Labels

Monday, March 7, 2016

සත්වයාගේ සසර ගමනට හේතුව කුමක්ද


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තථාගත දේශිත නෛර්යාණික ධර්මයෙහි සඳහන් පරිදි සත්වයාගේ සසර ගමනට හේතු වන ප්‍රබල සාධකය තණ්හාවයි. පස් පව් දස අකුසල් හෝ වෙනයම් කවර හෝ සමාජ විරෝධී ක්‍රියාවකට යමෙකු පෙළඹෙන්නේ තණ්හාව නිසාය. සෑම බෞද්ධයෙකුගේම පරමාර්ථය වන නිර්වාණාවබෝධය වළක්වා ලන මෙම තණ්හාව බුදුපියාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනයේදීම එකසිය අට වැදෑරුම් කොට දක්වා වදාළහ. එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, අතීත, වර්තමාන, අනාගත, රූපාදී අරමුණු සය, ආධ්‍යාත්මික බාහිර වශයෙන් එකසිය අට වැදෑරුම් වෙයි.

ආලය, ආදරය, සෙනෙහස, රාගය, ප්‍රේමය ආදී කවර නමකින් හැඳින්වුනද ඒවායින් අදහස් වන්නේ මේ එකම තණ්හාවයි. වස්තුකාම ක්ලේශ කාම වශයෙන් දෙයාකාර වන තණ්හාව ගේ දොර ඉඩකඩම් යාන වාහන ආදී වස්තුව කෙරෙහි ද පිය පුතු අඹු සැමි දූ දරුවන් කෙරෙහි ද පවත්නේ මෙකී තණ්හාවමයි. ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන් මඟින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම යන අරමුණු තුළින් ලබන්නාවූ වින්දනය කෙරෙහි පවත්නා ආශාව ද තණ්හාවයි.
බුදු ඇසට පවා නොපෙනෙන අක්මුල් නැති සසරෙහි අනාදිමත් කාලයක සිට අපගේ චිත්ත සන්තානයෙහි මුල් බැසගෙන ඇති ගේහසිත ප්‍රේම නම් මෙම විෂම ධර්මතාවය සංසිඳවීම ඉතා දුෂ්කරය. අනන්ත කාලයක් තිස්සේ සමතිසක් පෙරුම් දම් පුරා බුදුපියාණන් වහන්සේ මේ විෂම වූ ක්ලේශය නැති කරලීමට ඇති එකම මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය බව ප්‍රථම ධර්මදේශනාවේදීම පැහැදිලි කොට වදාළ සේක.
ගසක ආධාරයෙන් වැඩෙන මාලුවා වැල එම ගස විනාශ කර දමයි. පුද්ගල සන්තානයෙහි වැඩෙන තණ්හාවද එම පුද්ගලයා විනාශ කර දමයි.
අග්ගික්ඛනේධා සමුද්දෝ ච
මහිච්ජෝ වාති පුග්ගලෝ
සකටේන පච්චයං දෙන්තු
තයෝපේතේ අතප්පයා
ගිනි කඳු සමුද්‍රය සහ ආශා බහුල පුද්ගලයා යන මේ තිදෙනා ගැලකින් ඇද ප්‍රත්‍ය ලබා දුන්නද තෘප්තිමත් කළ නොහැක.
ඉඳුරන් පිනවීමෙහි යෙදෙන පුද්ගලයා එයින්ම විනාශයට පත් වේ. වැද්දාගේ ගීත නාදයට වශී වන මුවා ඊතල පහරින් මරණයට පත් වේ. මිරිඟුව දැක එය ජලයයි සිතා දිව යන මුවා පිපාසයෙන්ම මිය යයි. ඇතාගේ මද ජලයට ලොල් වන මී මැස්සා කන්තල පහරින් මිය යයි. දැල්වෙන පහන් සිලට පනින පළගැටියා පිළිස්සී මිය යයි. බිලී කොක්කෙහි ඇති ඇම ගිලින මාලුවා එයින් වැනසේ.
අංගාරකාසූපමා, සුපිනකුපමා, තිණුක්කුපමා, අට්ඨි කංකලුපමා, යාචිතකූපමා, රුක්ඛඵළපමා ආදී උපමා රැසකින් දැක්වෙන්නේ ආදීනවයයි. පංචකාම සම්පත්තිය අඟුරු වළකටද සිහිනයකටද තණ සුළඟකටද ඇට කැබෙල්ලකටද ණයට ගත් දෙයකට ද වෘක්ෂ ඵලයකට ද උපමා කොට ඇත්තේ එහි ඇති නිසරු බව නිසා ය. වීදාගම මාහිමියන් විසින් ලෝවැඩ සඟරාවෙහි මේ කරුණු කවියට නඟා ඇත්තේ සිත් ගන්නා අයුරිනි.
රෝගයක් වැළඳී දීර්ඝ කාලයක් ගත වූ විට එය සුව කර ගැනීමට ද දීර්ඝ කාලයක් ගත වන්නා සේ අනාදිමත් කලක පටන් වැඩුණු තණ්හාව ද මුලිනුපුටා දැමීම සඳහා දීර්ඝ කාලීන අභ්‍යාස සතතාභ්‍යාසය නෛරන්තය්‍යාභ්‍යාස සාකල්‍යාභ්‍යාස අවශ්‍ය වෙයි. අරපිරිමැස්ම ලෝභකමක් නොවේ. සාර්ථක දිවි පෙවෙතක් සඳහා සකසුරුවම්කම අත්‍යවශ්‍ය දෙයකි. සිඟාලෝවාද ආදී සූත්‍ර දේශනා රැසක එය අවධාරණය කර ඇත. ශ්‍රද්ධා දෙය්‍ය විනිපාතය පත්ත පරියාපණ්ණ පිණ්ඩපාතය යථාලාභ සන්තෝස ආදී පැනවීම් තුළින් භික්ෂුවට අරපිරිමැස්ම අවධාරණය කර ඇත.
සසර දුකින් මිදීම බෞද්ධයාගේ පරමාර්ථයයි. ජාති ජරා ව්‍යාධි මරණාදියට සංසාරගත සත්වයා අනිවාර්යයෙන්ම ලක්වේ. මේ දුකින් මිදීමට නම් සංසාරගත ගමන හෙවත් නැවත ඉපදීම නතර කළ යුතු ය. එය කළ හැක්කේ ඊට හේතුව වන තණ්හාව මුළුමණින් නැතිකර දැමීමෙන් පමණි. නිවන තණ්හක්ඛය නමින් හැඳින්වෙන්නේ එබැවිනි. තණ්හාව එකවර මුළුමණින් නැති කරලීම කෙසේ වත් කළ නොහැක්කකි. ඒ සඳහා අනුපූර්ව ප්‍රතිපදාවක් ඇත. තදංග, විෂ්කම්භන, සමුච්ඡේද, පටිප්පස්සද්ධ, තිස්සරණ යනුවෙන් එහි අවස්ථා පහක් ඇත. නිර්වාණාවබෝධය පිණීස අප විසින් මේ අනුපූර්ව ප්‍රතිපදාව අනුගමනය කළයුතු වේ. දාන සීල භාවනා ආදී සියලු කුශලකර්මයන් සිදු කරනු ලබන්නේ මේ අරමුණ ඇතිවය. තදංග යනු යම් පරිත්‍යාගයක් සිදු කරනු ලබන අවස්ථාවේ තම සිත තුළ පවත්නා තෘෂ්ණාව තාවකාලිකව යටපත්වීමයි. ධ්‍යාන මගින් තෘෂ්ණා ආදී කෙලෙස් යටපත් කිරීම විෂ්කම්භන නම් වේ. රාගාදී අරමුණක් කෙරෙහි සිත යොමුවීමෙන් නැවත එම කෙලෙස් මතුවේ. සමුච්ඡේද යනු කෙලෙසුන් හැර දැමීමයි. පටිප්පස්සද්ධි යනු කෙලෙසුන් සමනය වීමයි. නිස්සරණ නම් කෙලෙසුන්ගෙන් මුළුමනින් ඉවත් වීමයි.
අර්හත් මාර්ගයෙන් කෙලෙසුන් නැති කළ රහතුන් වහන්සේ භය ශෝකය පිළිකුල නැති කෙනෙකි. උන්වහන්සේ ජීවත් වන්නේ ජනක කර්මයේ ශක්තිය පවත්නා තෙක් පමණි. එක් අරමෙක ගුරු සිසු දෙනමක් විසූහ. ශිෂ්‍යයා රහත් නමකි. ගුරුවරයා ධ්‍යාන මගින් කෙලෙසුන් යටපත් කළ අයෙකි. එහෙත් උන්වහන්සේ සිතා සිටියේ තමන් රහතන් වහන්සේ කෙනෙකු ලෙසය. දිනක් ශිෂ්‍යයාගේ ඉල්ලීම පරිදි දැවැන්ත හස්තියෙකු මවා තමන් ඉදිරියට දිව එන ලෙස අධිෂ්ඨාන කෙළේ ය. ඒ සමඟම ඔහු බියවී වහා එතැනින් ඉවත් විය. තමා රහත් කෙනෙකු නොවන බව එයින් දැනගත්තේ ය.

සම්බුද්ධ පරිනිර්වාණයේදී අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන් ඇතුළු පුහුදුන් භික්ෂූහු හඬා වැළපුණහ. එහෙත් රහත් උතුමන් තුළ හටගත්තේ ශෝකය නොව ධර්ම සංවේගයයි. දිනක් මහා කාශ්‍යප රහතන් වහන්සේ පිඬු සිඟා වඩින විට ලාදුරු රෝගයෙන් පෙළුණු හිඟන්නෙක් තමාට ලැබුණු ආහාරයක් උන්වහන්සේගේ පාත්‍රයට බෙදුවේ ය. ඒ සමඟම ඔහුගේ කුණු වී ගිය ඇඟිලි කැබෙල්ලක් ද පාත්‍රයට වැටුණි. එය දුටු සිඟන්නා තමා පිදූ ආහාරය උන්වහන්සේ නොවළඳතැයි සිතීය. එහෙත් උන්වහන්සේ එහිම වැඩ සිට ඔහුට පෙනෙන සේම එම ආහාරය වැළඳූහ. රහත් උතුමන්ට පිළිකුල නැති බව එයින් පැහැදිලි වේ. අභිනිෂ්ක්‍රමණය යනුවෙන් හැඳින්වෙන්නේ රූපාදී පංච කාමසම්පත් හැර දැමීමයි. පෙරුම් පුරා බුදු බව පතන බෝසතුන් මෙසේ කාම සම්පත් හැර දැමීම මහා අභිනිෂ්ක්‍රමණ යනුවෙන් හැඳින්වේ.

උනන්විටියේ ශ්‍රී විජයාරාමාධිපති ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
වැයිහේනේ සුමන නා හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ නවම් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 01 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment