Labels

Tuesday, March 1, 2016

තමා තුළ නැති ගුණ දම් පෙන්වීමට උත්සාහ කිරීම යනු කුමක්ද?


විශාලා මහනුවරට නොදුරු ප්‍රදේශයක එක්තරා තරුණයකු වාසය කරනු ලැබූ අතර, එම තරුණයා එක දවසක බොහෝ පිරිස රැස්කරවා කුඹුක් ගසක් මුදුනට නැඟ උපවාසයක් ආරම්භ කළා. මගේ ඉල්ලීම් නොදුන්න හොත් මෙම කුඹුක් ගසෙන් පැන සියදිවි හානිකර ගන්නා බවට උපවාස කරමින් ඔහු ප්‍රකාශයකුත් කරනු ලැබුවා. එම ප්‍රකාශය නිසාම ප්‍රදේශය තුළ ජීවත් වුණ බොහෝ පිරිස් බයට පත්වුණා. මොහුගේ ඉල්ලීම් නොදුන හොත් ඔහු මරණයට පත්වන බව සිතමින් ඔවුන් බියට පත්වුණා.

ඒ හේතුව නිසාම බොහෝ පිරිස එක්කාසු වී මුදල් එකතුකර ඔහුගේ ඉල්ලීම්වලට අනුව අවශ්‍ය වන සියලු දේ දීමට පොරොන්දු වුණා. ඒ පොරොන්දුව ඉෂ්ට කරමින් ඔහුගේ ඉල්ලීම් ලබාදුන්නා. උපවාස කර ලබාගත් බඩු භාණ්ඩත් රැගෙන ඔහුගේ නිවසට යන මාර්ගය ඔස්සේ ජේතවනාරාමය සමීපයෙන් ඇවිදගෙන ගියා. ජේතවනාරාම විහාරයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට මොහු ගමන් කරනව දක්නට ලැබුණ අවස්ථාවේ උපවාස කිරීම පිළිබඳවත් එයින් ලැබුණ බඩු බාහිරාදිය පිළිබඳ තොරතුරුත් ඔහුගෙන් විමසා සිටියා.
එදින සැන්දෑවේ බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කළ අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා එම සිදුවීම බුදුරජාණන් වහන්සේට සැළකරනු ලැබුවා. එම සිදුවීම පිළිබඳ තොරතුරු දන්වන භික්ෂූන් වහන්සේලාගෙන් තවදුරටත් තොරතුරු විමසීමට බුදුරජාණන් වහන්සේ කටයුතු කරනු ලැබූ අතර එම සිද්ධිය පිළිබඳව අනෙකුත් ස්වාමීන් වහන්සේලා නොදන්නා කාරණා පැහැදිළි කරමින් වදාරනු ලැබූ බුදුපියාණන් වහන්සේ උන්වහන්සේ පමණක් දන්නා උන්වහන්සේගේ ඤාණවලට හසුවන කාරණාවක් පැහැදිළි කරනු ලැබුවා. බුදුපියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතමින් මහණෙනි,ඔය පුද්ගලයා හරිම කුහක පුද්ගලයෙක්. කපටිකම සිතේ තබාගෙන උපවාස කළා.එම කුහක ගති ස්වභාවය නොදන්නා නිසා ඇත්තටම මොහු කුඹුක් ගසෙන් පැන සිය දිවි හානිකර ගනීවී යැයි මිනිසුන් කල්පනා කළා. නමුත් මොහු එවැනි අදහසකින් එම උපවාසය ආරම්භ කළේ නැහැ. මිනිසුන් බිය වද්දමින් තමන්ගේ උවමනාවන් දිනා ගැනීමට ඔහු එම උපවාසය කරනු ලැබුවා. එය කුහක ගති ස්වභාවය තුළ පවතින එක් ස්වභාවයක් බව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනු ලැබුවා. එසේ දේශනා කරනු ලැබූ බුදුරජාණන් වහන්සේ කතාවකුත් දේශනා කරමින්ම කරුණු කාරණා පැහැදිළි කරනු ලැබුවා.
ඉස්සර කාලයක දඹදිව ප්‍රදේශයේ ජීවත්වීමට ක්‍රමයක් නොමැතිකම නිසා ජීවත් වීමට නොහැකිව, කල්පනා කරමින් සිටි පුද්ගලයකු ජීවත් වුණා. මම කුමක් හෝ දෙයක් කරල ජීවත් වීමට අවශ්‍ය බව ඔහු කල්පනා කළා. මෙම පුද්ගලයාගේ මනස තුළත් බොහෝ කුහක ගති සිරිත් තිබුණා. මොහු තාපස පැවිද්දෙන් පැවිදිව බණ භාවනා කරන ලීලාවෙන් ගසක් මුල වාඩි වී සිටියා. හොඳින් බණ භාවනා කරන හොඳින් අධ්‍යාත්මය දියුණු කරගන්න යහපත් ගති පැවතුම් වලින් පිරුණ පුද්ගලයකු ආකාරයට මිනිසුන්ට පෙන්නුම් කළත් ඔහුගේ අභ්‍යන්තර ස්වභාවය තුළ එවැනි තත්වයක් පැවතියේ නැහැ. ඔහුගේ අභ්‍යන්තරව පවතින ගති ස්වභාවය මිනිසුුන්ට ද පෙනෙන්නෙත් නැති නිසාම එම තාපසතුමා සොර තාපසයකු බව නොදන්නා නිසාම සැබෑ ගුණ යහපත් තවුසකු බවට සිතාගෙන දානමාන පූජා කරමින් උවටැන් කළා. ඒ මිනිසුන්ගේ උවටැන් ලබන තාපසතුමා මෙය ජීවත් වීමට හොඳ තත්වයක් බව කල්පනා කළා. යහපත් ගුණ තිබෙනවාය යන බවට අඟවමින්,තමන්ගේ වුවමනාවන් ඉෂ්ට කරගනිමින් දෙබිඩි ජීවිතයක් ගත කළා. මෙම ආකාරයෙන් ජීවත්වීම වාසි සහගත බවට ඔහු කල්පනා කළා.
ටික දවසක් ගතවන විට, මෙම තාපසතුමා කෙරෙහි පැහැදීමක් තිබුණ පුද්ගලයකු දානයක් රැගෙන විත් තාපසතුමාට පූජා කළා. එම දානය පිළිගත් තාපසතුමා දානය රැගෙන එනු ලැබූ දායක මහතාට පින් පෙත් අනුමෝදන් කර දානය වැළඳුවා. එදා දානය තුළ වෙනදා වැළඳීමට නොගත්ත අලුත් ආහාර වර්‍ග¡යක් වූ මස් ව්‍යංජනයක්ද තිබුණා. රසට පිස තිබූ නිසාම තාපසයාගේ දිවටත් එම රසය හො ඳින් දැනෙන්න පටන් ගත්තා, පමණක් නොවෙයි ඒ පිළිබඳව මතක තබා ගත්තා. දායකයා අසපුවට පැමිණී අවස්ථාවක, එදා දානයට රැගෙන එනු ලැබූ මස් වර්‍ගයේ නම මොකක්ද? යනුවෙන් දායකයාගෙන් විමසා සිටිනු ලැබූ අවස්ථාවේ දායකයා ප්‍රකාශකරනු ලැබුයේ තාපසතුමනි, එම දානය සඳහා පිළිගැන්වූයේ තලගොයි මස් යනුවෙන්. ආ එහෙමද? යනුවෙන් විමසමින් ඔහු එය සිතේ තබාගත්තා. එදා සිටම තලගොයි මස් කෑම ඔහුගේ කල්පනාව වුණා. තලගොයි මස් උයා පිහාගෙන කන්න පුළුවන් බව සිතාගෙන තලගොයි මරාගන්නේ කොහොමද? යනුවෙන් කල්පනා කිරීමට පටන් ගත්තා. මෙම අදහස මනස තුළ තිබුණත් අනෙක් පිරිසට පෙනෙන්න හොඳින් බණ භාවනා කරමින් අධ්‍යත්මය හොඳින් දියුණු කරගත්ත තාපසයකු ලෙස මිනිසුන් ඉදිරියේ හැසිරැණා.
තමන් තුළ තිබූ කල්පනාවට අනුව පොලු කැබැල්ලක් අතට රැගෙන අසපුව පිටුපස තුඹස තුළ සිටින තලගොයා මැරීමට ඒ පැත්තට ගමන් කළා. තාපසයා එන ස්වභාවයෙන්ම පැමිණෙන ආකාරයෙන්ම තාපසයා එන ආකාරය එතරම් යහපත් නොවන බවත් සිතූ තලගොයා මට මරණ බය කැඳවන්න එන බව සිතම්න් තලගොයා තුඹස තුළ හැංගුණා. නැවතත් තලගොයා තුඹස තුළින් මතුවන තුරු බොහෝ වේලාවක් ඒ තුඹස දෙස බලාගෙන සිටි තාපස තුමා නැවත තලගොයා තුඹසින් මතුවන විටම තලගොයාගේ හිසට පහරක් එල්ල කළා. තාපසයා පොලු කැබැල්ලෙන් ගහපු පහර තලගොයාට වැදුනේ නැහැ. තලගොයා තුළ පැවතුන කිසියම් සැකය නිසාම තලගොයා බේරිලා තුඹස තුළට රිංගා ගත්තා. එම තාපසයා බණ භාවනා කරන කෙනෙක්, මිනිසුන්ට උපදෙස් දෙන අයෙක්, මිනිසුන්ගෙන් දානය වළඳන පුද්ගලයෙක් වෙලත් සත්ව හිංසාව කිරීමට මෙම තාපසයා පෙළඹුණේ ඔහු තුළ පවතින කුහක ගතියක් නිසා වෙන්න ඇති යනුවෙන් තලගොයා සිතන්න පෙළඹුණා.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතමින් මෙම කතාව දේශනා කරමින් උන්වහන්සේ තවදුරටත් කරුණු කාරණා පැහැදිළි කරනු ලැබුවා. මහණෙනි, එදා සොර තාපසයකුව ජීවත් වූයේ මෙදා බොරුවට මැරෙනවාය කියමින් උපවාස කරමින් බඩු භාණ්ඩ ලබාගත්ත පුද්ගලයාමයි කියලා එම පුද්ගලයාගේ කුහක ගති ස්වභාවය ජන්මයෙන් රැගෙන එන පෙර සංසාරයේ සිට පැවත එන ස්වභාවයක් . ඔබට මට එය වෙනස් කළ නොහැකි වුවත් කුහක ගති අවබෝධ කරගත හොත් අපට එවැනි පුද්ගලයන්ට නොරැවටී සිටිය හැකියි.
තමන් තුළ නැති වුවත් තමන් තුළ එම යහපත් ගුණ තියෙනවා යනුවෙන් අනෙක් පිරිසට පෙන්නුම් කිරීම ලෙස පාලි භාෂාව තුළ කුහක ස්වභාවය පැහැදිළි කර ඇත. තමන් තුළ නැති ගුණ තිබෙනවා යනුවෙන්, වෙනත් අයට ප්‍රකාශ කරන්නට යැයි අනෙක් පිරිසට ප්‍රකාශ කිරීම තමන් තුළ නැති ගුණ තියෙනවාය යනුවෙන් අඟවන ආකාරයට අනෙක් පිරිසට දැනෙන පරිදි තමන්ගේ හැසිරීමි රටාව හදාගැනීම .

අප සමාජය තුළ ජ.ීවත්වන මිනිසුන්, එම මිනිසුන් කරන වැඩ කියන කතා අසාගෙන සිටින විට මෙම ධර්ම කරුණු කාරණා අනුව එම සිදුවීම් ගලපන විට වර්තමාන සමාජය තුළ කුහකයො වැඩි බව පෙනෙන කාරණාවක්. තමන්ගේ සැබෑ ගති ස්වභාවය පෙන්වන්නේ නැතිව එය සඟවාගෙන වෙනත් යහපත් උතුමි ගති සිරිත් තියෙනවාය කියලා සමාජයට පෙන්නුම් කිරීමට උත්සාහ කිරීම. එවැනි දේ කරන පුද්ගලයන් අප සමාජය තුළ නළුවන් හා නිළියන් ආකාරයට දැකිය හැකියි. ඒ පිරිස රඟපෑම සඳහා කිසියම් වේතනයක් ද ලැබෙයි. බණ පොතේ උගන්වන මෙම කරුණ එම රගපෑම නොවන අතර ජීවිතය පුරා තමා තුළ නැති ගති තියෙනවා. යනුවෙන් අනෙක් පිරිසට දැනීමට සලස්වා ඒ වෙනුවෙන් ඒ අයගේ යම් යම් වරප්‍රසාද ලබාගන්නා වරප්‍රසාද ලබාගැනීමේ චේතනාවෙන් තමා තුළ නැති ගුණ ධර්ම තිබෙන බවට පෙන්වීමට උත්සාහ කිරීම කුහකකම නමින් බුදු දහම තුළ මෙම ස්වභාවය පැහැදිළි කර ඇත.




මහාචාර්ය 
පාතේගම ඤාණිස්සර හිමි








ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016  ක් වූ පෙබරවාරි 22 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment