ගෞරවණීය ස්වාමින් වහන්ස, ගිහිගෙදර සිටින අප දැඩිලෙස ඇලීම් බැඳීම් වලට ලක්වෙලා. මෙයින් සිත මුදා ගන්නේ කෙසේද?
තථාගතයන් වහන්සේ වදාළා
දීඝා ජාගරතෝ රත්ති
දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ
සද්ධම්මං අවිජානතං
දීඝා ජාගරතෝ රත්ති
දීඝං සන්තස්ස යෝජනං
දීඝෝ බාලානං සංසාරෝ
සද්ධම්මං අවිජානතං
නිදිවරන පුද්ගලයාට රාත්‍රිය බොහෝම දිගයි. පයින් ගමන් කරන පුද්ගලයාට යොදුන දිගයි. මේ වගේ ධර්මය නොදන්න,ධර්මයෙන් බාල බවට පත් වූ පුද්ගලයාට බියකරු සසර තව තවත් බියකරු වෙලා සසර ගමන දිගුවෙන බව. ධර්මය සහ අධර්මය අතර වෙනස අහස පොළොව වගේ. ධර්මය අපව සුවපත් කරමින් නිවීම, ශාන්තිය ඇති කරනවා. අධර්මවාදීව ක්‍රියාකිරීමෙන් ධර්මයෙන් පිටනම් ආලෝකය නැති වී බියකරු ලොවකට යන බව බුදුරජාණන් වහන්සේ වදාළා.
උන්වහන්සේ අරියපර්යේෂණ සූත්‍රයේදී වදාළා මැරෙන මිනිසුන් මරණයම සොයනවා. දුකට පත්වෙන මිනිසුන් දුකම සොයනවා. දිරන මිනිසුන් දිරන දේම සොයනවා. ආලෝකය නැති තැන සාමාන්‍ය ප්‍රවාහයෙන් දුරස්ව අඳුරු මාර්ගයේ ගමන් කරනවා. මරණය ගැන නො දන්න පුද්ගලයා මරණය ගැන නැවත නැවත වටහා නොගත් නිසා මරණයම උරුම කර ගන්නවා.
මේ ධර්මය අවබෝධ වන්නේ කඳු මුදුන්වලට නොවේ. මංමාවත්වල හෝ පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ ධාතුවල නොවේ. මේ ධර්මය හට ගන්නේ, දරන්නේ ධර්මය මෝදුවන්නේ චිත්ත සන්තානය තුළයි. වැරැදි අවබෝධයෙන් ඈත්වෙලා අඳුරෙන් අප මුදවන්නේ සිත දමනය කර ගැනීමෙනුයි. ධර්මය බලවත් කර ගැනීමෙනුයි. රාග, ද්වේෂ,මෝහ යනු සැඬ සුළං තුනක්. එයට සිත ගසාගෙන යනවා. අඳුරට, හෙළට අප තල්ලු කරනවා. එය ජීවිතවලට කුණාටුවක්. ඒ නිසා හික්මුණ සිතක් භාවිත සිතක් තුළනම් වැරැදි චින්තා ඉවත්විය යුතුය. ඒ වැරැදි චින්තා නිසා ප්‍රධාන ආර්ය මාර්ගය අපට ආවරණය වෙනවා. ආවරණය වන ඒ ආර්ය මාර්ගය නිරාවරණය කරගෙන මෙලොව පරලොව ජීවිතය සුවපත් කරගෙන නිවන් මඟ සොයාගත යුතු බව තථාගතයන් වහන්සේ වදාළා.
ඇලීමේ සහ බැඳීමේ ආදීනව මොනවාද?
බුදුරජාණන් වහන්සේ වදාළා මේ ධර්මය ශ්‍රවණය කරන්නේ නැති, ධර්මය සාකච්ඡා කරන්නේ නැති ධර්මයට සවනත යොමන්නේ නැති පුද්ගලයාගේ ප්‍රඥාව නො වැඩෙන බව. නුවණ වැඩෙන්නේ නැහැ. අයෝනිසෝමනසිකාරය යි වැඩෙන්නේ. ඔහු මසසින් වැඩුනත් මනසින් නොවැඩේ. එසේ වන්නේ ඔහු ධර්මයෙන් පිටත නිසායි. ධර්මය පිහිට නොමැති නිසා ගැටුම් ඇතිවෙනවා. ඇලීමේ විරුද්ධ පැත්ත ගැටීම යි. ගැටීමේ විරුද්ධ පැත්ත ඇලීමයි. එකම කාසියේ දෙපැත්ත වගේ. මේ ඇලීම ගැටීම නිසා සසර අඳුරු කරනවා. අප මංමුලා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මනුස්ස සන්තානයේ ඇතිවන විවිධ ආවේග ස්වරූප පාලනය කරන්න අපට සූත්‍ර ධර්මයක් වදාළා. ඒ විතක්ක සන්තාන සුත්‍රයයි. එහි සුන්දර කරුණු පහක් සඳහන්. අපේ සිත තුළ එන භයානක විතක්කයන්, සිතිවිලි, අදහස් වලින් සමාජයට හානිකර සමාජයේ විසිරී පැතිරි සිටින හැම කෙනෙකුටම හානිවන දේ එක් සිතක් තුළ පවතින්න පුළුවන්. තථාගතයන් වහන්සේ මේ සිත විටෙක තුඹසකට උපමා කොට වදාළා. මේ තුඹසේ විසකුරු සර්පයන් සිටින්නට පුළුවන්. නමුත් තුඹස යම් දෙයකින් ආවරණය කර තිබේනම්, තුඹස පිළිබඳව සෝදිසියෙන් සිටිනවානම් ඒ විසකුරු සර්පයන්ගෙන් සමාජයට හානියක් නැහැ. අපේ සිත තුළත් විසකුරු සර්පයන් සිටිනවා. ඒ ක්‍රෝධය, ද්වේෂය, ඊර්ෂ්‍යාව ආදියයි. මේ විසකුරු සර්පයන් තමන්ටත් හානිකරයි. මෙලොවත් පරලොවත් අඳුරු කරනවා.
මේ නිසා අප සිතේ හරය, ගැඹුර දකින්න ඕන. මගේ සිත තුළ හට ගන්නේ භයානක සිතිවිලිද? මගේ සිතේ මෝදු වන්නේ විසකුරු සර්ප විසද? ඒ වගේ විසකින් බේරීමටයි මේ විතක්ක සන්තාන සූත්‍රය තුළින් අපට මඟ පෙන්වන්නේ. ඒ මඟ පෙන්වීම අප ක්‍රියාත්මක කරනවානම් අපේ ජීවිතය පියවරෙන් පියවර ඉදිරියට යනවා. හැම පියවරකදී ම මේ සිත බලවත් වෙනවා. ඒ කරුණු පහනම්,
1. අංඥා නිමිත්ත –
අපේ සිතට වැරැදි අදහසක් ආවිට අප දකිනවානම් මේ සිතිවිල්ල මට හානිකරයි. භයානකයි කියා වහාම ඒ සිතුවිල්ල වෙනත් අරමුණකට යොමුකළ යුතු වෙනවා. එවිට වැරැදි දේ පෝෂණය වීම නවතිනවා. සිතේ නිමිත්ත වෙනස්කළ විට පුද්ගලයා සුවපත් වෙනවා.
2. ආදීනව නිමිත්ත –
මෙහිදී වදාළා කෙනෙකුගේ සිත පාලනය කර ගන්න බැරි අවස්ථාවකදී කයින් ක්‍රියා කරනවා. එයට පෙර සිතේ නපුරු භයානක සිතිවිල්ලක් ආවිට එහි ආදීනව සිහිකළ යුතු වෙනවා. මේ සිතිවිල්ල ක්‍රියාත්මක වුණොත් මම සමාජයෙන් ගැරහුම් අවමන් ලබයි කියා සිහි කිරීමෙන් වරදින් මිදෙනවා.
3). අසතිඅමනුස්සති නිමිත්ත –
සිහි කල්පනාව නැතිව වැඩ කිරීමේදී යෝනිසෝමනසිකාරය නැති අවස්ථාවේදී මේ වැරැදි විතර්කවලට හසුවෙන්න පුළුවන්.
4) විතක්කමූලභේද නිමිත්ත –
යම් ගැටුමක දී ප්‍රශ්නයකදී සිත නැවත නැවත ඒ කරාම දුවන්නේ ඇයි කියා එහි මුල සොයා බැලිය යුතුයි. මේ මනුස්සයාට මම මෙතරම් ඊර්ෂ්‍යා කරන්නේ ඇයි? කොහේද වැරදුනේ කියා එහි මුල සොයා බැලුවොත් වැරැදි සිතිවිල්ල ඉවත් කර ගත හැකිය. ඒ ආකාරයටත් මේ සිත මුදා ගන්න පුළුවන්.
5) අභිනික්ගාම –
අකුසල සිත් එනවිට කුසල සිතක් නොමැතිනම් තමා කළ පින්කමක්, හෝ කරන්න යන පින්කමක් ගැන සිහිපත් කරන්න පුළුවන්. එවිට අකුසල විතර්කය කුසල විතර්කයෙන් යට කරනවා. මේ ආකාරයට තම සිත ජය ගෙන ජීවිතය ආලෝකමත් කර ගැනීමට අපූරුවට අපට මඟ කියා දෙනවා.
කෙනෙකු මියයාමෙන් පසු මිනිස් මවු කුසකත්, තව අයෙක් තිරිසන් මව් කුසකත්, අයෙක් යක්ෂ,පේ‍්‍රත,භූත ආත්මවලත්, තව අයෙක් ඕපපාතිකව දිව්‍ය ලෝකවල ඉපදෙනවා. මේ උප්පත්තිවලට ඇලීම බැඳීම බලපාන්නේ කෙසේද?
මනුස්ස ලෝකයේ ඉපදුන බොහෝ අය හිතන්නේ ඊළඟ ජීවිතයේදීත් මිනිස් භවයක්ම ලැබෙයි කියා. ගඟ ළඟට විශාල පිරිසක් ගියාට ගඟෙන් එතෙර වන්නේ බොහෝම අල්ප දෙනෙක් පමණයි. බොහෝ පිරිසක් ගඟේ ජලයට, රැල්ලට බියෙන් ආපසු හැරෙනවා. ඒ වගේ මනුස්ස ජීවිතයක් ලබාගත් අයගෙන් බොහෝම අල්ප දෙනෙක් පමණයි නැවත මනුස්ස ලෝකයට එන්නේ.
සමහර අය මිනිස් මව් කුසකට, දිව්‍ය ලෝකයට ඇදෙනවා. සමහර අය පහළට හෙළට වැටෙනවා. තවත් අල්ප දෙනෙක් මේ ලෝකයෙන් නිදහස් වෙලා විමුක්ති කරා ගමන් කරනවා. අපගේ ඇලීම බැඳීම කෙතරම් බලවත්ද කියනවානම් නිතරම උත්සාහ කරන්නේ ඇස, කන, නාසය, දිව, කය, පිනවන්නයි. උදේ අවදි වූ මොහොතේ සිට රාත්‍රි නින්දට වැටෙන තුරු පොරකමින් දඟලන්නේ ඇලීමටයි. බැඳීමටයි. මේ ඇලෙන නිසාමයි ගැටීම එන්නේ. ඇලීම, බැඳීම, ගැටීම හැම මොහොතකම අපේ සිත තුළ සැරිසරනවා. දවාලයේ අප ගත් අරමුණු සමඟ රාත්‍රියේදී අප ගැටෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සිත තුඹසක් වගේ කියා. දවාලට ගිනි ගන්නවා. දුම් දමන්නේ රාත්‍රියටයි. දුම් දමනවා කියන්නේ නින්දට ගිහිල්ලත් කල්පනා කරනවා අර පුද්ගලයා මට අවමන් කළා. මම නොකළ දේ කළා කිව්වා, මට බැන්නා, මගේ දේ පැහැර ගත්තා යැයි සිතනවා. ඒකයි රාත්‍රියට දුම් දැමීම. එලෙසම දුම් දැමු දේ ගිනි ගන්නවා කියන්නේ දවාලට එය ක්‍රියාත්මක කිරීමයි.
එනිසා ඇලීම් බැඳීම් වලින් නිදහස් වූ සුන්දර සිතක් ඇතිකරගෙන මේ ඝෝර වූ සසරින් එතෙර වීමට අපට ශක්තිය ධෛර්ය ලැබේවා.
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ පෙබරවාරි 22 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment