, ලෞකික ධනයත් නිරවුල්ව ධර්මානුකූල ජීවිතයකින් ලබන්න පුළුවනි. ඒ වගේ ම ඒ සිල්වත් බව නිසාම දුගතියෙන් බැහැර වෙලා සුගතියට යන්නත් පුළුවනි. මේ නිසා දුර්ලභ වූ දහම් කරුණු ලබන්න අනුගමනය කළ යුතු දහම් කරුණු හැටියට සඳහන් කළේ “සද්ධා සම්පදා” වගේ ම “සීල සම්පදාව“යි. හැකිතාක්දුරට සිල්වත් වූ අයෙක් වෙන්න කියන අදහසමයි. එහෙම සිල්වත් වූ අයෙක් අම්මා කෙනෙක් හැටියට, පියාණන් කෙනෙක් හැටියට පෙනී සිටින කොට දරුවන්ගේ සිත් පවා නිවෙන්න පටන් ගන්නවා. ඔවුන් කරන කියන දේවල්, ධර්මානුකූල දේවල් හරියන්න පටන් ගන්නවා. දෙවියොත් ආරක්ෂා කරනවා යැයි සඳහන් කළෙත් ඒකයි.
තුන්වනුව සඳහන් කළේ චාග සම්පත්තියයි. දීමයි, පරිත්‍යාගයයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ආර්ය ශ්‍රාවකයෙක් බැහැර කළ මසුරුමල ඇති සිතින් ගිහි ගෙදර වාසය කරනවා කියලා. මෙතන මසුරුමල කියා කීවේ දැඩි වූ ආශාවන්. මල කියා කීවේ මලකඩ, පිළිලයක්. යම් තැනක හටගත්තොත් ඒ ගස හෝ යකඩය හෝ සියල්ලම විනාශ වෙලා යනවා. ගෘහස්ථ ජීවිතයක “මහිච්ඡතා” යනුවෙන් සඳහන් කරනවා. කොයිතරම් ලැබුණත්, ගත්තත්, සතුටුවෙන්නෙ නෑ කියන විෂම වූ ලෝභය තිබුණොත් ඒ ජීවිතයේ පිරිහීමක් වෙනවා. ඒ නිසා අන්න ඒ මසුරුමල බැහැර කරල දන් දෙන පරිත්‍යාග කරන සිතින් ගිහි ගෙදර වාසය කරන්න පුළුවන්. එතැන සඳහන් කළේ මුත්තචාග කියල. තෘෂ්ණාවෙන් මිදුණ කියල, දෙන්නටම පිරිසුදුව අත්දෙකක් තියෙනව කියන එකයි. මෙහි පිරිසුදු අත්දෙකක් කියල කියන්නෙ දූවිලි, කුණු නැහැ කියන අදහස නෙමෙයි. සිත පිරිසුදු නිසා ඒ දෙන අත්දෙකත් පිරිසුදුයි. දෙන්නට ම සිත කියනවා. යම් කෙනෙකුට උදව්වක් කරන්න කියල ඉල්ලන්න සිතෙනවා. මොකද මේ අය බොහෝම ත්‍යාගවන්ත කෙනෙක්. කවුරු හරි ඉල්ලුවොත් නැහැයි, බැහැයි කියන්නෙ නැහැ. කළ හැකි උපකාරයක් සිද්ධ කරනවා. ඒ නිසා යම් කෙනෙකුට තමන්ගෙ ජීවිතයේ ගැටලුවක් කියන්න සිතෙනවා. යමක් ඉල්ලන්න සිතෙනවා. ඒ වගේ ම දන් දීමෙහි බෙදාදීමෙහි ඉතාම හොඳින් දන් දෙන කෙනෙක් බවට පත්වෙනවා. මෙය හඳුන්වනවා චාග සම්පත්තිය කියලා.
හතරවනුව සඳහන් කරන්නෙ ප්‍රඥා සම්පදා මොකක් ද ප්‍රඥා සම්පදාව කියන්නෙ. අභිජ්ඣා විෂම වූ ලෝභය. අභිජ්ඣා කියන්නෙත් විෂම වූ ලෝභයයි කියන එකයි. අන්සතු වස්තූන් කෙරෙහිත්, තමන් සතු වස්තූන් කෙරෙහිත් ලෝභයක් ඇතිකර ගැනීමයි. තමන් සතු වස්තූන්වත් පරිහරණය කරන්නෙ නැහැ. ඒකයි එහි ලෝභයක් යැයි සඳහන් කළේ. මෙන්න මේ අභිජ්ඣා විෂම වූ ලෝභයෙන් මැඩුණොත් ඒකියන්නෙ ඒවට යටත් වුණොත් එනම් අභිජ්ඣා විෂම ලෝභය තිබුණොත් එවැනි සිතකින් වාසය කරන්නො, නොකළ යුතු දේ කරනවා. කළයුතු දේ කරන්නෙ නැහැ. නොකළ යුතු දේ කරන කොට කළයුතු දේවල් කරන්නෙ නැතිකොට යසසින් එනම් කීර්තිය, සැපයෙන් පිරිහෙන්න පටන් ගන්නවා. කවුරුවත් හොඳයි කියන්නෙ නැහැනෙ. ධර්මයට අනුව සමාජයට, රටට අඩුම තරමෙ සදාචාරයට අනුව නොකළ යුතු දේවල් කරන කොට කළ යුතු දේවල් පැහැර හරිනකොට කවුරුවත් හොඳයි කියන්නෙ නැහැ. ඒකයි යසසින් පිරිහෙනවා කියන්නෙ. ඒ වගේ ම සැපතිනුත් පිරිහෙනවා. බලා සිටිද්දීම සියල්ල බැහැර වෙලා යනවා.
ඒ වගේ ම තවත් කෙනෙක් ව්‍යාපාදය හෙවත් තරහින් වැඩුණු සිතකින් වාසය කරනවා නම් ඒ අය නොකට යුතු දේ කරනවා. කළ යුතු දේ කරන්නෙ නැහැ. නොකටයුතු දේ කිරීම නිසා කළ යුතු දේ පැහැර හැරීම නිසා යසසිනුත්, සැපතිනුත් පිරිහෙන්නට පටන්ගන්නවා. අර තරහව ඇති කර ගත්ත අය හොඳ නරක තේරුම් ගන්නෙ නැහැ. සමහර විට නොකළ යුතු දේවල් ම කරන්න උත්සාහ කරනවා. නපුරු වචන, පරුෂ වචන, කියන්න එපා. ගහ බැන ගන්න එපා. ආදී වශයෙන් මොන විදිහට සඳහන් කළත් ඒ සිත්වලට තේරෙන්නෙ නැහැ. හේතුව තරහවෙන්, ව්‍යාපාදයෙන් ඒ සිත වැහිල පවතින්නෙ. ඒ සිත තුළ තරහව, ව්‍යාපාදය මුදුන්වෙලා පවතින්නෙ. අන්න ඒ නිසයි නොකළයුත්ත කරන්නෙත්, කළයුත්ත බැහැර කරන්නෙත්. ඒ නිසාම යසසින්, සැපතින් පිරිහෙනවා.
තුන්වනුව ථීනමිද්ධය සිතේ ඇතිවන අලස ගතිය, නිදිමත ගතිය, මළානික බව ඇති වුණොත් ඒත් නොකළ යුත්ත කරනවා. කළ යුතු දේ කරන්නෙ නැහැ. නොකළ යුතු දේ කිරීම නිසාත්, කළයුතු දෙයින් බැහැර වීම නිසා යසසින්, සැපයෙන් පිරිහෙනවා. හැබෑවමයි අලස, නිදිමත ගති ඇති අකර්මන්‍යය වූ යම් කෙනෙකුගේ ජීවිතය බලා සිටිද්දි පිරිහෙන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයා වාසය කරන නිවහන පවා පිරිහෙන්න පටන් ගන්නවා. අලස, කම්මැලි පුද්ගලයෙක් වාසය කරන නිවහනක කුස්සිය, වැසිකිළිය, කැසිකිළිය, පටන් ඉතාම අප්‍රසන්න තැන් බවට පත්වන්න පුළුවන්. ඒ අය ලෞකික වශයෙන් නොව ලෝකෝත්තර වශයෙනුත් පරලොව වශයෙනුත් පිරිහෙනවා.
මී ළඟට සඳහන් කළේ උද්ධච්ඡකුක්කුච්ඡය. මනසේ ඇතිවන නොසන්සුන්කම හා පසුතැවීමය. නිරන්තරයෙන් නොසන්සුන් වූ මනසකින් හා පසු තැවුණු කුසල ධර්ම සිදු කරන්න බැරිවුණා යැයි කියා පසුතැවෙනවා. අකුසල ධර්ම සිදුකළා යැයි පසුතැවෙනවා. මේ නිසා නොසන්සුන් මනසක් පවතිනවා. අන්න ඒ අයත් නොකළ යුතු දේ කරනවා. කළයුතු දෙයින් බැහැර වෙනවා. ඒ නිසාම යසසින් හා සැපයෙන් පිරිහෙනවා.
මී ළඟට විචිකිච්ඡාව. විචිකිච්ඡාව යනු බුද්ධාදී අටතැන් කෙරෙහි සැකය. විචිකිච්ඡාවෙන්, සැකයෙන් මැරුණු සිතක් පැවතුණාම නොකළ යුතු දේ කරනවා. කළයුතු දේවල්වලින් වළකිනවා. නොකළ යුතු දේවල් කිරීම නිසාත්, කළයුතු දේවල්වලින් බැහැරවීම නිසාත් මේ පුද්ගලයා යසසින් ඒ වගේම සැපයෙන් පිරිහෙනවා.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ නීවරණ ධර්ම පහ, යම් කෙනෙක් මේ නීවරණ ධර්මයන්ට හසු වුණොත් මෙලොව පරලොව දෙලොව ජීවිතය ම පිරිහෙනවා. මුලින් සඳහන් කළ පරිදි ධර්මානුකූල ධනයක් ලබන්න බැහැ. ඒ වගේ ම ඥාතීන් සමඟ එකතු වෙන්නත් බැහැ. ගුරු දෙමාපියෝ බැහැර වෙලා යාවි. පරිවාර සම්පත්තිය බැහැර වෙලා යාවි. මෙලොව ජීවිතය දුකින් ගත කරල දීර්ඝායුෂ නැතිවම මරණින් මතු දුගතියේ ඉපදෙන්නට පුළුවන්. ඒ මේ සද්ධා, සීල, චාග, ප්‍රඥා සම්පදා කියන කරුණු හතරෙන් බැහැර නොවන්න. මේ දහම් කරුණු හතර ජීවිතයට එකතු කර ගත්තොත් සද්පුරුෂ මනුෂ්‍යයෙකුට සැප කැමති මනුෂ්‍යයෙකුට දුර්ලභ වූ කරුණු වන මුලින් ම සඳහන් කළ එනම් ධර්මානුකූලව ම භෝග සම්පත් ලබාගෙන ඥාතීනුත් ළං කරගෙන, ගුරු දෙමාපියනුත් ළංකරගෙන දීර්ඝායු සම්පත්තිය ලබල මරණින් මතු සුගතිය ලබන්න පුළුවන්.

ඔබේ ජීවිතයේත් මේ කරුණු පවත්වනවා ද පවත්වගන්න උත්සාහ ගන්නවාද වැඩිදියුණු කරනගන්නවා ද කියල සිතන්න. මේවා නැති නම් ජීවිතයටය එකතු කර ගන්නට සිතන්න.


බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 15 වන අඟහරුවාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

1 comment: