Labels

Sunday, March 13, 2016

පින සහ නිවන


රූපී බ්‍රහ්ම ලෝක කරා එළඹෙන මාර්ගය මතු නොව, අරූපී බ්‍රහ්ම ලෝක වෙත යන ධ්‍යාන සමාපත්ති මාර්ගයද බෝසතුන් මෙලොවට පැමිණෙන විට ද පැවැතිණි. කිසිවකුගේ මඟ පෙන්වීමකින් තොරවම බෝසතුන් කුඩා අවදියේ වප් මඟුල් බිමේදී ප්‍රථම ධ්‍යානයට සමවැදී කල් ගෙවූ පුවත බුදුහු මැඳුම් සඟියේ “මහා සච්චක” සූත්‍රයේදි වදාරති.
ලාභ උපදවන මඟ එකෙකි. නිවන් මඟ අනෙකකි.

 මෙය වූ කලී බුදුරදුන්ගේ ප්‍රකට දේශනාවකි. එය “අඤ්ඤා හි ලාභුපනිසා –අඤ්ඤා නිබ්බාණගාමිනී” යනුවෙන් දක්වා ඇත. මේ අතුරෙන් පළමු මඟ පුණ්‍ය මාර්ගයයි. දෙවැන්න එනම් නිවන් මඟ යනු කුසල මාර්ගයයි. බෝධිසත්වයන් වහන්සේ මෙලොව බිහිවීමට පෙර තුසිත දෙව්ලොවෙහි වැඩ සිටියහ.එහි දෙවියන් සිටින බව ප්‍රකට කරුණකි. අසිත තවුසා බෝසත් උපත දැන ගත්තේ දෙව් ලොවදී දෙවියන්ගෙනි. බෝසත් උපත සිදු වූයේ රජ පවුලකය. ඒ වන විට මිනිස් ලොව රජවරුන්, ත්‍රිවේද පාරප්‍රාප්ත බමුණන්, සිටුවරුන්, ගෘහපතියන් ඇතුළු මිනිසුන් සිටි බව පැහැදිලිය. අභිනිෂ්ක්‍රමණයේදී බෝ සතුන්ට තවුස් පිරිකර පිරිනැමුයේ, “සහම්පති” මහා බ්‍රහ්මයාය. මෙකී කරුණු අනුව බුදුවරයෙකුගේ සම්ප්‍රාප්තියක් නැතත්, බුද්ධ ශාසනයකින් තොරවත්, මිනිසුන්, දෙවියන්, බඹුන් ලෝ තලයන්හි ජීවත්ව සිටි බවත්, මිනිස් ලොවම දිව්‍ය ලෝකවලට ,බ්‍රහ්ම තලවලට යන්නට මඟ සැලසී තිබුණු බවත් පැහැදිලිය. ඒ එසේ නම් බුදුවරයකු ලොව පහළ වනුයේ සත්වයන් එකී ලෝකවලට යවන්නට විය නො හැකිය.
රූපී බ්‍රහ්ම ලෝක කරා එළඹෙන මාර්ගය මතු නොව, අරූපී බ්‍රහ්ම ලෝක වෙත යන ධ්‍යාන සමාපත්ති මාර්ගයද බෝසතුන් මෙලොවට පැමිණෙන විට ද පැවැතිණි. කිසිවකුගේ මඟ පෙන්වීමකින් තොරවම බෝසතුන් කුඩා අවදියේ වප් මඟුල් බිමේදී ප්‍රථම ධ්‍යානයට සමවැදී කල් ගෙවූ පුවත බුදුහු මැඳුම් සඟියේ “මහා සච්චක” සූත්‍රයේදි වදාරති. පසු කලෙක ‘ආලාර කාලාම” ‘උද්දකරාමපුත්‍ර’ ආදීන් වෙතින් අට වැනි සමාපත්තිය දක්වා බෝසතුන් තම සිත දියුණු කර ගත් බව ප්‍රකටය. මේ ධ්‍යානවලින් සෑහීමකට පත් නොවු බෝසත්තුමා ඒ හැම අතැහැර “කිං කුසලගවේසී” (කුසල් කවරේ දැයි විමසමින්, පිටත්ව ගියේ මේ වන විටද බුද්ධ ශාසනය පහළ වී නැති බව අප මතක තබා ගත යුතුය. මා මෙයින් කීමට උත්සාහ කරන්නේ, ඉහත සඳහන් තත්ත්වයන්ට පත්වීමට බුදුවරයකු හෝ බුදුසමයක අවශ්‍යතාවයක් නොවන බව කීමටයි.

නිවන් මඟ පැහැදිලි කිරීම


බුදුවරයකුගේ පහළ වීම සිදුවනුයේ නිවන් මඟ පැහැදිලි කිරීම උදෙසාමය. බුදුන් වහන්සේගේ පින් කිරීමට උපදෙස් දීම වූ කලී අතිරේක කටයුත්තකි. එය වනාහී දස අකුසල් රැස් කරමින් සතර අපාය පුරවන ජනතාවට සැප විඳින මඟ කියා දෙමින් ඔවුන් පිනට යොමු කර වීමෙකි. ආර්යභාවයට පත් නොවූ අය කුමන ලොවක සිටියත් ආයු කෙළවර නැවත අපායන් කරා එන බව, “අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ” පුග්ග ල” සූත්‍රයේ දැක්වේ.
පින් රැස් කිරීම වනාහී ‘පුඤ්ඤාභිසංඛාර’නමින් හැඳින්වේ.මෙයින් සුගතිගාමී විය හැකිය. ඒ සුගතිය නම් කුමක්ද? මිනිස්ලොව දිව්‍ය ලෝක සය හා රූපී බඹතල දහසය යන මේවාය. පින් රැස් කොට යා හැකි මෙයින් අන්‍ය වූ සුගතියක් නැත.”අපුඤ්ඤාභි සංඛාර” යනු පව් රැස් කිරීමයි. මෙය සතර අපායට යන මඟයි. “ආනෙඤ්ජ “යනු කම්පා නොවන, නො සෙල්වෙන යන අර්ථ ඇති පදයකි. “ආනෙඤජාභිසංඛාර” රැස් කිරිමෙන් අරූපී සිව් බඹතල වෙත යා හැකිය. මෙකී සංඛාර’ වර්ග තුනෙන් ‘අපුඤ්ඤාභිසංඛාර’ හැර ඉතිරි දෙකම පින් රැස් කිරීම්ය. පින් රැස්කොට එයින් නිවන් ලද හැකි බවක් මෙයින් කියැවේද? කොහෙත්ම නැත. මේ “සංඛාරයන්” උපදිනුයේ කොතැනින්ද? කුමන හේතුවකින්ද? “අවිජ්ජා පච්චයා සංඛාරා” අවිජ්ජාව නිසා සංඛාර හට ගනී.ඒ එසේ නම් “අවිද්‍යාවෙන් නිවන උපදී “දැයි සිතා බැලීම වටී.නිවන් මග යන බෞද්ධයකුට මේ ටික සිතා ගත නොහැකි නම්, එය මහා ම කරුමයකි. ඊට වඩා ඒ ගැන කියන්නට දෙයක් නැත.
ඉහත සඳහන් කරුණු විශ්වාසයට ගැනීමට තරම් ප්‍රමාණවත් නො වන්නේ යැයි සිතන කෙනෙකුට අංගුත්තර නිකායේ “දුතිය කම්ම” සූත්‍රය විමසා බැලීම වටී. එහි මෙසේ දැක්වේ. “තිදොරින් පව් රැස් කරන්නෝ ඊට ගැළපෙන තැන්හි උපදිත්, එහි ඒකාන්ත දුක් විඳිති. තිදොරින් පින් රැස් කරන්නෝ සුගතියෙහි උපදිත්, එහි ඒකාන්ත සැප විඳිත්. තිදොරින් පව් පින් දෙකම රැස් කරන්නෝ ඊට ගැළපෙන තන්හි උපදිත්. පව් පින්වලින් තොර, ක්‍රියාවන් කර්මය ක්ෂය කිරීම පිණිස පවතී. “කම්මක්ඛයො නිබ්බාණ” කර්මය ක්ෂය කිරීම වනාහි “නිවන”යි.
අවසාන වශයෙන් ඔබේ විශේෂ අවධානය යොමු කරවිය යුතු සූත්‍ර ධර්මයක් “සංයුක්ත නිකායේ” එයි. එය “පරිවීමංසක” සූත්‍රයයි. පහත දැක්වෙන බුදුරදුන්ගේ ශ්‍රී මුඛ පාඨය ඔබට නො තෙරේ නම් පාලි ශබ්දකෝෂවල පිහිට ලබාගන්න. නැතිනම් පාලිය මැනවින් දන්නා අයකුගේ සහාය ලබා ගන්න. සූත්‍ර පාඨය මෙසේය.
“අවිජ්ජාගතොයං භික්ඛවෙ පුරිසපුග්ගලො පුඤ්ඤං චෙ සංඛාරං අභිසංඛරොති, පුඤ්ඤොප ගං හොති විඤ්ඤාණං, අපුඤ්ඤං චෙසංඛාරං අභිසංඛරොති, ආනෙඤ්ජොපගං හොති විඤ්ඤාණං, ආනෙඤජං චෙසංකාරං අභිසංඛරොති , ආනෙඤ්ජොපගං හොති විඤ්ඤාණං”

අවිද්‍යාව දුරු කිරීම


“මහණෙනි” අවිද්‍යාවෙන් යුතු මිනිසා ඉඳින් (යම් විදියකින්) පින් රැස් කෙරේද? ඔහුගේ විඤ්ඤාණය (සිත ඒ අනුව යයි. ඉඳින් ඔහු පව් රැස් කෙරේද? ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි. ඉඳින් ඔහු අරූපාවචර පින් රැස් කෙරේද? ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි”
“යාතොච ඛො භික්ඛවෙ භික්ඛුනො අවිජ්ජා පහීණා හොති, විජ්ජා උප්පන්නා, සො අවිජ්ජා විරාගා, විජ්ජුප්පාදා නෙව පුඤ්ඤාභි සංඛාරං අභිසංඛරොති, න අපුඤ්ඤාභිසංඛාරං අභිසංඛරොති, න ආනෙඤ්ජාභිසංඛාරං අභිසංඛරොති”
“මහණෙනි, යම් අවස්ථාවක පටන් භික්ෂුවකගේ අවිද්‍යාව ප්‍රහීණ වීද? විද්‍යාව ඉපදුනේද? එවක් පටන් ඔහු අවිද්‍යාව දුරු කිරීමෙන් විද්‍යාව උපදවා ගැනීමෙන් පින් රැස් නො කරයි. පව්ද රැස් නොකරයි. අරූපාවචර පින්ද රැස් නොකරයි”
මෙතැන් පටන් මේ සූත්‍රයේ භික්ෂුවක් නිවන දක්වා ගමන් කරන ගමන් මඟ බුදුරජාණන් වහන්සේ ඉතා කදිමට විවරණය කෙරෙති. නිවන් පසක් කිරීමට උත්සාහ දරන පිරිස් අතරේ භික්ෂුවට විශේෂ තැනක් හිමිවේ. ගිහියකු පැවිද්ද ලබන්නේම “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ඡිකරණත්ථාය පබ්බජ්ජං දෙථ මෙ භන්තෙ” කියාය. කුඩා කල මෙහි අර්ථ නො වැටහුනත්, පසු කලෙක හෝ භික්ෂුවකට මෙය තේරුම් යා යුතුය. පැවිද්දේ අර්ථය පැහැදිලි වන කරුණක් “සංයුත්ත නිකායේ “බ්‍රාහ්මණ සංයුත්ත”යේ එයි. එහි දී එක් දෙවියෙක් භික්ෂුව යනු කවරෙක් දැයි බුදුරදුන්ගෙන් ප්‍රශ්න කරයි. ඊට පිළිතුරු සපයන බුදුහු මෙසේ වදාරති.

“යො’ධ පුඤ්ඤංච පාපංච – බාහිත්වා බ්‍රහ්මචරියවා
සංඛාය ලොකෙ චරති – ස වෙ භික්ඛූති වුච්චති”

”මේ ශාසනයෙහි යමෙක් පිනද පවද බැහැර කොට, බ්‍රහ්මචාරි ව වෙසෙමින්, නුවණින් විමසා බලා ලොව හැසිරේ නම් ඒකාන්තයෙන් ඔහුට භික්ෂුව යැයි කියනු ලැබේ”.
“පුඤ්ඤ පාප පහීණස්ස –නත්ථි ජාගරතො භයං” පින් පව් දෙකම දුරු කොට, නිදි වරා කෙලෙස් දුරු කරන්නාට සසර බිය නැතැ”යි පැහැදිලි කරනුයේද “නිවන් මඟ“යි ලෝභ, දෝස, මෝහ අකුසල මුල් බව දනිමු. අලෝභ,අදෝස, අමෝහ, අකුසලයන්ට ප්‍රතිපක්ෂය. එනම් ඒවා කුසල පක්ෂයේය. යමකු අකුසල් දුරුවන ලෙසින් , කුසල්, වැඩෙන අයුරින් තම සිතින් – කයින්, වචනයෙන් සිදු කරන සෑම ක්‍රියාවක්ම ඉටු කිරීමට වග බලා ගන්නේ නම් කුසල් මඟ“ යනු එයයි. “නිවන් මඟ” එයින්ම හෙළි වේ.


සැමට තෙරුවන් සරණයි .


පල්ලේගම සමිත හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 14 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment