යම් ජාතියක, රටක, වර්ගයක, කුලයක අභිවෘද්ධියක්ම බලාපොරොත්තුවෙන් ඒ ඒ කණ්ඩායම්වලට ආදරය කරන ඇත්තන්, ඒ ඒ කණ්ඩායම් උදෙසා නොයෙකුත් ක්‍රියාකාරකම්වල තම අභිමතය පරිදි යෙදෙති. නමුත් බොහෝවිට එම ක්‍රියාකාරකම් නිසා ඒ ඒ කණ්ඩායම් තුළ පරිහානියක්ම, අසමගියක්ම ඇතිවන අවස්ථා බොහෝ විට පෙනෙන්නට ඇති සුලභ කරුණකි. අවංකව කැපවී,
අවංක හැඟීමෙන් යුක්තවම තම කණ්ඩායමේ පිරිස වෙනුවෙන් කටයුතු කරන්නන් අතින්ද මෙවැනිම හානි සිදුවන අවස්ථාද ඇත. ඒ මක්නිසාද යත් තමන්ට සාපේක්ෂව නිවැරැදියැයි හැඟෙන දේ ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බැවිනි. කූට උපක්‍රම යොදමින් තමන්ගේ අභිවෘද්ධිය ඇති කරගැනීමට උත්සාහ කරන පාපි පුද්ගලයින් මෙන් නොව, තමන් දන්නා තරමින් තම කණ්ඩායම වෙනුවෙන් අවංකව කටයුතු කිරීමට කැපවී, එම කණ්ඩායමට හානි සිදුවන ඇත්තන්ගෙන් සිදුවන්නේ අහිංසක වරදකි.
මෙහිදී අප තේරුම්ගත යුතු වටිනාම කරුණක් නම් කෙනෙකු ක්‍රියා කිරීමේදී අවංක විය යුතු බව පමණක් නොව නිවැරැදි විය යුතු බවයි. එකම කරුණක් පිළිබඳව විමසීමේදී එක් එක් පුද්ගලයාට එහි නිවැරැදි බව දැනෙන්නේ එක් එක් ආකාරයටයි. ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂවයි. නමුත් නිවැරැදි බව යන්න එකක්ම වේ. නිරවුල්වම නිවැරැදි දේ කුමක්ද? යන්න සොයාබලන්නේ නැතිව තම තමන්ට දැනෙන පරිදි නිවැරැදි දේ හැම අයකුම ක්‍රියාත්මක කිරීමට ගියහොත් විශාල ව්‍යාකූල තත්ත්වයක් ඇතිවන බව හොඳින් විමසා බැලීමෙන් පැහැදිලිව තේරුම් ගත හැකිය. එබැවින් යමක් ක්‍රියාත්මක කිරීමට පෙර නිවැරැදිම දේ කුªමක්ද, යන්න සොයාබලා, ඒකමතික තීරණයකට පැමිණ, එක්සත්ව එක් අරමුණකින්, හැම පුද්ගලයකුම අවංකව කටයුතු කළහොත් එම කණ්ඩායමේ කෙතරම් දියුණුවක් ඇතිවනවාද යන්න නොකිවමනාය.
යම් පුද්ගලයකු තුළ හැගීම් ජනිත වන්නේ තම තමන්ගේ දෘෂ්ටි අනුවයි. ඒ ඒ පුද්ගලයා සතු දැනුම මත එම දෘෂ්ටීන් ඇතිවේ. එම නිසා මෙම ලෝකයේ මිනිසුන් කණ්ඩායම් වශයෙන් කටයුතු කරන විට නොයෙක් ආකාරයේ මති මතාන්තර ඇතිවේ. නමුත් ලෝකයේ නුවණ ඇති මිනිසුන් යම් යම් සම්මුතීන්, සාකච්ඡා කොට ඇති කර ගනිමින්, තම තමන්ටම නීති පද්ධතීන් ඇතිකරගෙන, එක් අරමුණකට තම කණ්ඩායම් මෙහෙයවමින්, වර්ධනයන් ඇති කරගනී. නමුත් මේ ආකාරයට කටයුතු කළ යුතු බව නොදන්නා, නුවණින් විමසා බලා තේරුම් නොගන්නා ඇතැම් අධම පිරිස් තම තමන්ටම රුචි පරිදි අන් අය මෙහෙයවා පරිහානියක්ම ඇති කරගනිති. සමහර ලොවෙහි කණ්ඩායම් තම තමන් සම්මත කරගෙන ඇති වැරැදි දේවල් වුවද එකම අරමුණකට ගොනුවී ඇති බැවින් දියුණුවක් ලබා ඇති බව ගවේෂණය කළ හැකිය.
කෙසේ නමුදු කණ්ඩායමකට ක්‍රියාත්මක භාවයට පත් කිරීමට නිවැරැදිම දේ සොයාගැනීම ඉතා අසීරු කාරණයකි. ඒ අයුරින් බලන කල අප බෞද්ධ ඇත්තන් ඉතා භාග්‍යසම්පන්න පිරිසකි. මන්ද යත් සියලු දේ පිළිබඳ නිවැරැදිව අවබෝධ කරගෙන දේශනා කළ ශාස්තෘන් වහන්සේ නමකගේ මඟ පෙන්වීම අපට ලැබී ඇති බැවිනි. බුදුරජාණන් වහන්සේ කිසිවකුට අගෞරව නොකළ බවත් සැමට එක ආකාරයටම සැලකු බවත්, ලෞකික ජීවිත සාර්ථකව ගෙනයාම සඳහා ද නොයෙකුත් ධර්මයන් දේශනා කළ බවත් අපි හොඳාකාරවම දනිමු. බෞද්ධ ඇත්තන් තෙරුවන් සරණ යන්නේ එවැනි මහත්වු විශ්වාසයක් පෙරදැරිවයි. එසේ නම් නිවැරැදි බෞද්ධයන් ලෙස ලොවෙහි යම් කණ්ඩායමක් තම කණ්ඩායමේ අභිවෘද්ධියක් බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා සිදු කළ යුතු දේ කුමක්ද යන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් විමසා බලා , ඒ අනුව කටයුතු කිරීම අප අනිවාර්යෙන්ම සිදුකළ යුතු වේ.
බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූඨ පර්වතයේ වැඩ වාසය කරන කාලයේදී වජ්ජි දේශය පිළිබඳව ‘අජාසත්” රජතුමාගේ මහ ඇමැතියකු වූ ‘වස්සකාර’ බමුණා අමතා සිදුකරන්නට යෙදුන දේශනාවෙන්, මහා පරිනිර්වාණ සූත්‍රයේදී අපට මේ පිළිබද මූලාශ්‍ර සොයාගත හැකිය. මගධ දේශයේ රජකම් කළ අජාසත්ත රජතුමා නොයෙකුත් අන්‍ය රාජ්‍යයන්හි බලය තහවුරු කර ගත්තද වජ්ජින්ගේ දේශයට බලපෑම් කිරීමට නොහැකිවු කල්හි කෙතරම් බලය තමන් සතුව තිබුණද වජ්ජින්ගේ දේශය එසේ යටත් කර ගැනීමට නොහැකි මන්දැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසීමට , වස්සකාර මහා අමාත්‍යවරයා එවූ අතර වජ්ජීන් තුළ පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සප්ත අපරිහානීය ධර්මයන් වජ්ජින් ආරක්ෂා කරන්නේ නම් ඔවුන්ගේ වෘද්ධියක්ම මිස පරිහානියක් සිදු නොවන බවත් කිසි කලෙක යටත් කරගැනීම සිදු නොකළ හැකි බවත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. එසේ නොපිරිහෙන ජාතියක් ලෙස බුද්ධ ගෞරවයට පාත්‍ර වු වජ්ජින් ආරක්ෂා කළ සප්ත අපරිහානිය ධර්මයන් මෙසේයි.
1.නිරතුරු ඒකරාශි වීම
2.සමගිව ඒකරාශි වීම සමගිව නැගී සිටීම, සමගිව කටයුතු කිරීම,
3.පෙර නොපවන ලද්දක් නොපැනවීම, පනවන ලද්ද නොසිඳීම, පනවන ලද පුරාණ දහම්හි පිහිටීම,
4.වැඩිහිටි අයට සත්කාර ගරුකාර බුහුමන් පූජා කෙරෙත් ඔවුන් බස ඇසිය යුතු කොට සිතීම
5.යම් කුල දැරියෝ, කුලවමියේ ඇත්ද ඔවුන් බලහත්කාරයෙන් තමන් කෙරෙහි නොවැස්වීම
6. යම් පූජනීය ස්ථාන වෙත්ද එම ස්ථාන කෙරෙහි සත්කාර, ගරුකාර, බුහුමන්, පූජා කිරීම
7.තම රටට නොපැමිණි රහතුන් මහණුන්වේද, පැමිණීම බලාපොරොත්තු වීම, පැමිණි උතුමන්ගේ රටෙහි පහසුවෙන් වාසය කරවීම හා දැහැමි රැකවල සැලසීම.
මේ කරුණු දෙස ඉතා විමසිල්ලෙන් බලා අප ජීවිතවලට එකතු කරගත යුතුවේ. කණ්ඩායමක් යනු එක් අයකුට වඩා වැඩි පිරිසකි. පිරිසක් එකතුවන්නේ කුමන හෝ කරුණක් මූලික කර ගෙනයි. එසේ නොමැති නම් වර්ග, ගෝත්‍ර , ජාති, ආගම්, වාසය කරන ප්‍රදේශ ආදි නොයෙකුත් ආකාර වශයෙන් කණ්ඩායම් සකස් වෙති. කෙසේ වුවද ඒ ඒ කණ්ඩායම් වලට ආවේණික නොයෙකුත් ලක්ෂණ මෙන්ම අරමුණුද තිබේ. ඒ ඒ අරමුණු කරා ළඟාවීමට ඇති කුමන ආකාරයක හෝ හැකියාව එම කණ්ඩායමට ඇති ශක්තියයි.
මූලික වශයෙන් නිවැරැදි හා පැහැදිලි අරමුණු සෑම කණ්ඩායමකටම තිබිය යුතුවේ. විවිධ කරුණු මූලික වී කණ්ඩායමක අරමුණු සකස් වේ. කණ්ඩායමක දියුණුව සිදුවන්නේ තම අරමුණු සැම දෙනා තුළම ප්‍රබලව හා අඛණ්ඩව අරමුණට ළඟා වනතුරු නොවෙනස්ව තබා ගැනීමෙනුයි. එසේ අරමුණු ගතවූ කණ්ඩායමකට එම අරමුණ අඛණ්ඩව පවත්වා ගැනීමට ඉහත කාරණාවන් ඉවහල් වන ආකාරය විමසා බලමු.
නිතර ඒකරාශි නොවන්නේ නම්, එම කණ්ඩායම් අරමුණ එක් එක් සාමාජිකයා තුළින් ගිලිහී යනු ඇත. සෑම දේටම මුල්වන්නේ සිතයි. සිතක යමක් ක්‍රියාත්මක භාවයට පත්වන්නේ එහි ඇතිවන චේතනාවෙහි ප්‍රබලත්වය අනුවයි. කණ්ඩායමක් යනු සිත් බොහොමයකි. සැම විටෙකම නොයෙකුත් අරමුණුවලට විසිර යන ගතිය සිතේ ඇති බැවින් කණ්ඩායම් අරමුණ එම කණ්ඩායම තුළ තබා ගැනීමට නම් සෑම දෙනාගේම සිත්වලට එම අරමුණ කලින් කල, විසිරයාමට පෙර සිහිපත් කළ යුතුය. එබැවින් නිබඳව නිරතුරුව ඒක රාශිවීම අත්‍යාවශ්‍ය වේ. එසේ නොවුණහොත් කණ්ඩායම් අරමුණෙහි බලය අඩුවන බැවින්, විසිරයන බැවින් කණ්ඩායමේ පිරිහීම අනිවාර්යෙන්ම සිදුවේ.
නිතර ඒකරාශි වුව ද සමගි නොවන්නේ නම් ඒකාග්‍ර අරමුණක් පවත්වා ගත නොහැකිය. එබැවින් සමගිය ඒක රාශිවී සමගිව නැගීසිට සමගිව කටයුතු සිදුකළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කලහ. යම් අරමුණකට ළඟාවීමට උත්සාහගන්නා විට ප්‍රායෝගික ගැටලු බොහෝමයක් පැන නඟින බව අපි දනිමු. ඒවා මර්දනය කර ගනිමින් නිවැරැදිව කටයුතු කිරීමට නම් නිරතුරුව සමගිව එක්රැස් වී කටයුතු සිදුකළ යුතු ආකාරය සාකච්ඡා කර සමගිය අරමුණු ගත වී විසිර යායුතුය. අසමගිව විසිර යන්නේ නම් අරමුණ බිඳී යනු ඇත. පරිහානියම සිදුවනු ඇත. මෙසේ ඒකරාශිවීමේදී අසමගි වීමට කරුණූ ඇති කල්හි හැකි ඉක්මණින් සම්මුතියකට පැමිණ විසිරයාමට පෙර සමගිය එක් අරමුණකට පැමිණිය යුතුය. සමගිව නැගී සිටීම ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙම කාරණාවයි.
ඉන්පසු නැවත රැස්වන තුරු, සමගිව, සම්මත කරගත් පරිදි කටයුතු කළ යුතු අතර, වෙනස්කම් සිදුකළ යුතු විට කළ යුත්තේ නැවත ඒකරාශිවූ විටක සමඟි සම්මුතියෙන්මය. සෑම සාමාජිකයකුම මේ ආකාරයට කටයුතු කරන්නේ නම් කණ්ඩායමක අභිවෘද්ධියම සිදුවන බව කිවයුතු නැත.
පෙර නොපවන ලද්දක් නොපැනවීම, පනවන ලද්ද නොසිඳීම පනවන ලද පුරාණ දහම්හි පිහිටීම යන්න පිළිපැදීමෙන් සිදුවන්නේ කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වෙනස් නොවීම මෙන්ම එම කණ්ඩායමට අනන්‍යවු ලක්ෂණ අඛණ්ඩව පැවතීමයි. බොහෝ කණ්ඩායම්වලට තම මුල් අරමුණ කෙටිකලකින්ම අමතකවී වෙනත් බාහිර අරමුණුවලට මුල් තැනදී විනාශ වන්නේ මෙම පෙර නොපවන ලද්ද පැනවීමත් පනවන ලද්ද සිඳීමත් පනවන ලද පුරාණ දහම්හි නොපිහිටීමත් නිසාවෙනි.
වැඩිහිටි අය යනු යම් කණ්ඩායමක අභිවෘද්ධිය සඳහා පෙර කටයුතු කළ පිරිසයි. සාර්ථකව කටයුතු කිරීම සඳහා ඔවුන් සතුව ප්‍රායෝගික අත්දැකීම් බහුලව ඇත. වැඩිහිටි අයට ගරු නොකරන පිරිස එම අත්දැකීම් ලඝුකොට සලකා බැහැර කරයි. එසේ කටයුතු කරන බොහෝ දෙනාට වරදින අතර පරිහානියටම පත්වේ. වැඩිහිටි අයට සත්කාර, ගරුකාර, බුහුමන් පූජා කරන ඔවුන් බස ඇසිය යුතු කොට සිතන යම් පිරිසක් වේ නම් ඔවුන් නිබඳව වැඩිහිටි අත්දැකීම්ද ශක්තියක් කොට ගනිමින් තම කණ්ඩායමේ අභිවෘද්ධිය ඇති කර ගනිති. යම් කුල දැරියෝ කුලවමියෝ ඇත්ද ඔවුන් බලහත්කාරයෙන් තමන් කෙරෙහි පවත්වා ගන්නා බව යනු කණ්ඩායම් සම්මතයෙන් යම් අයකුට ලැබු වරප්‍රසාද අමු අමුවේම උල්ලංඝනය කිරීමක් වන අතර එවැනි කණ්ඩායමේ අභිවෘද්ධිය සඳහා යම් පුද්ගලයකුට ලබා දුන් වරප්‍රසාදයන් මෙවැනි පහත් කටයුත්තක් සඳහා භාවිතා කරන්නේ නම් අන් කටයුත්තකට භාවිතා නොකිරීම කිසිසේත් සිදුනොවේ යැයි කිසිවිටෙක බලාපොරොත්තු විය නොහැකිය. එසේ තම කණ්ඩායමේ අභිවෘද්ධිය සඳහා යම් පුද්ගලයකුට ලබා දුන් වරප්‍රසාදයන් අනිසි ලෙස පාවිච්චි කොට තම අවශ්‍යතාවය ඉටු කරගන්නා ඇත්තන් සිටින තුරු එම කණ්ඩායමේ පිරිහීමම සිදුවන බව නොකිය මනාය. යම් කණ්ඩායමක ඇත්තන් එම කණ්ඩායම ඉතා ආදරයෙන් රකීනම් එම කණ්ඩායම පැවැතීමට හේතුවේ. තම මව, සහෝදරිය ලෙස සැලකිය යුතු කුලවමියන් කුල දැරියන් කෙරෙහි බලයෙන් ක්‍රියාකරන ඇත්තන්ට එම කණ්ඩායම කෙරෙහි තම හැඟීමක් කෙසේවත් නොමැති බව පැහැදිලි කරුණකි. එවැනි අය හමුවේ කණ්ඩායමක් ස්ථීර වශයෙන්ම පිරිහෙන බව පැහැදිලි කරුණකි.
බොහෝ කණ්ඩායම් විවිධ ආගමික සංයුතියකින් යුක්තව නිර්මාණය වී ඇත. සෑම ආගමකට අයිති පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙකු එම ආගමික පූජකවරුන්ට හා ස්ථානවලට දක්වන්නේ විශාල භක්තියකි. තමන් අයිති කණ්ඩායම තම ආගමට අයිති යම් පූජනීය ස්ථාන වෙත්ද එම ස්ථාන කෙරෙහි සත්කාර, ගරුකාර, බුහුමන් කිරීම, දැකීම තුළින් එම ඇත්තන් තුළ තම කණ්ඩායම පිළිබද ප්‍රබල ශ්‍රද්ධාවක් ඇතිවේ. එම ප්‍රසාදය කණ්ඩායම් හැඟීම වර්ධනය කරගැනීමටත් එක් අරමුණක් තුළ ඒකරාශි වීමටත් විශාල පිටුවහලක් ලබාදෙයි. එසේ නොවන කල්හි අප්‍රසාදය ඇතිවීම නැවතිය නොහැකිය.
සාමාන්‍ය පුද්ගලයින් තුළ මෙන් නොව රහත් උත්තමයන් වහන්සේලාගේ ඇති නිකෙලෙස් බවෙහි ආනුභාවය දකින,අසන සෑම පුද්ගලයකුම පමණක් නොව, දෙවියන් තුළ පවා පැහැදීමක්, අවනතවීමක්, ඇතිවේ.
එපමණක් නොව ලොවෙහි සියල්ල කෙරෙහි මුලා නොවන නිවැරැදි දැකීමක් ඇත්තේද රහත් උතුමන් වහන්සේලා තුළයි. එබැවින් යම්කිසි ගැටලුවකදී උන්වහන්සේලාගෙන් ලැබෙන උපදේශය අන්තගාමී නොවන නිවැරැදිම උපදේශයයි. සිහි නැත්තවුන්ගේ සිහි ඇති කරන, අවිහිංසාවාදීම විසඳුමයි. ලොව නිවැරැදිව දකින එවැනි උතුමන් වහන්සේලා ඇසුරු කිරීම අන් සෑම දෙයකටම වඩා කණ්ඩායමක අභිවෘද්ධිය ඇති කරයි.
ලෝකයේ ඉමක් කොනක් නොමැතිවම තම නුවණින් පිරිසිඳ දැක දේශනා කරන්නට යෙදුනු සම්මා සම්බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරන ලද්දේද එය කරුණු ඇතිවම දේශනා කරනු ලබයි. එබැවින් අපට යම් තීරණයක් ගැනීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී බුද්ධ දේශනාවේ කුමක් ඇත්ද? යන්න විමසා බැලීම අත්‍යාවශ්‍ය වේ.
එය අපේ අද කාලයට හෝ ක්‍රමවේදයන්ට නොගැළපෙන්නේ යැයි අපගේ මෝහ මූලික සිතට දැනෙන්නට පුළුවන. නමුත් නුවණින් විමසා බලන බුද්ධිමත් ඇත්තන්ට එහි ඇති වටිනාකම් සමකළ හැකි කිසිවක් මේ ලෝකයේ හමු නොවේ.
උඩුදුම්බර කාශ්‍යප හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 22 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment