Labels

Tuesday, March 8, 2016

යුද්ධයේදී පරාජය වූ වේපචිත්ති අසුරේන්ද්‍රයා ( බුදු දහමෙහි අපාය සංකල්පය’ ලිපි මාලා අංක – 23 )


පසුගිය ලිපියෙන් විස්තර කළේ සතර අපාය අතර වන අසුර අපායේ දුක්ඛිත තත්වය පිළිබඳවයි.අසුර අපාය පිළිබඳ හෙවත් අසුරයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කරන සංයුත්ත නිකායේ සක්ක සංයුත්තයේ සූත්‍ර කිහිපයක් එයි. එයින් එකක් විස්තර කිරිමටයි අද ලිපිය වෙන් වන්නේ.

දෙවියන් හා අසුරයන් අතර ඇති වූ යුද්ධයක් පිළිබඳ කරුණු ඉදිරිපත් වන සූත්‍රයකි, "වේපචිත්ති" සූත්‍රය. එම යුද්ධයේ දී දෙවියන්ට ජය අත් වූ අතර අසුරයන්ට පරාජය අත්විය. එහිදී වේපචිත්ති අසුරේන්ද්‍රයා හැසුරුණු ආකාරයෙන් අසුරයන්ගේ ස්වභාව අපට මනාව හඳුනාගත හැකිය.

පෙර දෙවියන්ගේද අසුරයන්ගේද යුද්ධයක් ඇතිවිය. වේපචිත්ති අසුරේන්ද්‍රයා අසුර පිරිස මෙහෙය වූ අතර ශක්‍ර දේවේන්ද්‍රයා දෙවි පිරිස මෙහෙය විය. මෙහිදී වේපචිත්ති අසුරේන්ද්‍ර තෙම අසුරයන්ට මෙසේ කීයේය.
“පින්වත්නි” ඉදින් දේව අසුර යුද්ධය වූ කළ අසුරයෝ දිනන්නහු නම් දෙවියෝ පරදින්නහු නම් ඒ ශක්‍ර දේවේන්ද්‍රයා කණ්ඨපඤ්චම් බැඳුමෙන් (දෙ අත්, දෙපා, බෙල්ල යන මේ පස්තැනින්) බැඳ අසුර පුරයෙහි මා සමීපයට ගෙනෙව “යි කීය. ශක්‍රදේවේන්ද්‍ර තෙමෙත් තව්තිසා වැසි දෙවියන්ට මෙසේ කීය.
“ඉදින් දේව අසුර යුද්ධය වූ කල දෙවියෝ දිනන්නාහු නම් අසුරයෝ පරදින්නාහු නම් එවිට ඒ අසුර රජවූ වේපචිත්ති අසුරේන්ද්‍රයා කණ්ඨපඤ්ච කන්ධකයෙන් බැඳි සුධර්මා සභායෙහි මා සමීපයට ගෙනෙව“යි කීය. ඒ යුද්ධයෙහි දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුනහ. ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ වේපචිත්ති අසුරිදු කණ්ඨපඤ්චම් බැම්මෙන් බැඳ ශක්‍ර දේවේන්ද්‍රයාගේ සමීපයෙහි සුධර්මා සභාවට ගෙනාහ. එහිදී කණ්ඨපඤ්චම බන්ධනයෙන් බැඳුනු වේපචිත්ති අසුරේන්ද්‍රයා තෙම් සුධර්මා සභාවට පිවිසෙන විටද, නික්මෙන විටද ශක්‍ර දේවේන්ද්‍රයාට අසභ්‍ය පරුෂ වචනයෙන් ආක්‍රෝෂ කළේය. පරිභව කළේය. මෙය දුටු මාතලි රථාචාර්යයා සක් දෙවිඳුගෙන් මෙසේ විමසීය.
මාතලී, දේවේන්ද්‍රයා වේපචිත්තිගේ පරොස් බස් ඉදිරියෙහි අසමින් ඉවසන්නේ භයින්ද නොහොත් දුබල බැවින්ද?

“භයා නු මඝවා සක්ක
දුබ්බල්‍යා නො තිතික්ඛසි
සුණන්තො ඵරුසං වාචං
සම්මුඛා වේපචිත්තිනො’ ති

සක් දෙවිඳු “වේපචිත්තිගේ පරොස් බස් ඉවසන්නේ බියෙන් හෝ දුබල බැවින් නොවේ. මා වැනිවූ නුවණැත්තෙක් එබඳු බාලයකු හා කෙසේ නම් සටන් කරන්නේද? එක රටක කරන්නේද

“නාහං හයා න දුබ්බල්‍යා
බවාමි වෙපචිත්තිනො
කථඤ්හි මාදිසො විඤ්ඤු
බාලෙන පටිසංයුජෙ “ ති

මාතලී වළක්වන තෙක් නොවේ නම් අඥානයෝ ඉතා බොහෝ සේ විරුද්ධව ඉදිරියට එන්නාහුය. එහෙයින් නුවැණැති ජන තෙම මහත්වූ දඬුවමින් බාලයා වළක්වන්නේය.”

“භිය්‍යො බාලා පහිජ්්ජෙය්‍යුං
නො චස්ස පටිසෙධාකො
තස්මා භූසෙන දණ්ඩෙන
ධීරො බාලං නිසෙධයෙ “ ති

සක් දෙවිඳු ඉතා කිපියා වූ අන්‍යයකු දැක යමෙක් සිහි ඇතිව සන්සිඳුනේද, එයම බාලයන්ගේ නියම වැළකීම යයි හඟිමි.
“යො හවෙ බලවා සන්තො,
දුබ්බලස්ස නිතික්ඛති
තමාහු පරමං ඛන්තිං
නිච්චං ඛමතිදුබ්බලො .

මාතලී, මෙතෙම මට භයින් ඉවසා “ යයි අඥාන තෙම යම් හෙයකින් හඟීද, ශක්‍රය, පැන දුවන ගොනෙකු පසු පස්සේ එළවා යන්නා වූ ගවමුලක් මෙන් නුවණ මද ජන තෙම වැඩියක් පසුපස්සේ පළවා යයි”.
“එතදේව තිතික්ඛාය,
වජ්ජං පස්සාමි වාසව
යදා නා මඤ්ඤති බාලො,
භයා ම්‍යායං තිතික්ඛති,
අජ්ඣාරුහති දුම්මෙධො,
ගොව භිය්‍යො පලායින”න්ති.

සක් දෙවිඳු “හෙතෙම මට භයින් ඉවසායයි ඒකාන්තයෙන් බලෙන් හෝ වේවා නොහගනේ හෝ වේවා සියලු අර්ථයෝ ස්වකීය දියුණුව පරමකොට ඇත්තාහුය. ඉවසීමට වඩා උතුම් වූවක් නැත්තෝය. යමෙක් තෙම ඒකාන්තයෙන් බලවත් වූයේ දුබලයකුගේ හෝ නින්දා කිරීම ඉවසාද, ඔහුගේ ඒ ඉවසීම උතුම් ඉවසීමයයි ආර්ය උතුමෝ කියත්, බුද්ධිමත් ජනතෙම හැමවිටම ඉවසයි. යමකෙªගේ බලය අඥාන බලය නම් ඒ බලය බලයක් නොවේයයි ආර්ය උතුමෝ කියති. ධර්මයෙන් සංවර කරන ලද්දාවු තැනැත්තාගේ බලය නියම බලයම නොවේය” යි කියන්නෙක් නැත. යමෙක් පළමු කිපුනහුට පෙරළා කිපේද, ඔහුගේ පෙරළා කිපීම ඊටත් වඩා පාපිෂ්ඨයි. කිපුණුහුට පෙරලා නොකිපෙන ජන තෙම දිනීමට ඉතා දුෂ්කරවු සටනක් දිනයි. අන්‍යයෙකු කිපුන බව දැන යමෙක් සිහි ඇතිව සන්සිඳුනේද ඉවසාද, හෙතෙම තමහටද පරහටද යන දෙකොටසටම යහපත සලසයි. යම් ජන කෙනෙක් ධර්මයෙහි අදක්ෂද, ඒ අන්ධබාල ජනයෝ තමන්ටද අනුන්ටද යන දෙදෙනාටම පීඩාකරන්නාවු පාපී පුද්ගලයන්ය.

“අබලං තං බලාං ආහු, පස්ස බාලබලාං බලං
බලස්ස ධම්මගුත්තස්ස, පටිවත්තා න විජ්ජති
“තස්සෙව තෙන පාපියො, යො කුද්ධං පටිකුජ්ඣති
කුද්ධං අප්පටිකුජ්ඣන්තො සඩ්ගාමං ජෙති දුජ්ජයං
“උභින්නමත්ථං චරති, අත්තනො ව පරස්සච
පරං සඩ්කුපිතං ඤත්වා
යො සතො උපසම්මති
“උභින්නං තිකිච්ඡන්තානං ,
අත්තනො ච පරස්සච,
ජනා මඤ්ඤන්ති බාලොති
යෙ ධම්මස්ස අකොවිදා”ති

උක්ත සංවාද තුළින් ඉදිරිපත් කරන්නේ ‘සමාන්‍ය යුද්ධයකදී පරාජිත පුද්ගලයා තුළ ඇතිවන පොදු මානසික තත්වයකි. පරාජයට පත් වු වේපචිත්ති අසුරේන්ද්‍රයා සාමාන්‍ය අයෙක් සේ හැසිරෙයි. එහෙත් සක් දෙවිඳු සැරිසරන්නේ උසස් ගුණ ඇති අයෙක් ලෙසය. එය නුවණැත්තන්ගේ ස්වභාවයයි. එමෙන්ම එයින් දෙවියන්ගේ හා අසුරයන්ගේ වෙනසද හඳුනාගත හැකිය.

බොහෝ ගැටලු සඳහා හේතුවී ඇත්තේ ඉවසීම නැතිකමයි. මාතලීගේ වදන් නැවතත් සක්දෙවිඳු ගැටුමකට පොළඹවන සුළුය. එහෙත් සක්දෙවිඳුගේ ඉවසීම හා නුවණැති භාවය නිසා එම තත්වය මගහැරී යයි. මෙවැනි පශ්චාත් ගැටුම් අවධිවල දී වඩාත් නුවණැතිව කටයුතු කිරීමට බුදුදහම උපදෙස් දෙයි. එවැනි අවස්ථාවල වාචසික මෙන්ම කායික සංවරභාවයද වඩාත් යෝග්‍ය බව පැහැදිලි වෙයි.




මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි ආචාර්ය 
ශාස්ත්‍රපති 
රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ නවම් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 08 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment