ත්‍රිලක්ෂණයෙන් යුත් ලෝකයෙහි ආත්ම වශයෙන් ගත යුතු හෝ ගත හැකි කිසිවක් හෝ කිසිවකු නොමැති බව බුදුදහමෙහි මූලික ඉගැන්වීමයි. මෙය කාගේ නොසතුටට, අවාසියට, අමනාපයට හේතු වුවත් එනයින් හැඳින්වෙන්නේ ස්කන්ධ සංස්කෘතියක් පමණි. මෙහි ස්වරූපය, ප්‍රවෘත්තිය පෘථුල අන්දමින් විග්‍රහ කරන බුදුදහම ස්කන්ධ ඒකකය නාම රූප වශයෙන් දෙකකට බෙදා දක්වයි. සත්ව පුද්ගල නාමයෙන් හඳුන්වාලන ස්කන්ධ ඒකකයෙහි චෛතසිකමය අංශය නාම නමින් සහ කායිකමය අංශය රූප නමිනුත් ගැනේ.
නාම රූප දෙක එකවිට සක්‍රීයත්වයට පත්වන තරමට දැඩි සම්බන්ධතාවයක් ඇත්තේය. එය උපමාවකින් පැහැදිලි කරතොත් බිත්තරයක කටුව හා කහමදය වෙන් වෙන් වශයෙන් ඇති නොවී එක විටම ඇතිව වර්ධනය වන්නාක් මෙනි. නාමයේ පැවැත්ම ඇති විටම රූපයේ පැවැත්ම සිදුවන බව සහ නාමයෙන් තොරව රූපයට හෝ රූපයෙන් තොරව නාමයට නොපැවැතිය හැකි බව මෙයින් අනාවරණය වන අනිත් කරුණයි. නාම රූප වශයෙන් ගැනෙන ස්කන්ධ සංයුති ඒකකය කොටස් පහකින් යුක්තය. එනම් රූප, වේදනා සංඥා , සංකාර , විඤ්ඤාණ යන පහයි. මේ සියලු ස්කන්ධ පිළිබද කරුණූ සලකා බැලීම මේ කෙටි ලිපියේ අරමුණ නොවන අතර සිතේ එක් අවස්ථාවක් සලකා බැලීම නිසා මේ කරුණු ටික එයට පසුබිමක් වශයෙන් පවතී.
නාම කොටසට අන්තර් ගත වන විඤ්ඤාණය ලෙස දක්වා ඇත්තේ සිතයි. සිතට බුදු දහමේ යෙදී ඇති නම් අතර චිත්ත, මනෝ විඤ්ඤාණ යන නම් ප්‍රධාන තැනක් ගෙන තිබේ. සිත හැදින්වීම සඳහා යෙදී ඇතත් ඒ පද බෙදී තිබෙන අවස්ථා හොඳින් පරීක්ෂාකර බැලීමෙන් එක්තරා ප්‍රමාණයකින් ආවස්ථක අසමානර්ථක බවක් ද ඇති බව අමතක කළ යුතු නොවේ. බෞද්ධ මනෝ විද්‍යාව පුළුල් ලෙස හදාරන වියතුන්ට ඒ සියුම් අවස්ථාව දැක ගැනීමට අවස්ථාව යෙදෙනු ඇත. ලෝකයෙහි පවත්නා ධර්ම දර්ශන අතර බුදුදහම තරම් සිත පිළිබද මූලික ස්ථානයක් දෙමින් විග්‍රහයෙනි යෙදෙන වෙනත් කිසිම ආගමක් නොමැති බව විද්වතුන් පිළිගත් කරුණකි. විශ්වයෙහි පවත්නා විවිධ ගැටලු අතර මිනිසාට මුහුණ පෑමට සිදුවී ඇති පොදු දුක් සංසිඳුවාලීම මේ ධර්මයේ පරමාර්ථයකි.
මානුෂික දුක්ගැහැට වල යථාර්ථය අනාවරණය කොට ඔවුන්ට යථාභූතය ක්ෂාත්ෂාත් කර දීමට නම් නාම රූපයන් පිළිබඳ යථාවබෝධය අනිවාර්ය වෙයි. එබැවින් සිත එහි ක්‍රියාකාරිත්වය සංවර්ධනය හා සංයමය පිළිබඳ අර්ථවත් අවබෝධයක් ලබාදීම සඳහා බුදුසමයෙහි සිත පිළිබඳ ඉගැන්වීම බහුලවීම පුදුමයක් නොවේ. මිනිස් ක්‍රියාකාරිත්වයෙහි ප්‍රමුඛස්ථානයක් ගන්නා සිත පිළිබඳව බුදුරදුන්ගේ ඉගැන්වීම් අර්ථකථන විශ්ලේෂණ මගින් පැහැදිලි කර ගැනීමට පශ්චාත් කාලීන විවිධ බෞද්ධ නිකායිකයින් විසින් දරා ඇති ප්‍රයත්නයද සුළුපටු නොවේ. මෙහිදී බෞද්ධ මනෝවිද්‍යාව අගය කරන්නවුන් වශයෙන් එක් වැදගත් කරුණක් අප විසින් අමතක නොකළ යුතුය. අතීත හෝ වර්තමාන හෝ පෙරදිග හෝ අපරදිග හෝ කවරම හෝ මනෝවිද්‍යාවක අඩංගු කරුණූ හෝ විග්‍රහ විශ්ලේෂණ බෞද්ධ මනෝවිද්‍යාවේ ඇත්ද නැද්ද සෙවීමට දරන ප්‍රයත්නයට වඩා බෞද්ධ මනෝවිද්‍යාව අපට පෙන්වීමට අදහස් කළ යථාර්ථය කුමක්දැයි ප්‍රායෝගිකව පසක් කිරීමට ප්‍රයත්න දැරීම වඩා ඵලදායි බව එම කරුණුය. බුදුරජාණන් වහන්සේ සිදුකළේ ආත්මවාදීන් අතරට අනාත්මවාදී දර්ශනයක් තුළින් යථාර්ථවාදී ධර්ම මාර්ගයකින් මිනිසා මුහුණ පා ඇති විශ්ව සාධාරණ පොදු දුක් ගැහැට සංසිඳුවා නිවී සැනසීමට පත් කිරීම වන හෙයිනි. අරූපී නාම ධර්මයක් වන සිත මේ වගේ යැයි කියාපෑමට අපට පුළුවන්කමක් නැත. එහෙත් එහි ක්‍රියාතාරිත්වය අනුව මුලික ලක්ෂණ මෙබඳු යයි දැක්විය හැකි දේශනා පිටක සාහිත්‍යයෙහි දක්නට ලැබේ. මේ සිත සත්වයෙකු හෝ පුද්ගලයෙකු නොවන අතර අනවරතයෙන් වෙනස් වන ප්‍රතීත්‍ය සමුප්පන්න ධර්මයයි. සන්තති වශයෙන් ක්‍රියාත්මක වන සිත සංජාන වේදනා හා චේතනා වලට මුල්වෙයි.
විෂය විෂයීය සමවාසයෙන් එසේත් නැත්නම් ආධ්‍යාත්මිකව බාහිර ආයතන පදනම් කරගෙන ඉන්ද්‍රිය ඤාණය ගොඩනැගෙයි. මේ සඳහා ගතවන කාලය විත්තක්ෂණ දාහතකි. මේ අනුව විෂය ලෝකය ඉඳුරන් මගින් සංජානනය කිරීම සිතේ කාර්යයි.
ඉන්ද්‍රිය ගෝචර බාහිර විෂය ලෝකය අත්දැකීම ඉන්ද්‍රියානුන භූතීයයි. තදනන්තරව සිදුවන චිත්ත ක්‍රියාකාරිත්වය චේතනා නමින් හැදින්වෙන කර්ම රැස්කිරීම පදනම් වෙයි. උපක්ලේශයන්ගෙන් සිත අපිරිසුදු බවට පත්ව දුක් උදාවට මාර්ගය සැලසේ. මේ තත්වයෙන් සිත මුදා ගැනීම දුක්ඛ නිරෝධයට මාර්ගයයි. චිත්ත පාරිශුද්ධිය බෞද්ධයෙකු විසින් ලැබිය යුතු ඉතාම උසස් සම්පත හැටියට විස්තර වන්නේ එය එම ධර්මයෙන් පෙන්වා දෙන පරම නිවී සැනසීම පසක් කිරීම අනිවාර්ය වන හෙයිනි.
උපක්ලේශයන් ගෙන් මිදුණු සිත පිරිසුදු සිතයි. ප්‍රතිසන්ධියේදී අප ලබන සිත ඉතා පිරිසුදුය. මෙය ප්‍රභාස්වර චිත්ත යනුවෙන් හඳුන්වනු ලැබේ. අංගුත්තර නිකාය චිත්ත නිපාතයේ සුත වග්ගයේ 9-10 සූත්‍ර වලින් බුදුරදුන් උගන්වා ඇත්තේ පභස්සර චිත්තයෙහි තත්වයයි. “මහණෙනි, මේ සිත ප්‍රභාස්වරය, මෙය ආගන්තුක උපක්ලේශවලින් මිදී ඇත. “මේ සිත කියා හඳුන්වන්නේ භවාංග සිත බව අටුවාව විස්තර කරයි. මනෝරථ පුරණි අංගුත්තර නිකාය අටුවාව මෙසේ සඳහන් කරයි. පභස්සර යනු පණ්ඩරයි. පිරිසුදුයි. චිත්ත යනු භවාංග සිතයි. කුමක්ද සිත වර්ණයක් තිබේද? නැත නිල් ආදි යම්කිසි වර්ණයක් තිබුණත් නැතත් පිරිසුදු බව නිසා පභස්සර යයි කියනු ලැබේ. මේ සිතත් උපක්ලේශ රහිත බැවින් පිරිසුදුයි. ප්‍රභාස්වරයි.” ප්‍රභාස්වර සිත නම් භවාංග සිත බව මෙයින් පැහැදිලිව දක්වා තිබේ. සහජයෙන්ම භවාංග සිත පිරිසුදු නමුත් ආගන්තුකව ඒහා යෙදෙන උපක්ලේශ වලින් අපිරිසුදු බවට පත්වෙයි. චිත්ත පාරිශුද්ධිය අපේක්ෂා කරන්නන්ගේ කාර්යය විය යුත්තේ අමුතුවෙන් පැමිණි සිත කිලිටි කරන උපක්ලේශ වලට එහි ඉඩක් නොතැබීමයි.
භවාංග සිත ප්‍රභාස්වර වන්නේ එය විපාක සිතක් වන හෙයිනි. පටිසන්ධිය විපාකයකි. විපාක සිතක් වන පටිසන්ධි සිතම භවාංග සිතද වෙයි. එහි විපාක සිතෙහි කිසි විටෙකත් සහජාන වශයෙන් අකුශලයන් හෝ උපක්ලේශයන් නොයෙදේ. ඒවා පසු පසුව අමුතුම ආගන්තුකව සිත හා යෙදේ. ඉන්ද්‍රියානුභූතියට අනතුරුව චිත්ත ක්‍රියාකාරිත්ව උපක්ලේශ වලින් සිත කිලිටිවීමට පාදක වෙයි. නාම රූප ඇති තාක් අපට විෂය ලෝකයට මුහුණ නොදී නොසිටිය හැකිය. විෂය ලෝකයේ සැරිසරන අප ඉන්ද්‍රිනුභූතියෙන් ප්‍රජනනය කරන විෂයයන් පිළිබඳව යොදන චිත්ත ක්‍රියාකාරිත්වයට අනුවම අපේ චිත්ත පාරිශුද්ධිය හෝ අපාරිශුද්ධිය රඳා පවතී. ඉන්ද්‍රීය දමනය සඳහා භාවනායෝගීව සිටි පැවිදි නමක් ගැහැනියක් සොයා යමින් සිටි පුරුෂයෙකුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ගැහැනිය බව හෝ පුරුෂයෙකු බව නොදන්නා බවත්, ඇටසැකිල්ලක් ගිය බවක් ප්‍රකාශ කළ බව අපේ බෞද්ධ කථාවක සඳහන් වේ. එයින් පැහැදිලි වන්නේ අරමුණු වල හෙවත් විෂය ලෝකයෙහි සිත හසුරුවන ආකාරයට අනුව මිනිසාගේ ශුද්ධිය හෝ අශුද්ධිය ගොඩනැගෙන බවයි.
මජ්ක්‍ධිම නිකාය වත්ථූපම සුත්‍රයෙහි සිත කෙලෙසන කරුණු දහසයක් දක්වා තිබේ. එයට ලෝභය, ව්‍යාපාද, ක්‍රෝධය, බද්ධ වෛරය, මකුබව, පලාසය, ඊර්ෂ්‍යාව මසුරුකම, මායාව, ශඨබව, උථම්භ, සාරම්භ, මාන, අභිමාන, මද, පමාද යනු ඒ සොළසයි. මේවා සිත කෙලසන කරුණු බව දැන ඒවා ඉවත් කිරීම මේ ධර්මය සමාදන් වන්නවුන්ගේ කාර්යයි. ඒවා පහවීමෙන් සිත සමාහිත වෙයි. මෙවැනි සමාධි ප්‍රඥා ඇත්තෙකුට කවර සුව පහසුවක් ලැබුණත් එය අන්තරාය සඳහා හේතු නොවෙයි. මෙත්තා, කරුණා. මුදිතා,උපේක්ෂා යන බ්‍රහ්ම විහරණයෙන් යුතුව සිව්සස් දැක දැන සියලු ආසාවන්ගෙන් සිත මුදාගෙන කරණීයත්වයට පත්ව සැනසෙයි.
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි,
මහාචාර්ය
බෙල්ලන්විල විමලරතන අනු නා හිමි
මහාචාර්ය
බෙල්ලන්විල විමලරතන අනු නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ පෙබරවාරි 22 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment