Labels

Tuesday, March 22, 2016

උතුම් පිහිට තෙරුවන් සරණ යාමය


නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
එතං ඛො සරණං ඛේමං
එතං සරණ මුත්තමං
එතං සරණ මාගම්ම
සබ්බ දුක්ඛා පමුච්ඡති

පින්වත්නි,

අද මැදින් පුර පසළොස්වක පොහොය දිනයයි. බුදුරදුන් බුදුවීමෙන් පසු තම උපන් ගමට වැඩමවීම ආරම්භ කළ දවසයි. ඡන්න ඇමැති සුදොවුන් රජුගෙන් මහණවීමට අවසර ලබාගෙන බුදුරදුන් සිය උපන් ගමට වැඩම කරවා ගැනීමේ අරමුණ ඇතිව උන්වහන්සේ හමුවී දැන් එහි යාමට සුදුසු කාලය බව දැන් වූ දවසයි. ගමන් කළ යුතු මඟ දෙපස ඇතුළු මහත් පරිසර වර්ණනාවකින් පසු බුදුරදුහු කිඹුල්වත් නුවරට වැඩම කළ අදවන් පොහෝ දිනක උන්වහන්සේ සරණ යාම දුර්ලභ වූ මේ මිනිස් ආත්මභාවයට කරනු ලබන විශිෂ්ට සේවාවකි.
යම්කිසි වස්තුවකින් හෝ පුද්ගලයෙකුගෙන් සැපත, සතුට හා ආරක්ෂාව ලබා ගැනීම පිහිටකි. මිනිසා පමණක් නොව ආදරයත් ආරක්ෂාවත් පැතීම ලෝක සත්වයාගේ ස්වභාවයයි. ජීවිතය පවත්වාගෙනයාමට මෙම අපේක්ෂාවන් උදව් කරයි. ආදරය හා ආරක්ෂාව ලැබීම පුද්ගලයා සතුටින් මෙන්ම නිරෝගීව ජීවත් කරවීමට හේතු සලසන බව විද්‍යාත්මකයි එහෙත් එය පුහුදුන් බවේ ස්වභාවය මිස ඔහුගේ ආත්ම විමුක්තිය පිණිස හේතු නොවනු ඇත.

සත්වයා ජීවත් කරවීමට හිරු එළිය අත්‍යාවශ්‍යය. වැස්සද එසේමය, ජීවත්වීමට වාසස්ථානයක් තිබීමද ඤාතීන් මෙන්ම විශ්වාසවන්ත හිතවතුන් සිටීමද, ආහාර ලැබීමද මහත් වූ පිහිටකි. එහෙත් මේ සියල්ලට වඩා උතුම් පිහිටක් වෙයි. ඒ තෙරුවන් සරණ යාමයි. අන් සියලු පිහිටට වඩා තෙරුවන් සරණ යාම වටින බව බුදුරදුන් දේශනා කළහ.

ඉහත දක්වන ලද ගාථා පද හතර ඒ බව තහවුරු කරයි. විවිධාකාර කරදර මැද ගෙවන ජීවිතයට ආධ්‍යාත්මික සුවය ළඟා කර දෙන්නේ තෙරුවන් ගුණ මෙනෙහිකොට ඒ ගුණ මත පිහිටා පවත්වාගෙන යනු ලබන ජීවිතයටයි. භයෙන් තැති ගත් මිනිසුන් ඉර, සඳ, වැස්ස, අව්ව හා වෙනත් සාරභාර වස්තූන් දේවත්වයෙහි ලා සලකා තම ජීවිතයේ දුක්කම්කටොලුවලට පිහිට පැතීය. එහෙත් එම පිහිට පැතීම පුද්ගලයාගේ ඇත්ත දුක් වේදනා පහකර නොදමයි. ඉහත සඳහන් කළ ස්වාභාවික වස්තූන් හෝ ගුප්ත දේ පිහිට කොට පැතීම තමාට තාවකාලික සැනසුමක් ගෙන දීම පමණක් සිදු වෙයි. සියලු සෙත සලසා සියලු දුකින් මිදීමට තෙරුවන් සරණ යාම මහත් සේ සත්ත්වයාට උපකාරී වෙයි.

තෙරුවන් සරණ යාම ලෞකික, ලෝකෝත්තර ලෙස දෙයාකාරයකි. රත්නත්‍රය දැන හැඳිනගෙන සිත පහදවා පිහිට පැතීම ලෞකික සරණ යාමයි. ලෞකික සරණ යාමේ ප්‍රතිලාභය ශ්‍රද්ධාවයි. සෘජු දෘෂ්ටියක ඒකාත්මිකවීම ලෞකික සරණ යාමේ ස්වභාවයයි.
බුද්ධාදී ආර්යෝත්තමයන් වහන්සේලා දුටු නිර්වාණය අරමුණුකොට කෙලෙස් සුන් කිරීමේ සිතිවිල්ල සමෘද්ධිමත් වීම, එසේත් නැතිනම් මතු යම් දිනක දැකීම් සහිතව සැක හැර සරණ යාම ලෝකෝත්තර සරණ, ගමන යි. එබඳු සරණ යාමක් තුළ ජාති, ජරා, ව්‍යාධි මරණ ආදී සියලු දුක්වලින් මිදෙන බව ඉහත දක්වන ලද ගාථාව පැහැදිලි කරයි. මේ සරණ යාම සිදුකළ පුද්ගලයා උපාසකත්වයද බෞද්ධකම ද තහවුරු කරයි.
සියලු දුකින් මිදීමට නම් වූ නිර්වාණාවබෝධය පිණිස තෙරුවන් සරණ යන ආකාර හතරකි.

1. ආත්ම සන්නිය්‍යාර්තන
2. තත් පරායනතා
3. ශිෂ්‍ය භාවෝපගමන
4. ප්‍රනිපාත යනු ඒ සතරකාරයයි.

දුකින් අත්මිදීම පිණිස, නිවන් අවබෝධය පිණිස රත්නත්‍රයට ජීවිතය භාර කිරීම ආත්ම සන්නිය්‍ය¡¡ාතනයි, පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙන් එතරවීම පමණක් නොව ඒ සඳහා වන මහත් වූ ආරක්ෂාවක් ද ආත්ම සන්නිය¸ාතනා සරණා ගමනය සත්වයාට සෙත සලසයි.
භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියේ හෝ තමා විසින්ම හෝ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, යනුවෙන් උතුම් සරණ ලෙස සරණ යාම හෝ ඉටා ගැනීම තත් පරායතනතා සරණා ගමනයයි.
සරණා ගමනේ තුන්වන ආකාරය වනුයේ ශිෂ්‍යභාවෝපගමන ක්‍රමයට සරණ යාමයි. ‘මා අද පටන් රත්නත්‍රයේ සිසුවෙකු වෙමි. අතවැසියෙකු වෙමියි’ සිතා ගැනීම හෝ ප්‍රකාශ කිරීම එහි ස්වභාවයයි. එය සිතා ගැනීම හෝ ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. නිවන් අවබෝධය තෙක් (යාව නිබ්බාණං) ශිෂ්‍යභාවය අන්තේ වාසිකභාවය පැවතිය යුතු ය.
ප්‍රනිපාත සරණ ගමනය හතරවැන්නයි. තමා වෙතින් පරිබාහිර වූ පුද්ගලයන් සියල්ල ඉක්මවා, තෙරුවන් වෙත කෙරෙන ගෞරවය ප්‍රනිපාත සරණා ගමනයයි. එයද යාවජීව විය යුතු වේ.

ඤාතීන් කෙරෙන් පිහිට පැතීම.
භය නිසා පිහිට පැතීම.
ආචාර්යවරුන් ලෙස සලකා පිහිට පැතීම.
දීමට, පූජාවට සුදුසු බව සලකා පිහිට පැතීම වශයෙන් ප්‍රනිපාත සරණා ගමනයද සිව්වැදෑරුම්ය.

රෝගියෙකුගේ රෝගී තත්ත්වය හොඳින් නිරීක්ෂණය කොට සියලු තත්ත්වයන් සලකා බලා කරන ප්‍රතිකාර මඟින් රෝගියා නිරෝගී වී සැනසිලිදායක ජීවිතයක් ගෙවීමට අවස්ථාව සලසා දෙන වෛද්‍යවරයෙකු මෙන් අනේකවිධ කෙලෙස්වලින් පීඩාවට පත්ව සංසාර සැඩ පහරට හසුව ගසාගෙන යන සත්වයා ඉන් මුදවා සදාකාලික සැනසිල්ල උදාකර දෙන බුදුරජාණන් වහන්සේ සරණ යාම සත්වයාගේ සසර භය දුරු කරයි. ඔහුගේ හිතසුව පිණිස වෙයි. එබැවින් අප ලොව්තුරු සරණාගමනය යා යුතුමයි.
සසර තේරුම් ගැනීමට හා සසර දුක් නැති කර ගැනීමේ මාර්ගය අවබෝධ කර ගැනීමටත් ධර්මය මහත් වූ අනුබලයක් සපයයි. සාංදෘෂ්ටික වූ ඒ නිර්මල දහම සරණ යාමෙන් සත්වයාගේ සසර දුක නිවාලයි. ඔහුගේ හිත සුව ඇති කරයි.

අනුත්තර පුණ්‍යෂේත්‍ර වූ සංඝරත්නය ඒ සඳහා අනුශාසනා කරයි. දුක් පීඩාවන්ගෙන් තොරව, නිවන් දක්නා තෙක් සසර සැරිසරණ සත්වයාට ඒ සඳහා ශක්තිය ලබාදීමට අෂ්ටාය¸ පුද්ගල මහා සංඝරත්නයේ ගුණ පිහිට වෙයි. එහෙයින් ම පුද්ගලයාට සංඝරත්නය සරණ යාම, සෙත ශාන්තිය සලසන භය නැති කරවන, සසර දුක් නිවාලන සරණා ගමනයක්ම වෙයි.
භයෙන් හා තැති ගැනීම් ආදී විපත්ති වලින් මිදීමට පර්වත, වනාන්තර, ආරාම, වෘක්ෂ ආදිය සරණ යා යුතු යයි අග්ගි දත්ත තවුසා තම ශ්‍රාවකයින්ට මෙයින් වසර 2500 කට පෙර දී උපදෙස් දෙන ලදී. ඔවුන්ගේ මෙම නිරර්ථක ක්‍රියාවෙන් ඔවුන් මුදා රහත් ඵල ලැබීමට හේතු සම්පත් ඇති බව දුටු කාරුණික බුදුපියාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ සමඟ ඔවුන් වෙත පැමිණ එතෙක් පිළිගෙන තිබූ වැරදි පිළිගැනීම් වටහා දී ඇත.

පර්වත, වනාන්තර, ආරාම, වෘක්ෂ, දේවාල ආදිය, සරණ ගොස් බියෙන් හා දුකෙන් මිදිය නොහැකි බව තෙරුවන් සරණ ගොස් චතුරාර්ය සත්‍යාවබෝධය සියලු දුක් නිවාලිය හැකි බව දේශනා කළහ. අග්ගිදත්ත තවුසා ඇතුළු පිරිස රහත් මාර්ගයෙහි පිහිටුවා සසුන් ගත කළහ. බුදුරජාණන් වහන්සේ ඡන්න හිමියන් හා මහරහතන් වහන්සේ සමඟ කිඹුල්වතට වැඩමවා එහි වාසීහු නිවනින් සනසාලීමට පිටත්ව ගිය අද වැනි මැදින් පුර පොහෝදිනක ඔබ සැමද නිවැරදිව තෙරුවන් සරණ ගොස් නිර්වාන ධර්මය අවබෝධ කර ගැනීමට උත්හාහවන්න.






සියම් මහා නිකායේ, 
කෝට්ටේ පාර්ශ්වයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක 
රත්නපුර හිදැල්ලන ශ්‍රී මහා විහාරාධිපති 
අමුතාගොඩ ඉන්දරතන නා හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 මාර්තු 22 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment